- Advertisement -

ගැබිනි සමයේ දහහතරවන සතිය

-
දුවෙක්ද? පුතෙක්ද? කවුරු වුණත් මොකද නේද? එයා අපේනේ….

ලැඛෙන්න ඉන්න චූටියා දුවෙක්ද පුතෙක්ද කියලා දැනගන්න ලොකු ආසාවක් අම්මට තියෙනවා. ඒත් වෙලාවකට හිතෙනවා ඒක කල්තියා දැනගන්න ඕනෙ නෑ කියලත්. හැබැයි දැනගත්තා නම් එයාට හරි යන පාටවලින්ම ඇදුම් පැළඳුම් ටික ලෑස්ති කරන්න තිබුණා. ඒ විතරක් නෙවෙයි, චූටියාගේ හුරතල් මූණ හිතෙන් මවාගෙනම එයා ගැන හිතන්න තිබුණා. ඒත් ආයෙමත් වෙලාවකට අම්මට හිතෙනවා දුවෙක්ද පුතෙක්ද කියලා දැනගන්න එයා ලැඛෙනකන්ම ඉන්න. එතකොට ලොකු සතුටක් දැනෙයි. අනේ මන්දා හිත දෙපැත්තටම යනවා. එහෙම නේද අම්මට හිතෙන්නේ…බලන්නකෝ…. චූටියාගේ තාත්තා මොකද කියන්නේ කියලා.

ගැබිනි සමයේ දහහතරවන සතිය

කලලයේ සීග්‍ර වර්ධනයක් සිදු වන මේ කාල සීමාව තුළ තට්ටමේ සිට හිස දක්කවා දිග සෙන්ටිමීටර් 8.7ක් ඒ වගේම බර ග්‍රෑම් 43ක්. මේ වන විට මුහුණේ නොයෙක් ඉරියව් පෙන්නුම් කරන අතරම ඒවා තව තවත් වර්ධනය වීම සිදුවෙනවා. ගෙල ඉතා පැහැදිලි ලෙස පෙනෙන අතරම හිස ඉහළට පහළට චලනය කරන්නට දැන් හැකියාව තියෙනවා. ඒ වගේම සිරුරේ ප්‍රමාණයට සමානුපාතිකව අත් පා දිගින් වැඩෙනවා. මේ කුඩා අත්පා ඉතා නම්‍යශීලී වන අතරම ක්‍රියාශීලී බවින්ද යුක්තයි.

අක්මාව මගින් පිත නිපදවීම මේ සතියේ සිට ආරම්භ වෙන අතරම ප්ලීහාව රතු රුධිර සෛල නිපදවීමට උදව් ලබාදීම මේ සතියේ සිට සිදුවෙනවා. මොළයේ සෛල වැඩෙන අතරම ක්‍රියාත්මක වීම ආරම්භ වෙනවා. මුහුණේ මාංශ පේශීන් හැගීම් ප්‍රකාශ කළ හැකි ආකාරයට සකස් වෙලා. ඇස් කොණින් බලන්න, ඇහි බැම හකුලූවන්න විතරක් නෙවෙයි තවත් හැගීම් ප්‍රකාශ කරන්න හැකියාව මේ වෙද්දී තිඛෙනවා. මේ පුංචි දරුවාගේ සුව පහසුවට වගේම උණුසුම රැකගැනීමටත් අවශ්‍ය මුදු කෙස් සිරුර පුරා දැක ගත හැකියි. ඒ වගේම වකුගඩු හරහා මුත්‍රා පෙරීම සිදුවෙනවා. මේ වෙද්දි පුංචි මාපට ඇඟිල්ල කට ඇතුළට දාගෙන උරන්න වගේම ඇඟිලිවලින් යම් යම් දේ අල්ලාගන්නත් එයාට පුළුවන්.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතය තවත් ටික ටික් වෙනස් වෙනවා

දැන් නම් අම්මා බොහොම සාමාන්‍ය විදියට දවස ගෙවනවා ඇති. ඒත් මව්වරුන් සුළු සංඛ්‍යාවකට මේ වෙද්දිත් යම් යම් අපහසුතා පවතින්න පුළුවන්. දැන් උදරය ටිකක් පිටතට පෙනෙන්න අරගෙන. එහෙම නේද? මේ වෙද්දී අම්මාගේ බර සාමාන්‍යයෙන් රාත්තල් හයකින් වගේ වැඩි වෙලා තියෙන්න පුළුවන්. මේ සතිය වෙද්දි ගැබිනි සමයේ බොහොම සාමාන්‍ය වෙනත් අලුත් අපහසුතා ඔබේ ජීවිතයට එකතු වෙනවා. කොන්දේ වේදනාව ඒ අතරින් ප්‍රධාන දෙයක්. 50%ක් පමණම කාන්තාවන්ට මේ තත්ත්වය ඇති විය හැකියි.

ගැබිනි සමයේ ඇති වන ගැස්ට්‍රයිටීස් තත්ත්වය පිළිබඳව අප පළමු කාර්තුවේදීත් සඳහන් කළා. මේ වෙද්දිත් ඔබ ගැස්ට්‍රයිටීස් තත්ත්වය නිසා පීඩාවට පත්ව සිටිනවා විය හැකියි. මෙයද ගැබිනි සමයේ සාමාන්‍ය තත්ත්වයක්. ඔබව පෙර දැනුවත් කළ පරිදිම නිසි ආහාර රටාව සහ ගැස්ට්‍රයිටීස් ඇති නොවන ආකාරයේ ආහාරවලට හුරුවීමෙන් තත්ත්වය මගහරවා ගත හැකයි. ඒ වගේම පෝෂණීය කෙටි ආහාර වේල් ලබාගැනීමත් එය මගහරවා ගැනීමට වැදගත් වෙනවා. ඒ වගේම කාබනේට් අඩංගු පාන වර්ග ලබාගැනීමෙන් වැලදීමටද වග බලාගන්න.

මේ සතිය වන විට ඔබේ පාදවල ඉදිමුණු ස්වභාවයක් දැකගත හැකියි. ඒ තත්ත්වය මගහරවා ගැනීමට කකුල් එල්ලා තබාගැනීමෙන් වලකින්න. නින්දේදී කොට්ටයක් මත හෝ යම් උසකින් පාද තබාගන්න.

උදරයේ මතුපිට කසන සුළු බවක් දැනටමත් ඔබට දැනෙනවා ඇති. ගර්භාෂය ප්‍රසාරණය වීමත් සමගම උදරයේ සම ඇදීමට ලක් වන නිසා මෙසේ කසන ගතියක් දැනෙන්නට පටන් ගන්නා අතරම ඔබට පුළුවන් සමේ තෙතමනය රැකෙන පරිදි සුදුසු ආලේපයක් ගල්වන්න.

අම්මෙක් වෙන්න යද්දී ඇතිවන “ගර්භණී සමයේ කොන්දේ වේදනාව”

ගර්භණී සමයේ පිට කොන්දේ වේදනාව වැඩිපුර වැලදෙන්නේ පෙර ගර්භණී සමයේ දී පිට කොන්දේ වේදනාව වැළදුණු මව්වරුන්ට, ක්‍රියාශීලී එනම් ව්‍යායාමයන්ගෙන් තොරව හිඳීන ගර්භණී මව්වරුන්ට, ගර්භයේ දරුවන් දෙදෙනෙක් හෝ ඊට වැඩි ගණනක් සිටින මව්වරුන්ට සහ අධික තරබාරු තත්ත්වයේ සිටින මව්වරුන්ටය.

ගැබිනි සමයේ සිරුර තුළ සිදුවන හෝමෝන වෙනස්කම් නිසා කශේරුකාවට සම්බන්ධ වී ඇති ශ්‍රෝණි අස්ථීවල බන්ධනය ඉහිල් වන අතරම කොන්දේ දෙපස ඇති මාංශ පේශීවලට වැඩි කාර්යයක් පැවරේ. ඒ හේතුවෙන් ඇවිදීමේදී, සිටගෙන සිටීමේදී, බොහෝ වේලාවක් ඉදගෙන සිටින විට වගේම සිරුරේ ගුරුත්ව කේන්ද්‍රය ඉදිරියට ගමන් කිරීම නිසා මාංශපේශීන් වෙත පැවරෙන කාර්යය වැඩි වීමද මෙයට හේතුවක්. ගර්භණී සමයේ තවත් ඉදිරියට බර වැඩි වන අතරම එය ඔබේ මාංශ ෂේශිවලට මෙන්ම සන්ධිවලට ද වේදනාවක් ඇති කරයි. පූර්ව ප්‍රසව සමයේ ඇති වූූ මෙම පිට කොන්දේ වේදනාව දරු ප්‍රසූතියෙන් පසුව පහව යයි.

මීට අමතරව ගැබිනි මව්වරුන්ට පොදුවේ ඇති වන තවත් තත්ත්වයකි, කටී කශේරුකා පෙදෙසේ සහ ඊට පහළින් ඇති වන වේදනාව. මේ වේදනාව ඉනට ඉහළින් වක්‍රාකාරව ඉන පෙදෙසෙන් එහාට විහිදී දෙපා දක්වා විහිදී යයි. වැඩි වේලාවක් සිටගෙන සිටීම, ඉඳගෙන සිටීම, පඩිපෙළ නැගීම, උස අඩු පුටුවක හිඳගැනීම, බරක් එසවීම වැනි  කාර්යයන්වලදී වේදනාව වැඩි විය හැකිය. මේ තත්ත්වයටද ගැබිනි බව නිසා සිරුරේ සිදුවන හෝමෝන වෙනස්කම් හේතුවේ.

එසේම ගැබිනි මව්වරුන් සියයක් අතරින් එක් අයෙකුට පමණ ඇති විය හැකි කොන්දේ වේදනා තත්ත්වයක් ලෙස සයිටිකා තත්ත්වය හැඳින්විය හැකිය. මේ වේදනාව හටගන්නේ සයටික් ස්නායුව ඇදීමට ලක්වීම හේතුවෙනි. තට්ටමේ සිට කලවා දක්වා පිටුපසින් යන අධික වේදනවාක් වන මේ තත්ත්වයේදී කොන්දේ වේදනාවට වඩා ප්‍රබලව දෙපාවල ඇති වන වේදනාව දැනෙයි. ඇතැම්විට මෙය හදිසි තත්ත්වයක් බවට පත්විය හැකි අතරම පාදයේ සංවේදන නොදැනේ නම් පාදවල දුර්වල බවක් දැනේ නම් ඉකිළි ප්‍රදේශයේ ගුදයේ මුත්‍රාශයේ සංවේදනය නොදැනේ නම් ඉබේ මුත්‍රා පහවන්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් කරා යොමුවන්න.

ගැබිනි සමයේ කොන්දේ වේදනාව මගහැරීමට නම් නිසි වෛද්‍ය උපදෙස් මත ව්‍යායාම ආරම්භ කිරීම වඩා වැදගත් වේ. ජලය අශ්‍රිතව සිදුකරන ව්‍යායාමය, පිට කොන්දේ වේදනාව අවම කිරීමට සමත් බව සමීක‍ෂණ මගින් හෙලිවී ඇති අතරම පිහිනීම, තවත් කෙනෙකුගේ ආධාරය ඇතිව දිය මත පාවෙමින් සිදු කරන ව්‍යායාම වඩාත් සුදුසු වේ. එමෙන්ම යෝග ව්‍යායාම මෙන්ම පිහිනීම මගින් ද උදර කශේරුකා අවට ඇති පේෂි ශක්තිමත් කරයි.

ගර්භණී කාල සීමාව තුළදී එදිනෙදා ජීවිතයේදී පුරුදු පුහුණු වූ යම් යම් ක්‍රියාකාරකම්වල වෙනසක් සිදුකිරීමට ඔබට සිදු විය හැකිය. ඒ ඔබේ පහසුව සඳහාමය.

ගැබිනි ඔබ පහත උපදෙස් පිළිපදිමින් මේ තත්ත්වය අවම කරගැනීමට උනන්දුවන්න.

නිවැරදි ඉරියව්වෙන් ඉඳගැනීම, හිට ගැනීම

  • උඩු අතට නිදාගැනීමෙන් වළකින්න
  • එක් වරම ඇෙඳන් නැගිටින්න එපා
  • ශරීරයට අධික වෙහෙසකාරී කටයුතුවල යෙදීමෙන් වලකින්න
  • උස් අඩි පාවහන් පැළදීමෙන් වැළකෙන්න
  • සැමවිටම ඍජුව සිටගන්න
  • ඉඳගෙන සිටින විටද පිට ඍජුව තබා ගන්න
  • කකුල් දෙක තබා ගැනීමට කුඩා බංකුවක් ගන්න
  • වැඩි වේලාවක් සිටගෙන සිටීමෙන් වළකින්න
  • සැමවිටම නිවැරදි ඉරියව් පවත්වාගන්න
  • පහළට නැමීමේදී දණහිස් දෙකෙන් පහළට නැමෙන්න
  • එක් එක් පැතිවලට හැරෙද්දී නැවෙද්දී මුළු සිරුරම ඒ කාර්යයට යොමුකරන්න
Symphysis pubis dysfunction (SPD) තත්ත්වය

අපේ සිරුරේ පිහිටි ශ්‍රෝණි අස්ථී සිරුරේ පිටුපසින් කොන්දට සවි වී ඇති අතරම ඉදිරිපසින් එකිනෙක සවිවී පවතී. දරුවෙකු ලැඛෙන විට ඒ සඳහා අවශ්‍ය ඉඩ සැපයීමට ඉදිරිපස අස්ථී ඈත්වීම සිදුවේ. සමහර විට මෙම ඈත්වීම සාමාන්‍ය තත්ත්වයට වඩා වැඩි ප්‍රමාණයකින් සිදුවිය හැකි අතරම ඒවා එකිනෙක මත ගැටීමෙන් අධික වේදනාවක් ඇති විය හැකිය. මෙයට හේතුවන්නේ දරුවන් අතර පරතරය අවුරුද්දකට වඩා අඩුවීමයි. එසේම පෙර ගැබිනි තත්ත්වයේදී මේ තත්ත්වය පැවති මවකට ඒ අවස්ථාවේදීට වඩා වැඩි වශයෙන් ඊළඟ ගර්භණී අවස්ථාවේදී මේ තත්ත්වය ඇති විය හැකිය. මෙය ප්‍රසූතියෙන් පසු මගහැරී යන අතරම  භෞත චිතිත්සක ව්‍යායාම මගින් මෙන්ම මේ සඳහාම සැකසී ඇති පටි පැළදීමෙන් පාලනය කර ගැනීමේ හැකියාව පවතී.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


LEAVE A REPLY

[gs-fb-comments]

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article