- Advertisement -

ගැබිනි සමයේ තිස්හයවන සතිය

-
අලූතින් එන අමුත්තා නිසා අම්මට වැඩ ඉවරයක් නෑ

අම්මගේ වැඩේ මේ දවස්වල පැටියාගේ රෙදි පිළි සූදානම් කරගැනීම. චූටියා නාවන්නත් බේසම් එහෙම ගෙනල්ලා. අම්මට මේ දවස්වල හරියට වැඩ. චූටියා ගේන්න අම්මයි තාත්තයි ලහි ලහියේ සූදානම් වෙනවා. කාලය ගෙවිලා යනවා කියලවත් අම්මට අමතකයි. ඒ තරමට චූටියා පිළිගන්න සූදානම් වෙනවා.

ගැබිනි සමයේ තිස්හයවන සතිය   

මේ වෙද්දි බිළිඳාගේ බර වැඩිවීම සිදුවන්නේ දිනකට අවුන්සයකින් පමණ. දැන් ඔබේ කුස තුළ වැඩෙන බිළිඳාගේ බර කිලෝ කිලෝ ග්‍රෑම් 2.7 ක් පමණ වන අතරම හිසේ සිට පාදාන්තය දක්වා උස සෙන්ටිමීටර් 47.6ක් විතර වෙනවා. දැන් බිළඳාගේ හිසකෙස් වර්ධනය වෙලා. අම්මගේ කුස තුළ සිටින මාස 9 ක කාලය තුළ බිළිඳා සුරක‍ෂිතව තබාගන්න, උල්බ තරලය ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

සති 36 වන විට ගර්භාෂය විස්තාරණය වීමෙන් ඉතා විශාල වේ. නමුත් ඔබට නියමිත දිනට තවත් සති 4 ක් පමණ ඇති වබ ඔබ මතක තබාගත යුතුයි. ඊළඟ මාසයේදී ඔබේ උදරය තවත් විශාල වනු ඇත. සැබවින්ම වෙනත් කිසිදු අවස්ථාවක ශරීරයේ මේ සා විශාල පරිවර්තනයක් ඇතිවන අවස්ථාවක් දක්නට නොලැබේ. රාත්තල් 7 ක ඉඩක් දරුවෙකු සඳහා ලබා දීමට තරම් ගර්භාෂය විශාලවීම පුදුමය දනවන්නක්.

මේ කාලය වන විට ගර්භාෂයේ මෙම වෙනසට අනෙකුත් සියලූම අවයව දිගටම සූදානම් වී සිටී.

කොන්දේ වේදනාව කරදරකාරී ගර්භණී රෝග ලක‍ෂණයක් ලෙස හඳුනාගනෙ ඇත. පිහිනීම තරමක් දුරට ඔබේ කොන්දේ වේදනාවට සහනයක් ලබාදෙනු ඇත.

ගර්භණී සමයේ අවසාන කාලයේදී යෝනි ශ්‍රාවය නිකුත් වේ. මෙය සාමාන්‍ය ත්ත්තවයක් වන අතර බිය විය යුතු නැත. මෙය සමහරවිට රතු, රෝස හෝ දුඹුරු පැහැයෙන් යුතු වේ. මෙම තත්ත්වයත් සමග ඔබේ බිළිඳා පහළට ගමන් කරයි. ඒත් සමගම ඔබට වැඩි වශයෙන් අපහසුතා දැනෙන්නට පටන් ගනී. පෙරට වඩා දරුවාගේ චලනයන් වැඩිවේ. ඒ අනුව යෝනිය දෙසට වන පීඩනය වැඩි වන අතර ඒ මගින් අසහනය ඇති විය හැකිය. දැන් ඔබේ බර රාත්තල් 29 ක් 30 ක් පමණ වේ.

අම්මෙක් වෙන්න යන ඔබේ ප්‍රසූතියට දින ළං වෙලත් ” බබා තවම හැරිලා නැද්ද ? ”

ප්‍රසූතිය පහසු කරවමින් 95% ක්ම ළදරුවන්ගේ හිස සති 36 වන විට ක්‍රමයෙන් පහතට හැරීම සිදුවන අතරම 5%ක් පමණ ප්‍රමාණයකගේ එසේ නොවිය හැකිය. ඔවුන් තට්ටමෙන් පිහිටා සිටී. මෙම තත්ත්වය Breech presentation ලෙස හඳුන්වයි. සංකූලතා තත්ත්වයන් නොමැති මවකගේ සති 36 පෙර මෙවැනි තත්ත්වයක් පැවතිම බිය විය යුතු කරුණක් නොවන අතරම එය ගැටලූකාරී තත්ත්වයක් ලෙස හැඳින්වෙන්නේ සති 36ට පසුවයි.

මව්කුස තුළ වැඩෙන ළදරුවෙකුගේ හිස පහළට හැරීම නිසි ලෙස සිදු නොවීමට හේතු :
  • වැදැමහ පහතින් පිහිටා තිබීම
  • ගර්භාෂයේ ඇති යම් යම් අසාමාන්‍යතා
  • ගර්භාෂයේ ෆයිබ්‍රොයිඩ් ගෙඩි හටගෙන තිබීම
  • කලලයේ යම් යම් අසාමාන්‍යතා (කලල මොළෙයේ වතුර පිරීම හේතුවෙන් හිස ප්‍රමාණයෙන් විශාල වීම)

කෙසේ වුවද මේ තත්ත්වය ඉහත තත්ත්වයන් කිසිවක් නොමැතිව වුවද සිදුවිය හැකිය.

මේ සඳහා කළ යුත්තේ මොනවාද ?

සාමාන්‍යයෙන් ළදරුවා හැරී නොමැති බව කල්තියා දැනගත්තේ නම් ප්‍රසූතියේදී සිදුවිය හැකි සංකූලතාවයන් හේතුවෙන් මවක් සාමාන්‍ය ප්‍රසූතියකට යොමු කිරීම යම්තාක් දුරකට ගැටලූකාරී තත්ත්වයකි. ඒ නිසා බාහිරින් මවගේ කුස මත ලබා දෙන තෙරපුමක් ආධාරයෙන් (ECV  ක්‍රියාවලිය) ළදරුවා හැරවීම සිදුකරයි.

ECV (External cephalic version) ක්‍රියාවලිය යනු,

පළමුවරට ගැබ් ගත් කාන්තාවකගේ නම් සති 36ත් 37ත් අතර මෙය සිදුකරන අතරම දෙවන/තෙවන දරුවන් සඳහා ගැබ් ගෙන ඇති කාන්තාවන්ට සති 37ත් 38ත් අතර කාලය තුළ එය සිදුකරනු ලබයි. මේ සඳහා මව රෝහල් ගත විය යුතු දිනයක් සහ වේලාවක් නියම කෙරෙන අතරම මෙම ක්‍රියාවලිය ක්‍රියාත්මක කිරීමට පෙර ස්කෑන්/MRI  පරීක‍ෂාවක් මගින් ළදරුවාගේ අසාමාන්‍යතා ඇත්දැයි පරීක‍ෂා කෙරේ. සියලූ පරීක‍ෂණවල ප්‍රතිඵල සාමාන්‍ය තත්ත්වයේ පවතී නම් සහ මවගේ කැමැත්ත මත ECV ක්‍රියාවලිය සිදුකරයි. එනම් බාහිරින් මවගේ කුස මත ලබා දෙන තෙරපුමක් ආධාරයෙන් ළදරුවා නිවැරදි ඉරියව්ව වෙත ගෙන ඒමයි. ස්කෑන් පරීක‍ෂණයක් මගින් නිරීක‍ෂණය කරමින් මේ කාර්යය සිදුකෙරේ. මෙය නිර්වින්දනය කිරීමකින් තොරව සිදුකෙරෙන අතරම මවට යම් අපහසුතාවයක් ගෙන දෙයි. නමුත් මවට හෝ කලලයට අහිතකර ප්‍රතිඵලයක් ඇති වූ බවට වාර්තා වී ඇත්තේ ඉතා කලතුරකිනි. පළමු ප්‍රසුතියේදී සිසේරියන් සැත්කමින් දරුවන් බිහිකළ මවුවරුන්හට සාමාන්‍යයෙන් මෙය සිදු නොකෙරේ. මේ සඳහා සාමාන්‍යයෙන් ගතවන්නේ විනාඩි 10ක් වැනි කාලයක් වුවද ඇතැම් අවස්ථාවලදී ඊට වැඩි කාලයක් ගතවීමට වුවද ඉඩ ඇත. එසේ සිදුකිරීමෙන් අනතුරුව මවකට සාමාන්‍ය ප්‍රසූතියක් වෙත යොමු වීමට අවස්ථාව ලැබේ. ECV ක්‍රියාවලිය සාර්ථක වුවද අසාර්ථක වුවද පසුව මව්වරුන්ට නැවත රෝහලෙන් පිටව යාමට හැකියාව ලැඛෙන්නේ CTG පරීක‍ෂණයට යොමු වී එහි ප්‍රතිඵල සුදුසු තත්ත්වයේ පවතිනවා වම් පමණි. දරුවා හැරවීමෙන් පසුව ද ප්‍රසූතියට පෙර ද ස්කෑන් පරීක‍ෂණයක් මගින් පිහිටීම නැවත පරීක‍ෂා කරයි. මන්ද ඉතා අඩු ප්‍රතිශතයකින් වුවද පිහිටීම නැතව වෙනස් වන අවස්ථා කලාතුරකින් හෝ තිබිය හැකි බැවිනි.

ප්‍රසූතිය

ECV ක්‍රියාවලිය සාර්ථක මව්වරුන්ට සාමාන්‍ය ප්‍රසුතියකට යා හැකි අතර අසාර්ථක/අකමැති මව්වරුන්ගේ සංකූලතාවයන් නොමැති නම් සීසේරියන් සැත්කම සඳහා යොමු කෙරේ. ඇතැම් අවස්ථාවලදී දරුවා තට්ටමෙන් පිහිටා සිටිය ද සාමාන්‍ය ප්‍රසූතිය සඳහා යොමුවීමට කැමැත්තක් දක්වන මව්වරුන් මෙන්ම වෛද්‍ය උපදෙස් මත ඒ සඳහා යොමු වීමට කැමැත්ත ඵල කරන මව්වරුන්ටත් අවශ්‍ය පූර්ණ සහයෝගය වෛද්‍ය කාර්යමණ්ඩලය හරහා ලබාදේ. මෙවැනි මව්වරුන් ප්‍රසූත වේදනාව දැණුනු වහාම රෝහල්ගත වීම අත්‍යවශ්‍ය වේ.

ළදරුවා සිටින්නේ තට්ටමෙන් බව කල්තියා දැන සිටි/ECV ක්‍රියාවලිය සිදුකරන ලද මව්වරුන් ප්‍රසූතියට පෙර ස්කෑන් පරීක‍ෂණයට යොමු කරන අතරම දරුවා සිටින ආකාරය පිළිබඳව නිරීක‍ෂණය කරන බව ඉහතදීත් අප සඳහන් කළා. ECV ක්‍රියාවලිය අසාර්ථක වූ/එය සිදු කිරීමට අකමැති වූ මව්වරුන් සීසේරියන් සැත්කම වෙත යොමු කිරීමට තීරණය කළ ද සැත්කමට පෙර සිදුකරන ස්කෑන් පරීක‍ෂණයට අනුව දරුවා සාමාන්‍ය ප්‍රසූතියට සුදුසු පරිදි සිටී නම් සාමාන්‍ය ප්‍රසූතියට මව යොමු කරයි.

සාමාන්‍යයෙන් තට්ටමෙන් දරුවා බිහිකිරීම සමහර අවස්ථාවලදී යම් යම් සංකූලතාවලට හේතුවිය හැකිය. ඒ නිසා වෛද්‍යවරුන් මෙවැනි මව්වරුන් සිසේරියන් සැත්කම වෙත යොමු කරයි. නමුත් මෙවැනි අවස්ථාවකදී සුදුසුකම් සහිත පළපුරුදු වෛද්‍යවරයෙක් සිටීම සහ වෛද්‍ය උපදෙස් පිළිපදිමින් ඉවසිලිවන්තව මව විසින් ලබාදෙන සහයෝගය ද තුළින් සාර්ථක සාමාන්‍ය ප්‍රසූතියක් සිදුකළ හැකිය.

දරු ප්‍රසූතියෙන් පසු

සාමාන්‍ය/ සිසේරියන් සැත්කම හරහා දරු උපත සිදුවුවද දරුවා හොඳින් පරීක‍ෂා කිරීම සිදුවේ.

ඊලඟ ප්‍රසූතියේදිත් මෙම තත්ත්වය ඇති විය හැකි අතරම එහිදී මේ තොරතුරු වෛද්‍යවරයා වෙත දැනුම් දෙන්න.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


LEAVE A REPLY

[gs-fb-comments]

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article