- Advertisement -

ගැබිනි සමයේ සය වන සතිය

-

චූටියා නිසා අම්මා දැන් හරිම පරිස්සම් 

අදට හරියටම සති හයයි. කිව්වත් වගේම කාලය ගෙවෙන්නේ හරිම හෙමිහිට. එහෙම නේද? මේ චූටියා බණ්ඩිය ඇතුළට වෙලා පාළුවෙන් ඉන්නවා කියලා හිතෙද්දි අම්මාගේ හිතට පුංචි දුකකුත් දැනෙනවා ඇති නේද? අම්මාගේ හිතට වෙලාවකට දුකයි. ඒ වගේම වෙලාවකට හරිම සතුටුයි. ඒ ගැන ඒ තරම්ම හිතන්න එපා, මේ කාලේ සැරින් සැරේ හිත වෙනස් වෙන්න පුළුවන්. ඒත් අම්මා දන්නවනෙ, අම්මා මේ සැරසෙන්නේ ලෝකේ උතුම්ම පදවියට උරුමකම් කියන්න බව. ඒ නිසා ගෙවෙන හැම මොහොතකම සතුටින් ඉන්න උත්සාහ කරන්න.

ගැබිනි සමයේ සය වන සතිය

සය වන සතිය වන විට කලලය සීග‍්‍ර ලෙස වර්ධනය වීමට පටන්ගෙන තිබේ. මුං ඇටයක ප‍්‍රමාණයෙන් යුතු සති හයක කලලය වක් හැඩයකින් යුතය. එනම් ඉංග‍්‍රීසි හෝඩියේ සී අක්‍ෂරයට සමාන හැඩයකි. මේ වන විට මුහුණේ කම්මුල්, හකු මෙන්ම පෙනහලු, වකුගඩු සහ අක්මාව වැනි ඉන්ද්‍රියයන් ද සැකසීම ආරම්භ වී ඇත. ඇස් සහ නාස් කුහර ඇති වෙන ස්ථානවල කලු  පැහැති ලප ලෙස සටහන් වී ඇති අතරම අත් පා යාන්තමට පිටතට නෙරා ඇති ආකාරය දැකගත හැකිය. අස්ථි පද්ධතිය මෙන්ම මොළයේ මාංශ පේශීන් ද මනාව සැකසෙමින් පවතී. කලලයේ හෘද ස්පන්දනය මවගේ හෘද ස්පන්දනය මෙන් දෙගුණයකි. එය සාමාන්‍යයෙන් මිනිත්තුවකට 90 – 160ක් පමණ වාර ගණනකි. වෛද්‍ය උපදෙස් මත  සාමාන්‍ය ස්කෑන් පරීක්‍ෂණයකට යොමුවුවහොත් දරුවාගේ මුහුණ සහ වැදෑමහ මවට දැකගත හැකියි. කලලයේ නිසි සංවර්ධනය උදෙසා අවශ්‍ය පෝෂණය සහ ඔක්සිජන් ලබාදීමට වැදෑමහ සහ පෙකෙණිය සැකසීම මේ වන විට ආරම්භ වී හමාරය.

ඔන්න ඉතිං, අම්මාගේ ජීවිතයත් ටිකෙන් ටික වෙනස් වෙන්න පටන්ගන්නවා

දැන් සති හයයි. මේ වන විට උදෑසන වමනය, ශාරීරික අපහසුතාවය, විඩාපත් බව, වැඩි වශයෙන් මුත‍්‍රා පිටිවීම, සුව පහසු නින්දක් නොලැබීම වැනි අපහසුතා අම්මට වැඩිපුර දැනෙන්න පටන් අරන්. ඒත් අම්මා මතක තියාගන්න, රාත‍්‍රී නින්ද ඔබට අහිමි වීමට මේ අපහසුතා වගේම දිවා කාලයේ ඔබ ලබාගන්නා නින්දත් බාධාවක් විය හැකි බව.

පුංචි පුංචි අපහසුතා දැණුනත් එදිනෙදා වැඩ කටයුතු එක්ක දවස ගත කරන්න අමතක කරන්නෙපා. සමහර විට ඔබ රැකියාවට යන කාන්තාවක් විය හැකියි. මනසට ආතතියක් නොඑන ආකාරයට ඔබේ වැඩ කටයුතු සැලසුම් කරගන්න. අවශ්‍ය අවස්ථාවලදී කාර්යාලයේ අනෙක් අයගෙන් උදව් ලබාගන්න.

සමහර විට සුළු වශයෙන් රුධිරය පිටවීමක් සිදු විය හැකියි. දරු පිළිසිඳ  ගැනීමකින් පසුව රුධිර වහනයක් සිදුවිය නොහැකි වුවත් ඇතැම්විට එය සාමාන්‍ය තත්ත්වයක් ද විය හැකිය. ඒ නිසාම අඩු හෝ වැඩි මොන යම් ආකාරයේ රුධිර වහනයක් ඇති වුවද ඒ තත්ත්වයට හේතුව සොයා අවශ්‍ය පියවර ගැනීම ඉතා වැදගත් බැවින්  වහාම වෛද්‍ය උපදෙස් ලබාගැනීම අනිවාර්ය බව මතක තබාගන්න.

අම්මෙක් වෙන්න යද්දි ඇති වෙන සාමාන් අපහසුතා 

අම්මා දැන් හොඳින්ම දන්නවා උදෑසන වමනය, කෑම අරුචිය වගේම අපහසුතා බහුතරයක් අම්මලාට මේ කාලයේදී බොහොම සාමාන්‍ය දේවල් බව. ඒත්  ඕනෙම අම්මෙක්ට හිතෙනවා මේ දේවල් ටිකක් හරි අඩුකරගන්න තිබුණා නම් කියලා. එදිනෙදා ඔබට දැනෙන පුංචි පුංචි අපහසුතාවලට මෙන්න මේ දෙවල්වලින් සහනයක් ලබාගන්න පුළුවන් වෙයිද කියලා බලන්න.

උදේ නැගිටලා ඇදෙන් බහින්න කලින් කෙටි කෑමක් ලබාගන්න ඔබට පුළුවන්. නමුත් හොඳට මතක තියාගන්න, එය පෝෂණීය ආහාරයක් වෙනවා නම් තමයි වඩා හොඳ. ඔබේ සැමියා මේ වෙනුවෙන් ඔබට උදව් කරාවි. ඒ වගේම පැය දෙකකට වරක් මේ වගේම පෝෂණීය සැහැල්ලු ආහාරයක් ලබාගන්න එක හොඳයි. මොකද ගැබිනි සමයේ කුසගින්න ගැන නොසළකා හැරියොත් දැණෙන අපහසුතා වැඩිවෙන්න පුළුවන්.

ඉස්සර කාලේ අම්මලා දැන් ඉතිං දෙන්නෙකුට ඇති වෙන්න කන්න  ඕනේ කියලා කිව්වට අනවශ්‍ය විදියට කුස පිරුණොත් ඔබට ලොකු අපහසුතාවයකට මුහුණ දෙන්න සිදු වේවි. ඒ නිසා ප‍්‍රධාන ආහාර වේල වුණත් වැඩි ප‍්‍රමාණයන්ගෙන් ලබාගන්න උත්සාහ කරන්න එපා. පෝෂණ ගුණයෙන් ඉහළ ආහාරයක් ඔබ ලබාගන්නේ සුළු ප‍්‍රමාණයක් වුණත් ඉන් ලැබෙන ප‍්‍රයෝජනය වඩා ඉහළ බව මතක තබාගන්න.

යම් ආහාරයක සුවඳ, පෙනුම, අසුරා ඇති ආකාරය පිළිබඳව පැහැදීමක් නැත්නම් අපුලක් ඇති වේ නම් කිසිම විටෙක එය ආහාරයට ගන්න එපා. මොකද වමනය ඇතිවෙන්න ඔබේ හිතේ ඇතිවෙන අප‍්‍රියතාවයත් යම් විටෙක හේතුවක් විය හැකියි.

හැකි හැමවිටම පෝෂණයෙන් ඉහළ වගේම නිවසේ පිළියෙල කරගත් ආහාර සඳහා මුල්තැන දෙන්න. අද කාලේ සිද්ධ නොවුණත් අතීතයේදී නම් දරුවෙක් ලැබෙන්න ආවාම අම්මා ළඟට යන පුරුද්දක් සිරිතක් තිබුණා. ඇත්තටම හිතලා බැලුවම ඔබටත් වැටහේවි ඒ මොකද කියලා. අම්මා ළඟට එහෙමත් නැත්නම් ගමට ගියාම අවශ්‍ය ස්වභාවික පෝෂණීය ආහාර ඔබට ලැබෙනවා. ඒ වගේම නිවසේ එදිනෙදා වැඩකටයුතුවලින් සිරුරට ස්වභාවිකම ව්‍යායාමත් ලැබෙනවා. ගැබිනි මවක් සැමවිටම තමාගේ කුස තුළ වැඩෙන දරුවාගේ වර්ධනය මෙන්ම නිරෝගීබව පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුමයි.

පහත සඳහන් මෙන්න මේ කරුණුත් හොදින් මතක තියාගන්න, අධික වමනය වැනි අවස්ථාවන්හිදී වෛද්‍ය උපදෙස් මත ඖෂධ ලබාගැනීමේ කිසිදු වරදක් නොමැත. නමුත් හිතුමනාපේ හෝ වෙනත් අයෙකුට ලබාදුන් ඖෂධ ලබාගැනීම කිසිසේත්ම සුදුසු නැත.

මේ තත්ත්වයන් යටතේ සිටින මව්වරුන් වෛද්‍යවරයෙකු හමුවීම අනිවාර්යයි.

  • ආහාරයට ගන්නා සියලුම දේ වමනය කරන මව්වරුන්
  • අප‍්‍රාණිකව ඇඳටම වී සිටීමට සිදුවන මව්වරුන්
  • වමනය සමග රුධිරය පිට වන මව්වරුන්
  • ඇස් කහ පැහැයට හැරී ඇති මව්වරුන්
  • මුත‍්‍රා දැවිල්ල පවතින මව්වරුන්
  • පැය අටක කාලයක් පුරා මුත‍්‍රා පිට නොකළ මව්වරුන්

WhatsApp භාවිතා කරනවද? අපිත් එක්ක chat එකට එකතු වෙන්න.

— © උපුටා පලකිරීම තහනම්. (වැඩිදුර විස්තර)–

වෛද්‍ය කරුණු සැපයීම සහ අධීක්ෂණය

profileමෙම ලිපි පෙළෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක කරුණු අප වෙත සපයා, ලිපි වල ඇති කරුණු අධීක්ෂණය කර සනාථ කිරීමට අපට සහය වූයේ කොළඹ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සහ ද සොයිසා කාන්තා රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ, වෛද්‍ය ප්‍රබෝධන රණවීර මහතා විසිනි.

ලිපි සැකසුම හා සංස්කරණය සාරංගි රන්පටබැඳි විසිනි.


LEAVE A REPLY

[gs-fb-comments]

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article