- Advertisement -

ගැබිනි සමයේ දොලොස්වන සතිය

-

අපි ෂොපින් යමුකෝචූටියටත් එක්ක මගේ ඇදුම්වල ඉඩ මදියි

ඔන්න දැන් නම් අම්මට තිබුණු අපහසුතා ටිකෙන් ටික මගහැරිලා ගිහින්. චූටියා නිසා අම්මට තියෙන ඇදුම් අදින්න අමාරුයිලූ. ඒ විතරක් නෙවෙයි. අම්මාගේ ඇදුම් නිසා චූටියට අපහසුවක් වෙනන දෙන්නත් බෑනේ. ඒක නිසා අදම ගිහින් සුවපහසු ඇදුම් කීපයක් ගන්නයි අම්මාගේ නම් සූදානම. ඒක හොද අදහසක්. මේ කාලේ අම්මාගේ ඇදුම් අගට හිර වුණාම අම්මට වගේම චූටියටත් අපහසුයි. උදරය තද නොවොන විදියට ගැබිනි මව්වරුන්ටම සැකසුණු විලාසිතා දැන් ඉස්සරට වඩා පහසුවෙන් හොයාගන්න පුළුවන්. එහෙමනම් ෂොපින් ගිහින් එන්නකෝ.

ගැබිනි සමයේ දොලොස්වන සතිය

දොළොස්වන සතිය තුළ කලලයේ හිතාගන්න බැරි විදියේ සංවර්ධනයක් සිදු වෙනවා කිව්වොත් නිවැරදියි. මේ වෙද්දි දරුවාගේ හිසේ සිට තට්ටම දක්වා උස සෙන්ටිමීටර 5.4ක් විතර ඇති. බර ග‍්‍රෑම් 14ක් විතර ඇති. දරුවාගේ ඇගිලි නවන්න දිග අරින්න වගේම පාදේය ඇගිලි ගුලි කරගන්නත් මේ සතිය තුළදී දරුවාට හැකිවෙනවා. ඇස් තද කරගන්නවා. උරා බීමට හැකි වන පරිදි මුඛය සැකසෙනවා. අම්මාට නොදැණුනත් කුස පිරිමදින විට දරුවා ඒ සදහා අත පය ගසමින් ප‍්‍රතිචාර දක්වනවා. පෙකිණිය ඉදිරියට නෙරා ඒම හේතුවෙන් වර්ධනය වී ඇති බඩවැල් උදර කුහරයට ගමන් කිරීම මේ වන විට ආරම්භ වෙනවා. වකුගඩු මගින් මුත‍්‍රාශය වෙත මුත‍්‍රා පෙරීම ආරම්භ කරයි. ස්නායු සෛල වේගයෙන් බෙදීම සිදු වෙනවා. මේ වන විට මානව ස්වරූපය හොදින්ම මුහුණට ලැබී තිබෙනවා. ඇස් දෙපැත්තට වගේම උඩට යටට ගමන් කරනවා. කන් පෙති නියමිත ස්ථානයේ පිහිටා තිබෙනවා.

ඔන්න ඉතිං, අම්මාෙග් ජීවිතය තවත් ටිකක් වෙනස් වෙනවා

මේ ඔබේ ගැබිනි සමයේ පළමු කාර්තුවේ අවසානය සතියයි. අම්මගේ බර රාත්තල් පහ හයකින් වැඩි වී තිබිය හැකි අතරම එය කාන්තාවගෙන් කාන්තාවකට වෙනස් විය හැකිය. මේ වන විට බහුතරයක් මව්වරුන්හට ඇති වූ අපහසුතා සම්පූර්ණයෙන්ම පාහේ සාමාන්‍ය අතට හැරී තිබේ. නමුත් නිතර නිතර මුත‍්‍රා පිටකිරීමේ අවශ්‍යතාවය නම් චූටියා ලැබෙන තුරුම ඔබට දැනේවි. මොකද ගර්භාෂය විශාල වීමත් සමගම මුත‍්‍රාශය මතට යෙදෙන පීඩනය නිසා ඔබට ඒ අපහසුතාවය නම් දිගින් දිගටම පවතීවි. මේ වන විට ගබ්සාවක් සිදු විය හැකි ප‍්‍රවණතාවය අවම වී ඇත.

ගැබිනි සමයේ පළමු කාර්තුව තුළ ඔබේ බර රාත්තල් 5, 6කින් වැඩි විය යුතුය. නමුත් එක් එක් කාන්තාවගෙන් කාන්තාවට තත්ත්වය වෙනස් වේ. ඔන්න දැන් අම්මාගේ සිරුර පිරුණු ස්වභාවයකින් දිස්වේවි. දිනෙන් දින වර්ධනය වන කළලයට අවශ්‍ය ඉඩ සැපයීම සදහා මවගේ ගර්භාෂය ප‍්‍රසාරණය වන අතරම ඒ හේතුවෙන් කුස මතුපිට සම ඇදීමකට ලක් වේ. එවිට කුස මතුපිට සම මත කැසීමක් ඇතිවිය හැකිය.

ගැස්ට‍්‍රයිටීස් තත්ත්වය ඔබට ඇති. විටින් විට සෙමින් සෙමින් ආහාර කුඩා ප‍්‍රමාණයන්ගෙන් ලබාගන්න. එසේම ගැස්ට‍්‍රයිටීස් තත්ත්වය ඇති වීමට බලපෑ හැකි කාබනේට් අඩංගු බීම වර්ග, ඇතැම් කිරි නිෂ්පාදන මෙන්ම කාබෝහයිඞ්රේට් අධික ආහාර වර්ගවලින් වැලකී සිටීම නිසා ඔබට යම් පහසුවක් ඇති විය හැකිය. එසේම බෝතල් මගින් හෝ බට ආධාරයෙන් යම් යම් දේ පානය කිරීමෙන් වැළකීමද මෙහිදී වැදගත් වේ. මන්ද එවිට උදරයට ඇතුළු වන වාත ප‍්‍රමාණය වැඩි වන නිසාය.

ගැබිනි සමයේ ඇති වන සමේ සිදුවන වෙනස් වීම් සාමාන්‍යයෙන් මේ සතියේ සිට දැකගත හැකිය. මවගේ උදරයේ, පියයුරුවල සහ කලවා ප‍්‍රදේශයේ සම මත ස්ටෙ‍්‍රච් මාර්ක් ඇති වීමට පටන් ගනී. ඇතැම් විට මේ සමයේ සිරුරේ සිදුවන හෝමෝනවල වෙනස් වීම් සමගම ගැබිනි මව්වරුන්ගේ සමට දිලිසෙන, සුන්දර පෙනුමක් ලැබේ. ඒ වගේම ඔබට දැනෙනවා ඇති ගැබ් ගැනීමට පෙර ඔබේ සමට වඩා දැන් ඔබේ සම සංවේදී බව. ඒ නිසාම හැමවිටම සම සදහා මෘදු පිරිසිදුකාරක යොදාගන්න.

අම්මෙක් වෙන්න යන ඔබට අනිවාර්යසති 11 – 14 ත් අතර ස්කෑන් පරීක්ෂණය

තාක්‍ෂයේ දියුණුවත් සමගම අද වන විට වෛද්‍ය විද්‍යාවද ඉතා ඉදිරියෙන් සිටී. සාමාන්‍යයෙන් ප‍්‍රසූතිය සිදුවන දිනය මවගේ මාසික ඔසප් චක‍්‍රය සිදු වූ අවසාන දිනයට අනුව සකස් කෙරුණද අද වන විට දින ගණන් බැලීම සිදු කරන්නේ සති 11ත් 14ත් අතර සිදුකරනු ලබන ස්කෑන් පරීක්‍ෂණය හරහායි. එමගින් අක‍්‍රමත් ඔසප් චක‍්‍රයක් පැවති කාන්තාවකට වුවද කිසිදු ගැටලූවකින් තොරව නිවැරදිව ප‍්‍රසූත දිනය ලබාගැනීමේ හැකියාව පවතී. එපමණක් නොව ගර්භණී සමයේ ඉදිරි කාලය තුළ මවට මෙන්ම දරුවාට ඇති විය හැකි සංකූලතාවයන් සොයාගැනීමට ද මෙම ස්කෑන් පරීක්‍ෂණය ඉවහල් වේ. ඒ නිසාම සෑම මවකටම මෙම ස්කෑන් පරීක්‍ෂණයට යොමු වීම අනිවාර්යය.

සති 11 – 14ත් අතර ස්කෑන් පරීක්‍ෂණයෙන් තහවුරු කරගන්නා අනෙක් කරුණු ලෙස කලලයේ ජීවය තහවුරු කරගැනීම, කලලයේ සති ගණන තහවුරු කරගැනීම, වර්ණදේහ අසාමාන්‍යතා හදුනාගැනීම,  බහු කලල අවස්ථා හදුනා ගැනීම, කලලයේ ප‍්‍රධාන ව්‍යුහමය අසාමාන්‍යතා හදුනාගැනීම මෙන්ම ඩවුන්ස් සහ ලක්‍ෂණ හදුනා ගැනීම ද දැක්විය හැකිය.

නොමේරූ දරු උපත්, මළ දරු උපත්, බිළිදා ප‍්‍රමාණයෙන් කුඩා වීම සහ මවට අධිරුධිර පීඩන තත්ත්වය ඇති වීම යන අවස්ථා මෙම ස්කෑන් පරීක්‍ෂණය මගින් හදුනා විශේෂ අවධානයක් යොමු කොට පාලනය කළ හැකි සංකූලතාය. තවද ස්කෑන් පරීක්‍ෂණ හරහා ගැබ් ගෙලේ දිග මැන බලා අවධානම් තත්ත්ව පිළිබදව හැදින අවශ්‍ය ප‍්‍රතිකාර සැලසුම් කළ හැකිය.

කලල මොළයේ, ස්නායු පද්ධතියේ, කොදු ඇට පේළියේ යම් යම් අඩු පාඩු මෙන්ම ජානමය ගැටලූ සහ වර්ණ දේහ සම්බන්ධ ගැටලූ තිබේද යන්න 70%කින් පමණ මෙම ස්කෑන් පරීක්‍ෂණය හරහා දැනුවත් විය හැකිවීම තවත් වැදගත් ප‍්‍රයෝජනයකි.

ඕනෑම මවකට අසාමාන්‍ය දරුවකු ලැබීමේ අවදානමක් පැවතිය හැකි අතරම මෙම ස්කෑන් පරීක්‍ෂණය මගින් එවැනි අසාමාන්‍යතා හදුනා ගත හැකිය. ඇතැම් අවස්ථාවලදී වැඩි තොරතුරු ලබාගැනීමට යෝනි මාර්ගය හරහා ද මෙම ස්කෑන් පරීක්‍ෂණය සිදු කරයි. දරුවන් 700කින් එක් අයෙකු ඩවුන්ස් සහ ලක්‍ෂණ පෙන්නුම් කරන අතරම ඇතැම්විට දරුවන්ගේ අවයවවල අඩුපාඩු තිබිය හැකිය. සෑම ගර්භණී මවකටම සාමාන්‍ය පරිදි විස්තරාත්මක ස්කෑන් පරීක්ෂණයක් නිර්දේශ කරයි.

සති 11- 14ත් අතර සිදුකරන මෙම ස්කෑන් පරීක්‍ෂණය හරහා මවට ඇති වෙනත් සංකූලතාවයන් එනම් ඩිම්බ කෝෂවල ගෙඩි ඇතිවීම වැනි දේ පිළිබඳවද සොයා බැලිය හැකිය.

WhatsApp භාවිතා කරනවද? අපිත් එක්ක chat එකට එකතු වෙන්න.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


LEAVE A REPLY

[gs-fb-comments]

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article