ගැබිනි සමයේ හතලිස් එක්වන සතිය

41 th week
තවම චූටියා අම්මා ළඟට ආවේ නැද්ද

මේ කාලය වඩා අසීරු කාලයක්. සමහරවිට අම්මට තවම චූටියා ලැබී නැතිවා වෙන්න පුළුවන්. නමුත් කිසිවිටක එය බිය ගැනීමට කරුණක් නොවේ.

ගැබිනි සමයේ හතලිස් එක්වන සතිය

දැන් ඔබේ කිරි කැටියා කිලෝ ග්‍රෑම් 3ට ආසන්න බරකින් යුක්තයි. උසින් සෙන්ටිමීටර් 52ක් විතර ඇති. මේ කාලයේදී ඔබේ වෛද්‍යවරයාගේත් පවුල් සෞඛ්‍ය නිලධාරිනියගේත් පූර්ණ අවධානය ඔබ සම්බන්ධවයි.  බිළිඳා ඊලඟ සතිය තුළ උපත නොලදහොත් ප්‍රසූතිය සිදුකිරීමට කටයුතු යෙදේ.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

ඔබේ ගැබ් ගෙලෙහි ඇති තත්ත්වය අනුව සුදුසුම ක්‍රියා මාර්ගය ගැනීම ඔබේ වෛද්‍යවරයා විසින් තීරණය කරනු ඇත. ඔබේ ගැබ් ගෙලේ විස්තාරණය වීම ආරම්භ වී නොමැති නම් ඒ සඳහා අවශ්‍ය හෝ ඛෙහෙත් ලබා දෙමින් සුදුසු පරිදි ප්‍රසූතිය සඳහා මව සූදානම් කිරීම වෛද්‍යවරයා විසින් සිදු කරනු ලබයි. මේ අතරතුරදී ඔබ හොඳින් මතක තබාගත යුතු කරුණක් නම් මෙම සිදුවීම් අතරමැදදී ඔබේ කිරිකැටියාගේ චලනයන්හි සිදුවන වෙනස්වීමක් හෝ ඔබට දැනෙන වෙනසක් හෝ වේ නම් එය ඔබේ වෛද්‍යවරයා වෙත දැන්වීමට කටුයතු කිරීම අත්‍යවශ්‍ය බවයි.

අම්මෙක් වෙන්න යන ඔබ දැන සිටිය යුතු ”ප්‍රසූතියේදී ඇති විය හැකි සංකූලතා”

Fetal Distress 

ප්‍රසූතියේදී හෝ ඊට පෙර CTG  පරීක‍ෂණයට අනුව ගත් කළ ළදරුවාගේ හෘද ස්පන්දනය අඩු වීම ඇතුළුව තවත් ලක‍ෂණ නිරීක‍ෂණය කරමින් ළදරුවා සිටින්නේ අවදානම් තත්ත්වයක බව වෛද්‍යවරුන් තීරණය කරන අතරම මෙය හදිසි අවස්ථාවක් ලෙස සලකයි. මේ තත්ත්වය අවදානම් විය හැක්කේ 30%කට පමණ වන අතරම දියුණු රටවල්වල ළදරුවාගේ හිස්කබල මත සමෙන් රුධිරය ලබාගෙන එහි ඇති ඔක්සිජන් ප්‍රමාණය අනුව තත්ත්වය තීරණය කළද අපේ රටේ එවැනි පරීක‍ෂණ සඳහා පහසුකම් නොමැත. එබැවින් කළ යුතු වන්නේ ළදරුවා හැක ඉක්මණින් ප්‍රසූත කිරීමයි. මවගේ ගැබ්ගෙල සම්පූර්ණයෙන් විවෘතව නොපවතින මෙවැනි අවස්ථාවක මව සිසේරියන් සැත්කම වෙත වහාම යොමුකරන අතරම ගැබ්ගෙල විවෘතව පවතී නම් වැකියුම්/ෆෝසෙප් ක්‍රමය මගින් යෝනි මාර්ගය හරහා ප්‍රසූතිය සිදුකරයි. බොහෝ විට මෙම Fetal distress තත්ත්වය මත මව්වරුන් සිසේරියන් සැත්කම වෙත යොමු කිරීමට සිදුවන ප්‍රවණතාවය වැඩිවේ. කුමන අවස්ථාවකදී සිසේරියන් සැත්කමට යොමු වුවත් එයට හේතුව කුමක්ද යන්න වෛද්‍යවරයාගෙන් විමසා දැනගැනීම ඔබේ ඊලඟ ප්‍රසූතිය සඳහා වැදගත් වන බව සිහිතබාගන්න.

පෙකෙණි වැල පිටතට පැමිණීම

මෙසේ පෙකෙණි වැල පිටතට පැමිණීමේ තත්ත්වය ද ඉතාම හදිසි තත්ත්වයකි. මන්ද පෙකෙණි වැල පිටත තිඛෙන තාක් ළදරුවාට හානි වීමේ ප්‍රවණතාවය ඉහළය. බොහෝවිට මෙවැන්නක් සිදුවන්නේ උල්බ කෝෂයට හානි වූ අවස්ථාවන්හිදීයි. උල්බ කෝෂයට හානි වූ අවස්ථාවකදී වහාම රෝහල වෙත පැමිණෙන ලෙස මව්වරුන්ට උපදෙස් ලබාදෙන්නේද මෙය ඒ තත්ත්වයේදී ඇති විය හැකි භායානක අවස්ථාවක් විය හැකි බැවිනි.

මෙම තත්ත්වය ඇති විය හැකි මව්වරුන් ලෙස දියවැඩියා රෝගයෙන් පෙලෙන මව්වරුන්, උල්බ තරලය වැඩි මව්වරුන්, ළදරුවා තට්ටමෙන් පිහිටා ඇති මව්වරුන් මෙන්ම කෘතිමව ප්‍රසූත වේදනාව ඇති කළ මව්වරුන් දැක්විය හැකිය.

මේ තත්ත්වයේදී මවකගේ ගැබ්ගෙල විවෘතව පවතී නම් වැකියුම්/ෆෝසෙප් ක්‍රමයට ප්‍රසූතිය සිදුකරන අතරම ගැබ් ගෙල සම්පූර්ණව විවෘතව නොපවතින මව්වරුන් සිසේරියන් සැත්කම වෙත යොමු කරයි. මෙවැනි අවස්ථාවකදී සිසේරියන් සැත්කම සිදුකරන්නේ සිහි නැති කිරීමෙන් අනතුරුවයි. මන්ද අනෙක් නිර්වින්දන ක්‍රම සඳහා යම් කාලයක් ගත වන අතරම මේ තත්ත්වයේදී ඉතා ඉක්මණින් ළදරුවා පිටතට ගැනීම අවශ්‍ය වන බැවිනි.

ළදරුවාට ඇති විය හැකි සංකූලතා පිළිබඳව මෙන්ම ගේ ජීවිතය සුරක‍ෂිත ද නැතිද යන්න තීරණය වන්නේ පෙකෙණි වැල පිටතට පැමිණි තිබූ කාලයට අනුවයි. මේ තත්ත්වයේදී ඒ පිළිබඳව සැකයක් ඇත්නම් ප්‍රසූතියට පෙර ළදරුවා පරීක‍ෂා කරන අතරම ජීවිතය සුරක‍ෂිත නම් වහාම ප්‍රසූතිය සිදුකරයි.

මෙවැනි මවක් ප්‍රසූතිය සඳහා ශල්‍යාගාරය වෙත ගෙන යාමේදී යෝනි මාර්ගය හරහා අත යවා ළදරුවාගේ හිස ඇතුළු පැත්තට තෙරපාගෙන සිටින අතරම මව මුනින් අතට දණ හිස් නවා තට්ටම ඉහළට සිටින ඉරියව්වේ (Knee chest Position) පැවතිය යුතු වේ. මෙය ඉතා කලාතුරකින් ඇති විය හැකි මෙම තත්ත්වය හදිසි තත්ත්වයක් වන අතරම ප්‍රසූතියේදී මවගේ සිහි නැති කිරීමට සිදුවන ප්‍රවණතාවය වැඩිවේ.

ෂොල්ඩර් ඩිෂ්ටෝෂියා

මෙයද ප්‍රසූති අවස්ථාවේදී ඇති විය හැකි තවත් හදිසි තත්ත්වයකි. ප්‍රසූතියේදී ළදරුවාගේ හිස පිටතට පැමිණිය ද උරහිස්වලින් සිරවී පිටතට පැමිණීම සිදු නොවිය හැකිය. මේ අවස්ථාවේදී විනාඩි පහක් ඇතුළත දරුවා පිටතට ගත නොහැකි වුවහොත් ඇති විය හැකි සංකූලතා වැඩිය. මෙහිදී වෛද්‍යවරුන් ක්‍රම කිහිපයක් යටතේ දරුවා පිටතට ගැනීමට උත්සාහ කරයි. නමුත් කලාතුරකින් එසේ පිටතට ගැනීමට නොහැකි විය හැකිය. මෙවැනි අවස්ථාවකදී ළදරුවාගේ අස්ථී ඉබේ බිඳීම හෝ අස්ථී බිඳ (Collar born – අකු ඇටය) පිටතට ගැනීමට සිදු වේ. මෙවැනි අවස්ථාවකිදී කලාතුරකින් ස්නායු පද්ධතියට හානි වන අවස්ථා  දැක ගත හැකි අතරම අර්බ්ස් පොල්සි තත්ත්වය ඇති වන අවස්ථා ද දැක ගත හැකිය. එය ඇතැම් ළදරුවන්ට තාවකාලිකව ද ඇතැම්විට සදාකාලිකවම ද පැවතිය හැකි සංකූලතා තත්ත්වයකි. මේ තත්ත්වයට කුමන ළදරුවා කුමන අවස්ථාවේදී මුහුණ දෙයි ද යන්න කල්තියා තීරණය කළ නොහැකි වුවත් දියවැඩියාව ඇති මව්වරුන්, ළදරුවා ප්‍රමාණයෙන් විශාල මව්වරුන්, ප්‍රමාණයෙන් කුඩා ළදරුවෙකු වුවද උරහිස් පළල් නම් මෙම තත්ත්වය ඇති වීමේ අවදානම වැඩි බැවින් එවැනි මව්වරුන් වෙත විශේෂ වෛද්‍ය අවධානය යොමු කෙරේ. නමුත් 50%ක්ම මේ තත්ත්වයට ගොදුරු වන්නේ ඉහත දැක්වූ කිසිදු හේතුවක් නොමැති මව්වරුන්ය. සාමාන්‍ය ප්‍රසූතියේදී මෙන්ම සිසේරියන් සැත්කමේදී ද කලාතුරකින් මෙවැනි සංකූලතා ඇති විය හැකිය. එවැනි දරුවන්ට ඇතැම් විට තැලීම්, කැළැල්, අස්ථී බිඳීම්, ස්නායු ආබාධ තත්ත්වයන් මෙන්ම ජීවිතය ද අවදානමට ලක්විය හැකි අවස්ථා ඇත.

Scar Rupture

ඉතාම කලාතුරකින් සිදුවිය හැකි මේ තත්ත්වය පෙර ප්‍රසූතිය සිසේරියන් සැත්කම හරහා සිදු කළ මව්වරුන් දහසකින් එක් අයෙකුට ඊලඟ ප්‍රසූතිය සාමාන්‍ය ක්‍රමයට සිදුකිරීමේදී ඇතිවීමට අවදානමක් පවතී. මෙහිදී සිදුවන්නේ සිසේරියන් සැත්කම සඳහා විවෘත කළ ස්ථානය නැවත විවෘත වීමයි. මේ තත්ත්වය මවට මෙන්ම ළදරුවාට ද හානිකර තත්ත්වයකි. ඒ හේතුවෙන් මෙවැනි මව්වරුන් විටින් විට වෛද්‍යවරුන්ගේ නිරීක‍ෂණයට බඳුන් වේ.

මෙවැනි හේතු මත පළමු ප්‍රසූතිය සඳහා සිසේරියන් සැත්කමට යොමු වූ මව්වරුන් දෙවන ප්‍රසූතිය සඳහා සාමාන්‍ය ප්‍රසූතියට යොමු වීමට බියක් දක්වයි. නමුත් මේ මගින් අනතුරක් ඇති වීමේ සම්භාවිතාවය පිළිබඳ අදහසක් දැක්වුවහොත් නිවසේ සිට රෝහලට පැමිණෙන අතරතුර සිදුවන හදිසි අනතුරකින් මිය යාමේ ප්‍රවණතාවය මෙවැනි තත්ත්වයක් හේතුවෙන් මිය යාමේ ප්‍රවණතාවයට වඩා වැඩි බවයි. වසර දහයක් ගතහොත් මෙවැනි තත්ත්වයකින් මවක් මිය ගිය බවට වාර්තා නොමැති තරම්ය. නමුත් සිසේරියන් සැත්කම් දෙක, තුන සිදු කිරීමේදී ඇති වන වෙනත් සංකූලතා වන Plasenta Accreta (මේ පිළිබඳව පෙර ලිපියකදී සවිස්තරාත්මකව සාකච්ඡා කරන ලදී) වැනි තත්ත්ව හේතුවෙන් මව්වරු මිය ගිය බවට වාර්තා ඇත. එබැවින් පළමු ප්‍රසූතියට සිසේරියන් සැත්කම වෙත යොමු වූ මව්වරුන් ඊලඟ ප්‍රසූතිය සඳහා සාමාන්‍ය ක්‍රමයට යොමු වීමට බියක් දැක්විය යුතු නැත.

කිසිදු වෛද්‍ය හේතුවකින් තොරව තම කැමැත්ත පරිදි සිසේරියන් සැත්කම වෙත යොමු වීම නුසුදුසුය. එවැනි මව්වරුන්ට මෙවැනි තත්ත්වයනට මුහුණ දීමට සිදුවන ප්‍රවණතාවය ඉහළය.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here