- Advertisement -

ගැබිනි සමයේ විසි එක්වන සතිය

-
ජීවිතයේ අත්දැකපු අපූර්වතම අත්දැකීමත් එක්ක අම්මාගේ හිත ආදරෙන් පිරිලා

ගිය සතියේ පුංචි සමනල පැටියෙක් අම්මාගේ කුස ඇතුළේ දඟකරනවා දැණුනු මොහොතේ ඉඳලම, අම්මා ඉන්නේ හිතාගන්න බැරි තරම් සතුටකින්. ඇත්තටම සොබාදහම කොයිතරම් නම් අපූරුද? අම්මාගේ කුස ඇතුළේ මොහොතෙන් මොහොත වැඩෙන චූටියා දැන් හරිම හපනෙක් වෙලා. හැමදාම චූටියා එක්ක කතා කරන්න. උදේට කිසිම සද්දයක් නැතිව චූටියා කම්මැලියෙක් වගේ නිදියනවා නම් ගුඩ් මෝනිං කියලා එයාව ඇහැරවන්න. එතකොට එයත් අම්මාගේ බණ්ඩියට පුංචි තට්ටුවක් දාලා එයා කැම්මැලියෙක් නෙවෙයි කියලා අම්මට කියාවි. අපිටම විතරක් උරුම වුණු මේ සුන්දර මාතෘත්වයේ සුන්දරත්වය උපරිමයෙන්ම අත්විඳන්න. ඒ වෙනුවෙන් කැපවෙන්න. අම්මාගේ ආදරය කුස තුළ වැඩෙනා කාලේ ඉඳලම චූටියට දැනෙන්න ඉඩහරින්න.

ගැබිනි සමයේ විසි එක්වන සතිය

දැන් ඔබේ බිළිඳා මව් කුස තුළ ගත කරන කාලයෙන් හරි අඩක් ගෙවා අවසන්. සති 20ක් පුරා කුස තුළ වැඩෙන බිළිඳා දෙපා හකුලා තබා සිටින අතරම සිරුරේ සම්පූර්ණ උස මැනීම අපහසු වේ. එතෙක් නිවැදිව මැනිය හැක්කේ හිසේ සිට තට්ටම දක්වා ඇති උස පමණි. නමුත් මෙතැන් සිට බිළිඳාගේ හිසේ සිට පාදාන්තය දක්වා සම්පූර්ණ උස දැක්විය හැකය. 21 වන සතිය වන විට බිළිඳාගේ සම්පූර්ණ උස සෙන්ටිමීටර් 26.5ක් පමණ වන අතරම බර ග්‍රෑම් 360ක් පමණ වේ. මේ සතිය වන විට ඇස් බැම හා ඇසි පිය දැකගත හැකියි. ඔබේ කුස තුළ වැඩෙන්නේ ගැහැණු දරුවෙකු නම් මේ වන විට ඇයගේ යෝනිය සැකසෙමින් පවතිනවා.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

මේ වෙන විට බොහොමයක් මව්වරුන්ට බිළිඳාගේ චලනයන් දැනෙන්න පටන් අරගෙන. මේ ඔබේ දෙවෙනි දරුවා නම් මීට පෙර සිටම එය අත්දකින්න ඔබට අවස්ථාව ලැබිලා ඇති. සමහරවිට මේ චලනයන් තදින් දැනෙන අවස්ථාත් තිිඛෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී ඔබේ සැමියාටත් ඒ අත්දැකීම ලබා දෙන්න. ඔබේ කුසට අත තැබූ විට ඔහුටත් බිළිඳාගේ චලනයන් දැනේවි. එවැනි දේ තුළින් ඔබ දෙදෙනා අතර බැඳීම තව තවත් වැඩිවන බව වගේම නොදුටු කිරිකැටියා පිළිබඳව වචනයට නැගිය නොහැකි තරමේ ආදරණීය සිතුවිලි සමුදායකින් ඔබේ සිත පිරී යන බවත් ඔබට දැනේවි. මේ ගැබිනි සමයේ මවක විසින් අත්දකින අපූර්වතම අත්දැකීමයි.

ඔබ මෙතෙක් ඔබේ බිළිඳාගේ චලනයන් අත්නොවිඳි මවක් නම් ඒ පිළිබඳව කණගාටු නොවන්න. මන්ද ඇතැම් මව්වරුන්ට බිළිඳාගේ චලනයන් දැනෙන්නට ප්‍රමාද වේ. ඇතැම්විට ඔබ අධිබර තත්ත්වයේ සිටින මවක් නම් හෝ ඔබේ ගර්භාෂයේ ඉදිරියෙන් වැදෑමහ පිහිටා ඇත්නම් බිළිඳාගේ චලනයන් දැනීම ප්‍රමාද විය හැකිවේ. මේ සම්බන්ධව ඔබට ඇති ගැටලු සඳහා වෛද්‍යවරයාගේ සහය ලබගැනීම වඩාත් සුදුසු වේ.

ඒ වගේම මේ කාලය තුළ ගැබිනි සමයේ ඔබට අත්දකින්නට ලැඛෙන සාමාන්‍ය අවස්ථා ලෙස උදරය, පියයුරු සහ තට්ටම් ප්‍රදේශය ආශ්‍රිතව සම ඇදීම නිසාත් හෝමෝන වෙනස් වීම් නිසාත් ඇති වන ස්ටේ‍රච් මාක්ස් සහ මුහුණේ බ්ලැක් හෙඩ්ස් යන තත්ත්වයන් දැක්විය හැකිය. මෙසේ ඇති වන ස්ටේ‍රච් මාර්ක්ස් ප්‍රසූතියෙන් පසු වසරක් දෙකක් පමණ ගත වන විට යම් තරමකින් මැකී යා හැකි වුවත් සම්පූර්ණයෙන් ඉවත්ව නොයයි.

පසුගිය ලිපි හරහා සාකච්ඡා කෙරුණු පරිදිම කොණ්දේ වේදනාව ඔබට ඉදිරි කාලය තුළත් අත්දැකීමට සිදුවන තත්ත්වයකි. මේ තත්ත්වයෙන් යම් සහනයක් ලබා ගැනීමට පහත සඳහන් උපදෙස් ක්‍රියාත්මක කොට බලන්න.

  • උණුසුම් ජලයෙන් ඇඟ සෝදන්න. එහෙමත් නැතිනම් වේදානාව දැනෙන ස්ථාන සිසිල් හෝ උණුසුම් ජලයෙන් තැවීමට ඔබට හැකියි
  • ගැබිනි මව්වරුන් සඳහා සේවාව ලබා දෙන සුදුසුකම් සහිත ස්ථානයකින් සම්බාහනයක් ලබාගන්න
  • සැමවිටම නිවැදි ඉරියව් භාවිත කරන්න
  • යෝගා ව්‍යායාම මගින් පසු පස මාංශ පේශීන් සඳහා අවශ්‍ය ව්‍යායාම ලබාගන්න
  •  නින්දේදී එක පසෙකට හැරී නිදන්න

මේ සතිය වන විට ඔබේ බර සාමාන්‍යයෙන් රාත්තල් 14කින් පමණ වැඩි වී තිබිය හැකිය. පෙර සෑම ලිපියකම සඳහන් කළ පරිදි මෙය සාමාන්‍ය මට්ටමයි. කාන්තාවකගේ කාන්තාවට මේ තත්ත්වය වෙනස් විය හැකිය.

අම්මෙක් වෙන්න යන ඔබ දත යුතු  ”ගැබිනි මවගේ දෙපා ඉදිමුම”

ගැබිනි සමයේ ඉතා සුලබ තත්ත්වයක් වන පාදවල සහ වළලුකර අවට ඇති වන ඉදිමුම බොහෝ විට සාමාන්‍ය තත්ත්වයකි. ගැබිනි සමයේදී සිරුර තුළ වෙනදාට වඩා වැඩි ජල පරිමාවක් රඳවාගන්නා අතරම රුධිරයේ නියත සංයුතිය පවත්වා ගැනීමට අමතරව ඇති තරල, පටක අතරට මුදා හැරීම නිසා මේ තත්ත්වය ඇති වන බව පැවසේ. එසේම වර්ධනය වන කලලය නිසා ප්‍රසාරණය වන ගර්භාෂය මගින් හෘදය වෙත රුධිරය ප්‍රවාහනය කරනු ලබන අධර මහ ශිරාව මත යෙදෙන තෙරපුම නිසා රුධිරය ගලා යාමේ වේගය අඩුකරන අතරම එහිදී රුධිරයේ අඩංගු අමතර ජලය පටක වෙත යැවීමද මෙයට බලාපාන තත්ත්වයකි. බොහෝවිට මේ තත්ත්වය ඇති වන්නේ ගැබිනි සමයේ සති 24න් පසුවය. නමුත් ඔබට ලැඛෙන්නට ඉන්නේ නිවුන් දරුවන් නම් ඊට පෙර සිටම මේ තත්ත්වය දැකගත  හැකියි. එසේම ප්‍රසූතියට දින ළංවත්ම මේ තත්ත්වය වැඩිපුර දැකගත හැකියි.

මේ තත්ත්වය අවම කර ගැනීමට නම්,

  • එකම ඉරියව්වෙන් වැඩි වේලාවක් සිටගෙන සිටීමෙන් වළකින්න
  • නින්දේදී පාද තරමක් ඉහළින් තබාගෙන වම් ඇලයට නිදාගන්න
  • සම්පීඩන පා ආවරණ පළදින්න
  • හැකි සැමවිටම බිම දිගා වී පාද දිගු කොට තබාගන්න
  • පාදයේ වළලුකර රවුමට කරකවන්න
  • වෛද්‍ය උපදෙස් අනුව දිනපතා ඇවිදීම, පිහිනීම වැනි ක්‍රියාකාරකම්වල නිරතවන්න
  • ඉදිමුණු දෙපා සිසිල් ජලයෙන් සෝදන්න
  • සම මත ඉරි තැලීමක් හෝ කැසීමක් ඇති වුවහොත් තෙතමනය රැකදෙන මෘදු ආලේපනයක් භාවිත කළ හැකිය

ප්‍රසූතියෙන් පසු මෙම පාදවල ඇති වූ ඉදිමුම් තත්ත්වය ඉබේම මගහැරී යයි. නමුත් ළදරුවාගේ වැඩකටයුතුවලදී සිටගෙන සිටීම නිසා ඇතැම් මව්වරුන්ගේ මේ තත්ත්වය මගහැරීයාමට ටික කාලයක් ගත විය හැකිය. ඔබේ අපහසුතාවයන් යම්තාක් දුරකට හෝ අවම කගැනීම සඳහා ඉහත දැක්වූ ක්‍රම අනුගමනය කළ හැකියි. එසේත් නැතිනම් වෛද්‍යවරයා හමුවී උපදෙස් ලබාගන්න.

මේ හා සම්බන්ධව ඔබේ අවධානය යොමු විය යුතු අනෙක් කරුණ වන්නේ දෙපාවලට අමතරව මුහුණ සහ ඇස් වටා ඉදිමුමක් ඇති නම් වහාම වෛද්‍ය උපදෙස් කරා යොමු වීමයි. ඇතැම් විටෙක දෙපා ඉදිමුම හෘදාබාධ තත්ත්වයක ලක‍ෂණයක් විය හැකියි. එසේත් නැතිනම් පෙර ලිපිවල සඳහන් අධිරුධිර පීඩනය, වකුගඩුවල යම් යම් රෝග තත්ත්ව නිසා ඇති විය හැකි තත්ත්වයක් ද විය හැකිය. එමනිසා කකුල ඉදිමීමට අමතරව හිසේ කැක්කුම, වමනය, උදරයේ වේදනාව හෝ ඇස් බොදවී පෙනීම  වැනි ලක‍ෂණ ඇත්නම් ඇත්නම් වහාම වෛද්‍යවරයා වෙත යොමු වන්න.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


LEAVE A REPLY

[gs-fb-comments]

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article