- Advertisement -

ෆයිබ්‍රොයිඩ් ගැන මේ කරුණු ඔබ දැන සිටියාද?

-

අද වන විට බොහෝ කාන්තාවන් අතර මෙම තත්ත්වය අහන්නට ලැබෙනවා. මොනවද මේ ෆයිබ්‍රොයිඩ් කියන්නේ,

එය කාන්තාවන්ගේ ගර්භාෂය තුළ ඇති වන අසාමාන්‍ය වර්ධනයකි. සමහර අවස්ථා වලදී මේවා ඉතා විශාල වන අතර තීව්‍ර උදර වේදනාවක් හා ආර්තවයේදී අධික රුධිර වහනයක්ද සිදු වේ. නමුත් සමහර කාන්තාවන්ට කිසිම ලක්‍ෂණයක් නොපෙන්වයි. ජීවිත කාලය පුරාම වුවද පවතින මේවා අහිංසක එනම් පිළිකා නොවන අර්බුද ගණයට වැටේ. මේවා එකක් හෝ කිහිපයක් තිබිය හැක. බොහෝ ඒවා ගර්භනීතාවයේදී පෙනීමට පටන් ගන්නා අතර දරුවා බිහිවීමෙන් පසු ගර්භාෂය සාමාන්‍ය තත්ත්වයට පත්වන විට හැකිලී යයි. මේවා සිනිඳු පේශී හා තන්තු සම්බන්ධක පටක මගින් සෑදෙන අතර කාන්තාවන්ගෙන් 70% – 80% ජීවිත කාලය පුරාම වර්ධනය වේ.

- Advertisement -

මෙම ෆයිබ්‍රොයිඩ් ඇති වන ස්ථාන අනුව වර්ග 3 ක් ලෙස දැක්විය හැකිය.

  • Intramural Fibroid – ගර්භාෂයේ පේශීමය බිත්තිය තුළ ඇති වේ.
  • Sub Mucosal Fibroid- ගර්භාෂය තුළට නෙරා පවතී
  • Sub serosal Fibroid – ගර්භාෂයෙන් පිටතට නෙරා පවතී

ෆයිබ්‍රොයිඩ් ඇති වන්නේ කුම හේතු නිසාද?

මෙම තත්ත්වයට නිශ්චිත හේතුව කුමක්දැයි මෙතෙක් නොදන්නා නමුත් පර්යේෂණ හා සාධනික අත්දැකීම් මත පහත කරුණු දැක්විය හැක.

ජානවල ඇති වන වෙනස්කම්

මවට හෝ සහෝදරියකට මෙම අර්බුද (Tumor/ගෙඩි) ඇති වී ඇත්නම් තමාට ඇති වීමේ අවධානමක් ඇත. (කාන්තාවන්ට පමණි) මෙහිදී සාමාන්‍ය ගර්භාෂයක පේශී සෛලවලට වඩා මෙම ගර්භාෂ තුළ පේශී සෛලවල වෙනස්කම් පවතී.

හෝමෝන

 ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටෙරෝන් හෝමෝනය මගින් සාමාන්‍ය ආර්තව චක්‍රයකදී ගර්භාෂයේ ඇතුළත ස්ථරය වර්ධනය කර ගර්භනීතාවයකට සූදානම් කරයි. බොහෝ අර්බුද ගර්භනීභාවයේදී පෙනීමට පටන් ගන්නේද හෝමෝන මට්ටම අධික නිසාය. ගර්භනීභාවයෙන් පසුව හෝමෝන මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත්වන නිසා නොපෙනී යයි. මෙම අර්බුද (Tumor/ගෙඩි) තුළ ඊස්ට්‍රජන් හා ප්‍රෙජෙස්ටෙරෝන් ප්‍රතිග්‍රාහක සාමාන්‍ය ගර්භාෂයක ඇති පේශී සෛලවලට වඩා වැඩිය. හෝමෝන අඩුවීම සමග ආර්තවාභාවයේදී හැකිලී යයි.

 ෆයිබ්‍රොයිඩ් තත්ත්වය ඇති විට පෙන්නුම් කරන ලක්‍ෂණ

ආර්තවයේදී ඇති වන අධික රුධිර වහනය

  • සතියකට වඩා ආර්තවය පැවතීම
  • ශ්‍රෝනි කුහරය තුළ ඇති වන පීඩනය හෝ වේදනාව
  • නිතර නිතර මුත්‍රා කිරීමට සිදුවීම
  • මුත්‍රාශය හිස් කිරීමේ අපහසුව
  • මල බද්ධය
  • පාදවල හා කෝන්දේ වේදනාව

කාන්තාවක් වෛද්‍යවරයෙකු හමුවී උපදෙස් ලබා ගතයුතු අවස්ථා

  • ශ්‍රෝනි කුහරය (උකුල තුළ) ඇති වන නොනවතින වේදනාවක් පවතින විට
  • රුධිරය අධික ලෙස වහනය වීම,  එය දිගු කලක් පැවතීම හා අක්‍රමවත් ආර්තව චක්‍රයය.
  • ආර්තව චක්‍ර 2 ක් අතර රුධිර වහනය
  • මුත්‍රාශය හිස් කිරීමේ නොහැකියාව

ෆයිබ්‍රොයිඩ් ඇති වීම සඳහා ඇති අවධානම් සාධක 

  • ආරය (මවට හෝ සහෝදරියකට පැවතියේ නම් ඒ පවුලේ කාන්තාවන්ට අවදානමක් පවතී)
  • ජාතිය (කළු ජාතික කාන්තාවන් තුළ තරුණ කාලයේදීම මෙම අර්බුද (Tumor/ගෙඩි) බහුලය)
  • පාරිසරික සාධක
  • ආර්තවය කලින් ආරම්භ වීම
  • උපත් පාලන ක්‍රම
  • තරබාරු බව
  • විටමින් D ඌනතාවය
  • රතු මස් වැඩිපුර කොළ පැහැති එළවළු පළතුරු අඩුවෙන් ගැනීම
  • ඇල්කොහොල් භාවිතය (Beer පවා)

ගර්භනීභාවය හා ෆයිබ්‍රොයිඩ්

 සාමාන්‍ය ගර්භනීභාවය සඳහා මේවා බාධාවක් නොවේ. නමුත් ගර්භාෂය තුළට නෙරා පවතින (Sub mucosal fibroids) මගින් වඳ භාවය හෝ ගර්භනීතාවය නැති වීම සිදු විය හැක. එසේම එවැනි තත්ත්වයකදී ගබ්සා වීමේ අවදානමද වැඩිය. මෙමගින්,

  • වැදැමහ/අපරාව (Placenta) දරුවා බිහිවීමට පෙර ගැලවීම
  • භ්‍රාණයාගේ වර්ධනය ඇණ හිටීම
  • නොමේරූ දරු උපත් ඇති වීම වැනි තත්ත්වයන්ට මුහුණ දීමට සිදු විය හැකිය.

 ෆයිබ්‍රොයිඩ් හඳුනා ගැනීම සඳහා සිදුකරන පරීක්‍ෂණ

  • උදරය හා ශ්‍රෝනි පරීක්‍ෂණවලදී තද, අක්‍රමවත් ශ්‍රෝනි ස්කංධයක් (ගෙඩියක්) ලෙස අතට දැනේ.
  • Transvaginal Scan – යෝනී මාර්ගයහරහා සිදුකරන scan පරීක්‍ෂාවයි.
  • MRI Scan පරීක්ෂණය
  • Hysteroscopy – කැමරාවක් සහිත උපකරණයක් මගින් පියවී ඇසට සක්‍රීයව ගර්භාෂය නිරීක්‍ෂණය කිරීම
  • Saline Sonohysterogram- යෝනි මාර්ගය තුළින් Saline ඇතුළු කර එමගින් ගර්භාෂය විස්තාරණය කිරීමෙන් හඳුනාගැනීම

ෆයිබ්‍රොයිඩ් තත්ත්වය සඳහා ප්‍රතිකාර

ඖෂධ ප්‍රතිකාර

 අඩු මාත්‍රාවක් සහිත උපත් පාලන පෙති ලබාදේ. මෙහිදී ඊස්ට්‍රජන් ශ්‍රාවය (ඩිම්බ කෝෂවලින්) නවත්වයි. මාස 3 ක කාලයක් ලබාදී අඩු ඊස්ට්‍රජන් මට්ටමක් පවත්වා ගනී.

ශල්‍ය ප්‍රතිකාර

 Hysterectomy – ගර්භාෂය හා Fibroid යන දෙකම ඉවත් කරයි

Myomectomy – ගර්භාෂය තුළ ඇති Fibroid පමණක් ඉවත් කරයි.

Uterine Artery Embolization (UAE) – polyvinyl alcohol කැතීටරයක් හරහා ධමනිවලට එන්නත් කර ඒවා Fibroid වලට ලැබීමට සලස්වයි. එවිට එමගින් රුධිර සැපයුම අවහිර වී හැකිලී/මිය යයි.

ෆයිබ්‍රොයිඩ් තත්ත්වයේ බොහෝ අවස්ථා පිළිකා නොවන අතර අධික රුධිර වහනය නිසා නීරක්තිය ඇති වීමේ අවධානමක් ඇති විය හැකිය. එම නිසා ඉහත සඳහන් කළ ලක්ෂණ වේ නම් වෛද්‍ය උපදෙස් කරා යොමු වීම වඩාත් සුදුසු බව සිහිතබා ගන්න.

කුරුණෑගල, පළාත් මහා රෝහලේ නොමේරු ළදරු දැඩි සත්කාර ඒකකයේ සූතිකා පුහුණු හෙද නිලධාරිනි (1 ශ්‍රේණිය) ක්‍රිෂාන්ති ගංගා කුමාරිහාමි මහත්මියගේ ලිපියකි.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article