- Advertisement -

අම්මාගේ අවශ්‍යතාවය නිසා දියණිය අසරණයි…

-

මට හිතුනා මේ සිද්ධිය මේ විදිහට පටන් ගන්න. එක නගරයක පහවසරේ පුංචි දුවක් හිටියා. එයාගේ අම්මයි තාත්තයි දෙන්නාම රජයේ රැකියාවල  නිරත වුණා.

ඉතිං අපි දන්නවානේ ශිෂ්‍යත්වය කියන්නේ අම්මලාගේ විභාගය කියලා. ඒ නිසා මේ අම්මාටත් අවශ්‍ය වුනේ තමන්ගේ දියණිය ඉතාම ඉහලින් සමත් කරගන්නයි. ඒකේ ඉතින් කිසිම වැරැද්දක් නැහැ. ඊටත් මේ ප්‍රශ්නය ඔවුන්ට ඉතාම බරපතල විදිහට බලපෑවේ දරුවාට ඒ වෙන විටත් ජනප්‍රිය පාසලක් ලැබී තිබුනේ නැහැ. අම්මයි, තාත්තයි මේ සිද්ධිය නිසා මානසික්වත් හෙම්බත් වුණා. ඒත් ශිෂ්‍යත්වය පාස් වුනාම අපිට පුලුවන් දුව ජනප්‍රිය හෝ ජාතික පාසලකට දාන්න. ශිෂ්‍යාධාරත් නොලැබෙන එකේ අඩුම ගනනේ ඒ අවස්ථාවවත් ලැබුනොත් කියල දෙන්නා හිත සනසා ගත්තා. දියණියටත් නිරන්තරවම බලකරලා කියා හිටියේ  කොහොම හරි ශිෂ්‍යත්වය පාස් කර ගෙන අපි නගරයේ පාසලකට යමු කියන උත්තේජනයයි.

- Advertisement -

අම්මයි , තාත්තයි දුව හොදින් මෙහෙයවා හිටියත් දුවට සමත් වෙන්න නම් බැරි වුණා. ඒත් අම්මාට මේ අසමත්වීම නිසා මහත් පසුතැවිලල්ක් ඇති වුණා. ඇය නිකම් හිටියේ නැහැ.දරුවා සමත් විදිහටම රඟපාන්න පටන් ගත්තා. කාර්යාලයේ අයට පාටියකුත් දුන්නා. කාර්යාලයේ අය තෑගිත් යැව්වා.

මේ විදිහට රගපෑම් කළ අම්මා ශිෂ්‍යත්වයේ ලකුණු අනුව දියනියට ජනප්‍රිය පාසලකුත් ලැබුන බවට කන්තෝරුවේ කියා තිබුණා. මේ විදිහට කාලය ගෙවෙද්දී දියනියටත් සිද්ධිය මහත් ගැටළුවක් වුනේ ඇය ඒ වෙන විටත් ඉගෙනුම ලැබුවේ තමාගේ පරණ පාසලේ වීමයි. බසයෙන් බැහැල අත්තම්මා සමග එන ඇය ටයි පටිය ගලවලා බෑගයේ දා ගන්නවා.

ඔන්න එක දවසක් හදසියේ ටයි පටිය ගලවා ගෙන එන්න අමතක වෙලා. අත්තම්මා සමග එන දියණියට අම්මාගේ හොදම මිතුරියක් හමු වුණා. අත්තම්මාට ගණදෙවි නුවණ පහල වුණා. ඇය දියනියට ටයි පටිය වසා ගන්න උපදෙස් දුන්නා. ඇය වහාම කරේ තිබුන බෑගය අරගෙන ගවුමේ ඉදිරිපස වසා ගත්තා.

මිතුරියට හරිම දුකක් ඇති වුනේ මේ පුංචි දියණිය ගැනයි. අම්මාගේ පුහු මානය නිසා පුංචි දුව මොනතරම් අසරණ වෙනවාද ඇය තනිවම හිතුවා. ඇතත්ටම බොරුවක් කිව්වොත් ඒ බොරුව වහන්න තව බොරු කීයක් අවශ්‍ය වෙනවාද..දැන් මේ බොරුව එලි වීම නිසා අම්මා විතරක් නොවෙයි, පුංචි දුවත් අසරණ වෙනවා.

ඊටත් මේ බොරුව ඉතාම මෝඩ විදිහට ඔවුන් සැලසුම් කළේ. හදිසියේවත් ඔවුන් දැන පෙන්වන ජනප්‍රිය පාසලට දන්නා හඳුනන අයත් ඇතුලත් වුනොත්..එහෙම නැත්නම් ඒ පාසලට සම්බන්ධ කෙනෙත් කන්තෝරුවට ආවොත් අර අම්මා හරියට ප්‍රසිද්ධියේ නිරුවත් වුනාට සමාන වෙන්නේ නැද්ද..?

මේ අපිට අත්විඳින්නට වුන එක සිදුවීමක් පමණයි. අපි නොදන්නා විදිහේ සිදුවීම් තව මොනතරම් තිබෙන්න පුලුවන්ද..? දරුවාට සමත් වීමට අවශ්‍ය ලකුණු මට්ටමම නැතැයි කිව්වොත් කවුරුවත්ම දඩ ගහන්නේ නැහැ. එතැනින් සිද්ධිය ඉවරයි.

ඇත්තටම අද කාලයේ අම්මලාට අවශ්‍ය වෙලා තියෙන්නේ දරුවන් ඔසවා තබා ඔවුන්ට අභිමානය ගොඩ නගා ගැනීමයි. ඒ නිසා දරුවන් බාල කාලයේ පටන්ම බොරුවට යොමු වෙනවා පමණක් නොවෙයි, මේ විදිහට රගපාන්න ගිහින් මහත් මානසික වධයකට පත් වෙනවා.විභාගයක් කියන්නේ ඉතාම අවදානම් කඩඉමක්. එහි ප්‍රතිඵල තීරනය වෙන්නේ දරුවා අදාල කාලසීමාවේදී විභාගයට මුහුණ දෙන අන්දම අනුවයි. පංතියේ දක්ෂ හැම දරුවෙක්ම සමත් වෙන්නෙත් නැහැ. අදක්ෂයි කියල හඳුනාගෙන සිටි දරුවන් සමත් වෙන්නත් පුලුවන්. ඒ නිසා දීප්තිමත් නොවුනත් ඇතැම් දරුවන් සමත් වුනොත් ඔවුන්ට මඩ ව්‍යාපාර ගෙනියන්න හොඳ නැහැ.

බොරුවට ආයුෂ නැති නිසා කිසිම දිනක බොරුව සමාජගත කරන්න එපා. අද හුගක් අම්මලා විභාග ප්‍රතිඵල මුල් කර ගෙන බොරු ගොඩක් කියනවා. උසස් පෙල ඉදිරියේදිත් එහෙමයි. ඉහල ප්‍රතිඵල ගැන සඳහන් කරල මේ බොරුව වහන්න ඔවුන් කියන්නේ,”අපේ දුව කැම්පස් යන්න ආස නැහැ.”

එහෙම නැත්නම් කැම්පස් ගිහින් කාලය ගෙවෙනවා.වෙන මොනවා හරි කරනවා.මෙතැන ඇත්තේ කාලය නොව බොරුව මුල් කර ගත් රහස් හැසිරීමයි.එය සගවා ගැනීමට බොරු දහසක් කියමින් පවුලම මහත් අසීරුතාවයට පත් වෙනවා.

ඒ නිසා දරුවන්ගේ මටට්ම සමාජය දැන ගැනීම ඔබට නින්දාවක් නොවෙයි. ඒ නිසා අනවශ්‍ය විදිහට දරුවන් සමාජය ඉදිරියේ අපහසුතාවයට පත් නොවන සේ අපි කටයුතු කලොත් හොදයි නේද…?

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article