Home පළමු ත්‍රෛමාසිකය ගැබිනි සමයේ සිව්වන සතිය

ගැබිනි සමයේ සිව්වන සතිය

week-4

අලුත් ආරංචිය ලැබුණද?

හාහාපුරා කියලා මව්පියන් වෙන්න දහසකුත් බලාපොරොත්තු හිත ඇතුළේ කැටි කරගෙන බලා ඉන්න යුවළක් අලුත් ආරංචිය ලැබෙනතුරු ඉන්නේ නොඉවසිල්ලෙන්. මේ ලෝකේ හැම අම්මෙක් තාත්තෙක්ම ඒ වගෙයි. අද කරන පරීක්‍ෂණයෙන් සතුටුදායක පිළිතුරක් ඔබට ලැබේවි. ඒ නැතත් තැවෙන්න එපා, මොකද සමහරවිට ඒ සතුටුදායක ආරංචියට තව ටික දවසක් ගතවෙන්නත් පුළුවන්. තාම ගෙවුණේ සති හතරක් විතරයි. දවසින් දවස සතියෙන් සතිය අලුත් අලුත් අත්දැකීම් ගොඩක්. කුස තුළ හොවා ආදරයෙන් පෝෂණය කරන අම්මාගේ චූටියා මිලිමීටර දෙකක් විතර ඇති. අම්මට හිතාගන්නවත් බැහැ නේද?

ගැබිනි සමයේ සිව්වන සතිය

සිව්වන සතියේ සිට කළල කාලය ඇරඹෙන අතරම සියලුම අවයවයන් හා ශරීර කොටස් සැකසෙන්නේ මෙතැන් සිට සති 12ක් දක්වා කාලය තුළයි. මේ කාලය තුළ මිලිමීටර දෙකක් තරම් වූ කළලය එපිබ්ලාස්ට් සහ හයිපෝබ්ලාස්ට් ලෙස ස්ථර දෙකකින් යුක්තයි.

වැදෑමහේ පූර්ව අවධිය මේ අවස්ථාවේ සිට සැකසෙන අතරම එයද ස්ථර දෙකකින් යුක්තය. මවගේ රුධිරය ගලා යාමට උමං මගක් සේ ක‍්‍රියාත්මක වන වැදෑමහ, වැඩෙන කලලයේ ෙසෙල වර්ධනය සඳහා අවශ්‍ය ඔක්සිජන් සහ සියලු පෝෂ්‍ය පදාර්ථ ලබාදෙයි. උල්බ තරලය පිරි කෝෂය (ව්‍යවහාරයේ වෝටර් බෑග් එක) තුළ කලලය දිනෙන් දින වර්ධනය වේ. එමගින් වැදෑමහ ක‍්‍රමානුකූලව වර්ධනය වන තුරු දරුවාගේ රතු රුධිර ෙසෙල නිපදවීම මෙන්ම පෝෂණය ලබාදීම සිදු කරනු ලබන්නේ එම තරලය මගින්ය.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතයත් ටිකෙන් ටික වෙනස් වෙන්න පටන්ගන්නවා

පුංචි පුංචි අපහසුතා අම්මට දැනෙන්න පටන් අරගෙන. එහෙම නේද? වෙනදා කිරි වීදුරුවෙන් දවස පටන් ගනිපු ඔයාට දැන් ඒ දිහා බලන්නවත් හිතෙන්නෙ නැතිව ඇති. ඒත් පියෙක් වෙන්න ආසාවෙන් බලාගෙන ඉන්න ඔයාගේ සැමියා ඇඳ ළඟටම කිරි වීදුරුව අරන් ඇවිත්. එක උගුරක් හරි බොන්න බලන්න. මේ ඔයාගේ සැමියා මුලින්ම හදපු කිරි වීදුරුව වෙන්නත් පුළුවන්. ඒත් බොන්න හිතෙන්නෙම නැත්නම් එයාට ඒ ගැන හිමිහිට කියන්න.

ඒ වගේම මෙන්ම මේ වගේ අපහසුතාවයන් දවසින් දවස ඔයාගේ ජීවිතයට එකතු වේවි.

කෑම අරුචිය – ගැබ් ගැනීමත් සමගම කාන්තාවන් වැඩි පිරිසකට ආහාර වර්ග, ඒවායේ සුවඳ පිළිබඳ අප‍්‍රසන්නතාවයක් ඇති වේ. එමෙන්ම වෙනදා අකමැති වූ කෑම බීම වර්ග කෙරේ ආසාවක් ඇති වෙන්නත් ඉඩ තියෙනවා.

ඔක්කාරය සහ වමනය – ගර්භණී කාන්තාවන් සුළු පිරිසකට වමනය හෝ ඔක්කාරය ඇති නොවන අතරම බහුතරයක් මේ තත්ත්වයට මුහුණපායි. මේ තත්ත්වය ඇති වන්නට ඇතැම් විට සතියක් පමණ ද ඇතැම් විට මාසයක කාලයක් ද ගත විය හැකිය. එසේම මෙය උදෑසනට පමණක් සීමා නොවේ. දවසේ  ඕනෑම අවස්ථාවකදී  ඔක්කාරය ඇති වේ. ඇතැම් කාන්තාවන්ට මාස තුනක් හතරක් යන විට මේ තත්ත්වය පහව යන අතරම ඇතැමුන්ට ගර්භණී කාල සීමාව පුරාම පවතී.

වැඩිපුර මුත‍්‍රා පිටවීම – සිරුරේ හෝමෝනවල සිදුවන වෙනස්කම් මේ තත්ත්වයට හේතුවක් ලෙස දැක්විය හැකියි. ඒ හේතුවෙන් වකුගඩුවල රුධිරය පෙරීම සම්බන්ධව බලපෑම් ඇති කරන නිසා මුත‍්‍රාශය ඉක්මණින් පිරී නිතර නිතර මුත‍්‍රා පිටකිරීමේ අවශ්‍යතාවය ඔබට දැනේ. එමෙන්ම කළලයේ වර්ධනයත් සමගම මුත‍්‍රාශය මත යෙදෙන තෙරපුම වැඩි වෙන නිසා ද මේ තත්ත්වය වැඩි වේ.

පියයුරුවල වෙනස්කම් ඇති වීම – සිරුරේ හෝමෝනවල ක‍්‍රියාකාරීත්වය වැඩිවීම හේතුවෙන් පියයුරු පිම්බුණු ස්වභාවයක් ගනී. එසේම ඇල්ලූ විට වේදනාවක් ඇති වේ. තද බවින් යුක්තය.

අධික මහන්සිය – මේ සඳහා ද හේතු වන්නේ සිරුරේ සිදුවන අධික හෝමෝන වෙනස් වීමයි.

ගැබ් ගැනීමත් සමග සිරුරේ ඇති වූ හෝමෝන වෙනස් වීම හේතුවෙන් සිදුවන මේ වෙනස්කම් සිරුර එම හෝමෝනවලට හුරුවීමත් සමගම පහව යයි.

අම්මෙක් වෙන්න යන ඔබ මේ ගැනත් දැනගන්න

අලුත් ආරංචිය ලැබුණු ගමන් ඒ කියන්නේ ඔබ ගැබිනියක් බව දැනගත් වහාම ඔබේ සැමියා සමග ගොස් පවුල් සෞඛ්‍ය නිළධාරිනිය හමුවී ඇය යටතේ ලියාපදිංචි වීමට අමතක කරන්න නම් එපා. ඇඟට දැනෙන අපහසුතා නිසා අද හෙටම බැරි වුණත් සති අට සම්පුර්ණ වෙන්න කලින් නම් ඔබ ඒ කාර්යය අවසන් කළ යුතුමයි. මොකද ඇතැම් මව්වරුන්ට ඇති විය හැකි යම් යම් සංකූලතා හඳුනා ගැනීම තුළින් ඒවා මැඩපවත්වා ගැනීමට අවශ්‍ය පිළියම් යෙදීම පහසු වෙන්නේ එවිටයි.

ඒ විතරක් නෙවෙයි, මෙන්න මේ කරුණු ගැනත් අම්මාගේ අවධානය යොමු වෙන්න  ඕනේ. මේ ගැන හිතට බයක් ඇති කරගන්න එපා. මවක් වෙන්නට යන ගමනේ ඇති විය හැකි යම් යම් බාධක අවම කරගැනීමට මේ කරුණු පිළිබඳවත් දැනුවත් වීම අත්‍යවශ්‍යයි.

ගර්භාෂය තුළ වගේම පැලෝපීය නාලයේ හෝ ඉන් පිටත දරුවෙකු පිළිසිඳ ගන්නා අවස්ථාත් ගැබිනි මව්වරුන් අතරින් වාර්තා වෙනවා. අන්න ඒ නිසා උදරයේ වේදනාවක් හෝ දුඹුරු පැහැයෙන් රුධිර වහනයක් හෝ තිබෙනවා නම් ඉතා ඉක්මණින් වෛද්‍ය උපදෙස් ලබාගන්න.

ඒ වගේම  ඕනෑම පිළිසිඳ  ගැනීමකට ගබ්සා තත්ත්වයක් ඇති වීමේ 20%ක ප‍්‍රවණතාවයක් පවතිනවා. ඒක  ඕනෙම අම්මෙකුගේ හිතට ලොකු ෙවේදනාවක්. ඒ වගේම දරුවා දැකගන්න ආසාවෙන් බලන් හිටපු තාත්තටත් දරාගන්න අමාරුයි. මේ වගේ අවස්ථාවල අම්මලා වගේම තාත්තලා තීරණය කරනවා ඔවුන් අතින් සිදු වුණු යම් යම් සිදුවීම් නිසා තමයි මේ ගබ්සා වීම සිදු වුණේ කියලා. නමුත් ඇත්තටම හිතලා බැලුවොත් එවැනි තත්ත්වයන් ඇති වෙන්නේ කලලයේ යම් යම් අසාමාන්‍යතා නිසයි. මව්වරුන් පස්දෙනෙකු ගත්තොත් එක් අයෙකුට ගබ්සා වීමක් සිදුවිය හැකියි. නමුත් දිගින් දිගටම තුන්වරක් පමණ මෙසේ ගබ්සා වීම් සිදු වූ කාන්තාවන් වෛද්‍ය උපදෙස් කරා යොමු වීම ඉතාම වැදගත්.

ඒ විතරක් නෙවෙයි, ගර්භණී සමයේ මුල් සති 12 තුළ ඔබ විසින් ලබාගත යුත්තේ ගැබ් ගැනීමට මාස තුනකට පෙර සිටම ලබාගත් ෆෝලික් අම්ලය විටමිනය පමණක් බව මතක තබාගන්න.

ගර්භණී සමයේ පළමු සති 12 තුළ ලබාගත යුත්තේ ගැබ් ගැනීමට මාස තුනකට පෙර සිට ඔබ ලබා ගත් ෆෝලික් අම්ල විටමිනය පමණකි. (නමුත් යම් යම් රෝග තත්ත්ව මත වෛද්‍යවරයා අනුමත කරන වෙනත් ඖෂධ ලබාගැනීමට ඇතැම් මව්වරුන්ට සිදුවේ.) ෆෝලික් අම්ල ඌනතාවය නිසා ස්නායු පද්ධතියේ නිසි සැකැස්මට බාධා ඇති වෙනවා සේම රක්තහීනතාවය වැනි තත්ත්වයක් ඇති වීමද සිදුවිය හැකිය. සාමාන්‍යයෙන් මෙම විටමිනය ලබාදෙන්නේ මිලිග‍්‍රෑම් එකකි. නමුත් ඇතැම් කාන්තාවන්ට වෛද්‍ය උපදෙස් මත පමණක් මිලිග‍්‍රෑම් 5ක් ලබාදීම සිදු කෙරේ.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


		    
Previous articleගැබිනි සමයේ පළමු සති තුන
Next articleගැබිනි සමයේ පස්වන සතිය
සාරංගි රන්පටබැඳි
අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

NO COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here