ගැබිනි සමයේ හතලිස්වන සතිය

40 th week
චූටියා ඉක්මණින්ම අම්මා ළඟට ඒවි

දැන් අම්මා කෙනෙකුට දැනෙන්නේ මොන වගේ හැඟීමක්ද? මේ වන විට තමන්ගේ චූටියාගේ මූණ දකින්න ඇහිපිය නොහෙලා බලා ඉන්න අම්මා ඒ වෙනුවෙන් නොකරන දෙයක් නැහැ. දැන්නම් සියල්ල සූදානම්. අම්මා හිතන්නේ අනේ මගේ පැටියා මගේ අතට එන දවස අදද හෙටද කියලා.

ගැබිනි සමයේ හතලිස්වන සතිය

බිළිඳාගේ බර කිලෝ 5.5ට ආසන්නයි. ඒ වගේම හිදේ සිට පාදාන්තය දක්වා උස සෙන්ටිමීටර් සෙන්ටිමීටර් 51 විතර වෙනවා. බිළිඳාගේ හිස්කබල මේ වන විටත් හොඳින් සවිමත් වී නැහැත ඒ පිළිබඳව බිය විය යුතු නැහැ. එය එසේ පවතින්නේ ප්‍රසූතියේදී නම්‍යශීලී විය යුතු නිසයි.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

සති 40 ඉක්ම යාමට පෙර වෛද්‍යවරුන් රෝහලට පැමිණිය යුතු කාල සීමාව පිළිබඳව ඔබ දැනුවත් කරනවා. එය සැමවිටම එක් එක්කෙනාට වෙනස් වෙනවා. ගර්භණී බවේ යම් සංකූලතාවයක් ඇති අයෙක් නම් වෛද්‍යවරයා උපදෙස් දෙන්නේ පළමු ප්‍රසූති වේදනා පහළ වෙනකොටම රෝහල් ගත වන ලෙසටයි. සමහර විටදී දරුවා වටා ඇති කෝෂය බිඳී යාමක් සිදු වුවහොත් අනිවාර්යයෙන්ම ඔබ රෝහල වෙත යා යුතු වෙනවා.

ගැබිනි සමයේ සති 40 ඉක්මයත්ම ප්‍රසූති ලක‍ෂණ පහළ වීම පිළිබඳව ඔබ දැනුවත් වීමත් ඔබේ වෛද්‍යවරයා දැනුවත් කිරීමත් අවශ්‍ය වෙනවා. සති 42 පසු වීමෙන් පසු ඔබේ බිළිඳා සාමාන්‍ය ප්‍රසූතියෙන් බිහිවීම ඉතා විරල වන අතර එය යම් සංකූලතාවයන්ට මග පාදනවා. සමහර කාන්තාවන් දරුවන් බිහි කිරීමට සුදුසු කාලය පිළිබඳව නිර්ණය කරමින් වෛද්‍යවරුන්ගේ කැමැත්ත මත දරුවන් බිහි කිරීමට කටයුතු කරනවා. මෙය බොහෝ විට සිසේරියන් සැත්කමක් විය හැකියි. නමුත් සති 38 ට පෙර දරුවන් බිහි කිරීමට බොහෝ වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ නැහැ.

අම්මෙක් වෙන්න යන ඔබ දත යුතු ”ප්‍රසූතිය සඳහා යොදාගන්න වැකියුම්/අඬු ක්‍රමය හා  සිසේරියන් සැත්කම”

වැකියුම්/අඬු භාවිතයෙන් සිදුවන ප්‍රසූතිය 

මව්වරුන් 10% ත් 15% ත් අතර ප්‍රතිශතයකට ප්‍රසූතිය සඳහා අමතර සහයක් අවශ්‍ය වේ. එවැනි මව්වරුන්ගේ ප්‍රසූතිය වැකියුම්/අඬු භාවිතය මගින් සිදුකෙරෙන අතරම ගැබ්ගෙල සම්පූර්ණයෙන්ම විවෘත වූ පසුද ළදරුවා පිටතට නොපැමිණෙන අවස්ථාවලදී මෙසේ සිදුකරයි. මෙහිදී කුඩා කෝප්පයක් වැනි උපකරණයක් ළදරුවාගේ හිසෙහි නිශ්චිත ස්ථානයකට සවිකර පිටතට ගැනීමට අවශ්‍ය බලය ලබාදීම (වැකියුම්) එක් ක්‍රමයක් වන අතරම හිස දෙපසට යොදන විශේෂිත අඬු මගින් (ෆෝසෙප්) අවශ්‍ය සහය ලබාදීම අනෙක් ක්‍රමයයි. වැකියුම්/අඬු මගින් සිදුකෙරෙන ප්‍රසූතිය නිවැරදි ලෙස සිදුකෙරෙයි නම් මවට/ළදරුවාට හානිකර තත්ත්වයක් ඇති වන්නේ ඉතා කලාතුරකිනි. මේ සඳහා මවගේ කැමැත්ත මෙන්ම ප්‍රසූති අවස්ථාවේදී මවගේ උපරිම සහයෝගය ද අවශ්‍ය වේ. එනම් මව විසින් වෛද්‍ය උපදෙස්වලට අවධානය යොමුකරමින් ළදරුවා පිටතට තල්ලූ කිරීම කළ යුතුවේ. මෙහිදී වේදනාව අවම කිරීමේ ක්‍රම භාවිතය සිදුකෙරේ. දරු ප්‍රසූතියේදී වැකියුම් භාවිත කළ විට ළදරුවාගේ හිසෙහි ගෙඩියක් (Chignon) ඇති වන අතරම ෆෝසෙප් යොදා ගනිමින් සිදුකරන ප්‍රසූතියේදී කන/මුහුණ අවට ප්‍රදේශයේ අඬුවල සලකුණු දක්නට ලැබේ. මේ තත්ත්ව දෙකම ප්‍රසූතියෙන් පැය 48ක් පමණ ගත වන විට මැකී යනු ඇත.

මෙම ප්‍රසූතිය සූතිකාගාරය තුළ හෝ ශල්‍යාගාරය තුළ සිදුකරයි. මේ තත්ත්වයේදීද මුත්‍රා ඉවත් කිරීම සඳහා කැතීටරයක් ඇතුළු කරන අතරම එය බොහෝවිට පැය 12ක පමණ කාලයක් තිබිය හැක. මෙසේ ප්‍රසූතිය සිදුකරනුයේ යෝනි මාර්ගය හරහා දරුවා බිහිකිරීමට හැකියාව පවතනි අවස්ථාවන්හිදී පමණක් වන අතරම යම් ගැටලූවක් ඇති වුවහොත් හැකි ඉක්මණින් සිසේරියන් සැත්කම වෙත මව්වරුන් යොමු කරයි.

අඬු/වැකියුම් භාවිත කර සිදුකරන ප්‍රසූතියේදී ඇති විය හැකි සංකූලතා

  • ළදරුවා පිටතට ගැනීමේදී එපිස් කැපුම යෙදුවද යෝනි මාර්ගය අවට ඉරීයාමට ලක්විය හැකිය.
  • රුධිර වහනය අධික විය හැකිය.
  • කලාතුරකින් ළදරුවාට හානිකර තත්ත්වයන් ඇති විය හැකිය.

අඬු/වැකියුම් භාවිත කර සිදුකරන ප්‍රසූතියෙන් පසු මවක් කළ යුතු/ නොකළ යුතු දේ

pelvic floor ව්‍යායාම ප්‍රසූතියෙන් පසු දින සිටම ආරම්භ කරන්න

  • වේදනාව සඳහා පළමු සති දෙක තුළ ක්‍රමානුකූලව ඖෂධ භාවිතය
  • හොඳින් ජලය පානය කොට, තන්තු සහිත ආහාර/පලා වර්ග ආහාරයට ගනිමින් මලබද්ධ තත්ත්වය වළක්වාගන්න
  • ප්‍රසූතියෙන් පසුව යෝනි විවරය අවට,
    – මෘදු සබන් වර්ගයක් යොදා පිරිසිදු වතුරෙන් සෝදන්න
    – පිරිසිදු කපු රෙදි කැබැල්ලකින් පිසදා වියළිව තබාගත යුතුය.
    – විෂබීජ නාශක දියර හා ආලේපන, පවුඩර් යෙදීමෙන් වළකින්න.
    – තුවාලය ඉක්මණින් සුව වීමට නම් රුධිර පරිවහනය හොඳින් සිදුවිය යුතු නිසා නිතර ඇවිදීම වඩා සුදුසුය.
    – සනීපාරක‍ෂක තුවා නිතර මාරු කරමින් පිරිසිදු බව රැකීමට වගබලාගන්න

අඬු හෝ වැකියුම් උපකරණ මගින් සිදු වූ ප්රසූතියකින් පසු වෛද්යවරයෙකු වෙත යා යුතු අවස්ථා

  • තුවාලය සහිත ස්ථානයේ ඉදිමුම
  • රුධිර වහනය
  • තුවාලය විවෘතව ඇතැයි සිතීම
  • කහ පැහැති සැරව සහිත හෝ දුඟද ශ්රාවයන් පිටවීම
  • නිතර නිතර දැනෙන අධික වේදනාව
  • උණ/මුත්රා දැවිල්ල/නිතර නිතර මුත්රා පිටවීම
  • ප්රසූතියෙන් සති දෙකකට පසුවත් කිවිසීමේදී මුත්රා පිටවීම/ වාතය පිටවීම පාලනය කරගත නොහැකි වීම
සිසේරියන් සැත්කම

සාමාන්‍ය ප්‍රසූතියෙන් දරුවන් බිහි කිරීම සමහර ගර්භණී මව්වරුන්ට නොහැකි වන අවස්ථාවලදී මෙන්ම සාමාන්‍ය ප්‍රසූතිය නුසුදුසු වන අවස්ථාවලදී සිසේරියන් සැත්කම සිදුකර දරුවා මෙලොවට බිහි කරනු ලබයි. ලංකාවේ දරු උපත්වලින් 1/3 ක් පමණ මෙම ශල්‍යකර්මය මගින් සිදු වන අතර මෙම සැත්කම සිදු කිරීමට බලපාන හේතු සාධක කිහිපයක් තිබේ.

එනම්,

1-            කලින් දරු ප්‍රසූති දෙකක්/ඊට වැඩි ගණනක් සීසර් සැත්කමකින් සිදුකර ඇති අවස්ථාවලදී

2-            උපත් මාර්ගය අවහිර වන අයුරින් වැදැමහ පිහිටා ඇති අවස්ථාවල

3-            උපත් මාර්ගය ප්‍රමාණවත් නොවන විට

4-            දරුවා නිවැරදි ආකාරයට උපත් මාර්ගයට යොමු වී නැති අවස්ථාවල

5-            මවට/දරුවාට හානි සිදුවිය හැකි හදිසි අවස්ථාවලදී

සමහර හේතු සාධක ප්‍රසූතිය සිදුවෙමින් පවතින අතරතුරදී හඳුනාගත හැකි අතර ඒ අවස්ථාවේදීම මෙම සැත්කම මගින් දරුවා බිහි කිරීම සිදු කරයි.

එනම්,

1-            ප්‍රසූතිය සාමාන්‍ය ආකාරයෙන් ප්‍රවර්ධනය නොවීම

2-            ප්‍රසූතිය අතරතුර දරුවාගේ හෘද ස්පන්දනය අඩු වීම

3-            ප්‍රසූතිය අතරතුර මවගේ රුධිර පීඩනය අධික ලෙස ඉහළ යාම

4-            ප්‍රසූතියේදී සිදුවන හදිසි සංකූලතා අවස්ථාවලදී

පෙර සඳහන් කළ පරිදිම මෙම සැත්කම සිදු කරන ආකාර 2 ක් තිඛෙනවා.

1 –  සැලසුම් කළ සිසේරියන් සැත්කම

මෙහිදී සැත්කම අවශ්‍ය බව වෛද්‍යවරු කල්තියා හඳුනාගෙන සුදුසු දිනයක සැත්කම සඳහා සැලසුම් කිරීම සිදු වෙනවා. එබැවින් සැත්කමට පෙර නා පිරිසිදු වී සිටීම ඉතාමත් සුදුසුයි. මීට අමතරව ඇතිවන සංකූලතා අවම කරගැනීමට ආමාශයේ අම්ල ගතිය අඩු කරන ඖෂධ වර්ග ලබාදෙනු ඇත.

2 –  හදිසි සිසේරියන් සැත්කම

යම් සංකූලතාවයකට ලක්වීමක් සිදුවුවහොත් මෙම සැත්කම අවශ්‍ය වේ. එවැනි අවස්ථාවක සංකූලතාවයෙන් දරුවාට හෝ මවට සිදුවිය හැකි හානිය අවම කරගැනීමට මෙම සැත්කම හදිසියේම කළ යුතු වේ.

සිසේරියන් සැත්කම සිදු කිරීමේදී ශල්‍යකර්මයට පෙර කොඳු ඇට පෙළට නික්ෂේපණය කරන ඖෂධ මගින් නාභියේ පහළ කොටස නිර්වින්දනය ලක්කිරීම සිදුකරයි. එසේම යම් යම් හේතු මත සම්පූර්ණයෙන්ම සිහි නැති කරන අවස්ථා ද වේ. ශල්‍යකර්මය සිදු කිරීමට පෙර මුත්‍රා ඉවත් කිරීමට බටයක් දමන අතරම යටි බඩ පෙදෙසේ රෝම ඉවත් කර පිරිසිදු කරයි. ඉන් අනතුරුව මවගේ උදරය මතුපිට පිරිසිදු කර ජීවානුහරණය කරන ලද රෙදිවලින් වසා උදරයේ පහළින් සෙන්ටිමීටර 18 (අඟල් 10) ක පමණ කුඩා කැපුමක් යොදන අතරම සමට යටින් ඇති ස්ථරයක් විච්ඡේදනය කරමින් උදර කුහරය තුළට ඇතුළුවී ගර්භාෂයේ පහළ කොටසේ තවත් කැපුමක් යොදා ළදරුවා පිටතට ගනී. ඉන් පසු වැදැමහ ඉවත්කර ගර්භාෂය පිරිසිදු කර පියවරෙන් පියවර මැසීම සිදු කරයි.

බොහෝ අවස්ථාවලදී මෙසේ යොදන මැහුම් දියව යන මැහුම් වන අතරම ඒවා දියව යන බැවින් ඉවත් කිරීමක් අවශ්‍ය නොවේ. නමුත් දිය නොව මැහුම් යොදන අවස්ථාවලදී එසේ යොදන මැහුම් වර්ගයට අනුව ඒවා ඉවත් කළ යුතු දිනයන්ද වෙනස් වේ. එනම් සැත්කමින් දින දෙකකට පසුව සිට දහවන දිනය දක්වා මැහුම් ඉවත් කිරීම සිදුකෙරෙයි. මැහුම් ඉවත් කිරීම වේදනාකාරී නොවන බැවින් ඒ සඳහා අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැහැ.

ශල්‍යකර්මයෙන් අනතුරුව රුධිර වහනයක් ඇත්දැයි පරීක‍ෂා කිරීමට අමතරව වේදනා නාශක ඖෂධ ලබාදෙනවා. දෙපාවල හිරි ගතිය පැය 4 ක් පමණ ගත වන විට පහව යන අතර පැය 12 කට පමණ පසු මුත්‍රා පිටවීමට ඇති බටය ඉවත් කිරීම සිදු කරනවා. සිසේරියන් සැත්කම සිදු කළ මව්වරුන් හැකි ඉක්මණින් ඇදෙන් බැස තනිව ඇවිදීම ඇරඹිය යුතුය. වේදනා නාශක ඖෂධ නිසි පරිදි ලබාගැනීමත් දිගටම මව්කිරි දීමට කටයුතු කිරීමත් මෙම කාලයේදී අතිශයින් වැදගත් වේ. සංකූලතාවයක් ඇති නොවුනහොත් දින 3 – 5 ත් අතර කාලයේදී නිවසට යා හැකිය.

සිසේරියන් සැත්කම හා ඇති විය හැකි සංකූලතා :

අද වන විට ඉතා බහුලව සිදුකෙරෙන සැත්කමක් බැවින් සිසේරියන් සැත්කමේ සිදුවිය හැකි ගැටලූකාරී තත්ත්වය අවමය. නමුත් සිසේරියන් සැත්කම යනු ළදරුවෙකු බිහිකිරීම සඳහා වූ පහසු/ඉක්මන්/ආරක‍ෂාකාරී ක්‍රමයක් නොවේ. මෙය තරමක සංකීර්ණ සැත්කමකි. ඉතා කලාතුරකින් යම් යම් සංකූලතා ඇති වීමේ ප්‍රවණතා දැකිය ඇක.

  • නිර්වින්දය/සිහි නැති කිරීමේ ක්‍රම හේතුවෙන් ඇති වන සංකූලතා
  • උදර කුහරය බාහිරට විවෘත වීම නිසා අසාදනයන්ට ලක්වීම(මේ තත්ත්වය මගහරවාා ගැනීමට සැත්කමට පෙර ප්‍රතිජීවක ඖෂධ ලබාදේ)
  • ගර්භාෂය විවෘත කරන නිසා රුධිර වහනය වැඩියි. මේ තත්ත්වය අවම කිරීම සඳහා ළදරුවා බිහි කළ පසු මවට ඖෂධ ලබාදේ.
  • රුධිරය වහනය අධික බැවින් රුධිර පාරවිලයනය කිරීමට සිදුවිය හැක.
  • ඉතාම කලාතුරකින් රුදිර වහනය නතර නොවීම නිසා ගර්භාෂය ඉවත් කිරීමට සිදුවිය හැක.
  • මුත්‍රවාහිනි, මුත්‍රාශය, බඩවැල් වැනි උදර කුහරයේ අනෙක් අවයවවලට හානි සිදු විය හැකි ප්‍රවණතාවයක් ඉතාම කලාතුරකින් දැකිය හැක. (මව්වරුන් දහසකින් එක් මවකට මෙවැනි තත්ත්වයක් ඇති විය හැක)
  • දෙපාවල රුධිර කැටි ඇති වී පෙනහලූ වෙත ගමන් කිරීම වැනි දරුණ සංකූලතා තත්ත්ව ඉතාම කලාතුරකින් ඇති විය හැක.

සිසේරියන් සැත්කම යනු දරුවෙකු බිහිකිරීමට ඇති පහසු, ඉක්මන් මෙන්ම ආරක‍ෂාකාරී ක්‍රමයක් නොවන බව අපි මීට පෙරදීත් සඳහන් කළා. එසේම මෙවැනි දැනුවත් කිරීම් හරහා අප බලාපොරොත්තු වන්නේ මව්වරුන් බියපත් කිරීම නොව, සාමාන්‍ය ප්‍රසූතිය හරහා දරුවා බිහිකිරීමට සුදුසු වටපිටාව උපරිමයෙන් තිඛෙන මව්වරුන් නිකරුණේ සිසේරියන් සැත්කම වෙත යොමු වීමේදී දෙවරක් ඒ පිළිබඳව සිතා බැලීමට යොමුකිරීමයි.

සිසේරියන් සැත්කමට භාජනය වූ ඔබ නිවසේදී කළ යුතු/නොකළ යුතු දේ :

බොහෝ විට සිසේරියන් සැත්කමට භාජනය වූ පසු එක් එක් අයගෙන් විවිධ උපදෙස් ඔබට ලැඛෙනු ඇත. මේ අතුරින් ඉතා නිවැරදි උපදේශයන් ඔබට ළං කරගැනීමට ඔබ දැනුවත් වී සිටීම අනිවාර්ය වේ. සිසේරියන් සැත්කමින් පසු ඔබ සාමාන්‍ය පරිදි ඇවිදීම ඇරමිය යුතු අතර එසේ නොවුණහොත් දෙපාවල රුධිරය කැටි ගැසීම්, තුවාල පැසවීම, තුවාලය සුව වීමට කල්ගත වීම, නිව්මෝනියාව වැළදීම වැනි සංකූලතා රැසකට මුහුණ දීමට ඔබට සිදුවනු ඇත.

එමෙන්ම ඔබගේ තුවාලය පිරිසිදුව තබාගත යුතු බැවින් ස්නානය/ඇඟ සේදීම කළ යුතු අතර ඉන් අනතුරුව වියළි පිරිසිදු රෙදි කැබැල්ලකින් තුවාලය තෙත මාත්තු කළ යුතුය. සති 2 ක් පමණ යන තුරු බර ඉසිලීම් නොකළ යුතුය. අනවශ්‍ය ලෙස පඩිපෙල භාවිතය නුසුදුසු නිසා එය දිනකට දෙවරක් වන ලෙස ඔබේ වැඩකටයුතු කළමනාකරණය කරගැනීම අත්‍යවශ්‍ය වේ.

සිසේරියන් සැත්කමට මුහුණ දුන් මවකගේ තුවාල සම්පූර්ණයෙන් සුවවීමට නම් මාස තුනක පමණ කාලයක් ගත වන අතරම සති දෙකකට පසුව සිට එදිනෙදා වැඩකටයුතු බාධාවකින් තොරව සිදුකිරීමට හැකියාව ලැබේ.

තවද සැත්කමෙන් සති හයකට පසුව මවගේ කැමැත්ත මත සුදුසු උපත් පාලන ක්‍රමයක් භාවිත කරමින් ලිංගික සබඳතා ආරම්භ කිරීම සුදුසුය. ඒ සඳහා වෛද්‍යවරයාගෙන් හෝ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනයගෙන් අවශ්‍ය උපදෙස් ලබාගන්න. නැවත ගැබ්ගැනීම වසර දෙකකට ප්‍රමාද කිරීම තුළින් ඇතිවිය හැකි සංකූලතාවයන් අවම වේ.

තුවාලය සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතු අවස්ථා :
  • තුවාලයේ සම ඈත් වී ඇත්නම්
  • දිගටම රුධිර වහනය/තුවාලයෙන් සැරව ගැලීමක් සිදුවේ නම්
  • තුවාලය වටේ රතු වී ඉදිමී තද වේදනා තතත්ත්වයක් ඇත්නම්
  • උණ ගතියක් ඇත්නම්
  • යෝනි මාර්ගයෙන් දිගින් දිගටම රුධිරය වහනය වේ නම්
  • පපු පෙදෙසේ වේදනාවක් ඇත්නම්

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here