- Advertisement -

ගැබිනි සමයේ පහලොස්වන සතිය

-
චූටියා එක්ක කතා කරන කොට, එයාට ඇහෙන්න සින්දු කියන කොට අම්මට පාළුවක් දැනෙන්නෙම නෑ…

ඔව්… කුසේ වැඩෙන චූටියව හිතින් මවාගෙන කුස පිරිමදින ගමන් එයාගෙන් තොරතුරු අහන්න, ලස්සන කවියක් කියලා දෙන්න අම්මට ආසයි නේද? ඒක චූටියටත් බොහොම වටින දෙයක්. එයා අම්මාගේ කටහඩ අහගෙන අත පය විසි කර කර සතුටෙන් බණ්ඩිය ඇතුළට වෙලා ඉදීවී. හැබැයි අම්මාගේ ආදරේ දැනෙද්දි එයාට අම්මා දකින්න තියෙන ආසාව දවසින් දවස වැඩි වේවි. අනේ මම කවදද මගේ අම්මා ළඟට යන්නේ කියලා චූටියටත් හිතෙයිද දන්නේ නෑ.

ගැබිනි සමයේ පහලොස්වන සතිය

මේ වන විට කලලයේ දිග ප්‍රමාණය තට්ටමේ සිට හිස දක්වා සෙන්ටිමීටර 10.1ක් පමණ වේ. බර ග්‍රෑම් 70කි. කලලයේ පෙනහලුවල ප්‍රාථමික වායු කෝෂය වර්ධනය වීම ආරම්භ වී ඇති අතරම ඒ සඳහා සහාය දක්වමින් නාසය හා ඉහළ ශ්වසන කලාපය හරහා උල්බ තරලය ගමන් කරයි. පාද අත්වලට වඩා දිගින් වැඩි වන අතරම සන්ධි සහ අත් පා චලනය කළ හැකිය. දෑස් මේ වන විටත් වැසී තිබුණද ආලෝකය හඳුනා ගැනීමේ හැකියාව සතුය. හදිසියේ මවගේ උදරය වෙත තද ආලෝකයක් පතිත වුවහොත් ක‍ෂණයකින් ඒ එළියෙන් දරුවා තම දෑස් ඉවත් කරගනී. වැදෑමහ මගින් කලලයේ පැවතිය යුතු ජලය ප්‍රමාණය සමබරව පවත්වාගන්නා අතරම අපවිත්‍ර දේ ඉවත් කිරීම සිදු කරයි. අග්න්‍යාසය මගින් ඉන්සියුලින් ශ්‍රාවය වීම මේ වන විට ආරම්භ වී තිබේ. මුහුණේ මාංශ පේශී සවිමත්ව ඇති අතරම හැගීම් ප්‍රකාශ කරයි. බිළිඳු සම ඉතා සියුම් වන අතරම විනිවිද පෙනෙන සුලුය. ඒ හරහා රුධිර නාලිකා දැකගත හැකිය. මේ වන විටත් කන් පෙති නියමිත ස්ථානයේ නැති වුවද හොඳීන් ශ්‍රවණය කිරීමේ හැකියාව සතුය. එසේම ඇස් බැම සැකසීම ආරම්භ වී ඇත.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටික ටික් වෙනස් වෙනවා

දැන් ඔන්න අම්මාගේ උදරය ඉදිරියට නෙරා ඇවිත්. උදරය දිලිසෙනවා. ඔබ ගැබිනියක් බව දකින කාටත් වැටහෙනවා. නමුත් පහළොස්වන සතිය වන විටත් ගැබිනියක් බව පිටතින් දකින අයෙකුට වටහා ගත නොහැකි මව්වරුන්ද සිටිය හැකියි. ඔබටත් එසේ නම් ඒ පිළිබඳ  කිසිදු විටෙක පසුතැවිලි වෙන්න නම් එපා. මොකද ගර්භණී බවද එක් එක් කාන්තාවගෙන් කාන්තාවට වෙනස් වන නිසයි. ඔබ නිවුන් දරුවන් දරා සිටින ගැබිනියක් නම් ඔබේ උදරය මීට පෙර සිටම ඔබේ උදරය පිටතට දිස්වෙනවා.

මේ වන විටත් අම්මාගේ හැගීම් දුක සතුට අතරේ විටින් විට දෝලනය වෙනවා. හැඟීම් විටින් විට මේ ආකාරයට වෙනස් වීම ගැබිනි සමයේ බහුතරයක් මව්වරුන්ට පොදු අත්දැකීමක්. ඒත් කිසිම විටෙක ආතතියට ලක්වෙන්න එපා. වෙලාව අරගෙන ඔබේ මනස නිරවුල්ව තබගන්නට හැමවිටම උත්සාහ කරන්න. චූටියා ලැබුණම කොහොමද ජීවිතේ සැලසුම් කරගන්නේ, කොහොමද එයාව බලාගන්නේ කියලා කල්පනා කරන්න ඔයාට පුළුවන්.

තවමත් ඔබට යම් යම් අපහසුතා දැනෙනවා ඇති. ගැස්ට්‍රයිටීස් තත්ත්වය ඒ අතරින් එකක්. අපි කලින් ලිපි හරහාත් ඒ පිළිබඳව සාකච්ඡා කෙරුණා. ගර්භණී බවත් සමගම සිරුරේ හෝමෝනවල සිදුවන වෙනස්කම් නිසා තමයි මේ තත්ත්වය ඇති වෙන්නේ. කලින් ලිපිවල සඳහන් කළ විදියටම නිසි ආහාර රටාවකට යොමු වෙලා අහිතකර ආහාර පානවලින් ඈත් වෙලා ගැස්ට්‍රයිටීස් තත්ත්වය මගහරවා ගන්න උත්සාහ කරන්න.

ඒ විතරක් නෙවෙයි දැන් දැන් අම්මට නින්ද යන්නෙ නැති ගැටලුව වෙනදටත් වඩා වැඩියෙන් දැනෙනවා ඇති. මේ තත්ත්වය 70%ක් විතර මව්වරුන්ට ඇති වෙනවා. උදරය විශාල වෙන්න වෙන්න සුව පහසු ඉරියව්වකින් නිදාගන්න අම්මට බැරි වෙනවා වගේම කෙණ්ඩා පෙරලීම, සිතට වගේම ගතට දැනෙන අපහසුව වගේම මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය වරින් වර ඇති වීමත් ඔබේ නින්දට බාධාවක්. ගැබිනි සමයේදී සුව නින්දක් ලබාගැනීමට සුදුසු ඉරියව් ගැන වගේම අවශ්‍ය උපදෙස් වෛද්‍යවරයා සමග සාකච්ඡා කරන්න.

ඒ වගේම සති පහලොවක් වන විට පපු පෙදෙසේ දැවිල්ලක් ඇතිවීම ද ඇතැම් මව්වරුන්ට මුහුණ දීමට සිදුවන තවත් ගැටලූවක්. දෙවන සහ තෙවන කාර්තුවලදී මේ තත්ත්වය දැකගත හැකියි. මේ තත්ත්වයත් ඔබට ගැබිනි සමයේ මුහුණ පාන්නට සිදුවන බොහොම සාමාන්‍ය තත්ත්වයක්. මේ තත්ත්වය මග හරවා ගැනීමට ආම්ලික බවින් තොර ආහාර අනුභවය වඩාත් සුදුසුයි. ඒ වගේම කාබනේට අඩංගු පාන වර්ගයන්ගෙන්ද ඈත්වන්න.

මේ කාලය වන විට ඇති වන තවත් තත්ත්වයක් ලෙස නාසයේ තදබද ගතියද ගැබිනි සමයේ බොහොම සාමාන්‍ය තත්ත්වයකි. හෝමෝන නිෂ්පාදනය වැඩි වීම හේතුවෙන් ශ්ලේෂ්මල පටල ඉදිමීම මෙයට හේතුවයි. ඒ විතරක් නෙවෙයි අධික ලෙස මුවට කේඨය උනන ගතියද මේ කාලයේ ඔබට ඇති විය හැකි තත්ත්වයන් අතරින් එකකි. මේ සතිය වන විට ඔබේ බර රාත්තල් හය හතකින් වැඩි වී තිබිය හැකිය. සමහර මව්වරුන්ගේ බර ඉතා වේගයෙන් වැඩිවන අතරම ඇතැම් මව්වරුන්ගේ ඉතා සෙමින් සිදු වේ.

අම්මෙක් වෙන්න යන ඔබ දත යුතු ගැබිනි සමයේ “අධි රුධිර පීඩනය”

ගැබිනි සමයේ ඉදිරි කාලයේ ඇති විය හැකි සංකූලතාවයන් පිළිබඳ ඔබව කල් තියා දැනුවත් කිරීම අපේ යුතුකමක්. ඔබ දන්නවා ඇති ගැබිනි මවට ඇති විය හැකි අධි රුධිර පීඩන තත්ත්වය පිළිබඳව. මෙය දෙයාකාරයකින් දැක්විය හැකියි. එනම්,

  • ගැබ් ගැනීමට පෙර හෝ ගැබිනි සමයේ විසිවන සතියට පෙර අධිරුධිර පීඩනය ඇතියි අණාවරණය වූ තත්ත්වය
  • ගර්භණී සමයේ පමණක් ඇති වන රුධිර පීඩන තත්ත්වය

ගැබ් ගැනීමට පෙර රුධිර පීඩනය තිබූ හෝ ගැබිනි සමයේ සති 20 පෙර මවකට අධිරුධිර පීඩනය ඇතැයි අණාවරණය වුවහොත් ඒ තත්ත්වය ඉහත කාණ්ඩ දෙකෙන් පළමු කාණ්ඩයට අයත් වේ. එසේම ගැබිනි සමයේ සති 20ට පසු අධි රුධිර පීඩනය ඇතැයි අනාවරණය වූ මව්වරුන් දෙවන කාණ්ඩයට අයත්ය. මේ ලිපියෙන් සාකච්ඡා කෙරෙන්නේ මෙහි සඳහන් දෙවන කාණ්ඩය පිළිබඳවයි.

මේ සඳහා නිශ්චිත හේතුවක් අනාවරණය වී නැතත් එයට හේතුව ලෙස විශ්වාස කරන්නේ වැදැමහ මවගේ ගර්භාෂයට ඇලීමේදී ඇතිවන යම් ගැටලුවක් හේතුවෙන් වදැමහ මගින් පිටකරන හානිකර සංඝකට මගින් මවගේ රුධිර වාහිනී වෙත බලපෑම් ඇති කිරීමයි. රුධිර වාහිනී මුළු සිරුර පුරාම පිහිටා ඇති අතරම මේ තත්ත්වය මවකගේ සෑම අවයවයක් වෙතම බලපෑම් ඇති කළ හැකියි. මෙම රෝගී තත්ත්වයේ එක ලක‍ෂණයක් වන්නේ  රුධිර පීඩනය ඉහළ යාමයි. එය මවට හා දරුවාට හානි දායක විය හැකි තත්ත්වයකි.

මේ තත්ත්වයට අවදානම පවතින්නේ,

වයස අවුරුදු 18 අඩු සහ අවුරුදු 40ට වැඩි කාන්තාවන්

  • අධික බර තත්ත්වය ඇති කාන්තාවන්
  • මේ තත්ත්වය පැවති ඥාතීත්වයක් ඇති කාන්තාවන්
  • නිවුන්/බහුභ්‍රෑණ අවස්ථා ඇති කාන්තාවන්
  • ගැබ් ගැනීමට පෙර රුධිර පීඩනය/ දියවැඩියාව/ වකුගඩුවල යම් යම් ආබාධ පැවති කාන්තාවන්
  • පෙර ප්‍රසූතියන්හිදී අධි රුදිර පීඩනය ඇති අම්මලානොමේරු ළදරුවන් බිහිකළ කාන්තාවන්
  • තම සිරුරේ සෛලවලට තම ප්‍රතිශක්තිකරණ පද්ධතියෙන් ප්‍රතික්‍රියා දැක්වීම (Auto immune)

උදාහරණයක්ලෙස Hle දැක්විය හැකිය

  • සති 11ත් 14ත් අතර සිදු කළ ස්කෑන් පරීක‍ෂණය මගින් ගැබිනි සමයේ 34 වන සතියට පෙර මෙම තත්ත්වය ඇති විය හැකි බවට තීරණය වූ මව්වරුන්
  • ගැබ් ගැනීමට පෙර හෝ පසු දියවැඩියා තත්ත්වය ඇති වූ මව්වරුන්

එසේ අවධානම් තත්ත්වයක් පවතී නම් සති 16 සම්පූර්ණ වීමට පෙර ඇස්ප්‍රින් ඖෂධය ලබා දුනහොත් අධික රුධිර පීඩනය  තත්ත්වය ඇතිවීමේ ප්‍රවණතාවය අවම කරගැනීිමේ හැකියාව 50%කි.

සාමාන්‍යයෙන් ගර්භණී මවක් මුල් සති 28 ඇතුළත මසකට වරක් ද සති 28 සිට 36 දක්වා සති දෙකකට වරක් ද සති 36 සිට සතියට වරක් ද වශයෙන් සායන සඳහා සහභාගී විය යුතුය. ගර්භණී සමයේ අවසන් සති කිහිපය සතියකට වරක් සායන සඳහා කැඳවීමේ අරමුණ වන්නේ මේ කාලයේ ඇති විය හැකි මෙවැනි සංකූලතාවයන්ට අවස්ථාවක් ඇති ද යන්න පරීක‍ෂා කිරීමටයි. නමුත් අද වන විට සිදු කරනු ලබන ස්කෑන් පරීක‍ෂණ මගින් ගර්භාෂය වෙත ගමන්ගන්නා රුධිර ප්‍රමාණය මැන බැලීමෙන් මෙවැනි සංකූලතා පෙර සිටම හඳුනා ගත හැකිය.

රුධිර පීඩනය මැනීමේදී මවගේ අතට සරිලන මීටරයක් භාවිතය මෙන්ම විවේකීව හිඳ ඒ සඳහා යොමුවීමද ඉතා වැදගත් වේ. යම් හෙයකින් මවකගේ රුධිර පීඩනය 140 – 90 වැඩි අගයක් පවතින අවස්ථාවේදී අධි රුධිර පීඩන තත්ත්වයක් යැයි සැක කෙරෙන අතරම පළමු රුධිර පීඩන පරීක‍ෂාවෙන් පැයකට පමණ පසු නැවත රුධිර පීඩනය මැන බලා ඒ තත්ත්වය තහවුරු කිරීම සිදු කෙරේ. එසේම රුධිර පරීක‍ෂාවන් කරාද මව්වරුන් යොමු කෙරේ. ඒ අවස්ථාවේදීද රුධිර පීඩනය වැඩි අගයක් ගනී නම් සෑම මවක්ම වෛද්‍ය උපදෙස් මත ක්‍රියාකිරීම අත්‍යවශ්‍ය වේ. එනම් වෛද්‍යවරයා නිර්දේශ කරන කාලසීමව ඇතුළත නැවත නැවත රුධිර පීඩනය පරීක‍ෂා කරගත යුතුය. මෙවැනි අවස්ථාවලදී මවක් රෝහල්ගත විය යුතු අවස්ථා පිළිබඳ දැනුවත් කරයි. රුධිර පීඩනය 150 – 100 අතර පවතින මවක් අනිවාර්යෙන්ම රෝහල් ගත විය යුතුය. මෙහිදී මවට හානි දායක වන Pre-eclampsia හෝ Eclampsia තත්ත්වයන් ඇති වේද යන්න පරීක‍ෂා කෙරේ. (Pre-eclampsia සහ Eclampsia තත්ත්වයන් පිළිබඳව ඉදිරි ලිපියකදී ඔබ වෙත කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.)

මෙම අධිරුධිර පීඩන තත්ත්වය පාලනය කිරීම ඉතා වැදගත් වන අතරම ඒ සඳහා ලබා දෙන ඖෂධ කිසිදුවිටෙක මවට හෝ කලලයට හානිකර නොවේ. තම ඖෂධ නියමිත ප්‍රමාණය, නියමිත වේලාවට ලබාගැනීමට මෙවැනි තත්ත්වයක සිටින මව්වරුන් සැළකිලිමත් විය යුතුය. එසේම වෛද්‍යවරයා ලබා දුන් උපදෙස් පරිදි දී ඇති කාලසීමාවන් තුළ රුධිර පීඩනය මැන බැලීමත් මූත්‍රා පරීක‍ෂණ මගින් මුත්‍රා සමග ප්‍රෝටීන පිටවනවාද යන්න පිළිබඳවත් සොයා බැලිය යුතුය. මෙවැනි මව්වරුන් සති 28, 32 සහ 36 යන කාලවලදී ස්තෑන් පරීක‍ෂණ සඳහා යොමු කෙරේ. එසේම මවට හෝ දරුවාට සංකූලතාවයක් ඇති නොවුණත් සති 37 සම්පූර්ණ වූ පසු දරුවා බිහිකිරීමට කටයුතු සිදුකරයි.

ප්‍රසූතියෙන් සති හයකට පමණ පසු මවගේ රුධිර පීඩන තත්ත්වය මගහැරී යන අතරම ඒ කාලය තුළදීත් පරීක‍ෂා කිරීම වැදගත් වේ. යම් මවකට සති හයට පසුවද අධිරුධිර පීඩන තත්ත්වය පවතී නම් කායික වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබාගන්න. එසේම මෙවැනි මව්වරුන් නැවත ගැබ්ගැනීමටක් සැලසුම් කිරීමට පූර්ව ගර්භණී සායන සඳහා සහභාගී විය යුතු අතරම අධි රුධිර පීඩනය පවතී නම් ගැබ් ගැනීමෙන් පසු සති 16ට පෙර සිට වෛද්‍ය උපදෙස්වලට අනුව ඇස්ප්‍රින් ඖෂධය ලබාගන්න.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


LEAVE A REPLY

[gs-fb-comments]

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article