ගැබිනි සමයේ විසිදෙවන සතිය

Week-22
චූටියා ඇහැරුණු වෙලේ ඉඳලම බලාගෙන ඉන්නේ අම්මාගේ කටහඬ ඇහෙනකං

චූටියා එක්ක කතා කරන්න දවසේ වේලාවක් වෙන් කරනගන්න අම්මට පුළුවන්. ඒත් චූටියා නම් හිතෙන හිතෙන වෙලාවට බණ්ඩියට තට්ටු කර කර අම්මට කතාකරාවි. ඒ වෙලාවටත් අම්මාගේ ප්‍රතිචාරය එයාට වැදගත් වෙනවා. දවසේ පුංචි වෙලාවක් වෙන්කරගෙන චූටියා එක්ක කතාකරන්න, සින්දු කියන්න, පුංචි කතාවක් කියන්න වගේම අම්මාගේ දවස එයා එක්ක ගෙවුණු හැටි කියන්න අම්මට පුළුවන්. කුස පිරිමදිමන් චූටියා එක්ක කතා කරද්දි කුසේ වැඩෙන අවධියේ ඉඳලම එයා අම්මා එක්ක ලොකු බැඳීමක් ඇති කරගන්නවා. ඒ වගේම මේ වැඩේට චූටියගේ තාත්තත් සම්බන්ධ කරගන්න පුළුවන්. තාත්තාගේ කටහඬ ඇහෙද්දිත් චූටියට ලොකු සතුටක් දැනේවි. ආදාරය ආරක‍ෂාව වගේම ඔයාලා දැකගන්න නොඉවසිල්ලකුත් එයාගේ හිතට දැනෙයි.

ගැබිනි සමයේ විසිදෙවන සතිය

ඔන්න දැන් නම් කුස තුළ වැඩෙන ඔබේ දරුවාට සිඟිත්තෙකුගේ පෙනුම ලැබිලා. දැන් එයාගේ බර ග්‍රෑම් 430 විතර වෙනවා. ඒ වගේම හිසේ සිට පාදාන්තය දක්වා උස සෙන්ටිමීටර 27ග8ක් පමණ වෙනවා. බිළිඳාගේ තොල්, ඇහි බැම, ඇහි පිය මේ සතිය වන විට ඉතා හොඳින් වර්ධනය වී ඇති අතරම විදුරු මස් ඇතුළත දන්ත මූලයන් ඇති වීමද මේ වන විටත් සිදුවෙනවා. ඇස් හොඳින් සස් වී තිබුණද මේ වන තුරුත් කළු ඉංගිරියාවේ වර්ණක සැකසී නැත. මේ වන විටත් බිළිඳාගේ සිරුරේ උණුසුම හා රැකවරණය සඳහා උපකාර වන සිනිදු රෝම දැක ගත හැකියි. ඒ වගේම සම මත ඇති රැලි මේදය තැම්පත් වීමත් සමගම ඉවත්ව යනු ඇත. බිළිඳු කුස තුළ අග්න්‍යාෂයේ අත්‍යවශ්‍ය හෝමෝන නිපදවීම සඳහා අවශ්‍ය වටපිටාව ක්‍රම ක්‍රමයෙන් සැකසෙමින් පවතී.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටික ටික් වෙනස් වෙනවා

දැන් අම්මාගේ සිරුර වෙනදාට වඩා ප්‍රසාරණයට ලක්වෙලා කිව්වොත් නිවැරදයි. උදරය, පියයුරු, කළවා වගේම තට්ටම් ප්‍රදේශය මේ අතරින් විශේෂිතයි. ඒ වගේම තමයි මේ කාලය ඇතුළත සිරුර පුරා ගමන්කරන රුධිර ප්‍රමාණය වැඩි නිසා වගේම හෝමෝන නිසාත් ඔබේ සමට දීප්තිමත් බවක් එක්වෙනවා. ඒත් මේ තත්ත්වය හැම ගැබිනි මවක් තුළම දැකගත නොහැකියි.

ඒ විතරක් නෙවෙයි සම ආශ්‍රිත තවත් ගැටලූ මේ කාලය තුළ ඇති විය හැකියි. සම වියළීම, නැතිනම් සමෙහි තෙල් ගතිය අධික වීම වගේම ඇක්නි ඇතිවීමද ඒ ගැටලූ අතරට අයත් වෙනවා. ප්‍රසූතියෙන් පසු මේ තත්ත්වයන් බොහෝදුරට මගහැරී යනවා. ඔබට තෙල් සහිත සමක් ඇත්නම් කුරුළෑ තත්ත්වයන් නිසා ඔබ පීඩාවට පත් වනවා විය හැකියි. මේ සඳහා ඔබට සම පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබාගත හැකියි. ඇතැම් ගැබිනි කාන්තාවන් මේ කාලය තුළ සමේ අධික වියළි බව නිසා පීඩාවට පත්ව සිටිනවා. ඒ සඳහා ඔබට සමෙහි තෙතමනය රැකදෙන ආලේපනයක් භාවිත කළ හැකියි. ඔබ යම් ආපේලනයක් තෝරගන්නේ නම් ඒ සඳහා වෛද්‍යවරයාගෙන් අදහස් විමසීම වඩාත් සුදුසු වේ.

කොහොමද අම්මාගේ හිත? සතුටෙන්ද? දුකෙන්ද? වෙනදටත් වඩා වැඩිපුර අමතක වෙනවා නේද? මොනවා හරි සුළු දෙයක් ආහාරයට ගන්න ඔබ මුළුතැන් ගෙට ගියාට ඇයි ඔබ එතැනට ආවේ කියලා ඔබටම මතක නෑ. එහෙම නේද?. මේ තත්ත්වය අපි කලින් ලිපිවලත් සඳහන් කළා ඔබට මතක ඇති. ගැබිනි සමයේ බොහොම සාමාන්‍ය තත්ත්වයක් යැයි කීවොත් නිවැරදියි. මේ ගැන ඔබ බියට පත්වන්නට එපා. ඔබේ ඉදිරිය පිළිබඳව සිතන්න. ජීවිතයේ ලොකු වෙනසක් කරා යන ගමන් මගේ මෙවැනි තත්ත්වයන් සිදුවීම එක් අතකට සිතුවොත් පුදුමයකුත් නොවේ කියා ඔබටම සිතෙනු ඇති. ප්‍රසූතියත් සමගම මේ තත්ත්වය මගහැරී යනු ඇත.

ඔබට හිතාගන්න පුළුවන්ද? මේ වන විට රාත්තල් 15කින් පමණ ඔබේ බර වැඩි වෙලා. අපි කලින් සඳහන් කළ විදියටම මෙසේ බර වැඩි නොවුණු කාන්තාවන් පසුතැවිය යුතු නැත. වෛද්‍යවරයා විසින් යම් සංකූලතාවයක් පවතිනවා නම් හෝ ඔබට ප්‍රතිකාර අවශ්‍ය නම් අනිවාර්යෙන්ම ඔබට දැනුවත් කරන ඇත.

අම්මෙක් වෙන්න යන ඔබට වැදගත්  ”අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් වර්ග”

නවීන විද්‍යාවේ දියුණවත් සමග ගර්භාෂයේ තුළ වෙසෙන කලලය පිළිබඳ වැඩි අවබෝධයක් ලබා ගැනීමට ඇති ක්‍රම අතරින් කලලයට හානි වන බවට කිසිදු වාර්තාවක් නොමැති අල්ට්‍රා සවුන්ඩ් සකෑන් පරීක‍ෂණය ඉතා වැදගත් වේ. මේ හරහා ඔබ දැනුවත් වන්නේ ගැබිනි සමයේ සිදුකෙරෙන අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක‍ෂණය පිළිබඳවයි.

සති 11 – 14ත් අතර සිදු කෙරෙන ස්කෑන් පරීක‍ෂණය

සාමාන්‍යයෙන් ප්‍රසූතිය සිදුවන දිනය නිවැරදි නිර්ණය කිරීම සඳහා සති 11ත් 14ත් අතරදී මෙම ස්කෑන්  පරීක‍ෂණය සුදුකරයි. මේ පිළිබඳව පළමු ත්‍රෛමාසිකයේ දොළොස්වන සතියේදී අපි ඔබව දැනුවත් කරනු ලැබුවා.

ඇනෝමලි ස්කෑන් පරීක‍ෂණය

සාමාන්‍යයෙන් ගැබිනි මව්වරුන් වැඩි කොටසකගේ කලලය සාමාන්‍ය ආකාරයෙන් වර්ධනය වුවද 2%ක් පමණ මව්වරුන්ගේ සහජයෙන් උරුමවන බරපතල අසාමාන්‍යතා පැවතිය හැකිය. සියලුම අවයව සහ සමහර භ්‍රෑණ ව්‍යූහයන් පිළිබද විස්තරාත්මක අවබෝධයක් අල්ට්‍රා සවුන්ඩ් ස්කෑන් පරීක‍ෂණය හරහා ලබාගත හැකි අතරම  එමගින් අසාමාන්‍යතා හඳුනා ගත හැකි ප්‍රතිශතය 80% පමණ වේ. කෙසේ වුවද පරීක‍ෂණ සිදුකරනු ලබන වෛද්‍යවරයාගේ නිසි සුදුසුකම් නිවරුදි පරීක‍ෂණ වාර්තාවක් සඳහා ඛෙහෙවින්ම වැදගත් වේ.

සාමාන්‍යයෙන් ඇනෝමලි ස්කෑන් පරීක‍ෂණය සඳහා යොමුවීමට වඩාත් සුදුසු කාලසීමාව වන්නේ සති 18 -24 ත් අතර කාලසීමාවයි. මෙම ස්කෑන් පරීක‍ෂණය රජයේ සෑම රෝහලකදීම සිදු නොවුණද පහසුකම් සහිත ඇතැම් රෝහල්වල පුහුණුවලත් සුදුසුකම් සහිත වෛද්‍යවරු විසින් සිදු කරයි. මේ ස්කෑන් පරීක‍ෂණය සිදුකිරීම අත්‍යවශ්‍ය මව්වරුන් පහසුකම් සහිත රෝහල් වෙත යොමු කෙරේ. පෞද්ගිලක අංශයේ නම් සෑම රෝහලකම මේ ස්කෑන් පරීක‍ෂණය සඳහා පහසුකම් ඇත.

මෙහිදී කලලයේ පවතින අසාමාන්‍ය තත්ත්ව පිළිබඳ නිරීක‍ෂණය කෙරේ. වෙනත් රටවල උපතින් පසු ජීවත් විය නොහැකි මට්ටමේ අසාමාන්‍යතා පවතින කලලයන් ඉවත් කළද අපේ රටේ නීතියට අනුව කුමන අසාමාන්‍යතා හඳුනා ගත්තද දරු ගැබ ඉවත් කිරීමට අවසර නැත. නමුත් එසේ හඳුනා ගැනීම තුළින් යම් යම් ප්‍රතිකාර ක්‍රම සඳහා යොමුවීමට අවස්ථාව සැලසෙන අතරම ඒ පිළිබඳව පසුව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වේ. එසේම අසාමාන්‍යත පෙර සිට හඳුනා ගැනීම ප්‍රසූතිය සඳහා ද ප්‍රයෝජනවත් වේ.

කලල වර්ධනය මැනීම සඳහා වූ ස්කෑන් පරීක‍ෂණය

පෙර ලිපි හරහා ඔබව දැනුවත් කළ ආකාරයටම සංකූලතා ඇති මව්වරුන් සති 28, 32 සහ 36 දී මෙම ස්කෑන් පරීක‍ෂණයට යොමු කෙරන අතරම එහිදී කලලයේ වර්ධනය, කලලය වෙත ගමන්කරන රුධිර ප්‍රමාණය හා කලලය වටා ඇති තරල ප්‍රමාණය මැන බැලීම සිදුකරනවා.

වෛද්‍ය උපදෙස් අනුව මෙවැනි මව්වරුන් සති දෙකෙන් දෙකට ස්කෑන් පරීක‍ෂණය සඳහා යොමු කරනු ලබයි.

ඩොප්ලර් ස්කෑන් පරීක‍ෂණය

මෙම ස්කෑන් පරීක‍ණය හරහා මූලිකව සිදු කෙරෙන්නේ කලලය වෙත ගමන් කරන රුධිර ප්‍රමාණය මැන බැලීමයි. බොහෝ විය මෙය කලලයේ වර්ධනය මැන බැලීමට සිදුකරන ස්කෑන් පරීක‍ෂණය හා සමගම සිදු කරයි. කලල වර්ධනයේ ගැටලුකාරී තත්ත්ව ඇති අවස්ථාවලදී රුධිර ගමනාගමනය අවම වන අවස්ථාව හඳුනා ගැනීමට ඩොප්ලර් ස්කෑන් පරීක‍ෂණය උපකාරී වේ. එමගින් ඒ තාක් කලලයට ගර්භාශය තුළ වර්ධනය වීමට ඉඩ සැලැසේ.

මෙහිදි පෙකිණි වැල හරහා සැපයෙන රුධිර සැපයුම, කලල මොළයට ලැඛෙන රුධිර ප්‍රමාණය ද ඇතැම් අවස්ථාවලදී හෘද වස්තුවේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ද අවබෝධයක් ලබාගත හැකිය. මේ තත්ත්වයේ සිටින මව්වරුන්ට දිනපතා වුවද මෙම ස්කෑන් පරීක‍ෂණයට යොමු වීමට වෛද්‍ය උපදෙස් ලැබිය හැක.

මීට අමතරව ස්කෑන් පරීක‍ෂණ මගින් ළදරුවාට යම් රක්තහීනතා තත්ත්වයක් පවතීද වැදැමහේ පිහිටීම, ගැබ්ගෙලේ දිග ප්‍රමාණය අනුව නියමිත දිනට කලින් ප්‍රසූතිය සිදුවේද නැතිද යන්න, බහුභ්‍රෑණ අසාමාන්‍යතා (Twin to Twin Transfution syndrome) සහ කලලයේ පිහිටීම යන කරුණු පිළිබඳවත් මෙම ස්කෑන් පරීක‍ෂණය මගින් වෛද්‍යවරයාට අවබෝධයක් ලබාගත හැකි වේ.

අද වන විට ගැබිනි සමයේ බොහොමයක් සංකූලතා පිළිබඳව මේ ආකාරයෙන් දැනුවත් විය හැකිව ඇති අතරම දිනෙන් දින මෙවැනි පහසුකම් වඩා හොඳින් දියුණු තත්ත්වයට පත් වී කලල අවධියේ ඇති බොහොමයක් සංකූලතා සඳහා ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය පහසුකම් සැලසෙනු ඇත.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here