- Advertisement -

ගැබිනි සමයේ නමවන සතිය

-

දැන් මගේ පැටියට සති නවයයි, අනේ… එයා මිදි ගෙඩියක් තරමයිලු

අම්මෙක්ගේ ජීවිතයට ලැබෙන අත්දැකීම් පුදුම සහගතයි. කුසේ වැඩෙන පුංචි පැටියා මිදි ගෙඩියක් තරමයි කිව්වම අම්මට අදහගන්නවත් බැරිවෙන්න ඇති, නේද? මව් කුසේ දරුවෙකු හැදෙන්නේ බිහි වෙන්නේ මවගේ රුධිරයෙන් පෝෂණය වෙන්නේ ඇත්තෙන්ම සොබා දහමේ ප‍්‍රාතිහාරයක් විදියට තමයි. කුසේ දරුවෙක් දරාගෙන අම්මෙක් අත්දකින මේ අත්දැකීම් සමුදාය කොයිතරම් නම් සුන්දරද? අන්න ඒ නිසාම වෙන්න ඇති මේ ලෝකේ මව්පදවිය තරම් වටිනා දෙයක් නෑ කියලා කියන්නේ.

ගැබිනි සමයේ නමවන සතිය

අද වන විට ඔබේ ගර්භණී කාලය සති අට එනම් මාස දෙක සම්පූර්ණ කොට නව වන සතියට පැමිණ තිබෙනවා. හිසේ සිට තට්ටම දක්වා උස සෙන්ටිමීටර 2.3 විතර. බර ග‍්‍රෑම් දෙකක් විතර ඇති. හරියටම කිව්වොත් කලලය මේ වෙද්දි මිදි ගෙඩියක තරමයි. කලලයට එන්න එන්නම මිනිස් ස්වරූපය ලැබෙන්න පටන් අරගෙන. මේ වන විටත් කළලයේ සම්පූර්ණයෙන් සැකසී ඇති ඇස් හිස තුළම පිහිටා ඇති අතර එකිනෙක ඇලී ඇති ඇස් පියවලින් ඒවා වැසී පවතිනවා. අත් පා තවත් දිගින් වැඩි වන අතරම ඇගිලි සම්පූර්ණයෙන්ම සැකසී අවසන් නැහැ. ඇගිලිවල සංවේදී ස්ථාන මේ වන විටත් සම්පූර්ණයෙන්ම සැකසී අවසන් නැත. ඉදිරි මාසවලදී සිරුරේ කොටස් තව තවත් හොදින් වර්ධනය වීම සිදුවන අතරම අවයව මාංශපේශී සහ ස්නායු ක‍්‍රියා කිරීම ඇරඹේ. දැන් කලලයේ හදවත කුටීරවලට බෙදී අවසන්ය. ඉන්පසුව කපාට සැකසීම ආරම්භ වේ. කන්පෙති, මුඛය, නාසය සහ නාස් පුඩු පැහැදිලිව දැකගත හැකිය. අක්මාව, ප්ලීහාව, පිත්තාශය, සංවර්ධනය වෙමින් පවතින අතරම මුත‍්‍රාශය හා මුත‍්‍ර වාහිනි පද්ධතිය වෙන්ව සැකසේ. ඊට අමතරව කලලයේ හෝමෝන නිපදවීමේ සුවිශාල කර්තව්‍යය ඉටු කිරීම සදහා මේ වන විට වැදෑමහ සම්පූර්ණයෙන්ම සැකසී අවසන්. මේ වන විට ඔබේ දරුවාගේ මූලික සංවර්ධන කටයුතු බොහොමයක් සිදු වී අවසන්. ලිංගික අවයව සැකසී තිබුණ ගැහැණු පිරිමි බව වෙන්කර හදුනා ගැනීමට මේ වන විට අපහසුය.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

දැන් ඔබ කෙමෙන් කෙමෙන් ලගා වෙන්නේ ඔබේ ගැබිනි සමයේ පළමු කාර්තුවේ අවසානය දෙසටයි. තවමත් ඔබ යම් යම් අපහසුතා සමගින් කාලය ගත කරනවා ඇති. සමහරවිට දුක, සතුට යන හැගීම් අතර දෝලනය වෙමින් ඉන්නවා ඇති. මේ සියල්ල සිදුවන්නේ ගැබිනි සමයේ සිරුරේ සිදුවන හෝමෝන වෙනස්කම් නිසයි. ඔබේ සැමියා මේ වන විට ඔබව සම්පූර්ණයෙන්ම වටහා ගෙන ඇති. එසේ නැත්නම් ඔබේ තත්ත්වය පිළිබද ඔහුට පහදා දෙන්න ඔබට පුළුවන්.

දිනෙන් දින කුස තුළ වූ කලලයේ වර්ධනයත් සමග ඔබේ ගර්භාෂය මේ වන විට තරමක් විශාල ගස්ලබු ගෙඩියක් තරම් ඇති. තවත් ඉදිරියට එනම් දරුවා ලැබෙන්න දින ළංවත්ම පැසිපන්දුවක ප‍්‍රමාණය දක්වා ඔබේ ගර්භාෂය වර්ධනය වෙනවා. එමගින් මුත‍්‍රාශය වෙත ඇති වන තෙරපුම වැඩි නිසා නිතර නිතර මුත‍්‍රා පිටකිරීමේ අවශ්‍යතාවය ඔබට දැනෙනවා. මෙය ගර්භණී සමයේ සාමාන්‍ය තත්ත්වයක්.

ගැබිනි මව්වරුන් මුහුණ දෙන මෙම අවධියේ තවත් සාමාන්‍ය තත්ත්වයන් ලෙස නොසුන්සුන් බව සහ හිසරදය දැක්විය හැකියි. ඔබ ගත කරන මේ පළමු කාර්තුවේදී හිසරදය ඇති වීමට හේතුව වන්නේ සිරුරේ හෝමෝන වෙනස්කම් මත ඇති වන තත්ත්වයකි. මානසික ආතතිය, විඩාව, කුසගින්න, විජලනය යන බොහොමයක් දේ මෙම ගර්භණී සමයේ හිසරදය ඇති කිරීමට හේතුවෙයි. ඔබට මේ තත්ත්වය සදහා විශාල වශයෙන් ඖෂධ ලබාගැනීම එතරම්ම සුදුසු නොමැති නිසා යම් යම් උපක‍්‍රම යොදා ගනිමින් මගහැරීම වඩාත් උචිතය. ඔබ සිටින ස්ථානයෙන් මදක් ඈත්වන්න. නිදහස් තැනක සුළු වේලාවක් ගත කරන්න.

සති නමය වන විට ඔබේ බර රාත්තල් දෙක තුනකින් වැඩි වී තිබේ. ගැබිනි සමයේ පළමු කාර්තුව තුළ ඔබේ බර රාත්තල් 5, 6කින් වැඩි විය යුතුය. නමුත් කාන්තාවගෙන් කාන්තාවට තත්ත්වය වෙනස් වේ. ඔන්න දැන් අම්මාගේ සිරුර පිරුණු ස්වභාවයකින් දිස්වේවි. දිනෙන් දින වර්ධනය වන කලලයට අවශ්‍ය ඉඩ සැපයීම සදහා මවගේ ගර්භාෂය ප‍්‍රසාරණය වන අතරම ඒ හේතුවෙන් කුස මතුපිට සම ඇදීමකට ලක් වේ. එවිට සම මත කැසීමක් ඇතිවිය හැකිය.

ගැබිනි මව්වරුන් මේ කාලය වන විට මුහුණ දෙන තවත් අපහසුතානයක් ලෙස ගැස්ට‍්‍රයිටීස් තත්ත්වය දැක්විය හැකිය. එයද සාමාන්‍ය තත්ත්වයකි. මේ සදහා ඔබ විටින් විට සෙමින් සෙමින් ආහාර කුඩා ප‍්‍රමාණයන්ගෙන් ලබාගත යුතුය. එසේම ගැස්ට‍්‍රයිටීස් තත්ත්වය ඇති වීමට බලපෑ හැකි කාබනේට් අඩංගු බීම වර්ග, ඇතැම් කිරි නිෂ්පාදන මෙන්ම කාබෝහයිඞ්රෙට්ස් අධික ආහාර වර්ගවලින් වැලකී සිටීම නිසා ඔබට යම් පහසුවක් ඇති විය හැකිය. එසේම බෝතල් මගින් හෝ බට ආධාරයෙන් යම් යම් දේ පානය කිරීමෙන් වැළකීමද මෙහිදී වැදගත් වේ. මන්ද එවිට උදරයට ඇතුළු වන වාත ප‍්‍රමාණය වැඩි වන නිසාය.

අම්මෙක් වෙන්න යන ඔබට “ගැබිනි සමයේ ඇති වන මුත්‍රා ආසාධන”

ගැබිනි සමයේ ඔබට අනෙක් අයට වඩා පහසුවෙන් විෂ බීජ මාර්ගයෙන් හටගන්නා රෝගාබාධ ඇති වීමේ ප‍්‍රවණතාවය වැඩිය. ඒ අතරින් ගැබිනි මව්වරුන් අතර බහුලව දැකිය හැකි තත්ත්වයක් වන්නේ මුත‍්‍ර ආසාදනයයි. මෙයට මූලිකව බලපාන හේතු සාධකය වන්නේ මේ කාලය තුළ සිරුරේ ඇතිවන හෝමෝන වෙනස්කම්ය. ඊට අමතරව නිසි පමණ ජලය පානය නොකිරීම ද මේ තත්ත්වයට බලපායි. කෑම බීම පිළිබදව ඇති වන අරුචිය මත ඇතැම් මව්වරුන් ජලය පානය කිරීමෙන්ද ඇත් විය හැකිය. නමුත් වඩා සුදුසු වන්නේ උණුකර නිවාගත් ජලය පානය කිරීමයි. වෙනත් පාන වර්ගවලට වඩා සුදුසු වන්නේ එයයි.

ගැබිනි සමයේ ඔබට ඇති වන මුත‍්‍රා ආසාදන තත්ත්වය නිසා විටින් විට යටි බඩ කොරවීම, කොන්ද දෙපස ඇති වන වේදනාව, මුත‍්‍රා පිටකිරීමේදී ඇතිවන දැවිල්ල හා වේදනාව වැනි රෝග ලක්‍ෂණ පෙන්නුම් කරයි. එසේම ගර්භණී සමයේ වැඩිපුර මත‍්‍රා පිටිකිරීමේ අවශ්‍යතාවය සාමාන්‍යයෙන් දැනෙන අතරම මුත‍්‍රා ආසාදනයක් පවතින විට ඊටත් වැඩි වාර ගණනක් මුත‍්‍රා පිටකිරීමේ අවශ්‍යතාවය ඔබට දැනේ නම් ඒ පිළිබදව සැලකිලිමත්වන්න.

යටි බඩ හා කොන්ද දෙපස අධික වේදනාව, මුත‍්‍රා පිටකිරීමේදී ඇති වන වේදනවා හා දැවිල්ල,  උණගතිය සමග ඇතිවන සීතල වෙව්ලීම යන ලක්‍ෂණ වකුගඩුවලට විෂබීජ යාමේ ලක්‍ෂණ විය හැකි බැවින් වහාම වෛද්‍ය උපදෙස් ලබාගන්න.

මුත‍්‍රා පරීක්‍ෂණය සදහා මුත‍්‍රා සාම්පලයක් ලබාගැනීමේදී ඉතාම වැදගත් වන්නේ මුත‍්‍ර සාම්පලය එකතු කරගන්නා ක‍්‍රමයයි. එසේ නිවැරදි ලෙස මුත‍්‍රා එකතු කිරීමක් සිදු නොවුණ හොත් නිවැරදි වාර්තාවක් නොලැබී යාමෙන් රෝගී තත්ත්වය හරිහැටි හදුනා ගෙන නිසි ප‍්‍රතිකාරය ලබාගැනීමට අපහසු වේ.

සැමවිටම ඖෂධ ආරම්භයට පෙර මුත‍්‍ර පරීක්‍ෂණය සදහා මුත‍්‍රා ලබා දීම ඉතා වැදගත්ය.

පරීක්‍ෂණය සදහා මුත‍්‍රා සාම්පලය ලබාදීමේදි : 

  1. මුත‍්‍රා කරන ප‍්‍රදේශය හොදින් සෝදා වියලාගන්න

2.  මුලින් පිටවන මුත‍්‍රා ඉවත්වන්නට ඉඩ හැර මුත‍්‍රා එකතු කරන බදුනට එක්කරගන්න

සැ. යු. බදුන විවෘත කළ යුත්තේ ඒ අවස්ථාවේදීමය. බදුනේ මුව මෙන්ම පියනද කිසිදු ස්ථානයක නොගෑවෙන පරිදි මුත‍්‍රා සාම්පලය එකතු කරගන්න. එසේ එකතු කරගත් මුත‍්‍රා සාම්පලය පැයක් ඇතුළත රසායනාගාරය වෙත ලබාදීම අනිවාර්යයි.

එසේම මුත‍්‍ර පරීක්‍ෂණයෙන් පසු වෛද්‍යවරයා එම ආසාදන තත්ත්වය හේතුවෙන් නියම කරනු ලබන ප‍්‍රතිජීවක ඖෂධ වර්ගය නියමිත දින ගණන නියමිත කාල වේලාව අනුව ලබාගත යුත්තේ විෂබීජ සම්පූර්ණයෙන් විනාෂ නොවීම නිසා රෝගී තත්ත්වය නැවත නැවත ඇති විය හැකි බැවිනි.

ගැබිනි මවට විෂ බීජ මගින් ඇති විය හැකි මෙම මුත‍්‍ර ආසාදන වැළකීමට නම්

  • පිරිසිදු ජලය මෙන්ම දියර වර්ග වැඩිපුර පාවිච්චි කරන්න
  • අවශ්‍යතාවය දැණුනු විගස මුත‍්‍රා පිටකිරීමට පුරුදුවන්න
  • මලබද්ධ තත්ත්වය වළක්වා ගැනීමට වගබලාගන්න
  • සැමවිටම මුත‍්‍රා කිරීමෙන් අනතුරුව ඒ පෙදෙස හො`දින් පිරිසිදුකර වියලිව තබාගන්න

WhatsApp භාවිතා කරනවද? අපිත් එක්ක chat එකට එකතු වෙන්න.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


LEAVE A REPLY

[gs-fb-comments]

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article