ගැබිනි සමයේ පස්වන සතිය

week-5

කෝ මගේ චූටි පැටියා, කිසිම සද්දයක් නෑනේ

කාලය ගෙවෙන්නේ හරිම හිමින්.. එහෙම නේද අම්මට හිතෙන්නේ. අම්මාගේ චූටියට අදට හරියටම සති පහයි. ඉතිං කොහොමද එයා ඉන්න බව අම්මටවත් තාත්තටවත් අඟවන්නේ. පැටියා දැක ගන්න අම්මෙක්ගේ හිතේ කොයිතරම් නම් ආසාවක් තියෙනවද? ජීවිතයට අලුත් අත්දැකීම් එකතු කරමින් චූටියා දවසින් දවස ලොකු වේවි. ඉක්මණින්ම අම්මාගේ දෝතට එන දවස ළං වේවි. කුස පිරිමදින් බොහොම ආදරණීය සිතුවිලි ගොන්නක ඉඳන් ඔබ හිතින් මවාගෙන ඉන්න දරු පැටියා තාම තල ඇටයක් තරමයි. පුදුමයි නේද? ඇත්තටම එයා තල ඇටයක් තරම් ඇති.

ගැබිනි සමයේ පස්වන සතිය

දැන් ඔබේ කළලයට සති පහයි. ඒ කියන්නේ දෙවන මාසයේ ආරම්භය. මේ කළලය ඉතා සීග‍්‍රයෙන් වැඩෙන්නට පටන් අරගෙන. මේ වන විට තල ඇටයක ප‍්‍රමාණයක්. දිග මිලිමීටර් දෙකක් විතර ඇති. කලලයේ ඇතුළත ෙසෙළ ගොනුව ක‍්‍රමයෙන් බෙදී පිළිවෙළට ඇහිරෙමින් ජීවියෙකුගේ මූලික හැඩය මේ වන විට කළලයට ලැබෙමින් පවතිනවා. පුංචි ඉස්ගෙඩියෙකුගේ හැඩය මේ වන විට කලලයට ලැබිලා තියෙනවා. ස්ථර තුනකින් කලලය සමන්විතයි. ඒ බහිෂ්චර්මය, මධ්‍ය චර්මය සහ අන්තෝචර්මය අවයව සහ පටක සඳහා හේතුවන කොටස්ය. විනිවිද පෙනෙන සම තුළින් කලලයේ සැකසෙමින් පවතින ස්නායු පද්ධතිය වගේම මොළය දැකගත හැකිය. රුධිර සංසරණ පද්ධතිය සැකසීම ආරම්භ වෙලා. හෘදය දැන් ක‍්‍රියාත්මකයි. එසේම හිසකෙස්, නියපොතු, දහඩිය ග‍්‍රන්ථි, දත්, ස්තන ග‍්‍රන්ථි සහ ස්වේද ග‍්‍රන්ථි සැකසීම මේ කාලය තුළ ආරම්භ වෙනවා. ඒ වගේම කළලයේ පෙනහලු, අන්ත‍්‍රය, මුත‍්‍ර වාහිනී පද්ධතිය මෙන්ම තෛරරොයිඞ් ග‍්‍රන්ථි, අක්මාව, අග්න්‍යාශය ක‍්‍රමක‍්‍රමයෙන් වර්ධනය වෙනවා. අලුත් වැදෑමහ සහ පෙකෙණියෙන් කලලයට අවශ්‍ය පෝෂණය හා ඔක්සිජන් නොඅඩුව ලබාදෙනවා.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තව ටිකක් වෙනස් වෙන්න පටන්ගන්නවා

මේ වන විටත් බොහොමයක් අපහසුතා ඔබට ඇති. උදෑසන වමනය, නිතර නිතර මුත‍්‍රා පිටවීම, පියයුරුවල තද ගතිය සහ පියයුරු අග වේදනාව, තෙහෙට්ටුව ඔබේ පැමිණිල අතර වේ. තවත් සති කිහිපයක් ගතවන තුරු මේ තත්ත්වය මේ ආකාරයෙන්ම පැවතිය හැකිය. ඔබේ කුස තවමත් පිටතට නෙරාවිත් නැහැ.

වමනය ඔක්කාරය සඳහා පුංචි පුංචි උපක‍්‍රම ඔබ විසින්ම සොයාගන්න. එසේම වෛද්‍ය උපදෙස් මත ඇවිදීම පිහිනීම වැනි සුදුසු ව්‍යායාමයක නිරත වීමෙන් බර නිසි මට්ටමේ පවත්වා ගැනීමට මෙන්ම අපහසුතා අවම කිරීමටත් මානසික ආතතිය පාලනය කිරීමටත් වඩාත් සුදුසුය.

අම්මෙක් වෙන්න යන ඔබ වෙනුවන් “සෞඛ්‍ය ක්ෂේත්‍රය හරහා ඉටුවන සේවාව”

ශ‍්‍රී ලංකාවේ  ඕනෑම ප‍්‍රදේශයක ජීවත් වන ගැබිනි මවක් සඳහා අවශ්‍ය සේවාවන් උපරිමයෙන් සැපයීමට සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය බැඳී සිටින අතරම මාතෘ සායනවලදී මෙන්ම පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනිය නිවසට පැමිණ ගැබිනි මව පරීක්‍ෂා කිරීම සිදු කරයි. එසේම සායන සඳහා සහභාගී විය යුතු දිනය, ස්ථානය සහ වේලාවන් පිළිබඳව පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනයගෙන් දැනුවත් වීමට ඔබට හැකිය. මෙහිදී පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන් අතින් ඉටුවන මෙහෙය ප‍්‍රශංසනීයයි. නිවසට පැමිණෙන ඇයට ඔබගේ උපරිම සහයෝගය ලබාදිය යුතුය. ලොව කිසිදු රටක දැක ගත නොහැකි තරම් ගෞරවනීය සේවාවක් උපරිම කැපවීමෙන් යුතුව අපේ රටේ පවුල් සෞඛ්‍ය සේවා නිළදාරියන් විසින් ලබා දේ.

මසකට වරක් මාතෘ සායනයට සහභාගී වී : 
  • බර මැන සටහන් කරවාගන්න.
  • මුත‍්‍රා පරීක්‍ෂාව සිදුකරගන්න (සීනි සහ ප්‍රෝටීන පරීක්‍ෂාව)
  • රුධිර පීඩනය පරීක්‍ෂා කරගන්න.

දරු ප‍්‍රසූතිය සඳහා සංකූලතාවයන් රහිත මව්වරුන් අදාල ප‍්‍රදේශයේ රජයේ රෝහල වෙත යොමු කෙරෙන අතර සංකූලතා ඇති මව්වරුන් ඇතුළත් විය යුතු රෝහල පිළිබඳව වෛද්‍යවරයා උපදෙස් ලබාදෙයි. ඒ, යම් හදිසි තත්ත්වයක් මත මව සහ දරුවා වෙනත් රෝහලකට මාරු කර යැවීමට වඩා අවශ්‍ය සියලූ පහසුකම් සහිත රෝහලකට ඇතුළත් වීම වඩා පහසු සහ ඉක්මන් බැවිනි.

ඔබ පළමුවෙන්ම වෛද්‍යවරයා හමුවන විට මෙන්ම මේ කරුණු පිළිබඳව සිහි තබාගන්න.

ඔබගේ ඔසප් චක‍්‍රය ක‍්‍රමවත් නම් අවසාන වරට ඔසප් සිදු වූ දිනය සිහි තබාගැනීම වැදගත් වන්නේ වෛද්‍යවරයා හෝ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනිය කළලයට දැනට සති ගණන මෙන්න දරුවා ප‍්‍රසූත කරන දිනය සකස් කිරීම සඳහා ඒ පිළිබඳව විමසන බැවිනි. නමුත් අක‍්‍රමවත් ඔසප් චක‍්‍රයක් තිබූ අයෙක් නම් මේ පිළිබඳ  පසුතැවීම අනවශ්‍යය. මන්ද අල්ට‍්‍රා සවුන්ඞ් ස්කෑන් පරීක්‍ෂණය හරහා අවශ්‍ය තොරතුරු සකස් කරගත හැකි බැවිනි.

ඔබට ඇති සියලු ගැටලු සහ ශාරීරික අපහසුතා පිළිබඳ වෛද්‍යවරයා සමග සාකච්ඡ කරන්න. ඔබට අමතක වේ යැයි සිතේ නම් ඒ සියල්ල සටහන් කරගෙන යන්න. එමගින් ඔබට අවශ්‍ය වෘත්තීය උපදෙස් ලබාගැනීමට පහසු වනු ඇත.

ඔබ කුමක් හෝ රෝග තත්ත්වයකින් පෙලෙන්නේ නම් ඒ පිළිබඳ සියලු වෛද්‍ය වාර්තා සහ ලබාගන්නා ඖෂධ සියලු විස්තර පිළිබඳ වෛද්‍යවරයා දැනුවත් කර අවශ්‍ය උපදෙස් ලබාගන්න.

මෙන්ම මේ කරුණු ඔබේ ගර්භණී සමයට තවත් පහසුවක් වේවි. ඉතිං ඔබට පුළුවන් මේ කොටසේ පිටපතක් මුද්‍රණය කරලා ළඟ තියාගන්න. ගර්භණී කාලය පුරා ඔබ කළ යුතු පරීක්‍ෂණ එවිට ඔබට කොහෙත්ම මගඇරෙන එකක් නෑ.

අපි බලමු ගැබිනි සමයේ මුල් මාස තුන පිළිබඳව.     

අපි කලිනුත් කිව්වා වගේ ගර්භණී බව තහවුරු වූ විගස ඒ පිළිබඳව පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියට දැනුම් දීමෙන් අනතුරුව ඇය නිවසට පැමිණ හෝ ඇයගේ සේවා ස්ථානයේදී අදාල පෝරමයේ ඔබේ සියලු තොරතුරු ඇතුළත් කර මාතෘ සායනයේ ඔබව ලියාපදිංචි කරන බවා ඒ හරහා අදාල ප‍්‍රදේශයේ රජයේ රෝහල වෙතත් ඔබව යොමු කෙරෙනවා. ගැබිනි මව්වරුන් සඳහා අවශ්‍ය බොහොමයක් පරීක්‍ෂණ මාතෘ සායන හරහා ද තවත් අත්‍යවශ්‍ය විශේෂිත පරීක්‍ෂණ රෝහල හරහා ද සිදුකෙරෙනවා.

රෝහලේදී නාරි හා ප‍්‍රසව විශේෂඥ වෛද්‍යවරයෙකු යටතේ මවගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පූර්ණ නිරීක්‍ෂණයක් සිදු කෙරනවා. එහිදී පහත සඳහන් තත්ත්වයන් පිළිබඳව සොයා බැලෙනවා.

මවගේ පෙර ගර්භණීතාවයේදී ඇති වූ දියවැඩියාව, අධි රුධිර පීඩනය, වකුගඩු රෝග, සංජානනීය ආබාධ තත්ත්වයන්, කලින් ප‍්‍රසූතියේදී බර කිලෝ ග‍්‍රෑම් 2.5 අඩු දරු උපත් සිදුවීම යන කරුණු පිළිබඳව සොයා බැලෙන අතරම එවැනි මව්වරුන්ට වෛද්‍ය උපදෙස් මත ඇස්ප‍්‍රින් ඖෂධය ආරම්භ කිරීමට සිදු වේ. මේ සියල්ල සිදුවන්නේ වෛද්‍යවරයාගේ උපදෙස්වලට අනුවයි.

මසකට වරක් පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනිය නිවසටම පැමිණ ඔබව පරීක්‍ෂා කරන අතරම ගර්භ පරීක්ෂාවට අමතරව පෝෂණය, ප‍්‍රසුතිය පිළිබඳ ද ඇය ඔබ දැනුවත් කරනු ඇත. එසේම ප‍්‍රාදේශීය සෞඛ්‍ය ආයතන තුළ පූර්ව ප‍්‍රසව සැසි පවත්වනු ලැබේ. මුල් සති දොළහ තුළ පවත්වනු ලබන පළමු සැසියේදී ගර්භණි අවධියේ මුල් කාලයේදී ඇති වන අපහසුතා අවම කර ගැනීමට උපදෙස් ලබාදීම, දරුවා වැඩෙන අයුරු විඞීයෝ දර්ශන අනුසාරයෙන් දැනුවත් කිරීම, ගර්භණී සමයේ අවදානම් තත්ත්වයන්, පෝෂණය  පිළිබඳ, ගර්භණී සමයේ ලිංගිකව සම්පේ‍්‍රෂණය වන රෝග, ගර්භණී සමයේ යහ පැවැත්ම, දන්ත සෞඛ්‍යය, ගර්භණී මව කෙරෙහි සැමියාගේ කාර්ය භාර්ය ආදී මාතෘකා පිළිබඳ ඔබට දැනුම ලබා දෙයි.

ගැබ් ගත් දිනයේ සිට ප‍්‍රසූතිය දක්වාම රෝහල හා මාතෘ සායනය මවකගේ සියලු කටයුතු සඳහා සහයෝගීව ක‍්‍රියාකරයි. පළමු ත්‍රෛමාසිකයේදී මාතෘ සායනය සඳහා මසකට වරක් සහභාගී විය යුතු අතරම සංකූලතාවයන්ගෙන් තොර සාමාන්‍ය තත්ත්වයේ මවක් රෝහල වෙත යොමුකෙරන්නේ සති දොලහේදීය.

පළමු මාතෘ සායනයේදී සිදු කෙරෙන පරීක්ෂණ

  • මවගේ උස සහ බර
  • රුධිර පීඩනය
  • රුධිරයේ යකඩ ප‍්‍රමාණය, රුධිර ඝණය, HIV රුධිර පරීක්‍ෂණය
  • රීසස් සාධකය
  • ග්ලූකෝස් පරීක්‍ෂාව

සෑම ගැබිනි මවකටම රෝහල හරහා සති 12 දී ප‍්‍රසූතියට දින සකස් කෙරෙන ස්කෑන් පරීක්‍ෂණය සිදු කෙරේ. මෙම ස්කෑන් පරීක්‍ෂණය හරහා දරුවා ලැබෙන දිනය නිර්ණය කිරීමට අමතරව දරුවාගේ යම් ආසාමාන්‍යතා වේ නම් ඒ පිළිබඳව ද ඩවවුන්ස් සහ ලක්‍ෂණ පිළිබඳව ද හඳුනා ගැනීමට හැකියාව ලැබේ. එසේම ගැබිනි සමයේ ඉදිරිකාලයේදී මවකට ඇති විය හැකි සංකූලතාවයන් පිළිබඳවත් කල්තියා යම් අදහසක් ලබාගැනීමට මේ ස්කෑන් පරීක්‍ෂණය ඉවහල් වේ. මේ කරුණු අනුව සෑම මවක්ම ඉහත සඳහන් කළ සති 12 ස්කෑන් පරීක්‍ෂණය සඳහා යොමුවීම ඉතාම වැදගත්ය.

WhatsApp භාවිතා කරනවද? අපිත් එක්ක chat එකට එකතු වෙන්න.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here