ගැබිනි සමයේ තිස්එක්වන සතිය

31 st week
දැන් නම් අම්මට ඉවසිල්ලක් නෑ… තව සති කීපයකින් චූටියාව දැකගන්න පුළුවන්…

සාමාන්‍යයෙන් ගැබිනි කාලය සති 40 ක් වුණත් සති 37 ත් 42 ත් අතර කාලයේදීත් බබා ලැඛෙන්න පුළුවන්. අම්මා බලන්නකෝ මේ සටහන.

  • නියමිත කාලයට පෙර (සති 37 සහ සති 38 දින 6 ක කාලය තුළ)
  • නියමිත කාලයේදී (සති 39 සහ සති 40 දින 6 ක කාලය තුළ)
  • නියමිත කාලයට වඩා ප්‍රමාද වී (සති 41 සහ සති 41 දින 6 ක කාලය තුළ)
  • නියමිත කාලයට වඩා බොහෝ ප්‍රමාද වී (සති 42 සහ ඉන් ඔබ්බට)

හැම චූටියම හරියටම නියමිත දවසට අම්මා ළඟට එන්නේ නැහැ. අම්මා දන්නවද අම්මා ගන්න ආහාර, අම්මාගේ මානසික තත්ත්වය, අම්මා කරන වැඩකටයුතු වෙනුවෙන් යොදවන ශ්‍රමය චූටියා මොලොවට බිහිවන දිනය තීරණය වෙන සාධක.

අම්මා මේ වෙද්දි සායනවලට සහභාගී වෙන නිසා මේ පිළිබඳව හොඳින්ම දැනුවත් ඇති. ඒ වගේම චූටියා ලැඛෙන මොහොතේ අම්මාට දැනෙන වේදනවා අවම කරගන්න ස්වභාවික ක්‍රම උපයෝගී කර ගන්නා ආකාරය වගේම සිසේරියන් සැත්කම, යෝනි විවරය සිදු කිරීම ආදී දේ පිළිබඳ  අවබෝධයක් ල සායන හරහා අම්මාගේ හිතේ තියෙන අනවශ්‍ය බය නැති කරගන්න පුළුවන්.

ගැබිනි සමයේ තිස්එක්වන සතිය

දැන් ඔබේ බිළිඳාගේ උස සෙන්ටිමීටර් 41.1 පමණ වන අතරම බර කිලෝ ග්‍රෑම් 1කුත් ග්‍රෑම් 500ක් පමණ වනවා. ඒ කියන්නේ පොල් ගෙඩියක් තරමය. දැන් බිළිඳාට පැත්තෙන් පැත්තට හිස හරවන්න පුළුවන්. සම යට සිරුරේ අවශ්‍ය මේද තැන්පත් වීම මේ කාලයේ සිදු වෙනවා. දැන් ඔබේ කිරි කැටියා ගොඩක් දගලන කාලේ. ඔබට නින්දේදී පවා සමහර විට කිරි කැටියා උඩ පනිමින් කකුල්වලින් ගසන ආකාරය දැනෙනවා ඇති. මේ සියල්ල සතුටින් විද දරා ගන්න ඔබට පුළුවන්. මේ චලනයන්ගෙන් කියන්නේ ඔබේ දරුවා සක්‍රීය සෞඛ්‍ය සම්පන්න දරුවෙක් බවයි.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

ගැබිනි සමයේ 31 වන සතියේදී ඔබේ ගර්භාෂය දළ වශයෙන් මැනීම සිදු කළහොත් එය නාභියට ඉහළින් අඟල් 4.5 ක් වෙනවා. දැන් ඔබට ඔබේ කිරිකැටියා බිහි කිරීමට ඇත්තේ තවත් සති 10 කට අඩු කාලයක්.

මේ කාලයේදී ඔබේ නාභිය පෙර තිබුණාට වඩා වෙනස් තත්ත්වයක් ගනී. එය ගර්භණී බවත් සමග වඩා ඇදීමකට ලක් වී වඩා ඉස්මතු වී පෙනෙන්නට ගනී. සමහර මව්වරුන් මෙය නොපෙන්වා සිටීමට උත්සහ කළද ගර්භණී සමයේ ඇතිවන සාමාන්‍ය සිදුවීමක් විනා සැඟවීමට උත්සහ කළ යුතු තත්ත්වයක් නොවේ. මෙය පවතිනුයේ ගර්භණී කාලය තුළ පමණි. ඔබේ දරුවා ඉපදී මාස කිහිපයකට පසුව නැවත එහි පූර්ව පෙනුම ලැඛෙනවා.

සති කීපයකින් දෝතට ගන්න සිටින ඔබේ බිළිඳා වෙනුවෙන් ඔබේ පියයුරු මව්කිරි දීම සඳහා සූදානම් වන කාලයයි මේ. මේ කාලයේදී එම කාර්යයට සූදානම් වීම සඳහා පියයුරුවල විශාල වෙනස්කම් සිදුවෙනවා. ඔබේ පියයුරු පෙරට වඩා බර වෙනවා. පූර්ණ බවක් ඇති වෙනවා. එමෙන්ම තන පුඩුව අවට (ඇරියෝලාව) පෙරට වඩා තද කලූ පැහැයක් ගන්නවා. කිරි ස්‍රාවය කරන ග්‍රන්ථී ඇති වීමත් සමගම කොලස්ට්‍රම් නිපදවීම ආරම්භ වෙනවා. මේ සමග ඔබේ පියයුරුවල පලූ හෝ ගැටිති ඇති විය හැකියි. මෙම සියලූ වෙනස්කම් මේ කාලයේදී ඇතිවන සාමාන්‍ය වෙනස්කම් වනවා.

දරු උපතින් පසු සමහර මව්වරුන්ට කිරි පිටතට ගලා ඒම සිදු වෙන්න පුළුවන්. පළමු කිරවන කොලස්ට්‍රම් මෙසේ කාන්දු වීමට පටන් ගන්නවා. කොලස්ට්‍රම් වර්ණයෙන් තරමක් වෙනස්වන අතර එය තරමක් කහ පැහැතියි. මෙය ඔබට වේදානත්මක නම් ආවරණයක් යෙදීමට වගබලා ගන්න.

අප පෙර ලිපිවලද සඳහන් කළ පරිදිම මෙම කාලයේදී, දරුවාගේ වර්ධනයත් සමග ගර්භාෂයේ ඇදීම සිදු වන බැවින් මේ හා සමග නිරන්තරයෙන් ඔබේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන්වලද යම් යම් වෙනස්වීම් සිදු වෙනවා. එබැවින් යම් යම් අපහසුතා සහ ආම්ලිකතාවයන් ඇති වෙනවා.

පපුවේ දැවිල්ල ඇතිවීමත් ජීර්ණ අපහසුතා ඇති වීමත් නිසා ඔබ අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ගර්භාෂය ක්‍රමයෙන් වර්ධනය වීම නිසා කෑම දිරවීම මදක් පමා වෙනවා. විශාල ප්‍රමාණයෙන් ආහාර ගතහොත් මෙම දිරවීමේ අපහසුතා ඇතිවීමත් පපුවේ දැවිල්ල නැති වීමත් සිදුවනවා. එමෙන්ම සමහර ආහාර වල ස්වභාවයන් මෙයට බලපානවා. දරුවාගේ වර්ධනයත් සමඟ ඔබේ ගර්භාෂයේ ඇති ඉඩ ඇහිරීමක් සිදු වෙනවා.

මෙම අපහසුතාවයන් මග හරවා ගැනීම සඳහා ඔබ දවස පුරා කුඩා ආහාර වේල් කීපයක් ගැනීමත් ජීර්ණයට අපහසු ආහාර වර්ග කෑමට නොගැනීමටත් වගබලා ගන්න.

ඇස්වල පෙනීම බොඳ වීම වැනි අවස්ථාද මෙම ගර්භණී සමය තුළ ඇති විය හැකියි. ඔබේ හෝමෝනවල ඇති වන වෙනස්වීම්, රුධිර සංසරණයේ වෙනස්වීම් මෙයට බලපාන අතර දරු උපතින් පසු මෙය නැවතත් සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා.

මේ කාලයේදී ගර්භණී ඔබගේ බර වැඩිවීම දළ වශයෙන් රාත්තල් 24 සිට 25 දක්වා විය යුතුයි. සමහර කාන්තාවන්ගේ බර මීට වඩා වැඩි විය හැකි අතර සමහරුන්ගේ බර මීට වඩා අඩු වීමටද පුළුවන්. දරු ප්‍රසූතියට පෙර අවම වශයෙන් ඔබගේ බර රාත්තල් 5 සිට 10 දක්වා ප්‍රමාණයක් වැඩි විය යුතු වෙනවා.

අම්මෙක් වෙන්න යන ඔබේ අවධානය යොමු විය යුතු ” කුස තුළ බිළිඳාගේ චලන වෙනස්කම් ”  

මවගේ කුස තුළ වර්ධනය වන ළදරුවා නිරෝගී දැයි දැන ගැනීමට හැකි එක ක්‍රමයක් වන්නේ ළදරුවාගේ  චලනයයි. මව්වරුන් මේ ගැන අවධානයෙන් සිටීම අනිවාර්ය වේ. කුස තුළ සිටින ඔබේ ළදරුවාගේ චලන වාර ගණන අඩු වුවහොත්, ඒවගේම චලනය නතර වුවහොත් කළ යුතු දේ පිළිබඳව ඔබ දැනුවත්ද? සැබවින්ම ඒ පිළිබඳව දැනුවත් වීම අත්‍යවශ්‍ය වේ.

මව් කුස තුළ වැඩෙන ළදරුවාගේ චලනය පිළිබඳව කතා කරන්න පටන් ගන්නේ ගැබිනි සමයේ සති 20 ක් පමණ ගතවනාවත් සමගම වුවද මව් කුස තුළ ළදරුවාගේ චලනය ඇරඹෙන්නේ ඉතාමත් කුඩා කාලයේ සිටයි. මුල්ම ස්කෑන් පරීක‍ෂණයේදී පවා වෛද්‍යවරයෙකුට මෙය හොඳින් දැක ගත හැකියි. මේ චලනයන් ගර්භාෂ බිත්තිය හා උදර බිත්තිය හරහා මවට නොදැනෙන නිසා එම චලන පිළිබඳව දැනීමටක් මවට නොමැත.

පළමු ගැබ් ගැනීමේදී සාමාන්‍යයෙන් කුස තුළ වැඩෙන ළදරුවාගේ චලනයන් මවට දැනීම ඇරඹෙන්නේ ගැබිනි සමයේ සති 18 ත් 22 ත් කාලය තුළයි. දෙවැනි ගැබ් ගැනීමේදී නම් ළදරුවාගේ චලනයන් ගැබිනි සමයේ සති 16ත් 20ත් අතර කාලයේදී දැනීම ආරම්භ වේ. දෙවනි වරට ගැබ්ගත් මවකට ළදරුවාගේ චලනයන් පිළිබඳ ඇත්දැකීමක් ඇති බැවින් චලනයන් අවබෝධ කර ගැනීමට ගතවන කාලය අවම වීම එයට හේතුවයි.

කුස තුළ වැඩෙන සෑම ළදරුවෙක්ගේම චලනයන් එක් ආකාරයක් නොගත්තද කාලයත් සමග කුස තුළ සිටින තම ළදරුවාගේ චලන ස්වභාවයන් හඳුනාගැනීමට මවට හැකියි. නිරෝගී ලදරුවෙකුගේ චලන රටාව ඒ ආකාරයෙන්ම එක දිගට පවතී. නමුත් ඇතැම් අවස්ථාවලදී එනම් මව කාර්ය බහුල වූ දිනයක කුස තුළ සිටින ළදරුවා සුපුරුදු පරිදි චලනය වීම සිදු නොකළහොත් හෝ ළදරුවා වැඩි වෙලාවක් නින්දට වැටීම හේතුවෙන් හෝ චලනය අඩු බවක් ඔබට දැනිය හැකිය. එවිට මූලිකව ඔබ කළ යුතුවන්නේ ඇඳ මත දිගාවී කුස මත අත තබා පැයක් පමණ කාලයක් සුපරික‍ෂාකාරීව බලා සිටීමයි. එවිට ද ළදරුවාගේ චලනයන් ඔබට නොදැනේ නම් හැකි ඉක්මණින් රෝහල වෙත ගොස් වෛද්‍යවරයෙකු හමුවීම අනිවාර්ය වේ. තවද යම් මවක් නිතර නිතර මේ තත්ත්වය අත්දකී නම් නම් පූර්ණ අවධානය යොමුකරමින් වෛද්‍ය උපදෙස් පැතීම අනිවාර්ය වේ.

කුස තුළ ළදරුවාගේ චලනයන් මවට නොදැනීමට බලපෑ හැකි වෙනත් හේතු :
  • බොහෝවිට මවගේ කාර්ය බහුල බව හන්දා
  • කලාතුරකින් දරුවා මව් කුස තුළ නිදා සිටින විට
  • කලලය වෙත ගමන් කරන රුධිර ප්‍රමාණය අවම වීම වැනි යම්කිසි රෝග තත්ත්වයක් මත
  • කලාතුරකින් මව් කුස තුළ දරුවා මිය යාම
  • මවගේ අසනීප තත්ත්වයන්

මව්වරුන් සැමවිටම ළදරුවාගේ චලනයන් පිළිබඳ නිසි අවධානයෙන් සිටීම අනිවාර්ය වේ. ළදරුවාගේ චලන වාර සටහන් කිරීම සඳහා සායන මගින් වගුවක් ලබා දුන්නද කිසිදු සංකූලතාවයක් නොමැති සාමාන්‍ය තත්ත්වයේ සිටින මව්වරුන්ගේ මානසික තත්ත්වය පිළිබඳව සළකා එම වගු සෑම මවකටම ලබාදීම මේ වන විට නතර කර ඇති අතර අවදානම් මව්වරුන්ට පමණක් එම වගු ලබාදීම සිදු කෙරේ. අවදානම් තත්ත්ව පවතින මව්වරුන් ඒ පිළිබඳව නිසි අවධානය යොමු කරමින් සැළකිලිමත්ව වගුව සටහන් කිරීම ඉතා වැදගත් වේ.

දරුවාගේ චලනය අඩු වීම මත හෝ දරුවාගේ චලනය සිදු නොවන අවස්ථාවක රෝහලකට මව ඇතුළත් කළ විට දරුවාගේ හෘද ස්පන්දනය පරීක‍ෂණයක් මගින් පරීක‍ෂා කර බැලීම සිදුවන අතරම එම පරීක‍ෂණයේ කිසිදු දෝෂයක් නොමැති නම් දරුවා නිරෝගී බවට යම්තාක් දුරට නිර්ණය වේ. ළදරුවාගේ චලනයන් දැනීම ආරම්භ වූ පසු මවට රෝහලෙන් පිටව යාමට අවස්ථාව සැලසේ. නමුත් මෙම පරීක‍ෂණය මගින් තත්ත්වය අනාවරණය කරගත නොහැකි අවස්ථාවකදී නම් මව ස්කෑන්  පරීක‍ෂණයක් සඳහා යොමු කර ළදරුවාගේ චලනය පිළිබඳව මෙන්ම ළදරුවාගේ වර්ධනය සහ පෙකණිවැල තුළින් සිදුවන රුධිර ගමනාගමනය පිළිබඳවත් පරීක‍ෂා කිරීම සිදුවේ. එසේම මෙම පරීක‍ෂණවල යම් අසාමාන්‍යතාවක් හඳුනාගතහොත් නියමිත දිනට පෙර දරුවා බිහි කිරීමට වෛද්‍යවරුන් නිර්දේශ කරනවා.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here