- Advertisement -

ගැබිනි සමයේ තිස්වන සතිය

-
අම්මා, මස් මාංශ නොකන එක චූටියාගේ වර්ධනයට බලපායිද ?

මේ වෙද්දී චූටියා හරිම වේගෙන් වර්ධනය වෙනවලු. චූටියා ඉක්මණට අම්මා ළඟට එන්න ඉක්මණටම ලොකු වෙන්න හදනවා මම හිතන්නේ. ඉතිං අම්මා, අම්මාගේ පෝෂණය ගැන හුඟක් හිතන්න ඕනේ නේද? මොකද චූටියාගේ වර්ධනයට අවශ්‍ය හැමදේම එයා ලබාගන්නේ අම්මා ලබාගන්න පෝෂණය හරහා.ඉතිං අම්මා දැන් නම් වැඩිපුර තමන්ගේ ආහාර රටාව ගැන හිතන්නම ඕනේ.

ගැබිනි සමයේ තිස්වන සතිය

සීඝ්‍රයෙන් වැඩෙන බිළිඳාගේ මේ වන විට බර කිලෝ එකකුත් ග්‍රෑම් 319 ක් විතර වෙනවා. ඒ වගේම හිසේ සිට පාදාන්තය දක්වා උස සෙන්ටිමීටර 39.9 ක් පමණ වෙනවා. දැන් බිළිඳාගේ වර්ධනය තව තවත් වේගවත්. මේ වෙද්දී බිළිඳා වටා උල්බ තරලය පයින්ට් එකහමාරක් පමණ ඇති අතර බිළිඳාගේ වර්ධනයත් සමග අවශ්‍ය ඉඩ සැලසීම සඳහා ඒ ප්‍රමාණය අඩු වී යයි. මේ වන විට බිළිඳාගෙන් උල්බ කෝෂය පිරී පවතිනවා. බිළිඳාගේ අත්පා වල සමට යටින් මේදය තැන්පත් වෙමින් නිසි ලෙස වර්ධනය වෙමින් පවතින අතර, සමෙහි රැකවරණය වෙනුවෙන් හටගන්නා සියුම් රෝම මුළු සිරුර පුරාම දැකගත හැකියි. ඒ වගේම බිළිඳාගේ මොළයේ අංග මෙන්ම පටක නිර්මාණය ද සිදුවෙනවා. ඇට මිදුළුවල වර්ධනය වන රතු රුධිර සෛල හා පටක ඔක්සිජන් ලබාදෙමින් අපද්‍රව්‍ය ඉවත් කරනවා. මේ කාලයේදී බිළිඳාගේ සෛල තුළ යකඩ ගබඩා කිරීමත් ඉතා කුඩා සෛල තුළ කැල්සියම්, පොස්පරස් ගබඩා කිරීමත් සිදුවීම ඇරඹේ.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

ඔබේ ගර්භණී සමයේ තෙවෙනි ත්‍රෛමාසිකයේ තමයි ඔබ මේ ඉන්නේ. ඒ කාලයේදී ගර්භණී තත්ත්වයන් සමග මතුවන විවිධ තත්ත්වයන් දැකගත හැකියි. එනම්, කොන්දේ හා උකුලේ වේදනාව මෙන්ම කකුලේ, වළලුකරෙහි ඉදිමීම දක්නට ලැඛෙනවා.

මේ කාලය තුළ පියයුරුවලින් කිරි පිටවීම සාමාන්‍ය තත්ත්වයකි. දරු ප්‍රසූතියට සතියකට පමණ පෙර කොලස්ට්‍රම් ඔබේ පියයුරුවලින් පිටවීමට පුළුවන. මෙලෙස සිදු වන්නේ ඔබේ කිරි කැටියාගේ බඩ පිරවීමට සැකසෙන මව් කිරි නිෂ්පාදයේ මූලික අවස්ථාව වන අතර මේ සම්බන්ධයෙන් බිය විය යුතු නැත.

මේ කාලයේදී නිදාගැනීමට පහසු ඉරියව්වක් සොයා ගැනීමට ඔබට අපහසුය. පැත්තට, ඇලයට මේ කිසි ආකාරයේ ඉරියව්වකට නිදාගැනීම ඔබට පහසු නොවනු ඇත. එමෙන්ම රාත්‍රියේදී නිරන්තරයෙන් මුත්‍රා පිට කිරීමට සිදුවේ. ඔබ දකින හීන වඩා තීව්‍ර අමතක නොවන ඒවා වේ. ශරීරය සැහැල්ලූ කිරීම හා හුස්ම ගැනීම පහසු කිරීම සඳහා ව්‍යායාම කිරීම මගින් මෙම නින්දේදී ඇතිවෙන අපහසුතාවයන් වළක්වා ගත හැකිවනු ඇත. එමෙන්ම ඉතා සෞම්‍ය සංගීතයට සවන්දීම, හොඳ පොත් කියවීම ඔබගේ මනස සැහැල්ලූ කරගැනීමට උපකාර වේ. මෙවැනි ක්‍රම අනුගමනය කිරීම මගිනුත් ඔබට සුව නින්දක් ලද නොහැකි නම්, දිවා කාලයේ හෝ කෙටි නින්දක් කිහිප විටකදී හෝ ලබාගැනීමට උත්සහ කරන්න.

ගැබිනි සමයේ 30 වන සතිය වන විට ඔබේ පාද හා වළලූකර ඉදිමීම නිසා ගර්භණී වීමට පෙර තිබූ පාද වල ප්‍රමාණයට වඩා ඔබේ පාද විශාල වී පවතී. සමහර විට ඔබ පෙර පැළදි සපත්තුවේ ප්‍රමාණය ද වෙනස් කිරීමට සිදුවනු ඇත. සමහර කාන්තාවන්ට දරු ප්‍රසූතියෙන් පසුව වුවද මෙම පාදවල වෙනස්වීම් සිදුවිය හැක. ගර්භණී අවධියේ සිදුවන හෝමෝනවල වෙනස්වීම් මත සන්ධි ලිහිල් වීම සිදුවන අතර එහි ප්‍රතිඵලයක් ලෙස වඩා පුළුල් හා තරමක් දිගු පාද ඇති වීමට ඉඩකඩ පවතී.

සති 30 වන විට ඔබගේ බර රාත්තල් 23-24 පමණ ප්‍රමාණයකට වැඩිවිය හැක. ගර්භණී සමයේ තෙවන ත්‍රෛමාසිකයේදී ඔබේ නාභිය තරමක් විශාල වන අතර ඔබට තරමක් අපහසුතා ඇති වේ. නමුත් මවක වීමට සිහින දකින බැවින් මෙම අපහසුතා පිළිබඳ කණගාටු නොවේ. ඔබ මේ කාලයේදී නිරන්තරයෙන් ඔබේ කිරි කැටියා පිළිබඳ ස්මරණය කරමින් එය විඳිමින් සිටින අතර එය ඔබේ මානසික තත්ත්වය වෙනස් කරන්නට රුකුලක් වේ. නිතරම සතුටින් සිටිමින් දරු ප්‍රසූතිය සඳහා සූදානම් වීම යහපත් දරුවෙකු බිහි කිරීමට රුකුලක් වේ.

අම්මෙක් වෙන්න යන ඔබ නිර්මාංශ නම් ඔබ දත යුතු  ” නිර්මාංශ ගැබිනි මවගේ පෝෂණය ”

තෙවන ත්‍රෛමාසිකයේ ආරම්භයේ සිටින ඔබේ, බිළිඳාගේ වර්ධනය වඩාත් සීග්‍ර ලෙස සිදුවෙන අතරම මේ කාලය තුළදී පෝෂකාංගවල අවශ්‍යතාව වැඩි වශයෙන් දැනෙනවා. ඒ නිසාම මව නිසි පෝෂණයෙන් සපිරි ආහාර ලබාගැනිම ඉතාම වැදගත්. ප්‍රෝටීන, විටමින් සී, ෆෝලික් අම්ල විටමිනය වගේම යකඩ පමණක් නොවේ කැල්සියම් අවශ්‍යතාවයද ඉතා ඉහළයි. සාමාන්‍යයෙන් මේ කාලය වන විට කලලයේ අස්ථී පද්ධතිය තුළ මිලිග්‍රෑම් 250 පමණ ප්‍රමාණයක් තැම්පත් වන බව පැවසෙනවා. අන්න ඒ නිසාම සෞඛ්‍ය සම්පන්න පෝෂණීය ආහාර වේලක් ගැබිනි මවකට අත්‍යවශ්‍යයි. තෙවන ත්‍රෛමාසිකය තුළ මේ පිළිබඳව ඔබ වැඩි වශයෙන් කල්පනාකාරී විය යුතුය. නිර්මාංශ මවක් වන ඔබ, ප්‍රෝටීන්, යකඩ කැල්සියම් අවශ්‍යතාවය සපුරා ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග පිළිබඳව සැලකිලිමත් විය යුතුයි.

නිර්මාංශී මව්වරුන් සඳහා යකඩ ලබාගත හැකි වෙනත් ආහාර ධාන්‍ය වර්ග, තද කොළ පැහැති එළවළු, හො`දින් පිසගත් බිත්තර (ඇතැම් නිර්මාංශ මව්වරුන් බිත්තර ආහාරයට ගන්නා බැවිනි), පරලූ පාන්, නිවිති, මුරුංගා වැනි කොළ වර්ග මෙන්ම ඔබට සායන මගින් ලබා දෙන යකඩ පෙති නිසි ලෙස ලබාගන්න. යකඩ සිරුරට හොඳින් අවශෝෂණය සඳහා විටමින් සී වැදගත් නිසා සෑම ආහාරවේලකටම විටමින් සී අඩංගු දේත් එක් කරගන්න.

මස් හා මාළුවල ඛෙහෙවින් අඩංගු වන විටමින් ඊ12 අඩංගු වුවද නිර්මාංශ මව්වරුන්ගේ ආහාරවේලට විටමින් ඊ12 එක්කර ගැනීම සඳහා වෙනත් මාර්ගයන් අවශ්‍ය වේ. කිරි හා චීස්, හොඳින් පිසගත් බිත්තර, පෝෂක එක් කළ උදෑසන ධාන්‍ය වර්ග, පෝෂක එක් කළ සෝයා බීම, මාමයිට් වැනි යීස්ට් සාරය වැනි දේ මෙන්ම මෙම ආහාරවලට අමතරව විටමින් ඊ12 අතිරේකයක් ලබා ගැනීමද අවශ්‍ය වේ.

නිර්මාංශ ගැබිනි මව්වරුන්ට ප්‍රමාණවත් ලෙස විටමින් D නොලැබී යාමේ අවදානමක් ද ඇති විය හැකිය. ඔබේ ආහාරයට විටමින් D එක්කරගන්න. මස්, මාළු හා බිත්තරවල බහුලව අඩංගු විටමින් D ඔබේ සිරුරට නොලැඛෙන නමුත් සම උදෑසන හිරු එළියට නිරාවරණය කිරීමෙන් ඔබේ සිරුරට විටමින් D නිපදවීමේ හැකියාව තිඛෙනවා. විටමින් D මවට මෙන්ම දරුවාට ද ඉතා වැදගත් වන නිසා, තම ආහාරවේල පිළිබඳ සැලකිල්ලක් නොදක්වන ගැබිනි මව්වරුන් සඳහා විටමින් D අතිරේකයක් ලෙස ලබාගත යුතු බවට වෛද්‍යවරු උපදෙස් දෙනවා. එමෙන්ම නිර්මාංශ මව්වරුන් විටමින් D අඩංගු අමතර ආහාර ලබා ගැනීමේදී ඊට අදාල ලේබලය හොඳින් කියවා එය සත්ත්ව සාර අඩංගු නිෂ්පාදනයක් නොවන බවට තහවුරු කරගැනීමට ද සිහිතබාගන්න.

නිර්මාංශ ගැබිනි මවගේ අහාරවේලට කැල්සියම් එක්කර ගැනීමට කිරි ආහාර ලබා ගැනීම මගින් හැකියාව ලැඛෙනවා.

කැල්සියම් අඩංගු ආහාර :
  • පෝෂක එක්කළ සෝයා, බත් සහ ඕට් පානය
  • කැල්සියම් සෙට් ටොෆු – මෙය කැල්සියම් ෂල්ෆේට්, පෝෂක එක් කළ සෝයා කිරි සහ දොඩම් යුෂ හෝ වෙනත් ඕනෑම එළවළු වර්ගයක් එක් කර සාදාගන්නා කැල්සියම් සපිරි ආහාරයකි
  • තල ඇට සහ තල ඇට අඹරා සදාගන්නා තැවරුමක්
  • මාංෂ භෝග (ධාන්‍ය වර්ග)
  • දුඹුරු පාන් හා සුදු පාන්
  • වියළි පළතුරු
  • තද කොළ පැහැ එළවළු

මෙම ආහාරයන්ට අමතරව ඔබේ වෛද්‍යවරයා ගෙන් හෝ පවුල් සෞඛ්‍ය සේවිකාවගෙන් උපදෙස් ලබා ගැනීමත් වැදගත් වනවා.

ගර්භණී සමයේ නුසුදුසු ආහාර ලෙස විවිධ චීස් වර්ග දැක්විය හැකිය. ලිස්ටීරියා අඩංගු චීස් වර්ග කිසිවක් ගැබිනි මව්වරුන්ට සුදුසු නොවේ. ලිස්ටීරියා මගින් ගබ්සා වීම් හෝ මළ දරු උපත් ඇති විය හැකි අතර අලුත උපන් දරුවාට ද බරපතල රෝගාබාධ ඇති විය හැකියි. එසේම එළවළු තැවරුම් වර්ගවලද ඇතැම්විට ලිස්ටීරියා අඩංගු වීමට ඉඩ ඇති බැවින් ඒවා ගැනීමට පෙර පරීක‍ෂාකාරීවන්න. එසේම සමහර එළවළු තැවරුම්වල බිත්තර අඩංගු විය හැකි අතර, මේ මගින් ක‍ෂුද්‍රජීවී ආසාධනයක් ඇතිවීමේ අවදානමක් ද පවතී.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


LEAVE A REPLY

[gs-fb-comments]

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article