- Advertisement -

ගැබිනි සමයේ තිස්දෙවන සතිය

-
අම්මා හැම මොහොතකම සතුටින් ඉන්න ඕනේ

අම්මාගේ හිතට පුංචි බයකුත් දැනෙනවා ඇති. චූටියා අම්මගේ පළවෙනි දරුපැටියා නිසා මේ අත්දැකීම අම්මට මීට පෙර ලැබිලා නෑ. දෙවෙනි තුන්වෙනි දරුවා ලැඛෙන්න හිටියත් ඒ අම්මලාටත් මේක අලූත් අත්දැකීමක්ම තමයි. මොකද දෙවෙනි දරුවා කියන්නෙත් අලූත් දරුවෙක් නිසා. නමුත් ඒ අම්මලා චූටියාගේ අම්මට වඩා ප්‍රසූතිය සිද්ධවෙන ආකාරය, රෝහලේදී මොනවද වෙන්නේ කියන අත්දැකීම් ගැන දැනුවත්. මේ මොන දේ වුණත් චූටියා වෙනුවෙන් අම්මා ගොඩක් සතුටෙන් කාලය ගත කරන්න ඕනෙමයි. මොකද චූටියාගේ වර්ධනයට අම්මාගේ මානසික සැහැල්ලූව බලපානවා. කුසේ ඉන්න චූටියා ගැන අම්මාගේ සිතේ ජනිත වන හැඟිම් කෙබදුදැයි වචන වලින් විස්තර කරන්න බැහැ නේද?

ගැබිනි සමයේ තිස්දෙවන සතිය

මේ වෙද්දි ඔබේ බිළිිඳාගේ බර සාමාන්‍යයෙන් කිලෝ ග්‍රෑම් 1.700 ක් පමණ වනවා. හිසේ සිට පාදාන්තය දක්වා උස සෙන්ටිමීටර් 42. 4ක් පමණ. ඔබේ ගර්භාෂයේ වැඩි ඉඩක් අරගෙන බිළිඳා තව තවත් වර්ධනය වෙනවා. ඊළඟ සති කිහිපය ඇතුළතදී බිළිඳාගේ බර තවත් වැඩි වීම සිදු වන අතරම දැන් දරුවාගේ නියපොතු, කොණ්ඩය දිග් වී තිඛෙනවා. සම ඉතා මුදු බවකින් යුක්තයි.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

ගැබිනි සමයේ සති 32 වන විට, ඔබේ ගර්භාෂය නාභියේ සිට අඟල් 5 ක් පමණ වෙනවා. ඔබ නිවුන් දරුවන්ගේ මවක් වීමට සූදානම් අයෙකු වුවත් ගර්භාෂයේ සිට නාභිය දක්වා දුර පෙර  සඳහන් කළ පරිදිම වේ.

ඔබට තව සති 5 ක් පමණයි තියෙන්නේ. යම් ආකාරයකින් නියමිත කාලයට පෙර දරුවාගේ උපත සිදු වුවහොත්, මේ කාලයේදී තරමක් වෙනස් වර්ධනයක් පෙන්නුම් කරන අතර ඉදිරි සතිවලදී එමි වර්ධනය වීමක් පෙන්නුම් කරයි.

මේ කාලය වන විට ඔබ මහත් විඩාවට පත්වේවී. නමුත් ඒ පිළිබඳ බිය විය යුතු නැහැ. නමුත් ශරීරයේ වැය වන ශක්ති ප්‍රමාණය වෙනුවෙන් අමතර ශක්තිජනක ආහාර ලබාගත යුතුයි. අධික වෙහෙස යනු ගර්භනී සමයේ තෙවන ත්‍රෙමාසිකයේ සාමාන්‍ය තත්ත්වයකි.

ගර්භාෂය විශාල වනවාත් සමගම ඉරියව් පිළිබඳ සැලකිලිමත් වීම වැදගත් වේ. ගර්භනී සමයේ සමහර ඉරියව් සමහර අවස්ථා වලදී ඔබව විඩාවට, වෙහෙසට පත් කිරීමට ඉඩ තිබේ. ඒ කොන්දේ වේදනාව, කකුල් වල වේදනාව, ඉදිමීම වේ.

මේ කාලයේදී ඔබට තවත් සුවිශේෂී තත්ත්වයක්ට මුහුණදීමට සිදුවේ. හෘදයේ ඇතිවන වේගවත් හද ගැස්ම මේ කාලයේදී ඇතිවන තවත් තත්ත්වයකි. මෙවැනි තත්ත්වයක් ඇති වන්නේ ගර්භනී කාලයේදී හොමෝන වල සිදුවන වෙනස්කම් නිසා රුධිරයේ ඇතිවන වෙනස්කම් ද හේතුවෙනි. යම් ලෙසකින් මෙම තත්ත්වය වේදනාවකට හෝ හුස්ම ගැනීමේ අපහසුතාවයකට පරිවර්තනය වුවහොත් ඔබේ වෛද්‍යවරයා වෙත යොමු වීම අත්‍යවශ්‍ය වේ.

මේ කාලයේදී ඔබ ඔබේ දරු ප්‍රසූතිය සිදු කරන්නේ කුමන ආකාරයෙන්ද යන්න සිතා බැලිය යුතුය. එමෙන්ම ඔබ වේදනාවන් පාලනය කරගැනීමට අවශ්‍ය ක්‍රමවේදයන් පිළිබඳවද දැනුවත් විය යුතුය. මේ ඔබේ තෙවන ත්‍රෙමාසිකයයි. ඔබ දරු ප්‍රසූතිය සිදු කරන්නට කැමති විදිය එසේත් නැත්නම් වඩාත් සුදුසුම ක්‍රමය ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කිරීම හෝ ඔබ යොමුවන සායනවලදී හෝ සාකච්ඡා කිරීම මේ කාලයේදී කළ යුතුය. මේ කාලයේදී ඔබගේ බර ද වැඩිවන අතර ඔබට ඇතිවන වේදනාවන්ද වඩා බලවත් වනු ඇත.

මේ කාලයේදී දැනෙන අධික මහන්සිය ගර්භනී කාලයේදී දැනෙන සාමාන්‍ය රෝගී තත්ත්වයක් වන අතර මේ කාලය අවසන් වන තුරු එම තත්ත්වය ඔබ වෙතින් ඉවත් නොවේ. මේ සඳාහා සුදුසුම ප්‍රතිකාර ක්‍රමය නම් ඔබට හැකි සෑම අවස්ථාවකදීම මද විවේකයක් ගැනීමයි. කෙටි නින්දක් හෝ ලබාගැනීම ඔබගේ ශක්තිය රඳවා ගැනීමට මහත් සේ ප්‍රයෝජනවත් වනු ඇත.

එමෙන්ම කොන්දේ ඇතිවන වේදනාව පොදු තත්ත්වයකි. හොමෝන සහ ශාරීරිකව ඇති වන වෙනස්කම් හේතුවෙන් මෙම තත්ත්ව ඇති වේ. මේ සඳහා ද විවේකය සහ වේදනාව මතුවන පිට කොන්දට කොට්ටයක් හෝ ආධාරකයක් තබාගැනීම එය මදක් අඩු කරගැනීමට හේතු වේ.

නිරන්තරයෙන් මුත්‍රා පිටවීමද මේ කාලයේ සාමාන්‍ය ත තත්ත්වයකි. ගර්භාෂය වර්ධනය වීම සිදුවන විට මෙම තත්ත්වද වර්ධනය වේ. මුත්‍රා පිටවීම නිතර සිදු වුවත් අනිවාර්යයෙන්ම හොඳින් වතුර පානය කළ යුතුය. මුත්‍රා පිටවීම අධික යැයි සිතා කිසිවිටක ජල පානය කිරීම අඩු කිරීම නොකළ යුතුය. යම් හෙයකින් ජලය නොමැතිව ශරීරය වියළීම සිදු වුවහොත් එය ඔබව වෙහෙසට පත් කරනු ඇත.

ඔබගේ බර සතියට රාත්තලකින් පමණ වැඩි වේ. බබා කුස තුළ වැඩෙන විට ගර්භාෂයද විශාල වීම සිදු වේ. එබැවින් මේ කාලයේදී ඔබට නිදා ගැනීම අපහසු වනු ඇත. දැන් ඔබේ බර රාත්තල් 25 ක් හෝ 26 ක් පමණ වැඩි වී ඇති අතර එයට වඩා වැඩි මිස අඩුනම් නොවනු ඇත. බිළිඳාගේ උපතට පෙර එය තවත් රාත්තල් 5 කින් හෝ 10 කින් වැඩිවීම බලාපොරොත්තු විය හැකිය.

මේ බර වැඩිවීම ඔබගේ ශරීර ස්කන්ධයට අනුව සිදු විය යුතු බව ඔබ හොඳින් මතක තබාගත යුතුය.

එනම්, සාමාන්‍ය අයෙකුගේ නම් සම්පූර්ණබර වැඩිවීම රාත්තල් 25 ත් 35 ත් අතර විය යුතු අතර අධික බර සහිත අයෙකුගේ නම් බර රාත්තල් 15 ත් 25 ත් අතර විය යුතුය. එමෙන්ම අඩු බර සහිත අයෙක් නම් එය රාත්තල් 28 ත් 40 ත් අතර විය යුතු වේ.

අම්මෙක් වෙන්න යන ඔබ දැන සිටිය යුතු  ” placenta accreta “

මව්කුස තුළ දරුවෙකු පිළිසිඳගත් මොහොතේ පටන් ගර්භාෂයේ අතුළත විශේෂිත ස්ථීරයක් මත ඇලී පවතින වැදැමහ හරහා පෝෂණය හා අවශ්‍ය ඔක්සිජන් ලබාගනී. මෙසේ ගර්භාෂ බිත්තියට ඇලී පවතින වැදැමහ දරු ප්‍රසූතියෙන් පැය භාගයක් ඇතුළතදී ගර්භාෂයෙන් ගැලවී යාම සාමාන්‍යයෙන් සිදුවන තත්ත්වයයි. නමුත් සමහර අවස්ථාවලදී වැදැමහ ගර්භාෂයේ විශේෂිත ස්ථීරයෙන් ඔබ්බට පැතිරී ගර්භාෂයේ පේශීන්වලට ඉතා තදින් ඇලීම නිසා දරු ප්‍රසූතියෙන් පසු වැදැමහ ගැලවී ඉවත් නොවේ. මෙසේ වැදැමහ ගර්භාෂ බිත්තිය වෙත තදින් කා වැදී තිබීම placenta accreta හැඳින්වේ. එසේම වැදැමහ සම්පූර්ණයෙන්ම ගර්භාෂ බිත්තියට ඇලීම placenta increta තත්ත්වය ලෙස හැඳින්වෙන අතරම placenta percreta  තත්ත්වයේදී වැදැමහ ගර්භාෂයට ආසන්නව පිහිටා ඇති අවයව දක්වා අසාමාන්‍ය ලෙස ඇලී තිබේ. මේ හේතුවෙන් ප්‍රසූතියෙන් පසුව අධික ලෙස සිදුව රුධිරවහනය හේතුවෙන් මවගේ ජීවිතය අවදනමකට ලක්විය හැකිය.

Placenta accreta  තත්ත්වය ඇති වීමේ අවදානම පවතින්නේ,
  • ගර්භාෂයේ සිදු කළ වෙනත් සැත්කම් (ෆයිබ්‍රොයිඩ්/මයෝමෙක්ටමි) හේතුවෙන් හටගත් කැලැල් ඇති/ ගබ්සා වීම හේතුවෙන් ERPC සිදුකළ කාන්තාවන්
  • පෙර ප්‍රසූති තත්ත්වයන්හිදී සිසේරියන් සැත්කම හරහා දරුවන් බිහිකළ කාන්තාවන් (සීසේරියන් සැත්කම් දෙකක් හෝ ඊට වැඩි වන විට මවකට මේ තත්ත්වය ඇතිවීමේ අවදානම 40% සිට 60% දක්වා ප්‍රමාණයකින් ඉහළ යයි)
  • වැදැමහ අර්ධ ලෙස හෝ සම්පූර්ණයෙන්ම ගැබ්ගෙලට ආසන්නව පිහිටා ඇති කාන්තාවන්
  • වැඩි දරුවන් සංඛ්‍යාවක් බිහිකළ කාන්තාවන් (placenta accreta තත්ත්වය ඇතිවීමේ අවධානමට බිහිකළ දරුවන් ගණන බලපානු ඇත.)
  • වයස අවුරුදු 35ට වැඩි කාන්තාවන්
  • දුම්පානය කරන කාන්තාවන්
Placenta accreta  තත්ත්වය හඳුනා ගැනීම

අවදානම වැඩි මව්වරුන් හා වැදැමහ පහළින් පිහිටා ඇති මව්වරුන් සඳහා කරනු ලබන විශේෂ ස්කෑන් පරීක‍ෂණයක් මගින් මෙම තත්ත්වය තරමක් දුරට හදුනා ගත හැකිය. සමහර අවස්ථාවලදී නිෂ්චය වශයෙන්ම දැනගත නොහැකි නම් MRI පරීක‍ෂණය මගින් ද තොරතුරු ලබාගත හැකිය. එම පරීක‍ෂණ මවට හෝ කලලයට හානි කර නොවේ. කෙසේ නමුත් මෙය දරුවා බිහිවීමට පෙර 100%ක් නිවැරදිව හඳුනා ගැනීම අපහසුය.

මේ තත්ත්වය ඇතැයි සැකකරන මව්වරුන් හඳුනා ගතහොත් පළමුවෙන්ම විශේෂ ප්‍රතිකාර සඳහා පහසුකම් සහිත රෝහලක් වෙත මාරු කර යැවීම සිදුකෙරෙන්නේ මෙවැනි මවකට අත්‍යවශ්‍ය සියලූ වෛද්‍ය පහසුකම් ලබාදෙමින් ඇය සිටින අවදානම් තත්ත්වයෙන් මුදා ගත යුතු බැවිනි. එසේම මෙලොවට බිහිවන ළදරුවාගේ සෞඛ්‍ය තත්ත්වය නඟා සිටුවීම සඳහා ද පහසුකම් අත්‍යවශ්‍යය. ඒ සඳහා නොමේරු ළදරු ඒකකයේ සහය ඉතා වැදගත් වේ.

බොහෝ අවස්ථාවලදී මෙවැනි මව්වරුන්ට සති 30 සිට රෝහල් ගත කර නිරීක‍ෂණය කරමින් අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන අතරම වැදැමහ ගර්භාෂයට අසාමන්‍ය ලෙස ඇලී පවතින නිසා කලලයට අවශ්‍ය පෝෂණය මෙන්ම නිශ්චිත ඔක්සිජන් ප්‍රමාණය සාමාන්‍ය පරිදි නොලැබී යා හැකි බැවින්  කලලයේ වර්ධනය පිළිබඳව ද නිරීක‍ෂණය කෙරේ. මේ තත්ත්වයේ සිටින මවකගේ දරුවා බිහිකිරීම සිදුකරන්නේ සිසේරියන් සැත්කම මගිනි. සති 32- 36ත් අතර කාලයේදී සැත්කම සිදුකෙරෙන අතරම ඒ සඳහා ශල්‍ය වෛද්‍යවරුන්ගේ ද සහය ලබාගනී. එසේම සැත්කමේදී මුත්‍රාශය හා සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරයෙකුගේ සහයද මෙහිදී වැදගත් වේ.

සාමාන්‍යයෙන් වැදමහ නොකැපෙන සේ සැත්කම සිදු කොට ළදරුවා බිහිකිරීමෙන් අනතුරුව වැදැමහ ගැලවී යයිද යන්න පිළිබඳව අවධානය යොමුකරයි. එසේ සිදුනොවේ නම් ගර්භාෂය සමගම වැදැමහ ඉවත් කරයි. ඇතැම් අවස්ථාවලදී වැදැමහ ගර්භාෂයේ පිටත අවයවවලට මුත්‍රාශය, බඩවැල්වලට තදින් ඇලී ඇත්නම් ළදරුවා පිටතට ගෙන වැදැමහ අවශෝෂණය වී යාමට ඉඩ හරී. අවුරුද්දක් වැනි කාලයක් පුරා මෙය කෙමෙන් අවශෝෂණය විය හැකියි. නමුත් රුධිර වහනයක් හෝ අසාදනයක් ඇති විය හැකි නිසා මෙය සිදුකරනුයේ ඉතාමත් කලාතුරකිනි. අද වන විට වෛද්‍ය විද්‍යාවේ දියුණවත් සමගම ගර්භාෂයෙන් කොටසක් පමණක් බවත් කළ හැකි වුවත් ලංකාවේ එම සැත්කම දැනට සිදුකෙරෙන්නේ නැත.

සැත්කමින් පසු

මෙම තත්ත්වය ඉතා බැරෑරුම් අවස්ථාවක් වන අතරම සැත්කමින් පසුව මවකට දින කිහිපයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබීමට සිදු විය හැකිය. ඉන් පසුව රෝහල් වට්ටු වෙත මාරු කෙරෙන අතරම සති දෙකක් වැනි කාලයක් වුවද වාට්ටුව තුළ ගතකිරීමට සිදුවිය හැකිය. තවද සැත්කමින් පසුව මෙසේ දැඩි සත්කාර ඒකකයේ රඳවා ගන්නා මව්වරුන් නිරන්තර පරීක‍ෂාවට ලක්කරයි. මෙවැනි තත්ත්වයක සිටින මවකට රුධිර වහනය/ආසාදන වැනි තත්ත්වයන් ඇති විය හැකි අතරම එවැනි තත්ත්වයන් අවම කරගැනීම සඳහා හැකි ඉක්මණින් යථා තත්ත්වයට පත්වීම අත්‍යවශ්‍යය. එසේම මෙවැනි මව්වරුන්ට රුධිර කැටි ගැසීම, පෙනහලූවල යම් යම් ආබාධ තත්ත්වයන් වැනි සංකූලතා ද ඇති විය හැකි බැවින් සැමවිටම වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කරමින් හැකි ඉක්මණින් ක්‍රියාකාරකම් වෙත යොමුවීම ඉතා වැදගත් වේ.

placenta accreta තත්ත්වය සිසේරියන් සැත්කම හේතුවෙන් ඇති වන එක් සංකූලතාවයක් ලෙස හැඳින්විය හැකිය. ඒබැවින් මේ තත්ත්වය වළක්වා ගැනීමට නම් හදිසි තතත්වයක් මත හෝ වෛද්‍ය නිර්දේශයට අනුව හැරුණු කොට සිසේරියන් සැත්කම ලබාදෙන මෙන් වෛද්‍යවරුන් වෙත ඔබ කරන ඉල්ලීම පිළිබඳව තවත් වරක් සිතන්න.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


LEAVE A REPLY

[gs-fb-comments]

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article