ගැබිනි සමයේ තිස්හතරවන සතිය

34th week
පුංචි පුංචි ඉඟි බිඟි පාලා, චූටියා ඉක්මණින්ම අම්මා ළඟට එන බව කියනවා නේද ?

දැන් දැන් චූටියා ඉන්නේ අම්මා වගේම බොහොම නොඉවසිල්ලෙන්. එයා අම්මා ළඟට එන්න ළඟ බව කියන්න පුංචි පුංචි සංඥා අම්මට දනවනවා ඇති. අම්මා කොහොමත් ඕනෙම වෙලාවක චූටියා පිළිගන්න සූදානමින් නේද ඉන්නේ. අම්මාගේ සායනයෙන් ලබාදුන්න කාඩ් පතේ පිටපතක් හැමවෙලේම අත්බෑගයේ රඳවාගන්න. මොකද කාර්යාලයේදී එහෙමත් නැත්නම් වෙනත් තැනකදී ප්‍රසූත වේදනාව දැණුණොත් හෝ වෙනයම් හේතුවක් නිසා රෝහල්ගත වෙන්න වුණොත් අම්මට ඉක්මණින්ම රෝහලකට යන්න ඒක ලොකු පහසුවක් වේවි. චූටියගේ බෑග් එක තාත්තට හරි අත්තම්මට හරි ගේන්න පුළුවන්නේ. නේද?

ගැබිනි සමයේ තිස්හතරවන සතිය

ඔන්න දැන් ඔබේ බිළිඳා කිලෝ ග්‍රෑම් දෙකයි ග්‍රෑම් එකසිය හතලිස් හතක් විතර බරයි. ඒ වගේම බිළිඳාගේ හිසේ සිට පාදාන්ත දක්වා උස සෙන්ටිමීටර් 46ක් විතර. බිළිඳාගේ හම මල් පෙත්තක් වගේ සිනිඳුයි. මේ කාලය වන විට බිළිඳාගේ ස්නායු පද්ධතිය සහ පෙනහලූවල ක්‍රියාකාරීත්වය හොඳි න් සිදුවෙනවා. නියමිත දිනට පෙර ප්‍රසූතියක් සිදු වුවහොත් ඔබ සතුටු වේවී. සති 34 ත් 33 අතර කිසිදු සෞඛ්‍ය ගැටලූවකින් තොර බිළිඳුන් බිහි වීමට ඉඩ තිඛෙනවා. සුළු වශයෙන් හෝ ගැටලූ සහගත තත්ත්වයක් ඇති වුවහොත් රෝහලේ තව දින කිහිපයක් ප්‍රතිකාර සඳහා නතර වීමට ඔබට සිදුවිය හැකියි.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

බබාට වයස සති 34 ක් කියන්නේ ඔබ තවත් ඒ පැටියාව දකින්න ලං වෙලා. එය කෙසේවත් තවදුරටත් දීර්ඝ කාලයක් නෙවෙයි. අඩුම වශයෙන් කිරි කැටියා ඉපදුණොත් එය තව සති 3 ක් එහෙම නැතිව නියමිත දිනට නොලැබී පසුවුනොත් හරියටම සති 6 ක්. හැබැයි ඔබ කුස තුළ ඉන්නේ නිවුන් දරුවන් හෝ දරුවන් ඊට වැඩි ප්‍රමාණයක් නම් ඔබ මේ වන විට අනිවාර්යයෙන්ම සූදානම් වී සිටිය යුතුයි. නිවුන් දරුවන් බිහිවීමේදී 50% ක ප්‍රතිශතයක් තියෙන්නේ සති 37 පෙර දරුවන් බිහිවීමටයි. අවසන් සති කිහිපයට ඔබ ලඟා වනවාත් සමගම ඔබගේ කිරි කැටියා බිහිවීම පිළිබඳව ඔබට බොහෝ දේ සොයා ගනු ඇත. සමහරවිට දරු ප්‍රසූතියේදී ඇතිවන වේදනාව පවා ඔබ සිතනු ඇත. සමහරවිට කිරිකැටියා මෙලොව එළිය දැකීමට තව දින ගණන් පැය ගණන් ගතවීම පිළිබඳව ඔබ දුක්වෙනවා ඇත.

ඔබගේ ගර්භනී කාලයේ ත්‍රෛමාසිකයේ අවසන් කාලය තුළ දරු ප්‍රසූතිය සිදුවන ආකාරය, ප්‍රසූතියේදී ඇතිවන වේදනාව අඩු කරගැනීමට කළ යුතු දේ රෝහලේදී කුමන ආකාරයෙන් හැසිරිය යුතුද ආදී දේ පිළිබඳව මෙම කාලයේදී ඔබ විසින්ම ඉගෙන ගැනීමට උත්සහ කරයි. සැබවින්ම මේ පිළිබඳව දැනුවත් වීම ඔබගේ අනවශ්‍ය බිය පහකර ගැනීමට හේතු වේ.

එමෙන්ම, ඔබ මානසික ආතතිය අවම කර ගනිමින් සම්පූර්ණයෙන්ම සැහැල්ලූ වීම ඔබට හොඳ අත්දැකීමක් වේවී.

සායනවලදී ඔබට කියා දෙන ලද පුහුණු කරන ලද හුස්ම ගැනීමේ ක්‍රම, සැහැල්ලූ වීමේ ක්‍රම පුහුණු කිරීම ඔබගේ දරු ප්‍රසූතිය පහසු කරයි.

පෙරට වඩා දැන් කිරි කැටියා දඟලයි. කුස තුළ එහාට මෙහාට චලනය වෙයි. මේ චලනය තුළින් ගර්භාෂයේ ඇතිවන සංකෝචනය සමහරවිට ඔබ නොසන්සුන් කරවීමට පුළුවන්. කිරිකැටියා ගර්භාෂය තුළ දිවීමට පටන් ගෙන ඇත. චූටියා ඒ තුළ එහාට මෙහාට දුවයි. චූටියාගේ අතපය චලනයත් සමඟ නෙරා ඒමක් ඔබට දැනේවි. ඔබගේ ස්පර්ශය ඔහුට දැනේවි. ඔබේ ඉල ඇට පෙදෙසට චූටියා තල්ලූ වී දෙන පහරවල් සමහරවිට ඔබට ඉතා වේදනාකාරී වේවී.

මේ වන විට කුස තුළ සිටින චූටියා කරන හරඹයන් අකුණු ගැසීමක් වගෙයි. මෙය ප්‍රසූතියට සති කිහිපයක සිට ආරම්භ වේ. සමහර අවස්ථාවලදී මෙය ප්‍රසූතියට පැය කිහිපයකට පෙර ආරම්භ වන අවස්ථාද දක්නට ලැබේ. මෙම තත්ත්වය එක් අතකට ගර්භණී බවත් සමග ඇතිවන නොයෙකුත් ලක‍ෂණ හමුවේ තවත් අවස්ථාවක් ලෙස ඇතිවන පීඩනය අධීක වීම මත නිරන්තරයෙන් මුත්‍රා පහ කිරීමට යාමට අවශ්‍ය විය හැකියි. යෝනිය පෙදෙස් ඇතිවන අධික පීඩන තත්ත්වය මත ගමන් කිරීමේ අපහසුතා ඇති වීමටද පුළුවන.

ඔබ දැන් නියමිත දිනට සමීප වෙමින් සිටී. කෙටි අනතුරු ඇඟවීම් හෝ සංඥාවන් පිළිබඳ නිරන්තරයෙන් අවධානයෙන් සිටිය යුතුයි. ඔබේ ගර්භාෂය මත ඇතිවන අධික බර, හොමෝනවල වෙනස්වීම, මාංශ පේෂීවල වෙනස්වීම් ඔබට අමතර ආතතියක් ඇති කරවන්නක් විය හැකියි.

ගර්භණී සමයේදී කාන්තාවන් හතර දෙනෙකු ගතහොත් එයින් කීප දෙනෙක්ම පිටකොන්දේ වේදනාව නිසා පීඩා විදී. මෙම පීඩාවන් අවම කර ගැනීමටත් නිවැරදි ඉරියව්වලින් සිටීමට දැනුවත් විය යුතුයි.

තෙහෙට්ටුව ගර්භණී සමයේ ඇතිවන තවත් රෝග ලක‍ෂණයක්. තෙහෙට්ටුව නිසා ඔබගේ ශරීරයේ සියලූ අමතර ශක්තිය වැයවනු ඇත.

දැන් දැන් පෙර තිබූ ගර්භණී රෝග ලක‍ෂණ පහව ගියද නව ආකාරයක රෝග ලක‍ෂණ මතු වීමට ඉඩ ඇත. උකුල් පෙදෙසේ ඇතිවන තෙරපීම සාමාන්‍යයෙන් දරුවා හැරීමෙන් පසු ඇති වීම ස්වභාවිකය. ඇවිදීම ඉතා අපහසු විය හැක. නමුත් දුකක් නොදැනේ. කිරි කැටියා එළියට ඒමට ආසන්නයෙන් සිටී.

මේ වන විට ඔබේ බර බර රාත්තල් 27 සහ 28 අතර විය හැකියි. නිවුන් දරුවන් පිළිසිඳ ඇති මවකගේ නම් බර රාත්තල් 30 කට වඩා වැඩි විය හැකිය.

අම්මෙක් වෙන්න යන ඔබ අවබෝධයෙන් බැලිය යුතු තත්ත්වයකි, ” මළ දරු උපත් ”

දරුවෙකු පිළිබඳව සිහින දකින සෑම මවකගේ මෙන්ම පියෙකුගේද එකම පැතුම වන්නේ නිදුක් නිරෝගී දරු සම්පතකි. නමුත් ගැබිනි සමයේ ඇතැම් අවස්ථාවන්වලදී නොසිතූ විරූ තත්ත්වයන්ට මුහුණ දීමට ඇයට සිදු විය හැකියි. මළ දරු උපත් යනු එවැනි තත්ත්වයකි. ජීවිතය දුක සතුට අතර දෝලනය වෙමින් ගෙවී යයි. සෑම දෙයකම අනිත්‍යභාවය අසා දැන සිටියත් මෙවැනි තත්ත්වයදී එය අවබෝධ කරගැනීමේ හැකියාව අවමය. මව් කුස තුළ වැඩෙමින් සිටි බිළිඳා අහිමි වුවහොත් එය මවට, පියාට පමණක් නොව පවුලේ අනෙක් පිරිස් වෙතද දරාගත නොහැකි දුක්බර ආරංචියකි. එසේ වුවද කාන්තාවන් යනු ධෛර්ය සම්පන්න, සවිමත් පිරිසකි. සොබාදහම විසින් මව්පදවිය කාන්තාවට උරුම කර දී ඇත්තේද ඒ නිසාම විය යුතුය. එබැවින් වැදගත් වන්නේ මෙවැනි තත්ත්වයකදී වුවද නොවැටී සිත දිරිමත් කරගනිමින් ඉන් එහාට ඔබ ක්‍රියාත්මක විය යුතු ආකාරය සැලසුම් කරගැනීමයි. මෙය දරාගත නොහැකි වූ වේදනාවක් වුවද අවශ්‍ය දේ අවශ්‍ය වේලාවේ සිදුකිරීම ඉතා වැදගත් වේ.

මල දරු උපතක් යනු කුස තුළ බිළිඳා මිය ගොස්බි, හිවීමේ තත්ත්වයයි. එනම්, සති 28 පසු හෝ ග්‍රෑම් 500ට අඩු දරුවෙකු කුස තුළ මිය යාමයි.  මෙම තත්ත්වය දුලබ තත්ත්වයක් නොවේ. සාමාන්‍යයෙන් මසකට මළ දරු උපත් 3/4ක් වාර්තා වන අතරම එය ප්‍රතිශතයක් ලෙස ගතහොත් 1%ක් පමණ ප්‍රතිශතයකි. එනම් මව් පදවියට සැරසෙන කාන්තාවන් 100 අතරින් එක් අයෙකුට මෙම අවාසනාවන්ත තත්ත්වයට මුහුණ දීමට සිදුවේ.

බිළිඳාගේ චලනයන් නොදැනී යෑම, කුසේ වර්ධනය අඩුවීම තුළින් බිළිඳා කුස තුළ මිය ගොස් ඇතැයි  සැක කළ හැක. එවැනි අවස්ථාවකදී ඒ පිළිබඳ ස්ථීර නිගමනයකට එළැඹීම සඳහා පළපුරුදු වෛද්‍යවරයෙකු යටතේ ස්කෑන් පරීක‍ෂණයක් වෙත මව යොමු කෙරේ.

කුස තුළ බිළිඳ මියගොස් ඇති බව දැනගත් වහාම

මළ දරු උපතක් පිළිබඳව දැනගත් පසුව ප්‍රථමයෙන්ම වෛද්‍යවරුන් සිදුකරන්නේ මේ පිළිබඳාව මවට, පියාට/ඥාතීන්ට දැනුම් දීමයි. මෙවැනි අවස්ථාවකදී මව/පියා/ඥාතීන් ඉතා ඉවසිලිවන්තව ක්‍රියාකිරීමට වග බලා ගත යුතු වේ. මන්ද ඔබ එවැනි අවස්ථාවක කළබලකාරී ලෙස හැසිරුණහොත් මවගේ ජීවිතයට යම් අවධානම් තත්ත්වයක් වේ නම් ඒ සඳාහා අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට වෛද්‍ය කාර්යය මණ්ඩලයට අපහසු වී යයි.

මෙහිදී බිළඳාගේ මිය යාම මවගේ රෝග තත්ත්වයක් මත සිදුවූවාද එසේත් නොමැති නම් එසේ මියයාම මවගේ ජීවිතයට අවදානමක් ද යන්න පිළිබඳා ප්‍රථමයෙන් වෛද්‍යවරුන්ගේ අවධානය යොමු වේ. බහුතරයක් මල දරුවන් හේතුවෙන් මවට හානියක් නොවේ. එනම් උල්බ කෝෂයට හානි වී නැති අවස්ථාවකදී ඉක්මණින් බලපෑමක් නොවන අතරම මව රුධිර පරීක‍ෂණ වෙත යොමුකරයි. ඒ වාර්තාවල කිසිදු දෝෂයක් නොමැති නම් මවට නිවසට ගොස් නැවත රෝහලට පැමිණීමට හෝ බියක් දැනේ නම් රෝහලේම රැඳී සිටීමට හෝ අවස්ථාව ලබා දේ. උල්බ කෝෂයට හානි සිදුවී ඇති අවස්ථාවකදී නම් මවට විෂබීජ ඇතුළු වීමේ අවදානමක් පවතින බැවින් වෛද්‍යවරුන් ක්‍රියාත්මක වන ආකාරය වෙනස් වේ.

මෙවැනි තත්ත්වයකදී මව්වරුන් බියට පත්වන්නේ සාමාන්‍යයෙන් පිටත ලෝකයේ අයෙකු මිය ගිය විට ඇති වන තත්ත්වය පිළිබඳව සිතාය. නමුත් උල්බ කෝෂය තුළ සිටින බිළිෙඳෙකු මිය ගිය විට පටක අවශෝෂණය වීම ඇරඹෙන අතරම සිරුර නරක් වීමක් සිදු නොවේ.

ප්‍රසූතිය

මව/පියා/ඥාතීන් මෙන්ම වෛද්‍ය කාර්ය මණ්ඩලය ද වඩා කැමැත්ත දක්වන්නේ හැකි ඉක්මණින් මිය ගිය කලලය ඉවතට ගැනීමටයි. නමුත් මෙහිදී ඉතා කල්පනාකාරී වීම වැදගත් වේ. මෙවැනි මවක් සාමාන්‍ය ප්‍රසූතියට යොමු වීම වැදගත් වේ. මන්ද එමගින් සිසේරියන් සැත්කමකට යොමු වීම නිසා ඉදිරියේදී මුහුණ දීමට සිදුවන නොයෙක් සංකූලතා මගහරවාගැනීමට අවස්ථාව සැලසෙන බැවිනි. සිසේරියන් සැත්කම වෙත යොමු කෙරෙන්නේ මවට යම් හානිදායක තත්ත්වයක් හෝ දැඩි මානසික ආතතියට පත්ව සිටින අවස්ථාවන්හිදී ඉතාම කලාතුරකිනි. එසේ නොවන්නට මවක් සිසේරියන් සැත්කම වෙත යොමුවීම නිෂ්ඵල කාර්යයකි.

කෙසේ වුවද අවම කාලයක් ඇතුළත දරුවා බිහිකිරීමට වෛද්‍යවරු උනන්දු වන්නේ මවගේ මානසිකත්වය මෙන්ම කල්ගත වීමත් සමගම කලලය දියවී අවශොෂ්ණය වීමෙන් මරණ පරීක‍ෂණයක් වෙත යොමු කොට මේ තත්ත්වයට හේතු වූ කරුණු පිළිබඳ දැනුවත් වීම අපහසු වන නිසාත් මිය ගිය කලලය හේතුවෙන් මවට හානිදායක තත්ත්වයක් ඇති වේය යන බියත් නිසාය.කුස තුළ මිය ගිය බිළිඳා සති දෙකක කාලයක් පසුවන තෙක් සිටියහොත් මේ තත්ත්වය ඇති විය හැකිය. මෙවැනි අවස්ථාවකදී මව සාමාන්‍ය ප්‍රසූතියකට යොමුකරන අතරම ප්‍රසූත වේදනාව ඇති කරවීම සඳහා ඖෂධ ලබා දීම සිදු වේ. දරුවා බිහිවන තෙක් මවට රෝහල්ගතව සිටීමට සිදුවේ.

මෙම තත්ත්වයේ සිටින මවකට මානසික ආතතිය වැඩි නිසා වේදනාව අධිකව දැනෙන්නට ඉඩ ඇති අතරම ප්‍රසූතියේදී උපරිම මට්ටමේ වේදනා නාශක ලබාදෙමින් මවට දැනෙන වේදනාව අවම කිරීමට කටයුතු කෙරේ. නිරෝගී දරු උපතකදී නම් ප්‍රබල වේදනා නාශක ලබා නොදෙන්නේ එමගින් බිළිඳාට යම් බලපැමක් වේය යන සැකය මත වුවත් මළ දරුවෙකුගේ ප්‍රසූතියේදී උත්සාහ ගන්නේ මවට දැනෙන වේදනාව හැකි තරම් අවම කරමින් දරුවා බිහිකිරීමයි. එය මෙවැනි මව්වරුන්ගේ අයිතිවාසිකමක් යැයි පැවසීම නිවැරදි වේ. එසේම මෙවැනි මවකගේ ප්‍රසූතියේදී මානසික සුවතාවය වෙනුවෙන් ඇයව බොහෝවිට රඳවා තබන්නේ සාමාන්‍ය මව්වරුන් සහ ළදරුවන්ගෙන් වෙන්කරමිනි.

දරු ප්‍රසූතියෙන් පසුව

බිළිඳා පිටතට ගත් වහාම මේ තත්ත්වයට හේතු වූවා යැයි සැලකිය හැකි සාධක බාහිරව දැකගත හැකි දැයි නිරීක‍ෂණය කෙරෙන අතරම මවගේ කැමත්ත මත බිළිඳු සිරුර මරණ පරීක‍ෂණය වෙත යොමු කෙරේ. එසේම වැදැමහ ද පරීක‍ෂණ සඳහා යොමු කෙරේ. එසේම මවට ඇති වේදනා සඳහා වේදනා නාශක ඇතුළු අවශ්‍ය ඖෂධ වර්ග ලබාදෙන අතර කිරි එරීම නතර කිරීමටත් ඖෂධ ලබාදේ.

මේ තත්ත්වය යටතේ මව/පියාගේ මානසිකත්වය පිළිබඳ සොයා බැලෙන අතරම උපදේශන වැඩසටහන් වෙතද යොමු කෙරෙනවා. ඇතැම් අවස්ථාවලදී ඇතැම් මව්වරුන් මානසික වෛද්‍යවරු වෙත යොමු කිරීමටද සිදු විය හැකිය. මනෝ වෛද්‍යවරයෙකු වෙත යාම ලජ්ජාවට කරුණක්ද නොවේ. බහුතරයකට මානසික වෛද්‍යවරයෙක් වෙත යා යුතු නොවන අතර ඉතා ඉක්මණින් තත්ත්වය නිරවුල් වේ. නමුත් ඇතැම් කාන්තාවන්ට උපදේශන සේවාවක් අත්‍යවශ්‍ය වේ.

(මේ තත්ත්වයේදී සැවොම වටහා ගත යුතු කරුණක් වන්නේ, මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු වී උපදෙස් ලබාගැනීම යනු ඒ අදාල පුද්ගලයා මානසික රෝගියෙකු වීම නොවේ. අප එසේ යොමු විය යුත්තේ අප පත්ව සිටින තත්ත්වයට නිවැරදිම පිළියම ලබාදීමට සුදුසුකම් ඇත්තේ ඔවුන්ට වීමයි. අප අනෙක් රෝගාබාධ සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාගන්නවා සේම එහිදී සිදුවන්නේද තමා මානසිකව යම් නොසන්සුන් තත්ත්වයකට ඇද වැටුණහොත් ඒ සඳහා අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර මගින් යථා තත්ත්වයට පත්වීමයි.)

මළ දරු උපත් ඇති වීමට හේතු

මළ දරු උපතක් දැනගත් පසුව මව/පියා/ඥාතීන් යන සියල්ලෝම කලබලයට පත්ව  ”ඇයි මෙහෙම වුණේ” යන ගැටලූව වෛද්‍යවරුන් වෙත යොමු කරයි. මෙසේ මල දරු උපත් ඇති වීමට කලලයේ අසාමාන්‍යතා, මවගේ යම් යම් සංකූලතා සහ ජානමය ගැටලූ, වැදැමහේ ඇති ගැටලූ, මවට ඇති වූ අසාදන තත්ත්ව (ඩෙංගු උණ/ උණ), මවගේ රුධිරයේ ඇති ගැටලූ, ගර්භාෂයේ යම් යම් ගැටලූ, ජාන එක්වීම නිසා අහඹු ලෙස ඇති විය හැකි ගැටලූ යන තත්ත්වයන් දැක්වුවද 70%කට පමණ නිෂ්චිත හේතුවක් ඉදිරිපත් කළ නොහැක. එසේ නිෂ්චිත හේතුවක් දැක්විය නොහැකි මව්වරුන්ට මළ දරු උපත් ඇති වීමට හේතු ලෙස වෛද්‍යවරුන් පවසන්නේ වැදැමහ හරහා කලලය වෙත රුධිරය ගමන් කිරීමේ යම් ගැටලූකාරී තත්ත්වයක් නිසා එසේ සිදු වේය යන්න වුවත් ඒ හේතුවද මෙතෙක් 100% සනාථ වූ කරුණක් නොවේ.

මළ දරු උපතකින් පසු මවගේ රුධිර සාම්පල පරීක‍ෂාව, වැදැමහ පරීක‍ෂණ සඳහා යොමු කිරීම, බිළිඳු සිරුර මරණ පරීක‍ෂණයට යොමු කිරීම මගින් මේ තත්ත්වයට හේතුව සොයා බැලීම සිදු කෙරේ. එසේම මෙවැනි මව්වරුන් ප්‍රසූතියෙන් සති 6ත් 12ත් අතර කාලය තුළ නැවත රුධිර පරීක‍ෂාවට යොමුවිය යුතු අතරම මවගේ තත්ත්වය පිළිබඳව ද පරීක‍ෂා කෙරේ. එසේම මේ වන විට බිළිඳාගේ මරණ පරීක‍ෂණ වාර්තාව, වැදැමහ පරීක‍ෂණ වාර්තාව ලැඛෙන බැවින් මේ තත්ත්වය ඇති වීමට ආසන්නතම තත්ත්වය පිළිබඳව යම් අවබෝධයක් ලබාගනිමින් 30% පමණ ප්‍රතිශතයකට මේ සඳහා බලපෑ හේතුව සොයා ගත හැක.

මරණ පරීක‍ෂණය

මෙසේ මිය ගිය බිළිඳෙකුගේ මරණ පරීක‍ෂණය සිදුවන්නේ ඒ සඳහා විශේෂිත පුහුණුව ලත් පිරිස් අතිනි. එහිදි බිළිඳෙකුට ලබාදිය යුතු ගෞරවය රැකගනිමින් සිදු කෙරෙන මෙම පරීක‍ෂණයේ මූලික පියවර වන්නේ බිළිඳා බිහි වූ වහාම බාහිර තත්ත්වය පරීක‍ෂා කිරීම වන අතරම ඉන් අනතුරුව සැත්කමක් මාර්ගයෙන් සිරුර තුළ යම් යම් වෙනස්කම් පවතීද යන්න සොයා බැලේ. ඒසේම සමහර අහ්‍යන්තර ඉන්ද්‍රියයන්ගෙන් පටක පරීක‍ෂණ සඳහා යොමු කෙරේ. සැත්කමින් පසුව බිළිඳු සිරුර පෙර පරිදිම නැවත සකස් කිරීම සිදු කෙරේ. ඇඳුම් ඇන්දවීමෙන් පසුව සැත්කමක කිසිදු ලකුණක් දැක ගත නොහැකි වන සේ සිරුර සකස් කිරීම සිදුවේ.

මෙම පරීක‍ෂණය සඳහා මව්වරුන් වැඩි කමැත්තක් නොදක්වන අතර 30%කටම මෙසේ පරීක‍ෂා කර නිවැරදිම හේතු සොයාගැනීම ඉතා වැදගත් වේ. මන්ද එමගින් ඊලඟ ගැබ් ගැනීමේදී මෙම අවදානම් තත්ත්වයෙන් මිදීමට අවශ්‍ය පිළියම් කල්තියා සැලසුම් කර ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලැඛෙන බැවිනි.

අන්න ඒ නිසා ”නැතිවුණු දරුවාව ඇයි කපන්නේ කොටන්නේ” ලෙස මව්වරුන් නගන ගැටලූව හා මරණ පරීක‍ෂණයට අකමැත්ත ප්‍රකාශ කිරීම හ්තුවෙන් ඊලග ප්‍රසූතිය සඳහා වැදගත් විය හැකි කරුණු පිළිබඳ දැනුවත් වීම ඇතැම්විට මග හැරී යා හැක. ඉදිරියේදී මෙවැනි අවධානමකට ලක්වීම වළක්වා ගැනීමේ හැකියාව අවම වන බව වටහා ගත යුතුය.

ප්‍රසූතියෙන් පසු නිවසට පැමිණෙන ඇයට

මෙවැනි තත්ත්වයකදී මව්වරුන් තමාගේ වරදින් මේ තත්ත්වය ඇති වූවා යැයි පසුතැවෙන අතරම ඇතැම් ඥාතීන් ද ඇයට වරද පටවමින් අපහාස කරන අවස්ථාද නැතිවාම නොවේ. මේ තත්ත්වය කාගේ හෝ වරදකින් සිදුවන තත්ත්වයක් නොවන බවත් මව එසේ අපහසුතාවයට/වේදනාවට පත් කිරීම ඇයගේ මානසිකත්වය නුසුදුසු බවත් නිවසේ සාමාජිකයන් වටහා ගත යුතුය. නිවැසියන්ගේ පූර්ණ අවධානය/ ආදරය ඇයට හිමි විය යුතුය. ස්වාමියාද මේ තත්ත්වයට ඇය හා එක්ව මුහුණ දිය යුතුය.

නැවත ගැබ්ගැනීමක් සැලසුම් කිරීමේදී

ඊළඟ දරු පිළිසිඳ ගැනීමක් සඳහා මවක් කායිකවත් මානසිකවත් සුදුසු මට්ටමට පැමිණ තිබිය යුතු වේ.  එසේම ඊලග ගර්භණී බව ආරම්භයට පෙර පූර්ව ගර්භණී සායන වෙත යොමු වී ඔබේ තත්ත්වය පවසා අවශ්‍ය උපදෙස් ලබාන්න. පෙර තත්ත්වයේ සියලූ වෛද්‍ය වාර්තා සමග වෛද්‍යවරයෙකු මුණ ගැසී සාකච්ඡා කළ යුතු වේ. එසේම ෆෝලික් ඇසිඩ් 5mg  ලබා ගත යුතුය. මෙසේ අවශ්‍ය පසුබිම සැකසුණු පසුව මව නැවත ගැබ් ගත් විලස වෛද්‍යවරයා හමුවී අවශ්‍ය සැලසුම සකස් කරගත යුතු අතරම එය නිවැරදිය ක්‍රියාත්මක කිරීම ද වැදගත් වේ. මෙවැනි මව්වරුන් අවදානම් මව්වරුන් කොටසට අයත් වන අතරම වෛද්‍යවරුයාගේ අවධානය 100%ක්ම ඇයට හිමි වේ.

මල දරු උපත් හා සම්බන්ධව ඉහත දැක් වූ ක්‍රියා පිළිවෙළ ද සොයිසා කාන්තා රෝහලේ මේ වන විටත් ක්‍රියාත්මකව පවතී.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here