ගැබිනි සමයේ දහනවවන සතිය

Week-19
චූටියා හොඳට වැඩෙන්න නම් හොඳ පෝෂණයක් අවශ්‍ය බව අම්මා දන්නවා නේද?

අම්මට පුළුවන් පොඩි සටහනක් හදන්න, අම්මාගේ ආහාර වේල් ඇතුළත් කරලා. ඒ සටහන උදේ සවස පෙනෙන තැනකින් අලවගන්න. එතකොට ඔබට පුළුවන් මගහැරෙන්නෙ නැතිව ඔබේ පෝෂණයට අවශ්‍ය ආහාර වර්ග එක්කරගන්න. ඒ වගේම මේ කාලය තුළ ගැස්ට්‍රයිටීස් වගේම පපුවේ දැවිල්ල වැනි තත්ත්වයන් තියෙනවා නම් අම්මා ලබාගන්න ආහාර ගැන හොඳ සැලකිල්ලක් තියෙන්නම ඕනේ. අවශ්‍ය නම් අම්මට නුසුදුසු ආහාර වර්ගත් මේ සටහනට ඇතූලත් කරගන්න පුළුවන්. ඒ වගේම කොයිතරම් ආස හිතුණත් තමන්ට අගුණ වගේම ක‍ෂණික ආහාර වර්ගවලින් ඈත් වෙන්න පැටියට තියෙන ආදරේ නිසා අම්මට බැරිවෙන්නේ නෑ.

ගැබිනි සමයේ දහනවවන සතිය

දැන් ඔබේ දරුවාගේ හිසේ සිට තට්ටම දක්වා උස සෙන්ටිමීටර් 15.3 ක් පමණ වන අතර බර ග්‍රෑම් 240කට ආසන්නයි. මේ වන විට දරුවාගේ සංවේදක සංවර්ධනය වීම ආරම්භ වෙලා. දරුවාගේ මොළය සුවඳ රසය, පෙනීම සහ ස්පර්ශය යන සංවේදනයන් සඳහා අදාල තැන් හොඳින් සැකසිලා. එසේම අත් පා සිරුරේ ප්‍රමාණයට අනුපාතව වර්ධනයවී තිබේ. මේ වන විටත් වකුගඩු මගින් මුත්‍රා පෙරීම සිදු කෙරේ. හිසකේ සෙමින් සෙමින් වැඩෙන අතරම සමේ ආරක‍ෂාවට vernix caseosa ලෙස හැඳින්වෙන ඉටි වැනි වූ ආවරණය දරුවාගේ සම මත සැකසේ.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටික ටික් වෙනස් වෙනවා

මේ වෙද්දී ඔබේ ගර්භාෂය ඔබේ පෙකණියට යටින් පවතිනවා.  මීට පෙර සිරුරේ පැවතුණු සමබර බව ටිකක් අඩුවෙලා කියලා ඔබට හිතේවි. ඒ ඔබේ උදරය දිනෙන් දින විශාල වීමත් සමගම සිරුරේ ගුරුත්වාකර්ෂණ කේන්ද්‍රය වෙනස් වන නිසයි. මේ තත්ත්වය යටතේ ගමනේ බිමනේදී ඔබ සැලකිලිමත් විය යුතුමයි.

කොන්ඩේ වේදනාව මේ කාලය ඇතුළත ඉතාම සාමාන්‍ය තත්ත්වයක් බව පසුගිය ලිපිවලදී සාකච්ඡා වුණු බව ඔබට මතක ඇති. මේ තත්ත්වය යම්තාක් දුරකට හෝ මගහරවා ගැනීමට නම් ඔබේ ඉරියව්වල නිවැරදි බව ඛෙහෙවින් උපයෝගී වේවි. ඒ වගේම වෛද්‍ය උපදෙස් මත නිවැරදි ව්‍යායාම පිළිබඳ  අවධානය යොමු කිරීමත් මෙහිදී ඉතාම වැදගත් වනු ඇත.

ඔබේ වේදනාවට යම් පහසුවක් සලසාගන්න, මෙන්න මේ උපදෙස් ගැන අවධානය යොමුකරන්න.

හැමවිටම පැතලි පතුල් සහිත පාවහන් තෝරාගන්න

  • අධික බර එසවීමෙන් වළකින්. එවැනි අවස්ථාවකදී යමෙකුගේ සහාය පතන්න
  • දිගු වේලාවක් සිටගෙන සිටීමට සිදු වේ නම් අදාල අය සමග සාකච්ඡා කොට යම් පහසුවක් සලසාගන්න
  • නිදාගැනීමේදී දෙපා අතරට කොට්ටයක් තබාගනිමින් ඉරියව්ව පහසුකරගන්න
  • කොන්ද සම්බාහනය කරන්න

ගැබිනි සමයේ ව්‍යායාමවල යෙදෙනවා නම් ඊට ප්‍රථම ඔබට සුදුසු ව්‍යායාම පිළිබඳව දැනුවත් වීම ඛෙහෙවින් වැදගත් වේ. ව්‍යායාමවල නිරත වීම ගැබිනි සමයේදී ඇති වන අපහසුතා බොහොමයකට විසඳුම් ගෙනෙන අතරම ප්‍රසූතිය සඳහා සිරුර සකසා ගැනීමටද ඔබට මෙමගින් හැකියාව ලැබේ.

පළමු ත්‍රෛමාසිකයේ අවසන් භාගයේ පමණ සිට අත්දැකි හිස කරකැවිල්ල සහ අමතක වීමේ ස්වභාවය ඔබට මේ වනවිටත් යම්තාක් දුරකට පවතිනවා විය හැකියි. ඇතැම් මව්වරුන්ට මේ තත්ත්වය දෙවන ත්‍රෛමාසිකය වන විට මගහැරී ගියද ඇතැමුන්ට ප්‍රසූතිය දක්වාම පැවතිය හැකියි.

ඒ වගේම නාසයේ සිරවුණු ගතිය බහුතරයක් මව්වරුන් මේ කාලය වන විට මග හැරුණද ඇතැම් මව්වරුන්ට දහවල් කාලය තුළදී පමණක් එම අපහසුතාවයට මුහුණ දීමට සිදුවේ. නමුත් මව්වරුන් කිහිප දෙනෙකුට මුළු දවස පුරාම මේ තත්ත්වයට මුහුණ දීමට සිදුවේ. වෛද්‍ය උපදෙස් අනුව නේසල් ඩ්‍රොප් එකක් පාවිච්චි කරන්නට ඔබට හැකියි.

ගැබිනි මවගේ නින්දට බාධා පමුණවන කෙණ්ඩා පෙරලීම මේ කාලය වන විට ඔබට අත්කින්නට සිදුවන අලූත් තත්ත්වයකි. නමුත් මෙය ගැබිනි සමයේ සාමාන්‍ය තත්ත්වයකි. මෙතැන් සිට ප්‍රසූතිය තෙක්ම ඔබට මෙම අත්දැකීමට මුහුණ දීමට සිදුවනු ඇත. මෙවැනි අවස්ථාවකදී පාදය හො`දින් දිගහැර පාදයේ ඇඟිලි දණහිස දෙසට නවන්නට ඔබේ සැමියාගේ සහාය ලබාගන්න.

මේ වන විට ඔබේ බර රාත්තල් 11 – 12 අතර ප්‍රමාණයකින් වැඩිවී තිබිය හැකියි. එසේ නොමැති වූවද ඒ පිළිබඳව කණගාටුවට පත් විය යුතු නැත. මන්ද එක් එක් කාන්තාවගෙන් කාන්තාවට බර වැඩිවන ආකාරය වෙනස් විය හැකි බැවිනි. වෛද්‍යවරයා හෝ සායනය මගින් ඔබේ බර වැඩිවීම පිළිබඳව අවධානය යොමුකරන අතරම යම් අසාමාන්‍ය තත්ත්වයක් පවතී නම් ඒ පිළිබඳ ඔබව දැනුවත් කරනු ඇති.

අම්මෙක් වෙන්න යන ඔබ දත යුතු  ”කුස තුළදී බිළිඳාගේ වර්ධනය අඩාල වීම”

හැම අම්මෙක්ගේම පැතුම නිරෝගී දරු පැටියෙක්. ඒත් ඇතැම් මව්වරුන්හට ගර්භණී කාලයේදී නොයෙකුත් සංකූලතාවයන්ට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනය අඩුවීම අතරින් එකක්.

කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනය අඩුවීමේ අවදානම පවතින්නේ

පෙර ප්‍රසූතියේදී කිලෝ ග්‍රෑම් 2.5 අඩු දරුවෙකු බිහිවූ මව්වරුන්ට

  • දියවැඩියාව හෝ අධි රුධිර පීඩන තත්ත්වයෙන් පෙලෙන මව්වරුන්ට
  • වයස අවුරුදු 18 අඩු හෝ වයස අවුරුදු 40ට වැඩි මව්වරුන්ට
  •  අධි බර තත්ත්වයේ සිටින එනම් BM I අගය 30 වැඩි මව්වරුන්ට
  • සෟජුව හෝ වක්‍රව දුම්පානය කරන මව්වරුන්ට
  • අඩු බර සහිතව බිහිවූ මවක හෝ පියෙකු සිටි මව්වරුන්ට
  • දීර්ඝ කාලීනව යම් රෝග තත්ත්වයන් වෙනුවෙන් ප්‍රතිකාර ලබාගන්නා මව්වරුන්ට

ඉහත දක්වා ඇති අවදානම් තත්ත්වවල සිටින මව්වරුන් වෛද්‍ය උපදෙස් ලබාගනිමින් සති 16 ට පෙර ඇස්ප්‍රින් ඖෂධය ආරම්භ කළ යුතුය. ඊට අමතරව 28, 32, 36 කාලවලදී ස්කෑන් පරීක‍ෂණ මගින් කලලයේ වර්ධනය මැන බැලීම සිදුකෙරේ.

මෙසේ අවදානම් තත්ත්වයේ සිටින මව්වරුන් පමණක් නොව ඕනෑම මවක් මේ තත්ත්වයට පත්වීමට ඉඩ ඇත. ඒ නිසාම සති විසිහතරක් ගත වූ පසු මෙවැනි මව්වරුන් සායනයට සහභාගී වන සෑම අවස්ථාවකදීම ටේප් පටියක් ආධාරයෙන් කුස මැන බලයි. එහි යම් වෙනසක් වේ නම් එවැනි මව්වරුන් ප්‍රසව හා නාරිවේදී වෛද්‍යවරයෙකු වෙත යොමු කෙරේ. එහිදී මවට අවශ්‍ය ස්කෑන් පරීක‍ෂ කරා යොමු කෙරේ.

මේ ආකාරයට කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනය බාලවීමට බලපාන අවස්ථා කිහිපයකි.

  • මව හා පියා ප්‍රමාණයෙන් කුඩා වීම
    මෙය කිසිදු අසාමාන්ය තත්ත්වයක් නොවන අතරම මව සහ පියා ප්රමාණයෙන් කුඩා නම් ජානමය වශයෙන් දරුවාද කුඩා විය හැකිය.
  • බිළිඳාගේ අසාමාන්‍යතා
    මවට ඇති වූ ආසාදන හේතුවෙන් හෝ ජාන සම්බන්ධ අඩු පාඩු හෝ කායික දුර්වලතා පිළිබඳව මෙහිදී පරීකෂා කරන අතරම මෙවැනි දරුවන් විශේෂිත පරීකෂණ සඳහා ද යොමු කෙරේ.
  • දින සම්බන්ධව ඇති යම් ගැටලුවක් දැයි සොයා බැලීම
    11ත් 14 ස්කෑනරීෂණය සඳහා යොමු නොවූ මව්වරුන්ට මේ තත්ත්වය ඇති විය හැකියි.
  • වැදෑමහ හරහා කලලයේ වර්ධනයට අවශ්‍ය පෝෂණය හා ඔක්සිජන් ප්‍රමාණය ගමන් කිරීම අඩුවීම

මීට ඉහත ලිපිවල සඳහන් කළ පරිදි වැදමහ ගර්භාෂයට ඇලීමේදී ඇති වන යම් ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් කලලයට අවශ්‍ය පෝෂණය හා ඔක්සිජන් ප්‍රමාණය ගමන්කිරීම අවම වේ. එම නිසා මේ තත්ත්වයට පත්වන දරුවන් ප්‍රමාණයෙන් කුඩා වන අතරම ඇතැම්විට කුස තුළම මියයාමේ අවදානමක් ද පවතී. එබැවින් ප්‍රමාණයෙන් කුඩා දරුවන් සිටින විට මේ තත්ත්වය පවතීද යන්න පිළිබඳව සොයා බැලේ. ස්කෑන් පරීක‍ෂණ හරහා කලලය වෙත ගමන් කරන රුධිර ප්‍රමාණය සොයා බැලීම මගින් මේ තත්ත්වය හඳුනා ගත හැකිය. මෙවැනි තත්ත්වයකදී වෛද්‍යවරුන්ගේ ප්‍රධාන අරමුණ වන්නේ ලේ ගමනා ගමනය අවම මට්ටමකට පැමිණෙන තෙක් කලලයට කුස තුළ වැඩීමට ඉඩ ලබාදීමයි. නමුත්  කලලය වෙත ගමන් කරන රුධිර ප්‍රමාණය අවම මට්ටමට පැමිණේද යන්න පිළිබඳව සුපරික‍ෂාකාරීව පසුවන අතර එවන් තත්ත්වයකදී වහාම දරුවා බිහිකිරීම සිදුකරයි. එසේ නොමැති නම් සති 37 සම්පූර්ණ වූ පසු දරුවා බිහිකරයි.

මෙම තත්ත්වය ඇති බව හඳුනාගත් පසු නිතර නිතර ස්කෑන් පරීක‍ෂණවලට යොමුවීමට මවකට සිදුවන අතරම දරුවා බිහිවන තෙක් රෝහල් ගතව සිටීමට ද සිදුවිය හැකිය. මේ තත්ත්වයේ සිටින මව්වරුන් සතු ප්‍රධානතම කාර්යය වන්නේ දරුවාගේ චලනයන්හි වෙනසක් ඇති නම් වහාම රෝහල වෙත පැමිණීමයි.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here