ගැබිනි සමයේ විසිතුන්වන සතිය

Week-23
අම්මට පුළුවන් චූටියාට ලියුමක් ලියන්න… එයා දුවෙක් නම් අම්මෙක් වෙන්න යන දවසට ඒ ලියුම එයාට බොහොම ආදරණීය තෑග්ගක් වේවි….එයා පුතෙක් වුණොත් තාත්තෙක් වෙන්න යන දවසට බිරිඳ ආදරෙන් රැකගනීවි..

ආදරය අපි කාටත් සතුටින් ජීවත් වෙන්න උගන්නනවා. ආදරය නැති තැනක සුන්දරත්වයක් නැහැ. චූටියා එන්නේ ආදරය පිරුණු ලෝකෙකට. ඉතිං එයා කුස තුළ වැඩෙද්දි අම්මට එයා නිසා ලැබුණු අත්දැකීම් කඩදාසියකට ගන්න පුළුවන් නම් ඒකේ වටිනකම කියන්න බැරි තරම්. දරුවෙකු මේ ලෝකෙට බිහිකරන්න යන ගමනේදී මව්පියන් ලබන අත්දැකීම් එයාලා මව්පියන් වෙනතුරුම දන්නෙ නැහැ. අන්න ඒ නිසයි අද දරුවෝ හෙට මව්පියන් වුණාට පස්සේ තමන්ගේ මව්පියන් ගැන ගෙදර ඉන්න කාලෙදි හිතේ ඇතිවුණු තරහ ගැන වගේම මව්පියන් එක්ක ඇති වුණු අඩදබර ගැන පවා පසුතැවෙන්නේ. ඒක බොහොම සාමාන්‍ය දෙයක්. ඒත් අපි චූටියට නම් කියමු මේ හැමදේම ගැන කලින්ම.

ගැබිනි සමයේ විසිතුන්වන සතිය

දැන් බිළිඳාගේ උස සෙන්ටිමීටර් 28.9ක් පමණ වන අතරම බර ග්‍රෑම් 501 පමණ වෙනවා. දැන් එයා අත පය විසිකරන්නේ හරියට නර්තනයකදී වගෙයි. හරිම නොසන්සුන්. ඒ නිසාම බිළිඳාගේ  මේ චලනයන් හොඳින්ම මවට දැනෙනවා. මේ වන විට පෙනහලුවල ඇති රුධිර නාලිකා වර්ධනය වෙමින් හුස්ම ගැනීම සඳහා සූදානම් වීම සිදු වෙනවා. ඒ වගේම බාහිර ලෝකයට සුදුසු පරිදි ඇසීමේ හැකියාව තව තවත් වර්ධනය වෙන අතරම විශාල ශබ්ද දැන් බිළිඳාට හුරුපුරුදුයි. නිවසේ සිටින බල්ලාගේ බුරන හඬ, වාහනයේ නලා හඬ, පොල් ගෙඩියක් බිඳින හඬ මවගේ කුස තුළ වැඩෙන මේ බිළිඳාට හොඳින් ඇසෙනවා.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටික ටික් වෙනස් වෙනවා

මේ වෙද්දි දරුවාගේ චලනයන් වෙනදාටත් වඩා හොඳින් මවට දැනෙනවා. ඔබේ කුස ඒ මේ අතට ගමන් කරන් ආකාරයත් ඔබට දැකගත හැකියි. පුංචි අත්පා දිගු කිරීම නිසා උදරයේ හැඩය වෙනස් වෙන අකාරයත් ඔබ දකීවි. මේ අපූර්වතම අත්දැකීම අත්විඳින්න පුළුවන් අම්මෙක්ටම විතරයි.

මේ වෙද්දී හැකි තරම් විවේකයෙන් කාලය ගත කරන්න අවශ්‍ය වටපිටාව සකසාගන්න. ඔබේ උදරය විශාල වීම වගේම කෙණ්ඩා පෙරලීම, නිතර නිතර මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාවය ඇතිවීම, මානසික ආතතිය, ඔබේ නින්දට බාධා ඇති කරයි. ඒ විතරක් නෙවෙයි ඔබ පළමු වරට මව්පදවිය ලබන කාන්තාවක් නම් දරුවාගේ වැඩකටයුතු ඉටු කිරීම ගැන වගේම හොඳ අම්මා කෙනෙක් වෙන්න පුළුවන් වෙයිද කියන එක ගැනත් හිතේ දෙගිඩියාවක් පවතීවි. ඒ වගේම තවත් දරුවෙක් සිටින මවක් නම් ඒ දරුවාට යම් අඩුපාඩුවක් සිදුවෙයිද තම නංගී හෝ මල්ලී වැඩිමහල් දරුවා කෙසේ පිළිගනීද යන ගැටලූ ඇති විය හැකියි. මෙය සෑම කාන්තාවකටම මේ අවස්ථාව තුළ ඇති වන තත්ත්වයක්. නමුත් මේ පිළිබඳව දුක්වීම කිසිසේත්ම අවශ්‍ය නොවේ. හොඳ සැලසුමක් අනුව සැමියාගේ සහයෝගයෙන් සියලූ කාර්යයන් සාර්ථකව ඉටු කරගැනීමට ඔබට හැකි වනු ඇත. ගැබිනි සමයේ හෝමෝන වෙනස් වීමත් සමගම ඇති වන මේ සිතුවිලිවල දෝලනය දරු ප්‍රසූතියත් සමගම තුරන්ව යන නිසා ඔබ මෙවැනි වූ ගැටලූකාරී මානසිකත්වයට් දිගින් දිගටම පවතින්නේ නැත. සතුටින් ඔබේ ගර්භණී සමය ගත කරන්න.

මේ වෙද්දී මවගේ බර රාත්තල් 15ට වැඩියි. මේ සතිය තුළ ඔබේ බර තවත් වැඩි වෙන අතරම එම වැඩිවීම කාන්තාවගෙන් කාන්තාවට වෙනස් වේ. BMI  දර්ශකයට අනුව ඔබේ බර නියමිත තත්ත්වයේ පවතී නම් ඒ පිළිබඳව කණස්සලූ වීම අවශ්‍ය නොවෙන අතරම බරෙහි යම් වෙනසක් පවතින මව්වරුන්ට මේ වන විටත් ඒ පිළිබඳ අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලැඛෙනු ඇත.

අම්මෙක් වෙන්න යන ඔබට වැදගත්  ” රීසස් සාධකය හෙවත් Rh negative ”

අපේ රුධිරය, වර්ග නැතිනම් ගණ හතරකින් යුක්තය. ඒ A, B , AB  සහ O ලෙසයි. මෙම රුධිර ගණවල  රීසස් නම් සාදකය තිබේ නම් එය Rh  ධන ද රීසස් සාධකය නැති නම් එය Rh ඍණ ද වෙයි. රුධිර පාරවිලයනයේදී නිවැරදි රුධිර ඝනය සහිත රුධිරය ලබානොදීමෙන් ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳව ඔබ මේ වන විටත් දැනුවත් ඇති.

ගර්භණී සමයේ කලලයේ සහ මවගේ රුධිර ගන නොගැලපීම නිසා ඇති විය හැකි සංකූලතා කිහිපයකි. මෙයින් බහුලවම ඇති වන ගැටලූව නම් Rh  ඍණ සංඝටකය නිසා ඇති වන සංකූලාතායි. මීට අමතරව අනෙක් රුධිර ගන නොගැලපීමෙන් ද යම් යම් සංකූලතා ඇති විය හැකිය. මේ නිසා සෑම ගර්භණී මවකගේම රුධිර ගනය සහ Rh සාධකය පිළිබඳව පළමු සායනයේදීම පරීක‍ෂාවට ලක්කෙරෙන්නේ කලලයට ඇති විය හැකි අවධානම් තත්ත්වය නිසයි.

එසේ වීමට හේතුව Rh සංඝටකය ඍන මව්වරුන්ගේ සාමාන්‍යයෙන් Rh  සංඝටකයට විරුද්ධව ප්‍රතිදේහ මවගේ රුධිරයේ නොමැති අතර එවැනි මව්වරුන් මේ තත්ත්වය සඳහා සංවේදීකෘත නොවන (Unsensitized) මව්වරුන් වේ. නමුත් Rh ධන සංඝටකයට මෙවැනි මව්වරුන්ගේ රුධිරයට එක් වුවහොත් ඊට විරුද්ධව ප්‍රතිදේහ ජනක නිපදවයි. එවැනි මව්වරුන් මේ තත්ත්තවයට සංවේදීකෘත (sensitized) මව්වරුන් වේ. මේ තත්ත්වය ඇති විය හැකි අවස්ථා දෙකක් ඇති අතර ඒවා නම්,

  • නොගැලපෙන රුධිර පාරවිලයනයකදී Rh ඍන පුද්ගලයෙකුහට Rh සාධකය ධන රුධිරය ලබාදීමකදී
  • RH සාධකය ඍණ ගැබිනි මවකගේ කලලයේ Rh සාධකය ධන වී එහි රුධිරය මවට ගමන් ගැනීමේදී

ප්‍රසූතියේදී දරුවාගේ හා මවගේ රුධිරය එක්වීම නිසා යම් යම් සංකූලතා ඇති විය හැකි බැවින් එසේ සංවේදීකෘත (sensitized) මව්වරුන් අවධානම් මව්වරුන් ලෙස හඳුන්වයි. එනම් Rh සාධකය ඍන මවකට Rh සාධකය ධන කලලයක් පිළසිඳ ගතහොත් මවගේ රුධිරයේ ඇති ප්‍රතිදේහ වැදැමහ හරහා කලලය වෙත ගමන් කිරීම නිසා කලලයේ රතු රුධිරාණු විනාශ වීමෙන් ඇති වන රක්තහීනතා තත්ත්වය හේතුවෙන් තත්ත්වය දරුණු වී කලලය කුස තුළම මිය යා හැකියි.

වළක්වා ගැනීමේ ක්‍රම

අන්න ඒ නිසාම සෑම ගැබිනි මවක්ම රුධිර ගන පරීක‍ෂාවට යොමු කෙරෙන අතරම එහිදී Rh සාධකය ඍන මව්වරුන් රුධිරයේ ප්‍රතිදේහ ඇත්දැයි සොයා බැලීමට අවශ්‍ය පරීක‍ෂණ කරා යොමු කෙරේ. මෙවැනි මව්වරුන් පළමු මාතෘ සායනයේදී සහ ගැබිනි සමයේ 28 වන සතියේදී අවස්ථා දෙකකදී පරීක‍ෂාවට ලක් කෙරේ. සති 28දීත් ප්‍රතිදේහ නොමැති නම් එවැනි මව්වරුන් මේ තත්ත්වයට සංවේදීකෘත නොවන (Unsensitized) මව්වරුන් ලෙස සැලකේ. ඒ නිසා කලලයට කිසිදු බලපෑමක් නොමැත.

කෙසේ වුවද ගර්භණී සමය තුළ කලලයේ රුධිරය මවගේ රුධිරයට ඇතුළුවීමේ ඉඩකඩ ඇති බැවින් ඒ තත්ත්වය ප්‍රතිදේහ නිපදවීමට බලපෑ හැකියි. ඒ අවස්ථාවේදී සති 28ත් 34ත් කාලය තුළ මව්වරුන්හට ඇන්ටි ඩී (Anty  – D) ඖෂධය වෛද්‍යවරුන් විසින් එන්නත් කරයි. එපමණක් නොව දරු ප්‍රසූතියෙන් පසුව ළදරුවාගේ රුධිර ගනය පරීක‍ෂා කිරීමෙන් අනතුරුව එහි Rh  සාධකය ධන නම් මවට නැවත ඇන්ඩි ඩී (Anty  – D) එන්නත ලබාදීම සිදු කෙරේ.

සංවේදීකෘත මව්වරුන්

ඇතැම් මව්වරුන් මේ තත්ත්වය පිළිබඳව පෙර සිටම දන්නා අය විය හැකි අතරම ඇතැම් මව්වරුන් ගැබ් ගැනීමෙන් අනතුරුව යොමුවන රුධිර පරීක‍ෂණ හරහා දැනුවත් වන අයයි. එසේම මෙවැනි මව්වරුන්ගේ සැමියාගේ තත්ත්වය ද පරීක‍ෂාවට ලක්කෙරේ. සැමියාගේ Rh සාධකය ඍන නම් කිසිදුවිටෙක Rh සාධකය ධන කලලයක් පිළිසිඳ ගත නොහැකි නිසා කලලයට හානියක් සිදු නොවේ. නමුත් Rh සාධකය ධන කලලයක් ඇති වුවහොත් එය ගැටලූකාරී තත්ත්වයකි.

එසේම මවගේ පවතින ප්‍රතිදේහ ප්‍රමාණය කොපමණදැයි පරීක‍ෂා කිරීම සඳහා මව්වරුන් මසකට වරක් විශේෂිත පරීක‍ෂණ වෙත යොමු කරයි. ප්‍රතිදේහ ප්‍රමාණය අවම මට්ටමට පත්වන තෙක් පරීක‍ෂණ සිදු කරයි. එතැන් පටන් කලල මොළය හා සම්බන්ධව සිදුකෙරෙන ඩොප්ලර් පරීක‍ෂණය හරහා රුධිරගත හිමොග්ලොබින් ප්‍රමාණය 100%ක්  නිවැරදිය දැනගත හැකියි. එය අවම මට්ටමට පත්වන තෙක් ස්කෑන් පරීක‍ෂණ සඳහා මව්වරුන් යොමු කෙරේ.

රුධිරගත හිමොග්ලොබින් ප්‍රමාණය අවම මට්ටමට වඩා අඩු වූ විට,

  • කලලයට සති 34ට වැඩි නම් දරු ප්‍රසූතිය සිදුකරන අතරම බිහි වූ පසු දරුවාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදේ
  • කලලයට සති 34ට අඩු නම් ගර්භාෂය තුළදීම රුධිර පාරවිලයනය සිදුකරයි. (මේ පිළිබඳව වැඩිදුර විස්තර හා දැනුවත් කිරීම් ඉදිරි ලිපියකදී බලාපොරොත්තුවන්න)

මෙසේ බිහිවුණු දරුවන්ගේ රුධිරයට ප්‍රතිදේහ ඇතුළු වී ඇති අතරම ප්‍රසූතියෙන් පසුද යම් යම් බලපෑම් ඇති විය හැකිය. එවන් දරුවන්ට උපතින් පසු කහ පැහැ වීම, රුධිර පාරවිලයනය මෙන්ම ප්ලාස්මාව මාරු කිරීම වැනි තතත්වයන්ට මුහුණ දීමට සිදු විය හැකිය. නිවැරදි ප්‍රතිකාර නොලැබුණහොත් මෙවැනි තත්ත්වයකට මුහුණ දුන් දරුවෙකුට වර්ධනයත් සමගම බුද්ධි වර්ධනය අඩාල වීම (යමක් වටහා ගැනීමේ අපහසුව), ඇවිදීමේ අපහසුව, ශ්‍රව්‍ය ආබාධ වැනි තත්ත්වයන්ට මුහුණ දීමට ද සිදුවිය හැකිය.

මේ තත්ත්වයට අමතරව ඇති විය හැකි වෙනත් රුධිර නොගැලපීම් අවස්ථා

සාමාන්‍යයෙන් බහුලවම දැකගත හැකි තත්ත්වය වන්නේ Rh සංඝටකය හේතුවෙන් ඇති වන ගැටලූ වුවද ප්‍රධාන රුධිර ගන හතරෙහි නොගැලපීම් නිසා ඇති වන සංකූලතාවයන් මෙන්ම කලාතුරකින් ඇති විය හැකි අනෙක් රුධිර ගන අතර නොගැලපීම් නිසා ඇති වන සංකූලතාවයන්ද දැකිය හැකිය.එවැනි තත්ත්වයන් හඳුනා ගැනීමට අවශ්‍ය පරීක‍ෂණ වෙත අවධානම් මව්වරුන් යොමු කෙරේ.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here