- Advertisement -

ඔබේ බිළිදාගේ බුද්ධි වර්ධනය ගැන ඔබ සිතුවාද? – දෙවන කොටස

-

පොඩ්ඩො කියන්නෙ අපි හිතනවට වඩා ගොඩාක් හැකියාවන් තියන කොටසක් කියල මම මුල්ම ලිපියෙන් කිව්වනේ. දැන් අද කියන්න යන්නෙ එයාලගෙ වර්ධනයේ දෙවෙනි සහ තුන් වෙනි අදියර ගැන.

ඒ කියන්නෙ මාස 4 -6 සහ මාස 7-9 අවධි වල අපට දෙමාපියන් විදියට බබාලගෙ මොළය වර්ධනයට කරන්න පුලුවන් දේවල් ගැන තමයි අද කතා කරන්න යන්නෙ.

- Advertisement -

මුලින්ම කියන්න ඕන මම මේ හැම දෙයක්ම විවිධ වැඩසටහන් බලල ලෝකෙ පුරා ඉන්න බබාලගෙ මොළයේ වර්ධනයට ඒ ඒ රටවල් වල කරන දේවල් හොයල බලල මගෙ දුව එක්ක ඒ දේවල් කරල එයාගෙන් මම අත්දකින වර්ධනය තමයි ඔයාල එක්ක බෙදාගන්නෙ කියන එක.

මාස 4 සිට 6 දක්වා

  • මගෙ දුවට ඔලුව කෙලින් කරගන්න පුලුවන් උන දා ඉදල මම කරපු දෙයක් තමයි එයාව වඩාගෙන මම යම් රිද්මයකට පැද්දෙමින් ලස්සනට ළමාගීත ගායනා කරපු එක.

ඒ දේවල් දිනපතා කරපු නිසා අවුරුද්දයි මාස 11ක් වෙනකොට සිංදු 9 ක් 10ක් කටපාඩමින් කියන්න පුලුවන් කම එයාට ලැබුණා.

  • ඒ වගේම තමයි මම විවිධ පාට වල බෝල ගෙනාවා. ඒවගෙ මතුපිට විවිධ කඩතොළු, ගැටිති, තිබුණ. ඉතිං මම මගෙ දුවට ඒවගෙ ස්පර්ශය දැනෙන්න දුන්නා. විවිධ ප්‍රමාණ වලින් ඒ බෝල තිබුණා. මම ඒ බෝල ඔක්කොම එක ගොඩකට දාල දූව ඉස්සරහින් තියාගෙන ඒ ඒ බෝල වල පාට, ලොකුද පොඩිද යන වග, මේ හැමදෙයක්ම එයාට ඇහෙන්න කිව්ව. කියන්න සතුටුයි ඒවගෙ ප්‍රතිඵල මම ඉතාම සතුටින් අද අත්විදිනව. මේ ක්‍රියාකාරකම මගින් බබාලගෙ මොළේට උත්තේජනයක් යනව මේ පාට ගැන, හැඩතල ගැන සහ ප්‍රමාණය ගැන.
  • මාස 3දි වගේම මෙ කාලෙදිත් මම ලොකු පින්තූර තියන පොත් බබාට ඇහෙන්න කියෙව්ව වගේම මූණෙන් ඉරියව් පාමින් මම ඒ පොතේ තිබුණ රූප විස්තර කලා.
    “මේ බලන්නකෝ මේ පුංචි සමනලයා මේ මලේ හැංගිලා”
    “මේ රෝදය කලු පාට පොඩි එකක්,මේක කලු පාට ලොකුඑකක්.”
    “මේ බබාට තියෙන්නෙත් දූට වගේම රෝසපාට ගවුමක්”
    මතක තියාගන්න ඕන විශේෂම දේ තමයි චූටි බබාලා එක්ක කතා කරනකොට එයාලට හරිම වචනය කියල දෙන්න.මේක ඉතාම වැදගත් දෙයක් බබාලා ඉක්මනින් කතාකරන්න වගේම එයාලගෙ මානසික වර්ධනයට.
    උදාහරණයක් විදියට “අන්න පුතේ කූවෙක්” වෙනුවට “අන්න පුතේ කුරුල්ලෙක්”
    “ඔන්න මගෙ පුතා බයියන් ඔක්කොම කනව වෙනුවට” “ඔන්න මගෙ පුතා බත් ඔක්කෝම කනව” කියන්න.
    අම්මල බබාලා වෙන එක නැවත්තුවොත් අපිට මේ වැඩේ ඉතාම ලේසියි.
    මේ ක්‍රමය අති සාර්ථක ක්‍රමයක් කියල මම බොහොම වගකීමෙන් කියනව. මොකද දැන් මගෙ දුවට පොඩි පින්තූර යක් විස්තර කිරීමේ හැකියාව තියනව වගේම එයා නිවැරදි වචන උච්චාරණය කරන දරුවෙක්.
  • හැංගිමුත්තන්
    මේක තමයි මගෙ දූ ආසම සෙල්ලම. මේ සෙල්ලම හරියටම කරන්න පුලුවන් මාස 7 ක් 9ක් වගේ අතර. හැබයි හැමදේටම පෙර සූදනමක් ඕන නිසා මම ඒ සෙල්ලම මේ ව්දියට වෙන විදියකට කලා.බබාව බිමින් තියල එයාගෙ බ්ලැන්කට් එකෙන් මගෙ මූණ වහගෙන හැංගිමුත්තන් කලා.එයා ආසම සෙල්ලම් බඩු බ්ලැන්කට් එක ඇතුලෙ හැංගුව. ඒව එකපාරටම හොයාගන්නකොට එයාලට කුතුහලයක් එනව. ප්‍රශ්න ගොඩක් ඔලුවට එනව. ඒ අත්දැකීම ආයෙ ආයෙ විදින්න එයාල උත්සුක වෙනව. මේ ඔක්කෝටම එයාල මොකක්ද පාවිච්චි කරන්නෙ “මොළය”.ඒක දියුණු කරන එක තමයි මේ ක්‍රියාකාරකම් වලින් කෙරෙන්නේ.
මාස 7 සිට 9 දක්වා

මේ කාලෙ නම් ගොඩක් බබාලා වාඩිවෙලා ඉන්න කාලෙනෙ. ඉතිං මම ඒ කාලෙ දුවත් එක්ක කරපු ක්‍රියාකාරකම් ටිකක් ඔයාල එක්ක බෙදාගන්නම්.

  • මම නිතර බබා එක්ක කරපු දෙයක් තමයි එයා ආසම සෙල්ලම් බඩුවක් පොඩි කාඩ්බෝඩ් පෙට්ටියකට දාල ඒක පත්තර පිටු වලින් ඔතනව තෑග්ගක් වගේ.ඊටප්ස්සෙ දුවට ඒක දුන්නම එයා ඒක ඇරල බලනව කුතුහලයෙන්. එයා ආසම දෙයක් ඒකෙ තියනව දැක්කම ආයෙ ආයෙ ඒක කරන්න එයාලා අපිව පොළඹවනවා. ඒ වගේමයි පත්තර පිටු අයින් කරල පෙට්ටිය ඇරල ඒකෙ තියන දේ ගත්තම එයාලට ආත්ම අභිමානයක් දැනෙනව.
  • මේ කාලෙදී පොඩ්ඩො හොදට පෙරලෙන, වාඩිවෙන හින්ද අපිට මේක ඉතා පහසුවෙන් කරන්න පුලුවන්.බබාව මැද්දෙන් තියල බබා වටේට විවිධ පාට, ශබ්ද  තියන සෙල්ලම් බඩු තියනව. ඊටප්ස්සෙ බබාට පේන පැත්තට විරුද්ධ පැත්තෙන් සෙල්ලම් බඩුවක් අරගෙන් ශබ්ද කරනව. එතකොට බබා පෙරලි පෙරලි ඇඹරී ඇඹරී ඒක ගන්න එනව.එතකොට අපිට පුලුවන් ඒක මොකක්ද, ඒකෙ පාට, ශබ්ද බබාට කියල ඒක එයාගෙ අතට දෙන්න.බලන්නකෝ පුංචි ක්‍රියාකාරකමක් උනත් මේකෙන් බබාලගෙ මොනතරම් දියුණුවක් වෙනවද කියල.එයාල ශබ්දයට ඇහුම්කන් දීල හඩ ඔස්සේ ඒක හොයාගෙන එනව, ඊටප්ස්සෙ අපි ඒක විස්තර කරනකොට  එයා ඒකට ඇහුම්කන් දෙනව, කායික වශයෙනුත් ව්‍යායාමයක් වෙනව.
  • මෙන්න මේ ක්‍රියාකාරකමෙන් අපිට බබා තීරණ ගන්නෙ, මොළය වෙහෙසවන්නෙ කොහොමද කියල දැන්ගන්න පුලුවන්.මුලින්ම බබාගෙ අත් දෙකට සෙල්ලම් බඩු දෙකක් දෙන්න. ඊට පස්සෙ තව එක්ක දෙන්න.බලන්න බබා අර මුලින්ම දුන්න සෙල්ලම් බඩු දෙක වට්ටවන්නෙත් නැතුව අලුත් එකත් ගන්න උත්සාහ කරන හැටි. ඒක කරන්න එයා ගන්න ක්‍රියාමාර්ග මොනවද කියල. එයාට තේරීම් කරන්න දෙන්න. කොයි සෙල්ලම් බඩුවද වැඩිපුරම වටින්නෙ වගේ දේවල්.
  • බබාව ළගින් තියාගෙන සත්තුන්ගෙ රූප පෙන්නල ඒ සත්තුන්ගෙ හඩවල් වලින් ශබ්ද කරන්න. මේක මුලදි විහිලුවක් වගේ පෙනුනට දැන් ගොඩාක් සත්තු කෑගහන විදිය අනුකරණය කරන්න මගෙ දුවට හැකියාව ලැබුනෙ මේ ක්‍රියාකාරකම හරහා තමයි.
  • බබාව කණ්නාඩියක් ඉස්සරහින් තියාගෙන අම්මගෙයි බබාගෙයි ශරීරයේ අවයව විශේෂයෙන් මුහුණේ අවයව අදුන්වල දෙන්න. බබා නාවන වෙලාවටත් මේක කරන්න පුලුවන්. මේ තුලින් බබා තමන්ගේ ඇගේ අවයව තියන තැන, ඒවට කියන නම ඉතා පහසුවෙන් ඉගෙන ගන්නව වගේම මතක තියාගන්නව.
  • බබාට විවිධ ශබ්ද වල වෙනස වෙන් කරල අදුනගන්න දෙන්න.
    – පත්තර කොලයක් පොඩි කරන්න.
    – පොතක් පෙරලන්න.
    – ස්විච් එකක් දාන්න.
    – සිප් එකක් අරින්න වහන්න.
    මේවගෙන් බබාට ඒ ඒ ශබ්ද වල වෙනස වගේම එයා කැමති ශබ්ද මොන වගේ ඒවද කියලත් අපිට අවබෝධ කරගන්න පුලුවන්.
  • තව අපිට බබාට තැනින් තැනින් සිදුරු කරපු කෝප්පයක් දීල ඒකට වතුර දාල ඒ වතුර අර සිදුරු අස්සෙන් ගලාගෙන යන හැටි අත්දකින්න දෙන්න පුලුවන් වගේම ඒ වතුර පාරවල් එක්ක බබාම හදාගත්ත විවිධ ක්‍රියාකාරකම් හිත හිත කරන්න හැකියාව ලැබෙනව.
  • මේක හරිම වැදගත් ක්‍රියාකාරකමක්. බබාව බිමින් තියල එයා ආසම සෙල්ලම් බඩුවක් එයා ඉස්සරහින් තියල ඒක ගන්න බබාව උනන්දු කරවන්න. ඒ සෙල්ලම් බඩුව තියන දුරප්‍රමාණය වෙනස් කරන්න.මෙමගින් බබා එයා ආස දේ නිසා ඒක එයාගෙ කරගන්න ඒ පුංචි වයසට හිතල කොයිතරම් දේවල් කටින්, ඇගෙන්, ඔලුවෙන් කරනවද කියල ඔයාලටම බලාගන්න පුලුවන්. අභියෝග වලට සාර්ථකව මුහුණ දෙන දරුවෙක් බිහිකරන්න මුල් අඩිතාලමක් විදියට මේ ක්‍රියාකාරකම් හඳුන්වන්න පුලුවන්.

වයස මාස 10ත් 12ත් අතර දරුවන්ගේ මොළය වර්ධනයට කරන්න ඕන දේවල් ගැන අපි ඉදිරි ලිපි වල කතාකරමු.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article