සිංහල අලුත් අවුරුද්ද

කොහාගේ ගී නාදයත් එරබදු මල් වියනත් සමග තවත් අලුත් වසරක් එළැඹෙන බවට වූ පනිවිඩය අපට ලැබෙනවා. එදා ගැමි ජීවිතයේදී ගස් , වැල් , මල් පලින් බරවීමත් ,අස්වනු නෙලා ගෙන අටු කොටු පුරවා ගැනීමත් සමග වූ සමෘද්ධියත් නිසා අලුත් අවුරුද්ද බොහොම ප්‍රිතිමත් වුනා. ඒ වගේම මහපොළව සමග හැපෙන ඔවුන්ට යම් හාරිරික විවේකයක් ලැබෙන මේ කාලයේදී මානසිකවත් අලුත් වීමටක මුල පුරන බක්මහ වසන්තය ඉතාමත් සතුටුදායක කාලයක් වුණා.

අවුරුද්දට පෙර සූදානම

අවුරුදු ලැබීමට පෙරාතුව තිබෙන පෙර සූදානම ඉතාමත්ම සුන්දරයි. ගෙවල් දොරවල් පිරිසිදු කිරීම, ගොම මැටි ගෑම අද දවසේ නම් තීන්ත ආලේප කිරීම සහ සුද්ධ පවිත්‍ර කිරීමේ යුහුසුලුව නිසාම ඇති වෙන්නේ නවතම සුන්දරත්වයක්. තවත් පැත්තකින් තුන්සිය හැට පහක් දින ගෙවා එළැඹෙන මේ අලුත් අවුරුද්ද පිලිගැනීමට වූ සූදානමක් විදිහට නිවෙස් පිරිසිදු කිරීමට අනිවාර්යෙන්ම යොමු වෙන නිසා අපිරිසිදු බව නිසා අපේ සාමාන්‍ය ජීවිතයට විය හැකි රෝගාබාධයන්ගෙන් ආරක්ෂාව ලැබුණා.

අලුත් ඇදුම් ලැබෙනවා…

දැන් අම්මලා බොහොම උනන්දුවෙන් දරුවන්ට විතරක් නොවෙයි, ඔවුන්ගේ මව්පියන්ටත් , සහෝදරයන්ටත් වගේම සමීප ඥාතීන් වෙනුවෙනුත් ඇදුම් පැළදුම් මිලදී ගන්නවා. ඒ නිසා අන්තර් සමාජ සම්බන්ධතාවයන් නොදැනීම අලුත් වෙනවා. අනේ අපේ අම්මාට අලුත් ඇදුමක් අරගෙන දෙන්න ඕන කියන සිතුවිල්ල අපේ හිතේ තිබුනත් එය යථාර්ථයක් විදිහට ඉෂ්ට වේනනේ අලුත් අවුරුදු කාලයටයි. මේ කාලයේදී අපි බැඳී සිටින්නේ යුතුකම් සමග නිසා කර අරින්න වෙන්නේම නැහැ.පොඩි අයටත් අලුත් ඇඳුම් පැළඳුම් සහ තෑගි බෝග ලැබෙන නිසා අලුත් අවුරුදු කාලය මානසිකව බොහොම ප්‍රිතිමත් කාලයක්.

කැවිලි හදනවා…

තෙල් පැණි ඇත්නම්….කැවුම්ද පඤ්ඤං කිව්වත් ඇති නැති හැම දෙනෙක්ම සිංහල අලුත් අවුරුද්ද වෙනුවෙන් තෙල් තාච්චිය ලිප තබනවා. කැවුම් ගැන බොහොම දෙනෙක් කොලස්ටරෝල් නිසා බියක් ඇති කර ගත්තත් කැවුම් ඉතා පෝෂණීය රසකැවිල්ලක්. හාල් සහ මුංඇට ප්‍රතිඔක්සිකාරක සහ පයිටොඊස්ට්‍රජන් රසායනයන්ගෙන් යුක්තයි.

කෝඳුරු කැවුම

මේ කාලයට කෝඳුරුවන් බහුලයි. මේ කුඩා සතුන් රෝග වාහකයන් නිසා අපේ පරිස්සමත් අවශ්‍යයි. ඒ නිසාමදෝ කෝඳුරුවන් වෙනුවෙන් කැවුමක් වෙන් කරනවා. එය වහලේ යටලීයේ එල්ලා තබනවා. දැන් කෝඳුරුවන් අපේ ඇස්වල නොවෙයි අර එල්ලා තිබෙන කැවුමේ ගිහින් වසනවා. ඒ නිසා ඇස් ලෙඩ වැනි සමිප්‍රේෂණ රෝග බෝවීමේ අවදානම නැති වෙනවා. මොන තරම් සූක්ෂම විදිහට කෝඳුරුවන්ගෙන් ආරක්ෂා වුනා නේද…?

අවුරුදු උදාවනොගතය හෙවත් සුර්යයා සංක්‍රාන්තියෙන් පසුව අවුරුදු උදාවේ මුල්ම සුබ කටයුත්ත ලිප ගිනි මෙලවීමයි. මේ වෙනුවෙන් වගකීම නිවසේ ගෘහණියට ලැබී තිබෙනවා. ඇය නැකැත් කරුවන් විසින් නියම කර තිබෙන වර්නයෙන් යුක්ත වස්ත්‍රෙයන් සැරසිලා අදාල දිශාව බලා ලිප ගිනි මොලවනවා. එයින් පසුව මුලින්ම පිස ගන්නේ කිරිබතක්. මේ කිරිබතට මුං, තල, උක්හකුරු, සහ කිතුල් හකුරු එකතු කර ගෙන පිස ගන්නවා.

ගණුදෙණු කිරීම සහ වැඩ ඇල්ලීම

ආහාර අනුභවයෙන් පසුව සිදු වෙන වැඩ ඇල්ලීමේදී  පිරිමින් මිදුලේ කිරි ගසක අත්තක් කපනවා. කාන්තාවන් ‘‘ වං මෝල් ඇල්ලීම ‘‘ කියන අන්මේ චාරිත්‍රයක් සිදු කරනවා. මෝල්ගස ගෙන වංගෙඩියේ යමක් කොටන චාරිත්‍රයක් වැඩ ඇල්ලීමේදී සිදු වෙනවා.ළිඳ සමග ගණුදෙණු කිරීමේදී කහ, දුරු, වී, සහල් බෙහෙත් බඩු, අගුරු කැට, තඹ කාසි, සහ සමන්පිච්ච මල් කීපයක් ළිදට දමා නැවුම් කළයකට දිය පුරවා ගන්නවා. මේ සිරිත සමග බැඳුන විද්‍යාත්මක සම්බන්ධතාවයකුත් තිබෙනවා. අගුරුවල ජලය පිරිසිදු කිරීමේ ගුණයක් තිබෙනවා. ඒ වගේම තඹ ජලය සමග සංයෝග වීමෙන් සිරුරට ගුණ ලැබෙනවා.

ආහාර අනුභවය

අපේ ලංකාවේ සතර කොනම හැම නිවසකම අවුරුදු සමරන උදවිය එකම වේලාවක් ආහාර ගන්නවා. අදාල නැකැත් වේලාවට කිරිබත් සහ කැවලි තබා ඇති මේසයේ පවුලේ පියා විසින් බිරිඳට සහ දරුවන්ට ආහාර කැවීම සංකේතවත්ව සිදු කරනවා. සමහර ප්‍රෙද්ශවල කිරිබත වගේම හත් මාලුවක් පිලියෙල කරනවා. සාමුහිකව හැම දෙනාම එකම වේලාවක, එකම මේසයක වාඩිවී ආහාර ගැනීම අද සමාජවිද්‍යාඥයින් විසින් අගයන ක්‍රියාවක්. අපේ සිංහල ජන සංස්කෘතියේ මේ සිදුවීම අනාදිමත් කාලයක පටන්ම පැවැතුනා.

හිසතෙල් ගෑම

හිස මිනිස් සිරුරේ උතුම් බාගය සේ සැලකෙනවා. හිසතෙල් ගෑමේ අවස්ථාව පන්සල, දේවාලය, කෝවිල හෝ වෙදමහතෙක් වැනි ප්‍රභුවරයෙකුගේ නිවස මුල් කර ගෙන සිදු වෙනවා. හිස තෙල් සඳහා නානු සහ තෙල් යොදා ගනන්වා. තෙල් ගෑමේ ස්ථානයේ සුදු වියනක් බැඳ, බිමට පිරුවට දමා  ඒ මත පුටුවක් තබා තිබෙනවා. මේ වෙනුවෙන් ඇඳීමට වර්ණ හා දිහාවන් කල් තබා සකස් කර තිබෙනවා. හිසතෙල් ගෑම සෙත් පිරිත් මැද සිදු වෙනවා. තෙල් නානු ආලේපයෙන් සිදු වෙන ස්නානයෙන් පසුව ඊළග නැකැත යෙදී තිබෙන්නේ රැකී රක්ෂාවන්ට පිටත්ව යෑම සඳහායි. එතැනින් පසුව නැවත සාමාන්‍ය ජනජීවිතයට අවතීරණය වීම සිදු වෙනවා.

සිංහල අලුත් අවුරුද්ද මුලුමනින්ම මානව සම්බන්ධතාවයන්ගේ බන්ධනය මත ගොඩ නැගී තිබෙනවා. හොඳ සිත් ඉදිරියට ගෙන යන, නොහොඳ සිත් හොඳ කරන සිංහල අලුත් අවුරුද්ද නිසා මානව සහජීවනයට විශාල ආලෝකයක් ලැබෙනු ඇත.

SHARE
හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY