- Advertisement -

ගැබිනි සමයේ සත්වන සතිය

-

චූටියා ගැන හිතලා හිතලම අම්මාගේ හිත පිරිලා

චූටි පැටියට දැන් සති හතක්. අපහසුතා කොයිතරම් දැණුනත් එයා ගැන හිතේ ඇදුණු රූපෙත් එක්ක කාලෙ ගත කරන එක හැම අම්මෙක්ටම ලොකු සතුටක්. පැටියගේ තාත්තා කාමරේ බිත්තියේ එල්ලපු පුංචි බබාගේ ලස්සන රූපය අම්මට හැම නිතරම මැවිලා පේනවා නේද? සන්සුන්ව කාරුණිකව ආගම දහමට අනුව ජීවත් වෙන අම්මට ඒ වගේ ලස්සන නිරෝගී දරුවෙක් ලෝකෙට දායාද කරන්න පුළුවන්. අම්මට මතකයි නේද? මේ වන විටත් ඔබ රජයේ සායනයේ හෝ වෛද්‍යවරයෙකු යටතේ ලියාපදිංචි වී නැතිනම් වහාම ඒ සඳහා යොමුවන්න. කළලයට සති අට සම්පූර්ණ වීම ප‍්‍රථම ඒ කාර්යය අවසන් කිරීම ඔබට මෙන්ම බිහිවන දරුවාට ද වැදගත් වේ.

ගැබිනි සමයේ සත්වන සතිය

සත්වන සතිය තුළ ප‍්‍රමාණයෙන් දෙගුණයක් වන කලලයේ තට්ටමේ සිට හිස දක්වා දිග මිලිමීටර් 11ත් 13ත් අතර ප‍්‍රමාණයකි. මේ සතිය තුළ කලලයේ වකුගඩු, දන්ත අංකුර මෙන්ම මොළයේ ෙසෙල හොඳින් වර්ධනය වෙමින් පවතී. මුඛය සැකසෙමින් පවති. ඒ වගේම ඇස් සහ නාසය සැළකිය යුතු ප‍්‍රමාණයකින් වර්ධනය වීම සිදු වේ. උරහිස්, දණ හිස්, අත් පා කෙමෙන් කෙමෙන් වර්ධනය වීම සිදු වේ. අත් පාවල කුඩා ඇඟිලිවල ස්වරූපය මේ වන විට මතු වෙමින් පවතී. ඒ වගේම බහිස‍්‍රාවී පද්ධතිය මෙන්ම අක්මාව සැකසීමට පටන්ගෙන ඇති අතරම ඇට මිදුලු සංවර්ධනය වීම හත් වන සතිය තුළ සම්පූර්ණ වේ. එසේම ඉතා ඉක්මණින්ම රතු රුධිර ෙසෙල නිපදවීම ආරම්භ වීමට නියමිතය. එසේම කලලයේ දක්කට ලැබෙන කුඩා වලිගය බඳු  කොටස කෙමෙන් අඩු වී යන ආකාරය පෙන්නුම් කරයි. මේ වෙද්දී ඉතා සීග‍්‍ර ලෙස වර්ධනය වන කලලය දංගෙඩියකට වඩා සුළු ප‍්‍රමාණයක් විශාලය.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතයත් ටිකෙන් ටික වෙනස් යෙවන්න පටන්ගන්නවා

ඇත්ත නේන්නම්. දැන් අම්මා ක්ලිනික් යන්නත්  ඕනෙ. අලූත් අලූත් දේවල් ජීවිතයට එකතු වෙන්න පටන් අරගෙන. මේ වන විටත් අම්මා වෛද්‍යවරයා ළඟ හෝ පවුල් සෞඛ්‍ය නිළධාරිනිය යටතේ ලියාපදිංචි වෙලා ඇති. තවමත් ඔබ ඒ සඳහා යොමු වූයේ නැති නම් කුමන අපහසුතා තිබුණ ද මේ සතිය ඇතුළත සායනය වෙත යන්න.

සායනයට සහභාගී වන අම්මාට නුපුරුදු ගැටලූ රාශියක් වෛද්‍ය නිළධාරීන් යොමුකරාවි. ඔබ පිළිබඳව සත්‍ය මෙන්ම නිවැරදි තොරතුරු ලබාදීම ඉතා වැදගත් බව සිහිතබාගන්න.

උදෑසන වමනය, ශාරීරික අපහසුතාවය, විඩාපත් බව, වැඩි වශයෙන් මුත‍්‍රා පිටිවීම වැනි නොයෙකුත් අපහසුතා තවමත් ඔබට දැනෙනවා. එහෙම නේද? පෙර ලිපියේ සඳහන් කළ යම් යම් උපක‍්‍රම මගින් අපහසුතා යම්තාක් දුරට සමනය කරගන්න ඔබට හැකිවේවි.

අම්මෙක් වෙන්න යන ඔබ දත යුතුතෛරොයිඞ් ග්‍රන්ථියේ ආබාධ ” 

ඔබේ ගෙලේ මැද පහතින් පිහිටා ඇති සමනල හැඩැති කුඩා ග‍්‍රන්ථිය තයිරොයිඞ් ග‍්‍රන්ථීයයි. එය තෛරොක්සීන් හෝමෝනය නිෂ්පාදනයට ඉවහල් වේ. එහි ක‍්‍රියාකාරීත්වය මෙන්ම ව්‍යුහයේද ඇතිවන අසමතුලිතතාවයන් නිසා තයිරොයික්සින් නිපදවීම අධික වීම හෝ අවම වීම මගින් එක් එක් රෝගබාධ තත්ත්වයන් ඇති විය හැකිය.

ගැබිනි සමයේ පළමු ත්‍රෛමාසිකය ඇතුළත වැඩෙන කලලයේ මොළයේ ස්නායු පද්ධතියේ සංවර්ධනය සඳහා අවශ්‍ය තෛරොක්සීන් හෝමෝනය ලබාගන්නේ මව හරහාය. කලලයේ තෛරොක්සීන් නිපදවීම සිදුවන්නේ සති දොලහෙන් පසුවෙයි. ඒ වගේම කලලයට අවශ්‍ය අයඞීන් ලබාගන්නේද මව හරහාය. ඔබ තෛරොයිඞ් ග‍්‍රන්ථියේ ආබාධ ඇති අයෙක් නම් ඒ පිළිබඳව සැලකිලිමත් විය යුත්තේ එබැවිනි.

ඇතැම් මව්වරුන්ට අධික ලෙසද ඇතැමුන්ට අවම ලෙසද තෛරොක්සීන් නිපදවීම සිදුවේ. ඇතැමුන්ගේ යම් යම් සංකූලතා මත එය ඉවත් කොට තිබිය හැකිය. ඔබ මේ අතරින් කුමන තත්ත්වයේ සිටියද වෛද්‍ය උපදෙස් ලබාගැනීම අනිවාර්ය වේ.

තෛරොයිඞ් ග‍්‍රන්ථියේ තෛරොක්සීන් හෝමෝනය නිපදවීම අඩු මව්වරුන් ගැබ් ගැනීමෙන් පසුවද නොනවත්වා ඖෂධ ලබාගැනීම වැදගත් වේ. වෛද්‍ය උපදෙස් මත ලබාදෙන ඖෂධ මාත‍්‍රාව 25%ක ප‍්‍රමාණයකින් වැඩි කරනු ලබයි. මන්ද කලලයට සති 12 සම්පූර්ණ වන තෙක් මේ අවශ්‍ය තෛරොක්සීන් හෝමෝනය ලබාගන්නේ මව හරහාය.

එසේම තෛරොයිඞ් ග‍්‍රන්ථියේ තෛරොක්සීන් හෝමෝනය නිපදවීම වැඩි මව්වරුන්ද ඖෂධ ලබාගැනීම නොනවත්වා සිදු කළ යුතුය. ඒ, ඖෂධ ලබාගැනීමෙන් ලැබෙන වාසි සහගත තත්ත්වය හානිදායක තත්ත්වයට වඩා බොහෝ වැඩි බැවිනි. එසේම අධික වමනය, විජලන තත්ත්වය මෙන්ම ආසාදනවලට ලක්වීම මෙවැනි මව්වරුන්ට හානිදායක තත්ත්වයන් ඇතිවීමට හේතු විය හැකි බැවින් සැමවිටම එවැනි තත්ත්වයන්ගෙන් වැළකී සිටීමට උත්සාහ කරන්න. එසේම ඇස්ප‍්‍රින් ඖෂධය ලබාගැනීම සම්බන්ධව වෛද්‍ය උපදෙස් ලබාගන්න.

තෛරොයිඞ් ග‍්‍රන්ථියේ ආබාධ ඇති මව්වරුන්ද සති 28, 32 සහ 36 යන කාලසීමාවන්වලදී ස්කෑන් පරීක්‍ෂණයන්ට යොමුකරන අතරම කලලයේ තත්ත්වය එමගින් නිරීක්‍ෂණය කරනු ලැබේ.

WhatsApp භාවිතා කරනවද? අපිත් එක්ක chat එකට එකතු වෙන්න.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


LEAVE A REPLY

[gs-fb-comments]

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article