- Advertisement -

ගැබිනි සමයේ දහවන සතිය

-

එයාට මාව දැන් වෙනදටත් වඩා ලස්සනට පේනවලු

අම්මෙක් වෙන්න යන කාන්තාව ඇත්තටම හරිම සුන්දරයි. හැම කෙනෙක්ම එයාව දකින්න කැමති මුහුණේ පිපුණු සුන්දර හිනහවත් එක්ක. දැන් ඔයත් ඉන්නේ ඒ තත්ත්වයේමයි. ඉතිං ඔයාගෙ සැමියට ඔයාව ලස්සනට පේන එක අරුමයක් නෙවෙයි. ඔය දෙන්නම වෙනුවෙන් ඔයා දරාගෙන ඉන්න අපහසුතා ඇත්තටම එයාට බෙදා හදාගන්න පුළුවන් වුණා නම් විශ්වාසයි, ඒ දේ වැඩි කොටසක් එයා භාරගන්නවා. ඔයා මේ ගෙවන්නේ කාන්තාවකගේ ජීවිතයේ සුන්දරම කාල පරිච්ඡේදය කිව්වොත් හරි.

ගැබිනි සමයේ දහවන සතිය

මේ ඔබේ ගැබිනි සමයේ දහවන සතියේ ආරම්භයයි. දැන් ඔබේ පුංචි පැටියාගේ හිසේ සිට තට්ටම දක්වා සෙන්ටිමීටර 3.1 විතර. ඒ වගේම බර ග‍්‍රෑම් 4ක් පමණ වේ. මේ වන විට බොහොමයක් දුරට කලලය වර්ධනය වී හමාරයි. දැන් කලලයේ ඊලග සංවර්ධන කාලයයි. මින් ඉදිරියට පටක සහ අවයව වර්ධනය සිදු වේ. හිස කොටස කලලයේ සම්පූර්ණ දිගින් හරි අඩක් පමණ වේ. මුහුණේ හැඩහුරුකම් මේ වන විට හදුනා ගත හැකියි. අත්පාවල ඇගිලි මේ වන විට සම්පූර්ණයෙන් ක‍්‍රියාශීලීයි. අත්පා නැවීමට හැකියි. පාද සිරුර ඉදිරියට ගත හැකි පරිදි දිගු වී ඇත. අත්වල මැණික් කටුව ප‍්‍රදේශය හිසේ තැරවෙන තරම් දිගුය. හිසකෙස් වැඩෙමින් වර්ධනය වේ. මේ වන විටත් කලලයේ ඇස් විවෘත වී නොමැත. ස්නායු පද්ධතිය සහ ආහාර ජීරණ පද්ධතිය සංවර්ධනය වෙමින් පවතී. හිස, මොළයේ වර්ධනය සදහා ඉඩ පහසුකම් සපයමින් සිටී. කශේරුකාව හෙවත් කොදු නාරටිය මේ වන විට විනිවිද පෙනෙන සම හරහා දැකගත හැකිය. හදවත සම්පූර්ණයෙන්ම ක‍්‍රියාත්මකයි. අස්ථි සහ කාටිලේජ මේ වන විට සකස් වෙමින් පවතී. අතෙහි මැණික් කටුව, පාදයේ වළලු කර, දණහිස් සංවර්ධනය වීම සිදු වේ. ඔබට ලැබෙන්න් ගැහැණු දරුවෙකු නම් කලලයේ ඩිම්බ කෝෂ සැකසීම මේ වන විට ඇරඹෙන අතරම පිරිමි දරුවෙකුගේ නම් වෘෂණ කෝෂ මගින් පුරුෂ හෝමෝනයක් වන ටෙස්ටොස්ටෙරෝන් නිපදවීම ආරම්භ කරයි.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

කළලයට සති දහයක් වන විට අම්මාගේ කුසට වටකුරු ස්වරූපයක් හිමිව තිබුණ ද පිටතට පැහැදිලිව පෙනෙන තරම් ඉදිරියට නෙරා නැත. ටිකෙන් ටික අම්මාට දැනෙන අපහසුතා අඩු වේගන යනවා. එහෙම නේද? සති දහය සම්පූර්ණ වෙද්දී  බහුතරයක් මව්වරුන්ට මේ අපහසුතා මගහැරිලා යනවා. නමුත් ඇතම් මව්වරුන්ට ගැබිනි සමයේ දෙවන කාර්තුව තෙක්ම මේ තත්ත්වය පැවතිය හැකියි. නමුත් ගර්භණී සමය පුරාම මේ අපහසුතා පවතින මව්වරුන් ද සුළු වශයෙන් දැකගත හැකියි.

හෘදවාහිනි සහ ස්නායු පද්ධතියේ ඇති වන වෙනස්කම් මත ඇති වන හිස කරකැවිල්ල, කණස්සලු ස්වභාවය, එක් එක් අවස්ථාවලදී ඇති වන නොසැලකිලිමත් ස්වභාවය වැනි ගැටලු නිසා මේ සතිය පුරාත් ඔබ පීඩාවෙන්. කරකැවිල්ල ගතිය ඇති වූ විට හිස වම් පසට ඇලකරන්න. එවිට හදවතට රුධිරය ගමන්කිරීම වැඩි වන නිසා ඔබට යම් සහනයක් ලැබේවි. ක්‍ෂණිකව ඉරියව් වෙනස් කිරීමෙන් කලබලයට පත්වීමෙන් වළකින්න.

ගැස්ට‍්‍රයිටීස් තත්ත්වයද මේ කාලය තුළ සාමාන්‍ය තත්ත්වයක් වන බැවින් ඔබ මේ වන විටත් එයින් යම්තාක් දුරට හෝ වැළකීමට ඔබේ ආහාර රටාවන් මෙන්ම ආහාර වර්ග වෙනස් කළ යුතුය.

ගර්භණී හෝමෝනවල ප‍්‍රමාණය අධික වීම නිසා ගර්භණී සමයේ මේ කාලසීමාව වන විට මවගේ සිරුර තුළ නිපදවෙන තෙල් ප‍්‍රමාණය අධික බැවින් ඇතැම් මව්වරුන්ගේ සම මත බිබිලි, කුරුලෑ ඇති විය හැකිය. නමුත් දරුවා බිහිවීමෙන් පසුව මේ තත්ත්වය ඉවත්ව යයි.

ඒ වගේම ඇතැම් මව්වරුන්ට දහවන සතිය වන විට පෙනීමේ යම් යම් වෙනස්කම් ඇති වන අවස්ථා ද හමුවේ. එයට හේතුව මවගේ සිරුරේ රුධිර ප‍්‍රමාණය දෙගුණ වීම නිසා ඇසේ සුදු ඉගිරියාව ඝනකම් වී වක‍්‍ර වීමයි. එමගින් පෙනීමේ යම් යම් වෙනස්කම් ඇති වන අතරම දරුවා බිහිවූ විගස මේ තත්ත්වය පහව යයි.

අම්මෙක් වෙන්න යන ඔබේ අවධානය යොමු විය යුතු ”ගැබිනි මවගේ මුඛ සෞඛ්‍ය”

ගර්භණී සමයේ මව යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගතහොත් බිහි වන දරුවාට ද නිරායසයෙන්ම යහපත් මුඛ සෞඛ්‍යයක් හිමිවේ. අන්න ඒ නිසා ගැබිනි මව අනිවාර්යෙන්ම දත් පිළිබඳවත් සැලකිලිමත් විය යුතුයි. එසේම ඔබ හෘදය සම්බන්ධව යම් ආබාධ තත්ත්වයක් පවතින කාන්තාවක් නම් ඒ පිළිබඳව ඔබේ දන්ත වෛද්‍යවරයාටද දැනුම් දෙන්න. ඒ දත්වලට පිළියම් යෙදීමේදී යම් හෙයකින් හෘදය වෙත විෂබීජ යා හැකි බැවින් අවශ්‍ය වන ප්‍රතිජීවක ඖෂධ ලබාදීමට දන්ත වෛද්‍යවරයා ඔබේ තොරතුරු පිළිබඳව දැන සිටිය යුතු නිසයි.

දිනපතා දවසට දෙවරක් වරකට විනාඩි දෙක බැගින් කෑමට පසු දත් මැදින්න.

  • සෑම සුළු හෝ ආහාර වේලකට පසුවම ජලය පානය කිරීම හා කට සෝදන්න.
  • මාස හයකට වරක්වත් දන්ත වෛද්‍යවරයෙකු හමුවන්න.
  • ගර්භණී සමයේ ඔබේ ආහාර පුරුදු වෙනස් වන අතරම ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව අතර මැද දී කෙටි ආහාර වේල් කීපයක් ඔබ ලබාගනී. දත් දිරායාමට ඇති හැකියාව අවම කරගැනීමට ඒ කෙටි කෑම බීමවලින් පසුවද කට සෝදන්න. ජලය පානය කරන්න.
  • ගැබිනි සමයේ ඇති වන වමනය මගින් මුඛය තුළ ආම්ලිකතාව වැඩි වී එනමලය දියවී යාමත් වමනය ඇති වීම නිසා දත් නොමැද සිටීම නිසාත් මුඛ සෞඛය ඛෙහෙවින් පිරිහී යන අතර ඒ පිළිබඳව විශේෂ අවධනයක් යොමුකරන්න.
  • මේ කාලය තුළ ශරීරයේ හෝමෝන සාන්ද්‍රණයේ සිදුවන වෙනස්කම් විදුරුමස් කෙරෙහි ද ඛෙහෙවින් බලපායි. විදුරුමස් ඉදිමීම, දත් මදින විට විදුරුමසින් රුධිර වහනය වැනි තත්ත්වය ඇති විය හැකිය. නමුත් සුපුරුදු පරිදි දිනපතා දවසට දෙවරක් වරකට විනාඩි දෙකක් දත් මදින්න.

ගැබිනි මව්වරුන්ට ඇතැම්විට යම් යම් මුඛ රෝග ඇති වන අවස්ථා ඇති අතරම ඒ සඳහා දන්ත වෛද්‍යවරයාගේ උපදෙස් ලබාගැනීම වඩා වැදගත් වේ. විශේෂයෙන්ම ගැබිනි මව යහපත් මුඛ සෞඛ්‍යයක් පවත්වා ගැනීමෙන් බිහවන දරුවාටත් යහපත් මුඛ සෞඛ්‍යයක් නිරායාසයෙන්ම හිමිවේ.

WhatsApp භාවිතා කරනවද? අපිත් එක්ක chat එකට එකතු වෙන්න.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


LEAVE A REPLY

[gs-fb-comments]

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article