- Advertisement -

ගැබිනි සමයේ දහහත්වන සතිය

-
ඔන්න, දැන් නම් චූටියට හොරෙන් කතා බැහැ…… දැන් එයාට හොඳට ඇහෙනවලු …

මේ වෙද්දී චූටියට හොඳට ඇහෙනවා. කොයිතරම් ඉක්මනට එයා ලොකු වෙලාද? ඉතිං අම්මටයි තාත්තටයි එයා එක්ක කතා කරන්න පුළුවන්. අම්මාගෙයි තාත්තාගෙයි කතාවලට චූටියා දක්වන ප්‍රතිචාරය අම්මට ළඟදිම දැනෙයි. මිහිරි, සෞම්‍ය සංගීතයකට සවන් දෙන්න දැන් ඉඳන් අම්මට පුළුවන් නේද? මොකද චූටියා එළියෙ වෙන හැමදේම හොඳින් අහගෙන ඉන්න පටන් අරගෙන. තරහින් කෑකෝගහන තැන්වල අම්මා නම් ඉන්න එපා. චූටියට බය හිතේවි. දරු පැටියා වෙනුවෙන් ලස්සන ගීත ගයන්න අම්මට පුළුවන්. ලස්සන ගීත අහන්න අම්මට පුළුවන්. චූටියා මේ ලෝකෙට බිහි වුණු දවසටත් එයාට හුරුපුරුදු ඒ මිහිරි සංගීතය ඇහෙද්දි ඇඬිම නතර කරලා හිනාවේවි. ඒ වගේම චූටියා සංනිවේදනය මුලපුරන්නේ මෙතැන් සිට කිව්වොත් නිවැරදියි. අන්න ඒ නිසාම අපි එයාට කතා කරන්න ඕනේ. සින්දු කියන්න ඕනේ. කතා කියලා දෙන්න ඕනේ. කලින් කිව්වා වගේම අම්මාගේ කටහඩ ඇහෙද්දි එයා ළඟදිම අම්මාගේ බණ්ඩියට පුංචි තට්ටුවක් දාලා, එයා හැමදේම අහගෙන ඉන්න බව කියාවි.

ගැබිනි සමයේ දහහත්වන සතිය

හිස සිට තට්ටමේ දක්වා උස සෙන්ටිමීටර් 13ක් පමණ ද බර ග්‍රෑම් 40ක් පමණ ද වන දරුවාගේ සිරුර මේ සතිය වන විට මේදය නිපද වීම ආරම්භ කරලා. එය සිරුරේ බර ප්‍රමාණයෙන් 1/3ක ප්‍රමාණයක්. සිරුරේ උෂ්ණත්වය පාලනය කිරීම සඳහා මෙම මේදය මගින් දිගින් දිගටම විශාල  සහයෝගයක් ලබා දේ. දරුවාගේ කන් සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මකව පවතින අතරම නියමිත ස්ථානයේ ස්ථාගත වී ඇත. මුදු කාටිලේජ තත්ත්වයෙන් පැවති සැකිල්ල මේ වන විට අස්ථී බවට පත්වෙලා. වැදෑමහ මගින් දහස් ගණනින් රතු රුධිර ෙසෙල නිපදවන අතරම දරුවාට අවශ්‍ය පෝෂණය සහ ඔක්සිජන් සපයන ධමනි දෙකකින් සහ එක් ශිරාවකින් සමන්විතව වාටන් ජල්ලි මගින් වටවී ඇති පෙකෙණි වැල සවිමත්ව ඝනව වැඩී තිබේ. දරුවාගේ වර්ධනයට අවශ්‍ය පෝෂණය රැගෙන යන රුධිර නාලිකාත් මේ වන විට දැකගත හැකියි. දරුවාගේ අත් පාවල සන්ධි හොඳින් නැවීමට සහ දිගහැරීමට හැකි වන අතරම මේ වන විට දහදිය නිපදවන ග්‍රන්ථී වර්ධනය ද ඇරඹී හමාරයි. මිනිත්තුවකට 140/150 පමණ වාර ගණනක් හදගැස්ම පවතී. දැන් නම් මහපට ඇඟිල්ල මුව තුළට දමා ඉරීම දරුවාගේ දින චර්යාවේ එක් කොටසක් බවට පත්වෙලා.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටික ටික් වෙනස් වෙනවා

ගැබිනි මව සෞඛ්‍ය සම්පන්න ආහාර රටාවකට මෙන්ම ජීවන රටාවකට හුරුවෙන්න. ඔබේ දරුවා තවමත් වර්ධනය වෙමින් පවතින නිසා ඔබේ ජීවන රටාව මෙන්ම ආහාර රටාව දරුවාගේ වර්ධනයට ද බලපාන බව සිහිතබාගන්න. මේ වන විට සාමාන්‍යයෙන් ගැබිනි මවකගේ බර රාත්තල් නවයකින් පමණ වැඩි වී ඇති අතරම එය කාන්තාවගෙන් කාන්තාවට අනුව වෙනස් විය හැකිය.

දැන් දැන් එන්න එන්නම අම්මාගේ උදරය විශාල වන නිසා සිරුරේ ගුරුත්වකේන්ද්‍ර ස්ථානය වෙනස් වෙමින් පවතිනවා. සමහර විට ඔබට ඔබේ සිරුර සමබර ගතියෙන් තොර වෙන අවස්ථා ඇති. මේ තත්ත්වයට බය වෙන්න එපා. ගැබිනි සමයේ තවත් සාමාන්‍ය තත්ත්වයක් මේක. වැටෙන්නේ නැතිව හරිම පරිස්සමෙන් ඉන්න.

මේ වන විට දිනෙන් දින විශාල වන ගර්භාෂය මගින් උදරය ආසාන්න අවයව වෙත යම් තෙරපුමක් ඇති කිරීම නිසා වගේම ගර්භණී සමයේ සිදුවන හෝමෝන වෙනස්කම් නිසාත් පපුවේ දැවිල්ල, අජීර්ණය වැනි අපහසුතා ඇති විය හැකිය. පපුවේ දැවිල්ල තත්ත්වය දරුවා බිහිවන තෙක් ඔබට ඇතිවන පීඩාකාරී තත්ත්වයකි. මේ තත්ත්වයෙන් සම්පූර්ණයෙන් මිදීමට නොහැකි වුවත් යම්තාක් දුරට මැඩපවත්වා ගැනීමට මේ උපදෙස් ඔබට වැදගත් වනු ඇත.

ඔබේ ආහාර පුරුදු වෙනස් කරන්න.

  • එක්වර විශාල ප්‍රමාණයක් ලබාගැනීමෙන් වැළකී විටින් විට ආහාර කුඩා ප්‍රමාණයෙන් ලබාගන්නට හුරුවන්න
  • ඉතා ඉක්මණින් ආහාර අනුභවය වෙනුවට හොඳින් සපා සෙමින් සෙමින් ආහාර ගැනීමට පුරුදුවෙන්න

එමගින් ආමාශය තුළ ආහාර ජීරණය පහසු කරනු ඇත.

ආහාර ලබාගත් විගස හාන්සි වීමෙන් වළකින්න. ඒ සඳහා පැයක් දෙකක් පමණ ගත වන තුරු සිටින්න.

  • පපුවේ දැවිල්ල වැඩි කරවන ආහාර වර්ග ලබාගැනීමෙන් වළකින්න. කලින් ලිපියේත් ඔබව මේ පිළිබඳව දැනුවත් කරනු ලැබුවා. එනම් අධික ලෙස කුළු බඩු වර්ග මෙන්ම තෙල් යෙදු ආහාර වර්ග, කාඛෙනේට් අඩංගු පාන වර්ග මෙන්ම කැෆේන් අඩංගු ආහාර වර්ග භාවිතයෙන් ඈත්වන්න.
  • ආහාර ගන්නා අතරතුර යම් යම් දේ පානය කිරීමෙන් වළකින්න. ඒ වගේම බට ආධාරයෙන් පානය කිරීම ද නුසුදුසුය.
  • බබල්ගම් හෝ චුයින්ගම් කෑමට ඔබට ප්‍රිය කරයි නම් එය ලබාගත යුත්තේ ආහාර වේලට පසුවයි. කේඨය ආමාශයේ පවතින ආම්ලික ගතිය දුරු කිරීමට සහාය වේ.
  • අම්මා ඇඳුම් තෝරාගනිද්දි බොහොම පහසු ලිහිල් ඇඳුම් තෝරාගන්න. එයද මේ තත්ත්වයෙන් පීඩා විඳින ඔබට පහසුවක් සලසාවී.
  • වෛද්‍ය උපදෙස් මත මේ සඳහා යම් ඖෂධ වර්ගයක් ලබාගන්න. හිතුමතේ ඛෙහෙත් ගැනීම කිසිසේත්ම සුදුසු නොවන බව මතක තබාගන්න.

ගැබිනි සමයේ දෙවන ත්‍රෛමාසිකය තුළ යෝනි ශ්‍රාවයන් වැඩි පුර ශ්‍රවය වන බව අපි කලින් ලිපියේත් සඳහන් කලා. එහි වර්ණය ගද්ධය පිළිබඳව යම් වෙනසක් තිබේ නම් වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වැදගත්. ඒ වගේම කිරි පැහැති ශ්‍රාවයක් සමගින් කසන ගතියක් ඔබට දැනේ නම් එයද වෛද්‍ය උදදෙස් ලබාගත යුතු අවස්ථාවකි. ඒ එය ආසාදිත තත්ත්වයක් විය හැකි බැවිනි. අවර්ණ ගන්දයකින් තොර යෝනි ශ්‍රාවය පිටවීම මේ කාලය තුළ සාමාන්‍ය තත්ත්වයකි.

අම්මෙක් වෙන්න යන ඔබ සැළකිලිමත් විය යුතු  ”ගැබිනි සමයේ පිරිසිදු බව”

අම්මෙක් වෙන්න යන ඔබ දෙස සමාජය බලන්නේ සුබ ලකුණක් ලෙසයි. සැබවින්ම ප්‍රියමනාපව සුන්දරව සිටීම ඔබව දකින අයගේ සිතටද ප්‍රිය උපදවන සුළුයි. එය එසේ වුවද පිරිසිදු බව අපි කාගෙත් ශරීර සෞඛ්‍ය කෙරේ අත්‍යවශ්‍ය සාධකයක් වන අතරම ගැබිනි මව ඒ පිළිබඳව ඊටත් වඩා වැඩියෙන් සැළකිලිමත් විය යුතුය.

මේ කාලය වන විට සිරුරේ හෝමෝනවල වෙනස්කම් නිසා මවගේ යෝනි මාර්ග හරහා යම් යම් තරලමය ශ්‍රාවයන් පිටවීම, වැඩි වාරගණනක් මුත්‍රා කීරීමට සිදු වීම වැනි දේ හේතුවෙන් ගැබිනි මවගේ පිරිසිදු බව වඩා වැදගත් වේ.  යම් හෙයකින් එසේ පිටවන ශ්‍රාවයන්ගේ වර්ණය හෝ ගන්ධය පිළිබඳව යම් වෙනසක් ඔබට දැනේනම් ඔබේ වෛද්‍යවරයාගෙන් උපදෙස් ලබාගැනීමට මැලි නොවන්න. ඇතැම් විට වෙනත් ආසාදන තත්ත්වයක් නිසා එසේ විය හැකිය. යෝනි ප්‍රදේශය අවට සැමවිටම පිරිසිදුව සහ වියලිව තබාගන්නට උත්සාහ කිරීම මගින් ඇති විය හැකි දිලීර හෝ බැක්ටරියා ආසාදනයන්ගෙන් වැලකී සිීටීමට ඔබට හැකියි.

යෝනි ප්‍රදේශය අවට පිරිසිදුව සහ වියලිව තබාගැනීම සඳහා ඔබේ යට ඇඳුම් මගින් ද විශාල කාර්යභාරයක් ඉටුකරයි. මේ කාලය තුළ ගැබිනි මවට යට ඇඳුම් තෝරාගැනීමේදී මේ කරුණු ගැනත් සැලකිලිමත්වන්න.

ලංකාවේ පවතින දේශගුණික තත්ත්වයට වඩාත් සුදුසු වන්නේ කොට්න්වලින් නිමවන ලද රෙදි වර්ගයක් තෝරා ගැනීමයි. කපු මගින් සිරුරේ දහදිය සහ ජල වාෂ්ප ඉක්මණින් උරා ගෙන පරිසරයට මුදා හරිනවා. එය සිරුරට පහසුවකි. දිවා කාලයේදී ලා පැහැති සහ නැවුම් පැහැයෙන් යුතු යට ඇඳුම් තෝරාගැනීම වඩාත් උචිතය. එවිට පරිසර උෂ්ණත්වය උරා ගැනීම අවමය. රාත්‍රිය දහවලට වඩා සෞම්‍ය බැවින් තද වර්ණයන් භාවිතය ගැටලුවක් නොවේ.

පෑන්ටි තෝරාගැනීමේදී යෝනි ප්‍රදේශය ආවරණය කොට ඇති පෙදෙස නිමැවූ රෙදි වර්ගය පිළිබඳව අවධානය යොමුකිරීම අනෙක් වැදගත් කරුණයි. එහිදී කපු ස්ථරයට අමතර ආවරණයක් ඇතුළතින් තිබේ දැයි හොදින් බලන්න. එය ඔබගේ යෝනි පෙදෙසෙහි ඇති සියුම් සම ආරක‍ෂා කිරීමටත්, ස්භාවිකව ඇතිවන තෙත් ස්වභාවයත් දහඩියත් ඉක්මනින් උරාගනිමින් පරිසරයට මුදාහැර යෝනි පෙදෙස වියලිව තබා ගැනීමටත් උපකාරී වේ. එසේම යට කලිසම පිරිසිදු කරගැනීමේදී එම පෙදෙස හොඳින් පිරිසිදු කරගැනීමටත්, අවපැහැය ආරම්භවනවාත් සමගම එම යට ඇදුම් ඉවත් කිරීමටත් සැළකිලිමත් වන්න. තවද ගැබිනි සමයේ සාමාන්‍යයෙන් යෝනි ප්‍රදේශයේ තෙත් ස්වභාවය වැඩි නිසා ඒ සඳහා පෑන්ටි ලයිනර් වර්ගයක් භාවිත කිරීමට ඔබට හැකියාව ඇති අතරම එමගින් අනවශ්‍ය තෙතමනය උරාගනිමින් යෝනි සම පෙදෙස වියලිව තබා ගනී. එම පෑන්ටි ලයිනරය වරක් භාවිත කළ පසු ඉවත්කර ගත යුතුය.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


LEAVE A REPLY

[gs-fb-comments]

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article