ගැබිනි සමයේ විසිහතරවන සතිය

Week-24
චූටියාගේ කාමරේ

චූටියා එනකන් බලන් ඉන්න අම්මට එයා වෙනුවෙන් අවශ්‍ය දේවල් සූදානම් කරන්න ආසාව ඇති වුණේ කුසට චූටියා අපු දවසේ ඉඳලමයි. ඒත් අම්මාට දැණුනු අපහසුතා එක්ක ඒ දේවල් වෙනුවෙන් වෙන් වෙන්න හැකියාවක් තිබුණේ නෑ. එහෙම නේද? ඒකට කමක් නෑ. අම්මට වෙලාව මදි වෙන්නේ නෑ. චුටියාගේ තාත්තත් එක්කත් කතා කරලා චූටියා ආවම ඉන්න කාමරය තීරණය කරන්න. හොඳට වාතාශ්‍රය වගේම එළිය චූටියට අත්‍යවශ්‍යයි. ඒ නිසා ඒ වටපිටාව තෝරාගන්න කාමරය තුළ තිබිය යුතුමයි. තෝරගනිපු කාමරයේ බිත්ති පාට පාට මල් අලවලා ලස්සනට නිර්මාණශීලී විදියට සරසන්න අම්මටයි තාත්තටයි පුළුවන්.

ගැබිනි සමයේ විසිහතරවන සතිය

ඉතා සීග්‍රයෙන් සවිමත්ව වැඩෙන ඔබේ බිළිඳා මේ වන විට ග්‍රෑම් 600ක් පමණ බරින් යුතුවේ. හිසේ සිට පාදාන්තය දක්වා උස සෙන්ටිමීටර් 30ක් පමණ වේ. බිළිඳාගේ සිරුර මේ වන විට සිහින් වුවද ඉදිරියේදී සිරුරට පිරුණු බවක් එක්වේ. දිවෙහි රස නහර වර්ධනය වීම තවදුරටත් සිදුවෙමින් පවතී. මොළය ඉතා ඉක්මණින් වර්ධනය වන අතරම මතක තබා ගැනීමේ හැකියාව පවත්වා ගැනීමට මෙන්ම කල්පනාකාරී බව ඇති කිරීමට අවශ්‍ය මොළයේ සෛල මෙන්ම ඇතුළු කන ද මේ වන විට වර්ධනය වී අවසන්.

මේ වන විටත් බිළිඳාට ඇත්තේ විනිවිද පෙනෙන සමක් වුවද ඉදිරියේදී ඉතා ඉක්මණින් ඒ තත්ත්වය වෙනස් වනු ඇත. බිළිඳාගේ හිස කෙස් සුදු පැහැතිය. මන්ද මේ වන විටත් වර්ණක සැකසී නොමැති නිසාය. එක් එක් රෝග තත්ත්වයන්ගෙන් සහ ආසාදනවලින් වැළකීමට අවශ්‍ය සුදු රුධිරාණු නිපද වීම මේ වන විට ආරම්භ වී ඇත.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

බිළිඳාගේ චලනයන් මේ වෙද්දී බොහොම තදින් ඔබට දැනෙනවා ඇති. එය බොහොම සාමාන්‍ය තත්ත්වයක්. ඔබේ හොඳ අවධානයක් මේ කෙරේ යොමු වුවොත් මේ චලනයන්ගේ යම් රටාවක් ඔබට හඳුනාගත හැකියි. එනම් බිළිඳා නිදිබර ගතියෙන් සිටින අවස්ථා නින්දෙන් ඇහැරී ඉතා ප්‍රබෝධයෙන් සිටින අවස්ථාව ඔබට හඳුනා ගත හැකියි. ඔබට සමහර විට පුදුම හිතෙයි, සෑම බිළිදෙක්ම මවගේ කුස තුළ නිදාගන්න බව නම් සත්‍යයක්. මේ අත්දැකීම් මගහැරගන්න නම් එපා. ප්‍රසුතියෙන් පසුව ඔබට ඒ දේවල් දැනෙන්නේ නැති නිසා.

මේ කාලය වන විට යෝනි මාර්ගයෙන් යම් ශ්‍රාවයක් වැඩි වශයෙන් පිටවන්නේ නම් ඒ පිළිබඳව කලබල විය යුතු නැහැ. මේ තත්ත්වය බහුතරයක් කාන්තාවන්ට ඇති විය හැකියි. මේ ගැබිනි සමයේ හෝමෝන වෙනස් වීම මත මෙන්ම සිරුරේ රුධිර පරිමාව ඉහළ යාම නිසා ඇති විය හැකි තත්ත්වයක්. මෙසේ පිටවන ශ්‍රාවය අවර්ණ දුර්ගන්ධයකින් තොර නම් කලබල විය යුතු නැත.

මේ සතිය වන විටත් පසුගිය ලිපි හරහා සාකච්ඡා කෙරුණ පරිදි යම් දේවල් අමතක වී යන තත්ත්වය ඔබට දැනෙනවා ඇති. ඒ වගේම කෙණ්ඩා පෙරලීම, නින්ද නොයෑම, නාසයේ තදබදය, අධික කුසගින්න, විටින් විට මුත්‍රා පිටකිරීමේ අවශ්‍යතාවය ඇතිවිම යන තත්තත්වයන්ද ගැබිනි සමයේ ඉතාම සාමාන්‍ය තත්ත්වයන් වේ.

මේ වන විට ඔබේ බර රාත්තල් 17ක් පමණ වන තෙක් වැඩිවී තිබිය හැකි අතරම BMI  දර්ශකයට අනුව බර පැවතීම ප්‍රමාණවත් වේ.

අම්මෙක් වෙන්න යන ඔබ දත යුතු  ”ගැබිනි සමයේ ශරීර සුවතාවය සහ ව්‍යායාම”

ගැබිනි සමයේ මනා සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීමට ව්‍යායාමත් අවශ්‍ය බව ඔබ දන්නවා නේද? බොහොමයක් මව්වරුන් මනා සෞඛ්‍යයක් පවත්වා ගැනීම උදෙසා ව්‍යායමවල ඇති වැදගත්කම දැන සිටියද ගැබ් ගැනීමත් සමගම සිරුරට දැනෙන අපහසුතාවයන් හා අලස බව හේතුවෙන් තම ක්‍රියාශීලී දිවි පෙවෙතෙන් දුරස් වනු ඇත. ගැබිනි මවක් ව්‍යායාමවල නිරත වීමෙන් මානසික සුවයක් මෙන්ම ප්‍රසූතියෙන් පසු සිරුරේ හැඩය ඒ ආකාරයෙන්ම පවත්වාගැනීමට හැකියාව ලැඛෙනවා පමණක් නොව ගැබිනි සමයේ ඇති වන කොන්දේ වේදනාව මෙන්ම සන්ධි වේදනාවන් වළක්වා ගැනීමට හැකියාව ලැබේ. එසේම උදර මාංශපේෂිවල යහ පැවැත්මටද ව්‍යායාම මගින් විශාල සහයෝගයක් හිමිවේ. එසේම දරු ප්‍රසූතිය සඳහා සිරුර හැඩගැසීමටද ව්‍යායාමවල නිරත වීම වැදගත් වේ. නමුත් ඔබ යම් රෝග තත්ත්වයෙන් පෙලේ නම් ව්‍යායාමවල යෙදීම පිළිබඳව වෛද්‍ය උපදෙස් ලබාගත යුතුවේ.

  • ගැබිනි මවට කළ හැකි සරල ව්‍යායාම ලෙස ඇවිදීම, පිහිනීම සේම සුදුසුකම්ලත් පුහුණුකරුවෙකු යටතේ ඇරොබික් ව්‍යායාමවල වුවද නිරත වීමට ඔබට හැකියි
  • යෝනි මාර්ගය අවට මාංශ පේෂින් හකුළුවා තත්ත්පර 10ක් පමණ ගතවූ පසු නැතව ලිහිල් කිරීම හෙවත් කීගල් ව්‍යායාමය මගින් යෝනි මාර්ගය අවට සවිමත් කරගැනීමට හැකිවන අතරම එය ගැබිනි මවකට ඉතා වැදගත් ව්‍යායාමයකි. මෙය ඕනෑම ඉරියව්වක හිඳ නිරත විය හැකි පහසු මෙන්ම ප්‍රයෝජනවත් ව්‍යායාමයකි. මෙම ව්‍යායාමයේ නිරත වීම ගැබිනි කාලයේ පමණක් නොව ජීවිතයේ ඕනෑම කාලයකදී ප්‍රයෝජනවත් වනු ඇත

ව්‍යායාමයේ පියවර

  • දෑස් පියා උඩු අතට දිගාවන්න
  • මාංශ පේශීන් තද කරන්න
  • තත්ත්පර 10 පමණ හිඳ ඒවා ලිහිල් කරන්න

ගැබිනි මවට කීගල් ව්‍යායාමය වැදගත් වන්නේ

  • ප්‍රසූත වේදනාව දරාගැනීමට
  • ප්‍රසූතියෙන් පසු ඇති වන මානසික ආතතිය දරා ගැනීමට
  • ප්‍රසූතියේදී යොදන කැපුම් ඉක්මණින් සුව වීමට

චූටියාගේ කාමරේ

චූටියා එනකන් බලන් ඉන්න අම්මට එයා වෙනුවෙන් අවශ්‍ය දේවල් සූදානම් කරන්න ආසාව ඇති වුණේ කුසට චූටියා අපු දවසේ ඉඳලමයි. ඒත් අම්මාට දැණුනු අපහසුතා එක්ක ඒ දේවල් වෙනුවෙන් වෙන් වෙන්න හැකියාවක් තිබුණේ නෑ. එහෙම නේද? ඒකට කමක් නෑ. අම්මට වෙලාව මදි වෙන්නේ නෑ. චුටියාගේ තාත්තත් එක්කත් කතා කරලා චූටියා ආවම ඉන්න කාමරය තීරණය කරන්න. හොඳට වාතාශ්‍රය වගේම එළිය චූටියට අත්‍යවශ්‍යයි. ඒ නිසා ඒ වටපිටාව තෝරාගන්න කාමරය තුළ තිබිය යුතුමයි. තෝරගනිපු කාමරයේ බිත්ති පාට පාට මල් අලවලා ලස්සනට නිර්මාණශීලී විදියට සරසන්න අම්මටයි තාත්තටයි පුළුවන්.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here