දරුවාගේ මානසික ගැටුම් අපි දැනගන්නේ කොහොමද..?

ඔබේ දරුවාට මොන තරම් භෞතික සැප සම්පත් තිබුනත් සමහර අවස්ථාවලදී දරුවාගේ මානසික සතුට බොහෝ සේ පිරිහී තිබෙන්න  පුළුවනි. එහෙම වුනාම අපි දැනගන්නේ කොහොමද..?

  • නුරුස්නා බවක්

මීට ඉස්සරින් බොහොම සතුටින් ඔබ සමග සිටි දරුවාට දැන් නිතරම හොස්ස අගින් මැස්සා යන්න බැරි විදිහට යම් නොරිස්සම් බවක් දැනෙනවා නම් ඔහුගේ මානසික සතුට පිරිහෙන තත්ත්වයට පත් වී බව අමතක කරන්න එපා. ඒ ගැන දරුවා සෘජුව අපිට කියන්නේ නැහැ. අපිට කියන්න සමහර විට ඔහුටත් මේ ගැන දැනුමක් නැහැ. ඒ නිසා මේ හැසිරීම් රටාවෙන් පෙනී යන්නේ දරුවාගේ මානසික සතුට පිරිහෙන ලකුණු ක්‍රමයෙන් පහළ වෙන බවයි.

  • හඬන්න පටන් ගන්නවා..

සමහර දරුවන් වෙනදාට වඩා පුංචි දෙයක්  වෙනුවෙන් පවා හඬන්න පටන් ගැනීමේ ස්වභාවයක් ඇත්නම් ටිකක් විමසිලිමත් වෙන්න. එහෙම නැතුව ”කොච්චරවත් ඇඬියාව…අලි හුරතලයක් පටන් අරගෙන” යනුවෙන් චෝදනා නගන්න එපා. ඔහුගේ හෝ ඇගේ හිතේ කොතැනක හෝ කුමන හෝ හිස්තැනක් දැනෙන නිසා මේ අන්දමින් ප්‍රතිචාර දැක්වීමට පටන් ගන්නවා.

  • ඉගෙනුමට උනන්දුවක් නැහැ…

”ඉස්සර පන්තියේ වැඩට…බාහිර වැඩට මොනතරම් ආසාවෙන්ද ගියේ. මේ සේරමත් කර ගෙන පන්තියෙත් හොඳට ලකුණු ගත්තා. දැන් ඒ කිසිම දෙයක් නැහැ. අඩුම ගානේ පංතියේ වැඩ ටික..ඒකත් නැහැ” මේ විදිහට හොඳින් ඉගෙනුම කර ගෙන ගිය දරුවෙක් හිටි හැටියේම අධ්‍යාපනයට සහ වෙනත් විෂය බාහිර කටයුතු සඳහා තිබුණු පෙර උනන්දුව නොදක්වනවා නම්, ඒ ගැන චෝදනාවට වඩා ඔහුගේ හැසිරීම මේ විදිහට වෙනස් වුණේ ඇයි යන තැන කරුණු හොයන්න. එහෙම නැතුව පය බරවාට පිටිකර බේත් බඳිනාව වගේ අනවශ්‍ය විදිහට දොස් නගමින් ඔවුන් තවත් අගාධයට පත් කරන්න එපා.

  • හුදෙකලාව ඉන්න කැමැතියි…

දැන් දරුවන් හුදෙකලා වුනාම හැම දෙමව්පියෙක්ම ඒ වෙනුවෙන් හිත හදා ගන්නේ ඔය මොබයිල් ෆොන් එක  නිසා තමයි…ඒ වුනාට වෙනදා නැති විදිහට දරුවා හුදෙකලා වෙන්නේ ඔහුගේ හිතේ තිබෙන යම් අඩුපාඩුවක් එහෙම නැත්නම් සතුට පිරිහී ගිය නිසයි.

  • නින්දට උනන්දුව වැඩියි…

මානසිකව සතුටක් නැති විට දරුවන් නිදා ගැනීමට වැඩියෙන් උනන්දුයි. ඊට හේතුව දැන් වෙනදා වගේ සමාගමත් නැහැ…ඉගෙනුම් වැඩ සහ බාහිර වැඩත් නැහැ…කෑම බීමටත් සමහර විට ප්‍රිය නැහැ. සමහර විට වෙනදාට වඩා වැඩියෙන් ආහාර ගැනීමෙන් ඇති වෙන සිරුරේ තෙහෙට්ටුව මේ වගේ හේතු නිසා නින්දට වැටෙන වේලාව වැඩියි. ඉතින් දරුවාට ”කුම්භකරණයා” යනුවෙන් චෝදනා නගනවාට වඩා මේ නිදාගැනීමට හේතුව විමසා බලන්න.

ඉතින් මානසික සතුට නැති වුනාම දරුවා කාලය ගෙවන්නේ දුකින්..සතුටක් කියන හාංකාවිසියක්වත් ඔහුගේ හිතේ නැහැ. හෙටක් ගැන දරවාට ලොකු බලාපොරොත්තු ඇති නොවෙනවා විතරක් නොවෙයි, සමහර විට ජීවිතය ඇතියි වගේ සිතුවිලි පවා ගොඩ නැගෙන්න පුළුවන්. මේ අයට ජීවිතය දිහා හැම වේලාවේම ඇති වෙන්නේ අසුබ සිතුවිලි පමණයි. ජීවිතය දිනා ගත යුතුයි යන අභියෝග හිතේ නැහැ. ඒ තරමටම ඔවුන් ජීවිතයෙන් හෙම්බත්ව සිටින නිසා ධනාත්මක බවක් ඇත්තේම නැහැ..

  • ඉතින් කලබල වෙන්න එපා…

ඔබේ දරුවාගේ මේ අන්දමින් මානසික හැසිරීම් තිබෙනවා නම් කලබල වෙන්න එපා. හැකි තරම් ඔහුගේ මේ පැවැත්ම ඔහුට වධයක් නොවන සේ වෙනස් කිරීමට උත්සාහ ගන්න. හැබැයි දෙසතියකට වඩා මේ විදිහට සිටිනවා නම් මොළයේ සමතුලිතබව වෙනස්ව ඇති නිසා යම් විදිහකට ප්‍රතිකාර ලබා ගැනීම වැදගත්.මේ තත්ත්වය දරුවන්ට විතරක් නොවෙයි, පවුලේ කාට වුනත් ඇති වෙන්න පුළුවනි. අම්මා, තාත්තා, අත්තම්මා, සීයාට වුනත් වෙනසක් නැහැ.

ඒ නිසා ඔබ සමග ජීවත් වෙන අයගේ ගති පැවැතුම් ඉතාම හොඳින් ඔබ දන්නවා. ඒ හැසිරීමට වඩා යම් අන්දමකින් වෙනසක් වෙතොත් ටිකක් විමසිලිමත් වෙන්න. කොතැනක හෝ අඩුවක් නිසා මේ අයගේ මොළයේ රසායනික සමතුලිතතාවය වෙනස්ව තිබෙන්න පුළුවනි. දෙසතියක් ඉක්ම යන තැනැත් හැසිරීමේ වෙනසක් නැත්නම් වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් යොමු වීම වරදක් නැහැ. එය ඔබේ සමීපතයාට කරන ලොකු උදව්වක්. ඒ නිසා දරුවා පමණක් නොවු පවුලේ එකට ජීවත්වෙන කා වෙතින් හෝ උක්ත ලක්ෂණ දකිනවා නම් දෙසතියකට වඩා කල් දාන්න එපා.

SHARE
හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY