- Advertisement -

ගැබිනි සමයේ තිස්නවවන සතිය

-
අම්මට වගේම තමයි චූටියටත් දැන් අම්මාගේ බණ්ඩියේ හිර වෙලා ඉඳලා ඇති වෙලා

දැන්නම් අම්මාගේ චූටියා එළියට එන්න හොඳටම කාලය ලං වෙලා. අම්මා දින ගැන ගැන බලාගෙන ඉන්නවා.

ගැබිනි සමයේ තිස්නවවන සතිය

දැන් ඔබේ බබා හොඳින් හැරිලා. මෙලොව එළිය දකින්නට බලාගෙන ඉන්නවා. උපතින් පසු උෂ්ණත්වය රඳා පවත්වා ගැනීමට දරුවාගේ සම මතුපිට මේද තට්ටුවක් මේ කාලය වන විට තැන්පත් වී අවසන්.  දැන් බිළිඳාගේ බර කිලෝ 3ට වැඩියි. ඒත් ඔබ කුස තුළ වැඩෙන්නේ පිරිමි දරුවෙකු නම් ගැහැණු දරුවෙකුට වඩා ඔහු බරින් වැඩි විය හැකියි.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

ඔබ, ඕනෑම වේලාවක ඔබේ දරුවා බිහි කිරීමට සූදානම්ව සිටිය යුතුයි. මන්ද මේ කාලය තුළදී ද දරුවා ලැබීමට හැකියාව ඇති බැවිනි. ඔබට ප්‍රසූත ලක‍ෂණ පහළ වේ දැයි හොඳ අවධානයකින් පසු විය යුතු වෙනවා. ඔබට දරුවාගේ චලනයේ යම් වෙනසක් එනම් ඇතිවන වේදනාව වඩා තදින් ලඟ ලඟ ඇති වේ නම් ඔබ සැලකිලිමත් විය යුතු වෙනවා. දරුවා කුස තුල වැඩිපුර චලනය වීම මේ කාලයේ සාමාන්‍ය තත්ත්වයක්. නමුත් එය සිදුවන වාර ගණන සහ සිදුවන කාලය හා එය ආරම්භ වන වේලාව පිළිබඳ ඔබ දැඩි අවධානයකින් පසුවිය යුතු වෙනවා.

මෙම තත්ත්වය ලඟ ලඟ  ඇති වනවානම් එය වඩා තදින් දැනෙනවානම් බොහෝ විට එය දරු ප්‍රසූතිය සඳහා ආරම්භ වන ප්‍රසූති ලක‍ෂණ විය හැකියි.

යෝනිය දෙපසින් ඇතිවන තෙරපීම සහ අපහසුව දරු ප්‍රසූතිය සිදු වීමට ආසන්න බව කියාපාන ලක‍ෂණ වේ. එමෙන්ම ප්‍රසූතිය සඳහා ඔබ සූදානම් කරන බවට සංඥාවකි. ඔබේ දරුවාගේ හිස යෝනිය දෙසට තල්ලූ වන විට නිතැතින්ම ඔබගේ අපහසු තත්ත්වය වර්ධනය වෙනවා. එවිට ඉක්මණින්ම ඔබේ දරුවා ඔබ ලඟට පැමිණෙන බව සිහිපත් කරන්න.

දරු ප්‍රසූතියට දින කිහිපයකට පෙර ඇතිවන පාචනය, අරුචිය සහ වමනය දරු ප්‍රසූතියට පෙර නැතිවන සාමාන්‍ය තත්ත්වයන්ය. දරු ප්‍රසූතියේ පූර්ව ලක‍ෂණ ලෙස යෝනියේ ඇතිවන පළල් වීමද සාමාන්‍ය තත්ත්වයකි. ඔබ හොඳින් නිරීක‍ෂණය කළහොත් යෝනි මාර්ගයේ ඇතිවන විස්තාරණයත් සමග මද වශයෙන් රෝස, රතු හෝ දුඹුරු පැහැයට ලේ පිටවීමක් දකින්න පුළුවන්. එය ගැබ්ගෙල ඇතිවන විස්තාරණය පිළිබඳ සලකුණක්.

ප්‍රසූති ලක‍ෂණ පහළ වීම හඳුනා ගැනීම 

මෙහිදී පහත ලක‍ෂණ හඳුන්වා දෙන්න පුළුවන්

  • යෝනියේ ඇතිවන ලේ වහනය වැඩිවීම
  • දරුවා උදරයේ පහළ දෙසට ලඟා වීම
  • උදරයේ ඇතිවන තෙරපීම හෝ පසු පෙදසින් ඇතිවන වේදනාව
  • දරුවාගේ ආරක‍ෂාව වෙනුවෙන් ගර්භාෂය තුළ දරුවා වටා ඇති තරලය බිදී යාම

සමහර විට මෙම වේදනා පහළ වීමේදී එය දරුවා දැඟලීමේදී ඇතිවන චලනයන්ගෙන් ඇතිවන තෙරපුමක්ද එසේත් නැතිනම් ප්‍රසූතිය සඳහා පහළවන වේදනාවක් දැයි නිශ්චිතවම වෙන් කර හඳුනාගැනීමට අපහසු වෙනවා.

යම් ආකාරයකින් එය වෙන්කර හඳුනාගැනීමට ඔබට යම් දැනුමක් අවශ්‍ය වෙනවා. එනම්,

  • දරුවාගේ චලනයත් සමග ඇතිවන තත්ත්වයන් සෑම විනාඩි කිහිපයකටම වරක් ඇති වුවත් එය ක්‍රමයෙන් වර්ධනය වීමක් සිදු වන්නේ නැහැ.
  • සාමාන්‍යයෙන් මදක් විවේකීව සිටින විට සාමාන්‍ය තත්ත්වයකදී පහව යන අතර දරු ප්‍රසූති ලක‍ෂණයකදී නම් එය පහව යන්නේ නැත
  • දරු ප්‍රසූතියේදී ඇතිවන තෙරපුම වඩා ශක්තිමත් හා වඩා වේදනාකාරී වීම

කෙසේ වෙතත් ඔබට මෙය හඳුනාගැනීමට අපහසුවක් දැනේ නම් ඔබ වෛද්‍යවරයා හෝ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරි ඇමතීම කළ යුතු වෙනවා. මෙම වේදනා පහළ වූ විට එය ආරම්භ වූ වේලාව, නැවත නැවත ඇති වූ වේලාව සටහන් කර ගැනීමට ඔබට පුළුවන් නම් එය ඔබේ වෛද්‍යවරයාට හෝ පවුල් සෞඛ්‍ය නිලධාරිනියට ඛෙහෙවින් ප්‍රයෝජනවත් වේ.

පවුල් සෞඛ්‍ය නිළධාරි හෝ වෛද්‍යවරයා ඇමතීම

පහත දැක්වෙන ඕනෑම අවස්ථාවකදී ඔබ වෛද්‍යවරයෙකු වෙත යොමු වීම හෝ ඔබේ පවුල් සෞඛ්‍ය නිලධාරි ඇමතීම වඩා සුදුසු වෙනවා.

  • යෝනියෙන් යම් ශ්‍රාවයක් හෝ ලේ වහනය වීම
  • ඉතා තදින් ඇතිවන ප්‍රසව වේදනාව
  • පැයක් අතුළතදී හය වරක් හෝ ඊට වඩා වැඩි වාර ගණනක් වේදනා ඇති වීම

මෙහිදී ඔබ වෛද්‍යවරයා හෝ ඔබේ පවුල් සෞඛ්‍ය නිලධාරි වෙත යොමු වීම වැදගත් වන්නේ ඔවුන් ඔබ පරීක‍ෂා කර දරුවා බිහි වීමට ආසන්නදැයි පරීක‍ෂා කර බලන නිසාය.

හෘද ස්පන්දය මැන බැලීම – දරුවා ඉපදීමේදී ඔබේ දරුවාගේ හෘද ස්පන්දනය පිළිබඳ මැන බැලීම සිදු කරනවා. හෘද ස්පන්දන වේගය දෙස බලා ඔබේ වෛද්‍යවරයා දරු ප්‍රසූතිය සිදුවන ආකාරය සියල්ල සූදානම් කරනු ඇත.

ඔබට ප්‍රසූති ලක‍ෂණ පහළ වූ විට ලේ පහළට ගලා යාම නතර වෙනවා. මෙය සාමාන්‍ය තත්ත්වයක් වන අතර එය දරුවාට බලපෑමක් ඇති කරන්නේ නැහැ. නමුත් සමහර සංකූලතා කලාතුරකින් ඇති වන්න පුළුවන්.

බාහිර කලල අධීක‍ෂණය හෝ අභ්‍යන්තර කලල අධීක‍ෂණය හරහා දරුවාගේ හද ගැස්ම නිරීක‍ෂණය කිරීමට වෛද්‍යවරයාට පුළුවන්. බාහිර කලල අධීක‍ෂණය ඕනෑම අවස්ථාවක සිදු කළ හැකියි. ඔබේ උදරය මත එළිය පටියක් මගින් මෙය නිර්ණය කළ හැකි අතර බබාගේ හෘද ස්පන්දනයේ ඇතිවන වෙනස්කම් මේ මගින් හඳුනාගත හැකි වෙනවා. එය අල්ට්‍රා සවුන්ඩ් එකක් වැනි යැයි පැවසීම නිවැරදියි.

අම්මෙක් වෙන්න යන ඔබ දැන සිටිය යුතු ”කෘතිමව ප්‍රසුත වේදනාව ඇති කිරීමේ ක්‍රම”

සාමාන්‍ය දරු ප්‍රසූතිය මෙන්ම ප්‍රසූත වේදනාව හා එය අවම කිරීමේ ක්‍රම පිළිබඳවත් දැන් ඔබ දැනුවත්. තවද ප්‍රසූතිය සිදුවනවා යැයි නිර්ණය කරන ලද දිනයට ප්‍රසූතිය සිදුකරන මව්වරුන් සිටින්නේ 5%ක පමණ ප්‍රතිශතයකි. එසේම 80%ක පමණ ප්‍රමාණයක් සති 37 -41 අතර කාලයේදී දරුවන් බිහිකරයි. මේ ලිපිය හරහා සාකච්ඡා කෙරෙන්නේ සාමාන්‍ය ආකාරයට ප්‍රසූත වේදනාව ඇති නොවන මව්වරුන්ට ප්‍රසූත වේදනාව ඇති කළ හැකි ක්‍රම පිළිබඳවයි. එනම් Induction Of Labor පිළිබඳවයි. ආසියාතික රටවල සාමාන්‍ය ප්‍රසූතිය සඳහා නියමිත දිනය පසු වීමෙන් අනතුරුව ප්‍රසූත වේදනාව ඇති වේ යැයි බලා සිටින්නේ සාමාන්‍යයෙන් දින හතක් වැනි කාලයකි. ඒ දින හත ඇතුළත ප්‍රසූතිය සාමාන්‍ය පරිදි ප්‍රසූත වේදනාව ඇති නොවුණහොත් කෘතිමව වේදනාව ඇති කරවා ප්‍රසූතිය සිදු කිරිමට වෛද්‍යවරුන් පියවර ගනී. නමුත් මෙය සිදුකරන්නේ අත්‍යවශ්‍ය මව්වරුන් සඳහාම පමණි. සෑම මවකටම මේ තත්ත්වය මුහුණ දීමට සිදුනොවේ.

ප්‍රසූත වේදනාව කෘතිමව ඇති කිරීමට හේතු දෙකකි. එනම්,

  1. ප්‍රසූතිය සඳහා නියමිත දිනය පසුවී දින හතක් (ගැබිනි සමයේ 41 වන සතිය) ගතවුවද ප්‍රසූත වේදනාව ඇති නොවීම.
  2. මවගේ/ළදරුවාගේ යම් යම් සංකූලතා තත්ත්වයන් මත නියමිත දිනයට දරුවා බිහිකිරීමට වෛද්‍යවරයා විසින් තීරණය කිරීම
කෘතිමව ප්‍රසූත වේදනාව ඇති කිරීම සඳහා යොදාගන්නා ක්‍රම

ප්‍රොස්ටොග්ලැන්ඩීන් හෙවත් ග්ලැන්ඩීන් ලෙස භාවිතයේ පවතින ක්‍රමය බහුලව මේ සඳහා යොදාගැනේ. එසේම බැලුනයක් ගැබ්ගෙල තුළට ඇතුළු කොට ප්‍රසාරණය කිරීම ද සින්ටෝ හෙවත් සින්ටො සිනෝන් ලබාදීම අනෙක් ක්‍රමය වේ. එසේම මළදරු උපත්වලදී  Misoprostol යොදා ගැනේ.

ප්‍රොස්ටොග්ලැන්ඩීන් හෙවත් ග්ලැන්ඩීන්

ප්‍රොස්ටොග්ලැන්ඩීන් පෙත්තක් යෝනි මාර්ගය තුළින් ඇතුළු කිරීම මෙහිදී සිදුකරයි. මෙහි මූලික අරමුණ වන්නේ ගැබ්ගෙල වීවෘත කිරීමයි. මෙම ක්‍රමයේ පියවර,

  1. ළදරුවාගේ තත්ත්වය CTG /ස්කෑන් පරීක‍ෂණයක් මගින් නිරීක‍ෂණය කොට (ළදරුවාගේ තත්ත්වය සාමාන්‍ය ප්‍රසූතිය සඳහා සුදුසුද යන්න පරීක‍ෂා කෙරේ.) පහත පියවර ආරම්භ කරයි.
  2. යෝනි මාර්ගය හරහා ප්‍රොස්ටොග්ලැන්ඩීන් පෙත්තක් ඇතුළු කිරීම සිදුකරයි.
  3. ඉන් පැය හයකට පසු නැවත ප්‍රොස්ටොග්ලැන්ඩීන් පෙත්තක් ඇතුළු කිරීම සිදුකරයි.
  4. පැය 12කින් පසු ගැබ්ගෙල විවෘත වී ඇත්දැයි පරීක‍ෂා කරයි. (සාමාන්‍යයෙන් පළමු චක්‍රය සම්පූර්ණ වන විට 60%ක් පමණ ප්‍රමාණයකගේ ගැබ්ගෙල විවෘතව තිබිය හැකියි)
  5. ගැබ්ගෙල විවෘත නොවූ මව්වරුන්ගේ දෙවන චක්‍රය ආරම්භ කරන අතරම පළමු චක්‍රයේ අවසාන පෙත්ත ඇතුළු කළ අවස්ථාවේ සිට පැය 24කින් පසුව නැවත ප්‍රොස්ටොග්ලැන්ඩීන් පෙත්තක් ඇතුළු කිරීම සිදුකරයි.
  6. නැවත පැය හයකින් ප්‍රොස්ටොග්ලැන්ඩීන් පෙත්තක් ඇතුළු කිරීම සිදුකරයි
  7. නැවත පැය 12කට පසුව ගැබ්ගෙල විවෘතව ඇත්දැයි පරීක‍ෂා කිරීම සිදුකරයි. (මේ වන විට දෙවෙනි චක්‍රය හරහා 70%ගේ පමණ ගැබ්ගෙල විවෘත වීම/ප්‍රසූත වේදනාව ඇතිවීම සිදු විය හැකිය.
යෝනි මාර්ගය හරහා බැලුනයක් ඇතුළු කොට ගැබ්ගෙල විවෘත කිරීම

සාමාන්‍ය මුත්‍රා මාර්ගයට ඇතුළු කරනු ලබන කැතීටරයක රඳවා ගැබ්ගෙල වෙත යැවෙන බැලුනයට සේලයින් දියර පුරවා ගැබ්ගෙල විවෘත කිරීම මෙම ක්‍රමයයි. මෙසේ ඇතුළු කෙරෙන බැලුනය පැය 12 – 24 වැනි කාලයක් වුවද ඇතුළත තැබීමේ ගැටලූවක් නොමැති අතරම මෙමගින් මවට/ළදරුවාට හානිකර තත්ත්වයක් ඇති නොකරයි.

ප්‍රොස්ටොග්ලැන්ඩීන් පෙති ඇතුළු කිරීමේ ක්‍රමයට වඩා මෙම ක්‍රමය ආරක‍ෂාකාරී වුවද ප්‍රොස්ටොග්ලැන්ඩීන් පෙති ඇතුළු කිරීමේ ක්‍රමය තරම්ම සාර්ථක නොවේ. කෙසේ වුවද මෙම ක්‍රම දෙකෙහිම අරමුණ වන්නේ ගැබ්ගෙල විවෘත කිරීමයි.

ගැබ්ගෙල විවෘත වූ පසු

සාර්ථක ලෙස ගැබ්ගෙල වීවෘත වූ මව්වරුන්ගේ යෝනි මාර්ගය හරහා උපකරණයක් ඇතුළු කොට උල්බ කෝෂය සිදුරු (ARM) කරයි. මෙය මවට/ළදරුවාට හානිකර නොවන ආරක‍ෂාකාරී ක්‍රමයකි. මේ සඳහා මවගේ උපරිම සහයෝගය අවශ්‍ය වේ.  ඉන්පසුව පැය දෙකක කාලයක් පුරා ප්‍රසූත වේදනාව ඇති වෙනවාදැයි නිරීක‍ෂණය කෙරෙන අතරම ඇතැම් මව්වරුන්ට වේදනාව ඇති වුවත් ඇතැම් මව්වරුන්ට ඇති නොවේ. එසේ වේදනවා ඇති නොවන මව්වරුන්ට ඔක්සිටොසීන් (සින්ටෝසිනෝන්) නමු වූ සිරුරේ නිපදවෙන හෝමෝනය කෘතිමව ලබාදී වේදනාව ඇති කරයි. මේ තත්ත්වයේදී ළදරුවා CTG පරීක‍ෂණ මගින් හොඳින් නිරීක‍ෂණය කරයි. මෙසේ සිදුවන ප්‍රසූතියකදී මවට දැනෙන වේදනාව සාමාන්‍ය පරිදි ඇති වන වේදනාවට වඩා වැඩි වන අතරම මේ සඳහා පැය 12 – 18ක් අතර කාලයක් ගත විය හැකිය. එසේම මවට ප්‍රසූත වේදනාව අවම කිරීම සඳහා ඖෂධ ලබාදීම සිදු කෙරේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ සමීක‍ෂණ වාර්තාවලට අනුව කෘතිමව ප්‍රසූත වේදනාව ඇති කිරීමේ ක්‍රම භාවිතය වැඩිම රට ශ්‍රී ලංකාවයි. ඒ ප්‍රසූති දිනය පසුවූ විගස මෙය සිදුකිරීම නිසයි. නමුත් ප්‍රසූත දිනය පසු වූ විගස එය සිදුකිරීම අනවශ්‍යය. දරු ප්‍රසූතිය සඳහා නිර්ණය වූ දිනය පසුවීම ගැටලූකාරී තත්ත්වයක් නොවන අතරම දියුණු රටවල්වල නම් කෘතිමව වේදනාව ඇති කිරීමේ ක්‍රම යොදාගන්නේ සති 42 සම්පූර්ණ වූ පසුවයි. නමුත් අපේ රටේ එම ක්‍රම අරඹන්නේ සති 41 සම්පූර්ණ වූ පසුවයි. කෙසේ වුවද කෘතිමව ප්‍රසූත වේදනාව ඇති කිරීමේ මෙම ක්‍රම මගින් වේදනාව ඇති කළ හැකි වන්නේ 70%ක පිරිසකටයි. ඒ අතරින් සාමාන්‍ය ප්‍රසූතියෙන් දරුවා බිහිකරන්නේ 50% ප්‍රතිශතයකි. ඉතිරි 50% සිසේරියන් සැත්කම වෙත යොමු කෙරේ. එයට හේතු වන්නේ ගැබ්ගෙල විවෘත නොවීම, ළදරුවාගේ යම් යම් ගැටලූකාරී තත්ත්වයන් වැනි ඒවාය. තවද පෙර ප්‍රසූති අවස්ථාවකදී සිසේරියන් සැත්කමට යොමු වූ මවක් මේ සඳහා යොමු කෙරේ නම් ඒ පිළීබඳ සුදුසු ක්‍රමය වෛද්‍යඳවරුන් සාකච්ඡා කොට තීරණය කෙරෙන අතරම එවැනි මවක් විටින් විට හොඳින් නිරීක‍ෂණය කිරීම සිදු කෙරේ.

මෙම ක්‍රම අසාර්ථක වීම බලපෑ හැකි හේතු :

මේ සඳහා අවස්ථාව ඇත්තේ 30 -70% අතර ප්‍රතිශතයකටයි. එසේම මෙම ක්‍රම ක්‍රියාත්මක කරන අවස්ථාවේ ගැබ්ගෙලෙහි පිහිටීම, සති ගණණ (41 එකට ආසන්න වන විට සාර්ථක වීමේ ප්‍රවණතාවය වැඩියි), කීවෙනි ප්‍රසූතිය ද යන කරුණුද සාර්ථක, අසාර්ථක බව සඳහා බලපායි.

කෘතිමව ප්‍රසූත වේදනාව ඇති කිරීමේ මෙවැනි ක්‍රම ඕනෑම මවක් සඳහා යොදාගන්නේ නැත. අවශ්‍යතාවය මත වෛද්‍යවරයාගේ තීරණයට අනුව පමණක් සිදු කෙරෙන අතරම මේ සඳහා මවගේ අවසරය ලබාගැනීම සිදුකෙරේ. එසේම ළදරුවාගේ තත්ත්වය වරින් වර පරීක‍ෂා කිරීම ද අත්‍යවශ්‍ය කරුණකිි. ඒ වගේම මවට ප්‍රසූත වේදනාව ඇති වන විට මව හොඳින් පරීක‍ෂා කිරීමද අත්‍යවශ්‍ය වේ.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


LEAVE A REPLY

[gs-fb-comments]

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article