ගැබිනි සමයේ දහසයවන සතිය

Week-16
ඔන්න චූටියා දැන් දැන් ඇඟිලි උරන්නත් පටන් අරගෙනලු

දැන් අම්මාගේ චූටියා හරිම හපනෙක්. අත පය විසි කර කර එයා අම්මාගේ බණ්ඩිය ඇතුළේ හරිම විනෝදෙන් කාලය ගත කරනවා. ඇඟිලි උරන පුරුද්දට නම් අම්මා ළඟිට ආවට පස්සේ දඩුවම් කරන්න වෙයි. සතිනේ සතිය බණ්ඩිය ඇතුළේ චූටියා ඇති දැඩි වෙන හැටි අම්මට හරිම පුදුම ඇති. ඇත්තටම අන්න එකයි අප් මුලින්ම කිව්වේ අම්මාගේ කුස තුළ දරුවෙක් වැඩෙන එක සොබාදහමින් ලැබුණු විශ්මිත දායාදයක් කියලා.

ගැබිනි සමයේ දහසයවන සතිය

ඊළඟ සති කිහිපය ඇතුළත ඔබේ දරුවා දිගින් මෙන්ම බරින් දෙගුණයක් බවට පත්වෙනවා. මේ වන විට හිසේ සිට තට්ටම දක්වා දිග සෙන්ටිමීටර් 11.6 පමණ වන අතරම බර ග්‍රෑම් 100ක් පමණ වේ. දරුවාගේ දෙපා තවත් වර්ධනය වී ඇති වන අතරම හිස පෙරට වඩා ඍජුව පිහිටයි. දැන් නිතර නිතර මහපට ඇඟිල්ල මුව තුළට දමා ගන්නව.

හිස් කබලේ රටා මතුවීම අලුතින්ම ඇරඹෙන තත්ත්වයයි. මේ වන විට හිසකේ ඇති බවක් හඳුනා ගත හැකිය. ඒ වගේම පාදයේ නිය වැඩීමත් ආරම්භ වී අවසන්. සිරුරේ බාහිරින් වගේම අභ්‍යන්තරයේත් බොහෝ වෙනස් වීම් සිදු වෙනවා. බිළිදාගේ සිරුර තවමත් සිහින් වන අතරම එතරම් සවිමත් නැත. විනිවිද පෙනෙන සම තුළන් රුධිර නාලිකා මෙන්ම අස්ථී දැකගත හැකියි. පිටුපස මාංශ පේශීන් සවිමත් වෙමින් පවතී. දෑස් මේ වන විටත් විවෘතව නැති අතරම ඒවා මුහුණේ නිවැරදි ස්ථානය වෙත ගමන් කිරීම දිගටම සිදුවෙමින් පවතිනවා. ඇසි පිය සහ ඇහි බැම සැකසෙමින් පවතිනවා. කන් පෙති නිවැරදි ස්ථානය වෙත පැමිණීම මෙන්ම වරධනය වීද සිදුවෙනවා. මුහුණේ හැඟීම් ප්‍රකාශන පෙර ලිපිවල සඳහන් කළ පරිදිම දැකගත හැකියි.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටික ටික් වෙනස් වෙනවා

ඔන්න අම්මා ටික ටික ලස්සන වෙන්න පටන් අරගෙන. හැමෝම කියනවා නේද සම හරිම පැහැපත් වෙලා, අම්මා සුදු වෙලා ලස්සන වෙලා කියලා. ඉදිරියට වැඩුණු පුංචි කුසත් එක්ක ඇත්තටම අම්මා හිතට ප්‍රිය උපදවන සුන්දර දසුනක්. සමෙහි මේ ආකාරයෙන් ඇති වෙන පැහැපත් බව මේ කාලය තුළ සාමාන්‍යයෙන් මව්වරුන් අතර දැකගත හැකියි. මේ තත්ත්වයට චරුටබ්බජහ ,ටකදඅ, කියලා තමයි කියන්නේ. ශරීරයට පසුගිය කාලය පුරා දැණුනු අපහසුතා එක්ක මේ තත්ත්වය නම් හිතට සතුටක් ගෙන දෙනවා. ඒ වගේම ගර්භණී සමයේ සිදුවන හෝමෝන වෙනස්කම් නිසා ඔබේ නියපොතු ඉතා සීග්‍රයෙන් වර්ධනය වීම සිදු වෙනවා. ඒ වගේම නියපොතු කැඩෙන සුළුයි. මේ තත්ත්වය ගැබිනි සමයේ බොහොම සාමාන්‍යයි. දරුවා බිහිවීමත් සමගම මේ ගැටලූව නිරකරණය වෙනවා.

ඔබට ලැඛෙන්න ඉන්නේ දෙවන හෝ තෙවන දරුවා නම් මේ වන විට දරුවාගේ චලනයන් ඔබට දැනෙන්නට පටන් ගෙන ඇති.

දැන් දැන් ඔබේ උදරය ඉතා සීග්‍රයෙන් වර්ධනය වෙනවා.  මේ වන විට මව වෙනදාට වඩා 50%කින් වැඩි ප්‍රමණයක් රුධිරය නිපදවනවා. ඇතැම් මව්වරුන්ට මේ වන විට කිසිදු අපහසුතාවයක් නැති වුවත් ඇතැමුන්ට නම් යම් යම් අපහසුතා තවමත් පවතිනවා.ගර්භණී සමය එක් එක් කාන්තාවට වෙනස් ආකාරයටයි බලපාන්නේ. පුලූතරයක් මව්වරුන් බන්නවා මුලූ ගැබිනි සමය පුරාම යම් යම් අපහසුතාවයන් පවතින අය.

පෙර සතියේ සදහන් කළ පරිදිම නාසයේ තෙත ගතිය, තදබද ගතිය මේ වන විටත් පවතිනවා. 30%ක් පමණ ගැබිනි මව්වරුන්ට මේ තත්ත්වයට මුහුණ දීමට සිදු වෙනවා.

යෝනි ප්‍රදේශයේ වැඩිපුර තෙත් ගතියක් ඇතිවීම මේ කාලය තුළ සාමාන්‍ය තත්ත්වයකි. ගැබිනි මවගේ සිරුරේ වැඩි රුධිර ප්‍රවාහයක් පවතින අතරම ඊට්‍රජන් හෝමෝන ප්‍රමණය ඉහළ තත්ත්වයක පවතී. පෙරට වඩා වැඩි වශයෙන් යෝනි ශ්‍රාවය පිටවීමට හේතු වන්නේ මේ තත්ත්වයයි. මෙම ශ්‍රාවය දුර්ගන්ධයක් රහිත අවර්ණ එකකි.

අම්මාගේ බර මේ වෙද්දි සාමාන්‍යයෙන් රාත්තල් 8කින් පමණ වැඩි වෙනවා. නමුත් එක් එක් අම්මාගේ බර වැඩි වීම කලින් ලිපිවල සඳහන් කළ පරිදි වෙනස් විය හැකියි. නියමිත රාත්තල් ප්‍රමාණයක් හැම මවකගේම සමානව වැඩිවීමක් දැකගන්න බැහැ. ඒ නිසා මේ පිළිබඳව කණස්සලූ වීම කිසිසේත්ම සුදුසු නැහැ. ඔබට මේ පිළිබඳව යම් ගැටලූවක් ඇත්නම් වෛද්‍යවරයා මුණගැසෙන දවසට ඒ පිළිබඳව නිරාකරණය කරගන්න.

අම්මෙක් වෙන්න යන ඔබ දත යුතු  “ගැබිනි සමයේ ඇති වන නීරක්තිය”

නීරක්තිය හෙවත් රක්තහීනතාවය ලෙස හඳුන්වන්නේ රුධිරයේ පවතන හිමෝග්ලොබින් ප්‍රමාණය අවම වීමේ තත්ත්වයයි. අපේ සිරුරේ සියලුම පටකවලට අවශ්‍ය ඔක්සිජන් ප්‍රවාහනය කිරීම හිමොග්ලොබින් මගින් සිදුවෙනවා. ගර්භනී අවධියේදී සිරුරට හිමොග්ලොබීන් නියමිත ප්‍රමාණය පැවතීම බොහෝසෙයින් වැදගත් වේ. මන්ද පෙර කී පරිදිම පෙනහලුවල සිට වැදෑමහ වෙත ඔක්සිජන් ගෙනයාම හිමොග්ලොබින් මගින් සිදුවන අතරම වැදෑමහ අසල දී හිමොග්ලොබින් වෙතින් වෙන් වන ඔක්සිජන් වැදෑමහ හරහා දරුවාගේ රුධිරයේ හිමොග්ලොබින් සමග සම්බන්ධ වී කලලයේ පටක වෙත ඔක්සිජන් ගෙන යාම සිදුකරනවා. නමුත් මව රක්තහීනතාවය තත්ත්වයෙන් පෙලෙයි නම් දිගින් දිගටම කලලයට ලැඛෙන ඔක්සිජන් අඩුවීම නිසා කලලයේ වර්ධනය අඩාල වේ.

සම්පූර්ණ රුධිර පරීක‍ෂාවක් සිදුකිරීමෙන් රුධිරයේ ඇති හිමොග්ලොබින් මට්ටම පරීක‍ෂා කරගත හැකි අතරම එය සාමාන්‍යයෙන් 10.5 g/dක ප්‍රමාණයෙන් වැඩි විය යුතු අතරම රුධිරගත හිමොග්ලොබින් ප්‍රමාණය 10.5 g/dක වඩා අඩු නම් ඒ තත්ත්වය රක්තහීනතාවය හෙවත් නීරක්තිය ලෙස හඳුන්වයි. Macrocytic හා Macrocytic ලෙස රක්තහීනතාවයේ තත්ත්වයන් දෙකක් දැකගත හැකි වේ. Macrocytic  තත්ත්වයේදී රතු රුධිරාණුවල ප්‍රමාණය අසාමාන්‍ය ලෙස විශාල වන අතර බී 12 විටමිනයේ ඌනතාවය මෙයට ප්‍රධානතම හේතුවයි. ඒ වගේම දීර්ඝ කාලයක් තිස්සේ මත්පැන් භාවිතය ද මෙයට හේතු වෙනවා. ගැබිනි සමයේ සුලබව දකින්නට ලැඛෙන අනෙක් රක්තහීනතා තත්ත්වය වන්නේ රතු රුධිරාණු සෛලවල ප්‍රමාණය අසාමාන්‍ය ලෙස කුඩා වන Microcytic රක්තහීනතාවයයි. ගර්භණී සමයේදී දැකගත හැකි Microcytic රක්තහීනතා තත්ත්වයන් ලෙස යකඩ ඌනතාවය, තැලසීමියාව යන තත්ත්වයන් දැක්විය හැකියි.

ගර්භනී මව්වරුන් අතර දැක ගත හැකි සුලබ රක්තහීනතා තත්ත්වය වන්නේ යකඩ ඌනතාවයයි. එයට මූලිකව බලපාන හේතුව වන්නේ නිසි පෝෂණය නොමැති කමයි. අපේ රටේ බහුතරයක් මස් මාංශ ආහාරයට නොගනී. සිරුරට ඉතා පහසුවෙන් හා ඉක්මණින් උරාගත හැකි වන්නේ මස් මාංශවල අඩංගු යකඩ වන අතරම ශාඛ ආහාරවල ඇති යකඩ උරාගැනීමේ හැකියාව එතරම් වේගවත් නොවේ. ඒ නිසාම සියලු ගැබිනි මව්වරුන් සඳහා සායනවලදී දෙවන ත්‍රෛමාසිකයේ සිට යකඩ පෙති ලබාදීම සිදුකෙරෙනවා.

යකඩ පෙති ලබාගැනීමේදී සලකිලිමත් විය යුතු කරුණු,

රාත්‍රී ආහාර වේලෙන් පැයකට පසු හෝ පෙර ලබාගන්න

  • යකඩ පෙති පානයෙන් පැයක්වත් යනතුරු වෙනත් කිසිවක් ආහාරයට ගැනීමෙන් සහ තේ, කෝපි වැනි පාන වර්ග ලබාගැනීමෙන් වළකින්න
  • යකඩ පෙත්ත සමග විටමින් සී පෙත්ත ලබාගැනීමෙන් සිරුරට හොඳින් යකඩ අවශෝෂණය වන බව සිහිතබාගන්න
  • කැල්සියම් පෙති හෝ වෙනත් විටමින් සමග එකට යකඩ පෙත්ත ලබාගැනීමෙන් වළකින්න
  • සායනයෙන් ලබාදෙන පණු ඛෙහෙත් ලබාගැනීම මග නොහරින්න

යකඩ පෙති ලබාගන්නා විට

  • මලබද්ධය
  • මල කලු පැහැ විම
  • මුව තුළ ලෝහමය රසක් දැනීම
  • ගැස්ට්‍රයිටීස් වැනි තත්ත්වයන් ඇතිවීම සාමාන්‍ය වේ

එසේම යකඩ පෙති ලබාගත්තද ඇතැම් මව්වරුන්ට යකඩ ඌනතාවය පැවතිය හැකි අතරම ප්‍රසූතියට කල් තිබේ නම් වෛද්‍ය පරීක‍ෂණවලට අනුව ලබාදෙන යකඩ පෙති ප්‍රමාණය වැඩි කිරීම හෝ එන්නත් මින් යකඩ ලබාදීම සිදුකරනවා. නමුත් ප්‍රසූතියට දින ආසන්න මවක් නම් රුධිරය ලබාදීම සිදුකෙරෙනවා. මව රක්තහීනතාවය තත්ත්වයෙන් පෙලේනම් කලලයේ වර්ධනය අඩාල වී දරුවා කුඩා විය හැකි අතරම ප්‍රසූතියේදී අධික රුධිරවහනයක් ඇති විය හැකියි.

එසේම තැලසීමියා තත්ත්වයද අප රට තුළ පවතී. තැලසීමියාව තත්ත්වය යනු ජාන විකෘතිතා නිසා ඇති වන රෝග තත්ත්වයකි. සිරුරේ ඔක්සිජන් පරිවහනය සඳහා අවශ්‍ය හිමොග්ලොබින් නිපදවීම හරිහැටි සිදු නොව්. මව හා පියා මගින් මේ තත්ත්වය ගැහැණු පිරිමි භේදයකින් තොරව දරුවන් වෙත ගමන් කරයි. මේ තත්ත්වයේ ප්‍රධාන ලක‍ෂණයක් ලෙස රුධිරයේ හිමොග්ලොබීන් අඩුවීම දැක්විය හැකියි. තැලසීමියා බහුල ප්‍රදේශවල තරුණ තරුණියන් විවාහ වීමට පෙර මේ හා සම්බන්ධ පරීක‍ෂණවලට යොමු වීම වැදගත් වන්නේ මෙය ජානමය වශයෙන් පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කළ හැකි තත්ත්වයක් නිසයි.

ජානමය හේතු මත රුධිරගත හිමොග්ලොබින් ප්‍රමාණයේ යම් යම් වෙනස්කම් පවතින මව්වරුන්ටද මේ තත්ත්වය රක්තහීනතාවය ඇති විය හැකිය. මෙවැනි මව්වරුන් වෛද්‍ය උපදෙස් ලබාගැනීම අත්‍යවශ්‍ය වන අතරම එහිදී සම්පූර්ණ රුධිර පරීක‍ෂාවේ ප්‍රතිඵලයට අනුව යකඩ පරීක‍ෂාවක් සඳහා යොමු කිරීමෙන් පසු ලැඛෙන ප්‍රතිඵල අනුව මව්වරුන් රක්තවේද විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කෙරේ. එමගින් අවශ්‍ය ඖෂධ මෙන්ම නිවැරදි උපදෙස් ලබාගැනීමට අවස්ථාව සැලසේ.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here