ගැබිනි සමයේ විසිහත්වන සතිය

Week-27
චූටියාට අවශ්‍ය දේවල් ලැයිස්තුවක් හැදුවොත් අම්මට ලේසියි

අම්මා දැන් ටිකෙන් ටික චූටියා ගෙදරට එක්කන් එන්න ලෑස්ති වෙන්න ඕනේ. එයාගේ කාමරේ හිමින් හිමින් ලස්සන කරන්න පටන්ගන්න. චූටියට වගේම අම්මට රෝහලට යද්දි ගෙනියන්න අවශ්‍ය බඩු ලැයිස්තුවක් ඉක්මණටම අම්මගෙ අතට ලැබේවි. ඒ දේවල්වලට කල් තියා සූදානම් වෙන එක බොහොම හොඳයි. අම්මට කොයි මොහොතේ රෝහලට යන්න වෙයිද කියලා අපි දන්නේ නෑනේ. අනික තෙවන ත්‍රෛමාසිකයේ අම්මට අපහසුතා වැඩිපුර දැනෙන්න ගත්තොත් මේ දේවල් හිතේ හැටියට කරගන්න අමාරු වෙයි. කොයිදේටත් පෙරසූදානම බොහොම වටිනවනේ.

ගැබිනි සමයේ විසිහත්වන සතිය

ග්‍රෑම් 875ක බරකින් ද සෙන්ටිමීටර 36.6ක උසකින්ද යුතු බිළිඳා මේ වන විටත් තම කාල සටහනට අනුව මෙන් ක්‍රමාණුකූලව නිදාගැනීම, අවධිවීම සිදුකරයි. නිසි අවධානයෙන් පසුවුවහොත් ඒ පිළිබඳව යම් අවබෝධයක් ලැඛෙන නිසාම බිහිවීමෙන් පසුව දරුවාගේ දින චර්යාව මවට අලූත් නොවනු ඇත. ඒ අතරට ඇඟිලි ඉරීමත් එක් කාර්යයක් වශයෙන් අතුළත් වේ. සීග්‍ර ලෙස වර්ධනය වන මොළයේ පටක සංවර්ධනය වීමත් සමගම මොළයේ ක්‍රියාකාරීත්වය වැඩි වී ඇති අතරම පෙනහලූ තවමත් සංවර්ධනය වෙමින් පවතී. ඒ වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය ද තව තවත් වර්ධනය විය යුතුය. බිළිඳාට ඇති වන ඉක්කාව මේ වන විටත් විටින් විට මවට දැනෙනු ඇති. මේ වන විටත් උල්බ තරලයෙන් සුළු ප්‍රමාණයක් බිළිඳා උරාගන්නා අතරම එය මුත්‍රා ලෙස පිට කිරීම සිදුකරයි. මේ සිදුවීම පැය තුනකට වරක් සිදු වේ.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටික ටික් වෙනස් වෙනවා

දෙවන ත්‍රෛමාසිකයේ අවසාන සීමාවේ සිටින ඔබට පසුගිය ලිපි හරහා සාකච්ඡා කෙරුණු පරිදිම, කොණ්දේ වේදනාව, කෙණ්ඩා පෙරලීම, හුස්ම ගැනීමේ අපහසුතාවය (කෙටි හුස්ම ගැනීම), නිතර නිතර මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය ඇති වීම වැනි, සුව පහසු නින්ද ලබාගත නොහැකි වීම, වෙහෙසකාරී බව, දෙපා ඉදිමුම වැනි අපහසුතා පවතී.

නිතර නිතර මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාවය මින් ඉදිරියටත් එනම් තෙවන ත්‍රෛමාසිකයේදීත් එසේම පවතී. දරුවාගේ සීග්‍ර වර්ධනයත් සමගම ප්‍රසාරණය වන ගර්භාෂය මුත්‍රාශය වෙත ලබාදෙන පීඩනය එන්න එන්නම වැඩි වීම නිසා මේ තත්ත්වය ඇති වේ.

එසේම වේදනාකාරීව ලෙස රාත්‍රියේදී ඔබව පීඩාවට පත්කරන කෙණ්ඩා පෙරලීම යම්තාක් දුරකකට අවම කරගන්නට මේ උපදෙස් ක්‍රියාත්මක කරබලන්න ඔබට හැකියි.

දහවල් කාලයේ වැඩි වේලාවක් සිටගෙන සිටීමෙන් වළකින්න, ඒ වගේම දෙපා කතිර ආකාරයෙන් තබා සිටීමෙන් වළකින්න.

කෙණ්ඩා ප්‍රදේශය ඇදීමට ලක් වෙන පරිදි ව්‍යායාමයක යෙදීම සඳහා සුදුසුකම් සහිත අයෙකුගෙන් උපදෙස් ලබාගන්න.

හදවතේ සිට පාද වෙත හොඳින් රුධිරය ගමන් කිරීමට වැම් ඇලයට දිගා වී සිටින්න.

හැකිතරම් දියර වර්ග සහ ජලය පානය කරන්න.

කෙණ්ඩා පෙරලීමක් සිදු වූ විට හොඳින් පාදය දිගහැර පා ඇඟිලි සිරුර දෙසට නවන්න. කෙණ්ඩා ප්‍රදේශය හොඳින් සම්බාහනය කරන්න.

අධික වේදනාවක් පවතින අවස්ථාවකදී වෛද්‍ය උපදෙස් ලබාගැනීම වඩාත් නුවණට හුරුය.

මේ වන විට සාමාන්‍යයෙන් ගැබිනි මවකගේ බර රාත්තල් 19ක් 20ක් පමණ ප්‍රමාණයකින් වැඩි වී  තිබිය හැකිය. BMI අගය නිවැරදි මට්ටමේ පවතී නම් කිසි විටෙකත් අනෙක් බර තත්ත්වයන් පිළිබඳව සැලකිලිමත් විය යුතු නැති අතරම ඕනෑම මවකට බරෙහි යම් ගැටලූවක් පවතී නම් ඒ සඳහා අවශ්‍ය උපදෙස් වෛද්‍යවරයා ලබා දෙනු ඇත.

අම්මෙක් වෙන්න යන ඔබ දත යුතු  ”ගැබිනි මව රෝහල් ගත විය යුතු හදිසි අවස්ථා”

ගැබිනි සමයේ ඇති විය හැකි නොයෙකුත් හදිසි අවස්ථා පිළිබවඳ දැනුවත්ව සිටීම මගින් යම් අනතුරක් සිදුවීමට පෙර එය අවම කර ගැනීමට අවශ්‍ය වටපිටාව සැකසේ. ඔබ තරයේ සිහි තබා ගත යුතු අනෙක් කැරණ නම් පහත දක්වා ඇති සෑම හදිසි අවස්ථවකදීම රෝහල් ගතවන විට ආහාර ගැනිමෙන් තොරව පැමිණිිම, ප්‍රතිකාර සඳහා වැදගත් වන බවයි. පරීක‍ෂණවලින් පසුව ගැටලූවක් නොවේ නම් ඔබට ආහාර ලබාගැනීමට අවසර ලැබේ.

යෝනි මාර්ගයෙන් තරල පිටවීම – දරුවා සිටින්නේ තරලය පිරි කුටීරයකයි. මෙම පටල බිඳී යාමක් සිදුවුවහොත් එම තරලය පිටවීමක් සිදුවිය හැක. එවැනි අවස්ථාවකදී පෙකෙනි වැල වුවත් යෝනි මාර්ගයෙන් එලියට ඒමට හැක. හැකි ඉක්මණින් රෝහල්ගත යුතුය.

යෝනි මාර්ගයෙන් රුධිරය පිටවීම – රුධිරය පිටවුවහොත් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍යය. වැදෑමහ පිහිටා ඇති ස්ථාන අනුව (placenta praevia) රුධිරය පිටවීම ආදිය ද සිදුවිය හැක. වැදමහ ගැලවීම (Abruption) මවටත් බිළිඳාටත් හානිදායක වන අතරම මේ තත්ත්වයන් හඳුනාගෙන, වළක්වාගැනීමට නම් මවක් සූදානමින් රෝහලට පැමිණීම ද වැදගත් වේ. ඒ සඳහා සනීපාරක‍ෂක තුවා ඇඳගෙන ඒම, යට ඇඳුම් ලා පාට ඇඳගෙන ඒමද වැදගත් වේ. රෝහලේ මව්වරුන් ඇතුළත් කරගැනීමේ කාමරයෙන්ම ඉක්මන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමටද එය වැදගත් වේ.

දරුවාගේ දැඟලීම – සාමාන්‍යයෙන් දරුවාගේ දැඟලීම පිළිබඳ අතීතයේදී සැලකිලිමත් වූයේ දිනකට 10 වතාවක් දැනිය යුතු ලෙසයි. දරුවාගෙන් දරුවාට චලනයන් වෙනස් වන නිසා මේ පිළිබඳව දැන් අවධානය යොමු කරනුයේ සාමාන්‍යයෙන් දරුවාගේ චලනය දැනෙන වාර ගණනට වඩා සැලකිය යුතු ප්‍රමාණයකින් දැනෙන වාර ගණන අඩු බවක් දැනෙන්නේ නම් ඒ පිළිබඳව සැලකිලිමත් වී වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බවයි. ඇතැම් විට මව යම් කාර්යයක නිතර වී සිටීම නිසා දරුවාගේ චලනයන් පිළිබඳ අවාධනය නොමැතිව යාමෙන් බියට පත් විය හැකිය. එවැනි කාර්යබහුල දිනයක් නම් සියලූ වැඩ නවතා පැයක පමණ කාලයක් පරීක‍ෂාවෙන් හිඳින්න. එවිටද දරුවාගේ චලනයන් ඔබට නොදැනේ නම් වහාම වෛද්‍ය උපදෙස් වෙත යොමු වන්න.

ප්‍රසූත වේදනා දැණුන වහාම – ගර්භාෂය සංකෝචනය වන විට ඇතිවන වේදනාව ප්‍රසූත වේදනාවයි. මෙය සැරෙන් සැරේ යම් කාල පරතරයක් ඇතිව පැමිණේ. මුලදී ඈතින් ඈතද පසුව ළඟ ළඟ ද එක් රටාවකට අනුව සංකෝචනය ඇති වේ. ඒ අතරතුරේ ගැබ්ගෙල විවෘත වී දරුවා පිටතට පැමිණේ. එමෙන්ම කොන්දේ සිට යටි බඩ දක්වා වේදනාවක් ද ශ්ලේෂ්මල සහිත රුධිරය ස්වල්පයක් පිටවීම ද සිදුවිය හැක. මෙවැනි වේදනාවක් දැණුන වහාම රෝහල් ගතවීම වැදගත් වේ.

පලමු දරුවා සීසර් සැත්කමකින් බිහි කළ මව්වරුන් – සීසර් සැත්කම් දෙකක් හෝ වැඩි ගණනකට මුහුණ දුන් මව්වරුන් මෙන්ම සීසර් සැත්කමකින් දරුවා බිහිකිරීමට සැළසුම් කළ මව්වරුන් ද ප්‍රසූත වේදනාව යම්තම් දැණුන විගස රෝහල් ගතවීම අත්‍යවශ්‍යය. මන්ද යම් යම් සංකූලතාවයන් ඇති වීම වළක්වා ගැනීම උදෙසා මෙවැනි මව්වරුන් ප්‍රසූතියේ මුලසිටම නිතර නිතර නිරීක‍ෂණය කළ යුතු බැවිනි.

තද උණක් ඇතිවීම – ඩෙංගු, ඉන්ෆලූවන්සා වැනි තත්ත්ව ගර්භණී මවකට ඇති වුවහොත් සාමාන්‍ය කාන්තාවකට එම රෝග ඇතිවීමට වඩා තත්ත්වය භයානක විය හැක. එම නිසා යම් රෝග තත්ත්වයක් තිබේද යන්න සොයා බැලීමට, රුධිර පරීක‍ෂණ ආදිය කළ යුතුය. නැති නම් පවුලේ වෛද්‍යවරයා හමුවී අවශ්‍ය උපදෙස් ලබාගන්න.

ස්වසන අපහසුවක් දැනීම – හොඳින් සිටින මවකට එකවර ස්වසන අපහසුවක් දැනෙන්නේ නම් රෝහල් ගතවීම වැදගත් වේ. හෘද වස්තුවේ හටගන්නා රෝග තත්ත්වවලදී මෙසේ පෙන්නුම් කළ හැකි නිසා ඉක්මන් ප්‍රතිකාරවලට යොමු කිරීමට රෝහල්ගත වීම වැදගත් වේ.

රුධිර පීඩනය වැඩි වු විට – අධි රුධිර පීඩනය සහිත කාන්තාවක් ගැබ් ගැනීම සහ ගර්භණිභාවයේ සංකූලතාවයක් ලෙස අධි රුධිර  පීඩනය ඇති වීම යන ලෙස තත්ත්වයන් දෙකක් පවතී. මේ සඳහා මව්වරුන්ට වෛද්‍ය ප්‍රතිකාර දීමෙන් තත්ත්වය පාලනය කරන අතරම පවුලේ වෛද්‍යවරයෙකුගේ රුධිර  පීඩනය මැන බලා ගැනීමටද උපදෙස් දෙනු ලැබේ. එම අවස්ථාවලදී රුධිර පීඩනය වැඩි බව හඳුනාගෙන රෝහල් ගතවීමට උපදෙස් දුන් විට එම අවස්ථාවේදීම රෝහල් ගතවිය යුතුයි. එමෙන්ම රුධිර පීඩනය වැඩි යැයි හඳුනාගත් මවක් නිවසේ සිටින විට තද හිසරදයක්, ඇස් බොඳ වීම, කණාමැදිරි එළියක් සේ දැනේ නම්, වමනය, මුහුණේ ඉදිමීමක් ඇතිවේ නම්, උදරයේ දකුණු පැත්තේ වේදනාවක් දැනේ නම් ඉක්මණින් රෝහල් ගතවිය යුතුයි. ඊට අමතරව  ලක්ෂණවලින් පසුව ගර්භ වලිප්පුව (Fit) ඇති විය හැක. එය වළක්වා ගැනීම සඳහා ඉක්මන් ප්‍රතිකාර කිරීමට රෝහල් ගතවීම වැදගත් වේ.

දියවැඩියාව ඇති ගර්භණී මවකගේ රුධිර ග්ලූකෝස් මට්ටම වැඩි වූ විට – දියවැඩියාව ඇති මවකට ලබා දෙන රුධිර ග්ලූකෝස් මට්ටම පරීක‍ෂා කිරීමේ පරීක‍ෂණ නියමාකාරයෙන් සිදු කිරීම ඉතා වැදගත්ය. ඖෂධ ප්‍රතිකාර, ඉන්සියුලින් ප්‍රතිකාර නිවැරදිව ගත යුතුයි. රුධිර ග්ලූකෝස් මට්ටම පරීක‍ෂා කිරීමට කරන රුධිර පරීක‍ෂා කර ගැනීමෙන් පසු එම වාර්තා ඊළග සායනය එන තෙක් බලා නොසිට වහාම වෛද්‍ය නිලධාරිවරයෙකුට පෙන්වා උපදෙස් ගැනීම වැදගත් වේ. දියවැඩියාව තියෙන අම්මාලාට සිහි නැතිව ගියොත් ආහාර ගෙන පසුව පරීක‍ෂාවන් සිදුකරන්න.

ගර්භණී මවක් වැටීමක් හෝ යම් අනතුරක් සිදු වූ විට ඇයට සිදු වී ඇති තත්ත්වය අනුව රෝහල් ගත වීම තීරණය කළ යුතුය.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here