Home දෙවන ත්‍රෛමාසිකය ගැබිනි සමයේ දහතුන්වන සතිය

ගැබිනි සමයේ දහතුන්වන සතිය

Week-13
ඇත්ත තමයි… මට හිතෙන්නෙම චූටියා ගැනම විතරයි

නිකමට වගේ අම්මා මෙන්න මෙහෙම තාත්තට කිව්වම දන්නවද තාත්තා මොකක්කද කිව්වේ කියලා…

ඔන්න චූටියා ආවම නම් ඔහොම බෑ… හැමදේම පිළිවෙළට තියෙන්න ඕනේ. මේ කාමරේ එයාට ගැලපෙන විදියට ලස්සන කරන්න ඕනේ. චූටියා ආවට පස්සේ තාත්තට අනිත් කාමරේට යන්න වෙයිද දන්නෙත් නෑ.

තාත්තා එහා කාමරේට ගිහින් කොහොමද? චූටියා රැට නිදියන්නේ නැතිව කරදර කරද්දි අම්මට උදව් කරන්න තාත්තා ළඟම ඉන්න ඕනේ…

ඒ කතාව නම් ඇත්තම ඇත්ත. තමන්ගේ දරුවා ගැන හීන දකින තාත්තාගේ සිතිවිලි මේ වගේ තමයි. අම්මා වගේම හරි හරියට එයාගේ හිතෙත් ආදරේ දලූලනවා. දෙන්නම බලාගෙන ඉන්නේ චූටියා ගෙදරට එනකං. හැබැයි ඉතිං තව ටික දවසක් තියෙනවා. හැම තාත්තෙක්ටම මේ වගේ හිතෙනවා නම් හැම චූටියෙක්ම වගේ හැම අම්මෙක්මත් කොයිතරම් වාසනාවන්තද?

ගැබිනි සමයේ දහතුන්වන සතිය

සීග්‍ර ලෙස වර්ධනය වන කලලයේ හිසේ සිට තට්ටම දක්වා දිග සෙන්ටිමීටර් 7.4 ක් විතර ඇති. බර ග්‍රෑම් 23යි. හිස, සිරුර වගේ හතර ගුණයක ප්‍රමාණයක්. මේ වන විට කලලයේ සිනිදු සම මත මුදු කෙස් ඇතිවෙමින් පවතිනවා. ඒ වගේම පුංචි ඇඟිලි තුඩුවලින් මවගේ ගර්භාෂය ස්පර්ෂ කරනවා. පුංචි මුුව තුළට මහපට ඇඟිල්ල දමාගන්නවා. පපුවේ මාංශ පේශීන් වර්ධනය වීම මේ වන විට ඇරඹී අවසන්. දරුවා දැන් මුව විවර කොට උල්බ තරලය පානය කරන අතරම එය මුත්‍රා ලෙස නැවත පිටවීම චක්‍රයක් ලෙස වරින් වර සිදුවෙනවා. මේ වෙද්දි දරුවාගේ ස්වර තන්ත්‍ර සකස් වී ඇති අතරම තොල් සහ නහය ඉතා ඉක්මණින් සැකසෙනවා. ඔබට ලැඛෙන්න ඉන්නේ දුවක් නම් මේ වන විට ඇයගේ ඩිම්බ කෝෂ තුළ ඩිම්බ මිලියන දෙකකටත් වඩා වැඩි ප්‍රමාණයක් අන්තර්ගතයි. කලලයේ සැකිල්ල හොඳින් කැපී පෙනෙන අතරම අග්න්‍යාෂය සහ පිත්තාශය ද සම්පූර්ණයෙන්ම සැකසිලා අවසන්.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

දිනෙන් දින විශාල වන ගර්භාෂය නිසා මේ වෙද්දි ඔබ ගැබිනියක් බව හඳු නාගත හැකියි. බොහොම පහසු ඇඟට හිර නොවුණු සරල විලසිතා කිහිපයක් මේ වෙද්දි ඔබට තෝරගන්න සිදුවෙනවා. ඇඳු ම් තෝරාගනිද්දි උදරයට අපහසුවක් නොවන පරිදි තෝරාගැනීමට වගබලාන්න. එය ඔබට වගේම කුස තුළ වර්ධනය වන ඔබේ දරුවාටත් පහසුවක් සලසාවි.

මේ වෙද්දි පෙර කිව්වා වගේම බහුතරයක් මව්වරුන්ට දැනෙන අපහසුතා ගොඩක් දුරට මගහැරිලා ගිහින්. දැන් ඔබේ සිරුරේ මෙන්න මේ දේවල් සිදුවෙන්න පටන් අරගෙන. දරුවා මෙලොවට බිහිකරන්නට තව කොපමණ කල් තිබුණද ඔබේ පියුරුවල මුල්දින කිහිපයේ දරුවාගේ රැකවරණය උදෙසා අවශ්‍ය ප්‍රතිශක්තිකරණ ප්‍රෝටීන් සපිරි කොලස්ට්‍රම් නිපදවීම මේ වෙද්දි ආරම්භ වෙලා. පියයුරුවල ඇරියෝලාව හෙවත් කලූ පැහැති කොටස තද කලූ පැහැයක් ගෙන ඇති අතරම ඇතැම් විට පියයුරු මතු පිට නිල් පැහැති නහර දැකගත හැකියි. ඒ වගේම සමහර කාන්තාවන්ගේ ඇරියෝලාව වටා කුඩා ගැටිති ඇති වෙනවා. ඒවා බොහොම සාමාන්‍ය තත්ත්වයන්.

මේ කාලය වෙද්දි පපුව පිරෙන්න දිගු හුස්ම ලබාගන්න ඔබට අපහසු ඇති. කෙටි හුස්ම ගැනීම ඔබට අපහසුවක් වුවත් මේ තත්ත්වයට ඔබ විය විය යුතු නැහැ. මොකද ගර්භණී සමයේ මේ තත්ත්වයද බොහොම සාමාන්‍ය තත්තවයක්. 60% – 70% ක් අතර කාන්තාවන් මේ තත්ත්වයට මුහුණ දෙනවා.

ගැබිනි සමයේ  දෙවන ත්‍රෛමාසිකය ගත කරන ඔබට  ”මාතෘ සායන හරහා ඉටු වන සේවාව”

ශ්‍රී ලංකාව තුළ ගැබිනි සමයේ දෙවන ත්‍රෛමාසිකය ලෙස ගැනේනේ සති 13 සිට 27 දක්වා කාලයයි. ගැබිනි මවකට රජයේ සායන හා රෝහල් මගින් මෙන්ම පෞද්ගලික අංශයේ රෝහල් හා සායන මගින් ද සේවාවන් රැසක් ඉටුකරයි. සෑම ගැබිනි මවක්ම සෑම මසකම නියමිත දිනයට සායනය සඳහා සහභාගී වීම අනිවාර්ය වන්නේ මවගේ මෙන්න කුස තුළ වැඩෙන දරුවාගේ ද යහපත වෙනුවෙන්මය.

රජයේ සායන හා රෝහල් හරහා ගැබිනි සමය පුරාම අත්‍යවශ්‍ය වෛද්‍ය සේවාවන් නොමිලේම ලබාදෙන අතරම දෙවන ත්‍රෛමාසිකය තුළදී ගැබිනි මවට සැලසෙන සේවාවන් මෙසේය.

රජයේ රෝහල් මගින් පැවැත්වෙන පූර්ව ගර්භණී උපදේශන පන්ති හරහා දෙවන ත්‍රෛමාසිය ගත කරන මව්වරුන් පහත කරුණු පිළිබඳව දැනුවත් කරයි. මේ සඳහා මව සහ පියා දෙදෙනාම සහභාගී කරවා ගනී.

  • ගැබිනි සමයේ සාමාන්‍ය අපහසුතා
  • ගැබිනි සමයේ අවදානම් අවස්ථා
  • දරුවාගේ චලනය අඩුවීම හෝ චලනය නැතිවීම
  • අධිරුධිර පීඩනය/දියවැඩියාව
  • රුධිර වහනය
  • ස්වසන රෝග
  • මව්කිරී දීම වැදගත් වන්නේ ඇයි?
  • මව්කිරී පමණක් දීම යනු කුමක්ද?
  • ගර්භණී මව කෙරෙහි සැමියාගේ කාර්යභාරය

දෙවන ත්‍රෛමාසිකයේ ආරම්භයත් සමගම නොමිලේ යකඩ, කැල්සියම්, විටමින් සී සහ පණු ඛෙහෙත් මෙන්ම ගැබිනි මවගේ පෝෂණය උදෙසා ත්‍රිපෝෂ ලබාදීම ද සායනය හරහා සිදු කෙරේ.

මාතෘ සායන හරහා මවක් සෑම මසකම පරීක‍ෂාවට ලක් කෙරේ. එහිදී සෑම මසකම කලලයේ වර්ධනය මැන බැලීම, මුත්‍රාවල ප්‍රෝටීන් රුධිර පීඩනය පරීක‍ෂාව සිදුකෙරේ

සති 16 දී පිටගැස්ම එන්නත ලබා දෙයි. මවගේ පළමු ගැබ් ගැනීම නම් එන්නතේ පළමු මාත්‍රාව සති 16දී පමණ ලබා දෙන අතරම ඊට සති 6ක් හෝ 8ක් ඇතුළත දෙවන මාත්‍රාව ලබාදේ. මවගේ දෙවන හෝ තෙවන ගැබ් ගැනීම් නම් එක් මාත්‍රාවක් පමණක් ලබා දීම සිදු වේ.

ඇතැම් රජයේ රෝහල්වල සෑම මවකටම සති 20දී භ්‍රෑණ අසාමාන්‍යතා පරීක‍ෂා කිරීම සඳහා ඇනෝමලි ස්කෑන් පරීක‍ෂණය සිදුකෙරුණද බොහෝ රජයේ රෝහල්වල මෙම ඇනෝමලි ස්කෑන් පරීක‍ෂණය සිදුකෙරෙන්නේ අවධානම් සහිත මව්වරුන්පට පමණි.

රුධිර පරීක‍ෂාවන් සඳහා මව්වරුන් යොමු කෙරේ.

එසේම ගැබිනි මවකට පෞද්ගලික අංශයේ රෝහල් සහ සායන හරහාද සේවාවන් රැසක් ලබා දේ. ඒවා මෙසේය.

ඩවුන්ස් සහ ලක‍ෂණය (ට්‍රයිසෝමි (Trisomy)  21, ට්‍රයිසෝමි (Trisomy) 18 සහ ට්‍රයිසෝමි (Trisomy) 13 යන තත්ත්වයන් ඇති වීමේ යම් ප්‍රවණතාවයක් පවතීද යන්න පිළිබඳව දැන් පරීක‍ෂණ හරහා කල්තියා හඳුනා ගත හැකිය. ඒ සඳහා සිදු කෙරෙන පරීක‍ෂණ මෙසේය.

  • NT ස්කෑන් පරීක‍ෂණය
  • ත්‍රිත්ව පරීක‍ෂණය (Triple Test) යටතේ බීටා  hCG (human chorionic gonadotropin)” papp-a Test සහ estriol (uE3) යන පරීක‍ෂණ සිදුකෙරේ
  • අවධානම වැඩි මව්වරුන් Cell free fetal DNA පරීක‍ෂණය
  • Cell free fetal DNA පරීක‍ෂණය සිදු කර එමගින් ලැඛෙන ප්‍රතිඵලය 150 : 1 ට වැඩි නම් තත්ත්වය තවත් තහවුරු කරගැනීම උදෙසා  Amniocentesis පරීක‍ෂණය සඳහා මව යොමු කෙරේ. එමගින් 100%ක්ම මෙවැනි තත්ත්වයන් ඇති විය හැකිද නොහැකිද යන්න දැනගත හැකි වුවත් ගබ්සාවක් සිදුවීමේ ප්‍රවණතාවය 1% පවතින අතරම ලංකාවේ මෙම පරීක‍ෂණය සිදුකෙරෙනනේ ඉතාම අඩු වශයෙනි. මෙවැනි සංකූලතා කලින් හඳුනා ගත්තද කලලය ඉවත් කිරීමට ලංකාවේ නීතියට අනුව අවසර නොමැති නිසා කිසිදු පියවරක් ගත නොහැකිය

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


		    
Previous articleගැබිනි සමයේ දොලොස්වන සතිය
Next articleගැබිනි සමයේ දහහතරවන සතිය
සාරංගි රන්පටබැඳි
අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here