- Advertisement -

ඔබේ දරුවාත් ඉවරයක් නැතිව TV බලනවද?

-

මාස නවයක් පුරාවට මව්කුස සිට මෙලොව එලිය දකින ඔබේ දරුවා දිනෙන් දින ගතවන කාලයත් සමග ශාරීරිකව මෙන්ම මානසිකව වැඩෙන්නට පටන් ගනියි. තමන් අවට වටපිටාවෙන් අසන්නට දකින්නට ලැබෙන දේ හරහා විවිධ දේ උගනියි. අත්දැකීම් ලබයි. මෙම කාලය දරුවෙකුගේ මානසික වර්ධනය නොඑසේනම් බුද්ධි වර්ධනය වෙනුවෙන් ප්‍රධාන වශයෙන්ම බලපාන කාලසීමාවක් වන අතර ඒ වෙනුවෙන් දෙමව්පියන්ගේ අවධානයද නිරන්තරව ලැබිය යුතුය. බුද්ධි වර්ධනය යනු දරුවෙකුගේ මොළය නිසි ආකාරව ක්‍රියාකිරීමයි. එනම් දරුවාට දැනීම, කතා කිරීම, සිතීමේ හැකියාව, ගැටළු නිරාකරණය කර ගැනීමේ හැකියාව, නව දැනුම සොයායාම සහ ඉගැනීම ආදිය වර්ධනයයි.

නමුත් වර්තමානය වනවිට බොහෝ මව්වරුන් දරුවන්ගේ මෙම බුද්ධි වර්ධනය සම්බන්ද වැඩි අවධානයක් යොමු කරන බව නොපෙනේ. හඬමින් සිටින දරුවන් වත්තම් කර ගැනීමට ඔවුන් වඩ වඩාත් රූපවාහිනිය වෙත යොමු කිරීම හෝ ස්මාර්ට් ජංගම දුරකතනයක් ලබා දීම මෙයට ප්‍රධාන වශයෙන් හේතුවන අතර එය අද වනවිට සෑම නිවසකම පාහේ සුලබව දැකිය හැකි වැරදි පුරුදු අතරින් එකකි. වර්තමාන තාක්ෂණයේ දියුණුවත් සමග දරුවා නැලවෙන්නේත්, ආහාර ගන්නේත්, තනිය මකා ගන්නේත් රූපවාහිනිය හෝ වීඩියෝ පටයක් සමගය. දිනකට පැයකට හෝ දෙකකට වඩා රූපවාහිනිය අසල සිටින දරුවෙකුගේ ස්නායු සෛල වර්ධනය වීම අඩාළ වන අතර එවැනි දරුවෙකු දක්ෂ දරුවෙකු වීමට පවතින ඉඩකඩද සීමිත වේ. විශේෂයෙන්ම රූපවාහිනිය යනු ළමා මනස ආක්‍රමණය කරන මාධ්‍යක් වන අතර එය දරුවෙකුගේ බුද්ධි වර්ධනය අඩාල කරවන මෙවලමක් බවද මේ වනවිට පරීක්ෂණාත්මකව සනාථ වී ඇත.

- Advertisement -

සාමාන්‍යයෙන් මොලය සෑදී ඇත්තේ සියුම් අතු ඉති රාශියක් සහිත ස්නායු සෛල බිලියන ගණනාවකිනි. ඒවා අතර පරතරයක් ඇති අතර ස්නායු සෛල දෙකක් අතර ඇති මෙම පරතරයන් එනම් සන්ධි හරහා විදුලි ධාරා ගලායයි. ඒ අනුව සන්ධි ගණන වැඩි වනවිට ඒ හරහා ගමන් කරන පණිවුඩ හුවමාරුව වැඩි වීමෙන් මොළයේ ක්‍රියාකාරීත්වයද වර්ධනය වේ. සන්ධි සෑදීමට නම් ස්නායු සෛලවල අතු ඉති ලියලීම සිදුවිය යුතු අතර ඒ සඳහා ස්නායු සෛල අතර පණිවිඩ හුවමාරුව වැඩිවන විට ස්නායු සෛල උත්තේජනය වීමක් සිදුවිය යුතුය. එවිට ශීඝ්‍රයෙන් සන්ධි නිර්මාණය වන අතර ඒ මගින් දරුවෙකුගේ බුද්ධි වර්ධනයද වැඩිවීමක් සිදුවේ.

img 01

දරුවෙකුගේ බුද්ධි වර්ධනය සාමාන්‍යයෙන් මව් කුස තුලදීම ආරම්භවන අතර ඔවුන්ගේ ස්නායු සෛල උත්තේජනය වීමට නම් ඇස, කණ, නාසය, දිව, ශරීරය යන පන්චේන්ද්‍රයන් නිසියාකාරව ක්‍රියාකරවීමට සැලැස්විය යුතුය. දරුවෙකු ඉපදීමෙන් අනතුරුව ඔවුන්ට ලබාදෙන උත්තේජන අනුව ඔවුන්ගේ ක්‍රියාරකම්වල වෙනසක් දක්නට ලැබීම සාමාන්‍ය කරුණකි. රූපවාහිනිය නැරඹීමේදී ක්‍රියාත්මක වන්නේ දරුවාගේ ඇසත් කණත් පමණක් බව අප අවධානයට ගත යුතුය. එසේම එයට පෙරළා ප්‍රතිචාර දැක්වීමට නොහැකි බවද දෙමව්පියන් මතකයේ තබා ගතයුතුය. රූපවාහිනිය යනු දැනුම් සම්භාරයක් ලබා ගතහැකි මාධ්‍යක් වුවත් අද බොහෝ දෙමව්පියන් දරුවන් සමග  හිඳ නරඹන්නට පුරුදුව සිටින්නේ අගක් මුලක් නොමැති පවුල් ප්‍රශ්න රැගත් මෙගා ටෙලිනාට්‍ය වීම මෙහි එන බරපතලම කාරණයයි.

වර්තමානය වනවිට රූපවාහිනියේ ප්‍රචාරය වන ළමා කාටුන් යැයි කියාගත් බහුතරයක පෙන්වන්නේද ඊර්ෂයාව, ප්‍රචණ්ඩත්වය, ක්‍රෝධය සහ තවකෙකු පරයා නැගීසිටීම වැනි සංකල්පයන්ය. ඔබේ දරුවන්ගේ මනස පෝෂණය වන්නේ එවැනි දෑ වලින්නම් ඊට ප්‍රතිවිරුද්ධ ප්‍රතිචාර දරුවාගෙන් කිසි ලෙසක හෝ අපේක්ෂා නොකළ හැකි බවද දෙමව්පිය ඔබ මතක තබා ගත යුතුය. සාමාන්‍යයෙන් දරුවෙකු මත් පැන් සහ දුම්වටිවලට යොමුවීමට එලෙස රූපවාහිනියේ මවා පෙන්වන දෑ ඉවහල් වන බව සත්‍යකි. එනිසා දරුවා රූපවාහිනිය වෙත හුරු කරවීම වෙනුවට වෙනත් ප්‍රයෝජනවත් කාර්යක ඔහුව හෝ ඇයව යෙදවීමට දෙමව්පියන් උත්සහ ගැනීම වරදක් නැත.

children-at-kitchen

ඒ අනුව දරුවා පුර්ණකලිනව රූපවාහිනිය වෙත යොමු කරවීම හෝ ඈත්කරවීම වෙනුවට තෝරාගත් ප්‍රයෝජනවත් වැඩසටහන් පමණක් නැරඹීමට අවස්ථාව ලබා දිය හැකිය. රූපවාහිනිය නිවසේ සාලයේ තැබීමෙන් වලකින්න. ඔබේ දරුවාට නිවසේදී කල හැකි පුංචි පුංචි රාජකාරී කටයුතු පැවරීමද සිදුකළ හැක. උදහරණ ලෙස  අතු පතු ගෑම, උයන පිහන කටයුතුවලදී දරුවන් එක් කර ගැනීම වැනි ක්‍රියාකාරකම් පෙන්වාදිය හැක. ඔවුන් එම රාජකාරිය සියයට සියයක්ම නිවැරදිව නොකලත් ඔවුන්ව අගයමින් අඩුපාඩු පෙන්වා දෙන්න. මෙවැනි අමතර රාජකාරියක නියැලීම තුලින් දරුවන්ට ක්‍රම ක්‍රමයෙන් රූපවාහිනිය අමතකව යාමක් සිදුවේ. දරුවන් ආහාර ගන්නා විට රූපවාහිනිය ක්‍රියාත්මක කර දීම වෙනුවට පවුලේ සියලු දෙනා එක්ව ආහාර ගන්න. එමගින් පවුලේ අය අතර බැඳීම වර්ධනයටද තව තවත් අවස්ථාව උදාවේ. කතාන්දර පොත් කියවීම මුද්දර එකතු කිරීම වැනි විනෝදාංශ වලට දරුවා හුරු කරවීම මගින් මෙන්ම පරිසරයේ ගහ කොළ සතා සිවුපාවන් දෑසින් දැකීමටත් ශබ්දවලට සවන් දීමටත් අවස්ථාව සලසා දීම මගින් ඔබේ දරුවන් රූපවාහිනිය වෙත ඇබ්බැහි වීම වලක්වා ගත හැකි අතර ඔවුන්ගේ බුද්ධි වර්ධනය වැඩි කරගැනීමටද උදව්වක් කරගත හැකිය. දරුවන්ව සුරතල් කිරීම කතාන්දර කියාදීම මෙන්ම ඔවුන්ට ආදරය දැක්වීම මගින්ද දරුවන්ගේ රස වින්දනය සේම යමක් තාර්කිකව සිතීමේ හැකියාවද වර්ධනය වේ.

මෙවැනි සුළු ක්‍රියාකාරකම් තුලින් දරුවන්ගේ ස්නායු සෛල උත්තේජනය වන අතර ඒ හරහා ඔවුන්ගේ බුද්ධි වර්ධනය ශීඝ්‍රයෙන් වර්ධනය කරගත හැකිය. එනිසා ඔබේ වැඩි පහසුව වෙනුවෙන් දරුවා රූපවාහිනිය වෙත තල්ලු කරනවා වෙනුවට ඔවුන්ට වඩා යහපත් අනාගතයක් ගොඩනැගීමට කුඩා කල සිටම හොඳ පුරුදු වෙනුවෙන් යොමු කරවන්න. එය ඔබෙත් දරුවාගේත් හෙට දවස වඩාත් සුරක්ෂිත කරනවාට සැක නැත.

අම්බලන්ගොඩ පුබුදු පෙර පාසැලේ ප්‍රධාන ආචාරිනී තමරා ධර්මසේන මහත්මිය සමග සකසන ලද ලිපියකි.

 

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article