දරුවෙකුගේ හොඳම සවන්දෙන්නා ලෙස මවකගේ වගකීම ගැන ඔබ සිතුවාද?

mother-and-daughter

මවක් හා දරුවෙක් අතර බැඳීම ආරම්භ වන්නේ මව්කුස තුළදීමය. මවගේ සිතුවිලි දරුගැබ තුළ සිටින දරුවා අවබෝධ කරගනී. එසේම දරුවාගේ හැසීරීම ද මවට දැනේ. එනම් දෙදෙනා තුළ සන්නිවේදනයක් පවතිනව බවත් මගින් ඔවුන් අතර බැඳීම තවත් තහවුරු වන බව අපට අවබෝධ කරගත හැක.මෙම සන්නිවේදනය දරුවා බිහිවූ පසුත් ඔහු හැදීවැඩී වැඩිහිටියෙක් වන තෙක් රඳවා ගැනීම ඉතා වැදගත් කරුණක් වුවත් එය තරමක් අපහසු දෙයක්. දරුවා වැඩිවියට පත්වන විට ගිලිහි යන සන්නිවේදන සම්බන්ධතාව ආරක්ෂා කරගැනීමට මවටකට කළ හැකිදේ බොහෝය.

දරුවන් වයසින් වැඩෙත්ම විශේෂයෙන්ම ඔවුන් නව යෞවනයට පා තබද්දී බොහෝ මානසික හා කායික විපර්යාස ඔවුන්ගේ හැසිරීම් රටාව වෙනස් කරනවා. මේ අවදියේ දී දරුවා අවබෝධ කරගැනීම සහ තේරුම් ගැනීමට නොහැකි වීම මත මව සහ දරුවා අතර ගැටුම් ඇතිවන අවස්ථා සුලබයි. එහෙත් දරුවාට හොඳ සවන් දෙන්නෙකු වීම තුළින් මවට තම දරුවා සමග ඇති බැදීම තව දුරටත් පවත්වාගෙන යාමට පුළුවන්. මේ සඳහා මව කළයුතු දෑ මොනවාද යන්න සිතා බලමු

  • දරුවා යම් කිසි කාරණයක් පිළිබඳ ඔබට පැවසීමට උත්සාහ දරණ අවස්ථාවක ඔබ කිසිදු අවස්ථාවක “ඔයා මෙහෙම කරන්න..” යනුවෙන් උපදෙස් දෙන්නට පටන් ගන්න එපා. නැතහොත් කතාව අතර මගින් නවතා “මම කියන්නම් කරන්න ඕන දේ” යනුවෙන් අවවාද අනුශාසනා දීමට උත්සාහ නොකරන්න. එසේ උපදෙස් දීමට පටන් ගතහොත් දරුවා වහාම කතාව නැවැත්වීමට හෝ අවශ්‍ය දේ නොකියා සිටීමට ක්‍රියා කරනු ඇත. දරුවාට ඒ අවස්ථාවේ අවශ්‍ය වන්නේ තමා විශ්වාස කරන්නෙකු සමඟ විවෘත වීමට පමණක් බව සිතන්න.
  • දරුවාට ආරම්භයේ දී හෝ කතාව අවසානයේ දි දෝෂාරෝපණය නොකිරීමට මව සිහිතබා ගතයුතුයි. මෙය දරුවන් බොහෝ දෙනෙක් තම මව්වරු පිළිබඳව දරන අදහසක් බව අවධානයට ගන්න. “කියන්න ඉස්සර අම්මා කඩා පනිනවා…” යනුවෙන් ඔවුන් දරණ ආකල්පයකි. කොතෙක් ආවේග පැමිණිය ද දරුවා කියන දේ අවසන් වන තුරු ඔබගේ චිත්තවේගය පාලනය කරන්න. සාවදානව සවන් දෙන්න. ඔබ සමඟ යමක් පැවසීමට දරුවා තුළ පවතින විශ්වාසය හෝ අවංකභාවය පමණක් අගයන්න. සමහර විට දරුවාගේ කතාව අවසානයේ දී එය ඉතා සුබදායක ලෙසින් විඳසා ගත් සිද්ධියක් ඔබට වාර්තා කිරීමක් පමණක් වන බව වැටහේවි.
  • කිසිදු අවස්ථාවක දරුවා කතාව හමාර කරන තෙක් මාතෘකාව අතර මැදදී වෙනස් කිරීමට කටයුතු නොකරන්න. “ඕක නෙවේ… මට කියන්න අනිත් ළමයි මොකද ඒ වෙලාවේ කලේ කියලා?” වැනි ප්‍රශ්ණ ඇසීමෙන් දරුවාගේ අවධානය වෙනස් වන අතර අවසානයේ දී ඔහු මවගේ ප්‍රශ්ණ සඳහා උත්තර දුන්නා මිස ඔහුගේ ගැටළුව හෝ අපහසු තාවය පිළීබඳව සාකච්ඡා නොකළාවීමට බොහෝ ඉඩ තිබේ.
  • කතාව අවසාන වන තෙක් “ඔයා ඒ කරපු දේ වැරදියි…” නැතහොත් “වෙන කාගේවත් නෙවේ වැරැද්ද ඔයාගේ…” වැනි විනිශ්චය කිරීම් වලට පැමිනෙන්න එපා. එය ඔබ හා දරුවා අතර පවතින සන්නිවේදනය අධෛර්යමත් කරයි. දරුවා කියන දේ පළමුව තේරුම් ගන්න. විනිශ්චය කිරිම අවශ්‍ය නම් පසුව කළ හැකි දෙයක්.
  • ඔබ ඉතා කාර්යබහුල මවක් වීමට පුළුවන. රැකියාවට ගොස් පැමිණ දරුවන්ගේ දහසකුත් එකක් ගැටලු වලට මුහුන දෙමින් දෛනික කටයුතුවල යෙදෙනවා වන්නට පුලුවන. ඒ අතර ඔබේ දරුවා යමක් පැවසීමට උත්සාහ දරන බව අවබෝධ වුවහොත් ඔබ කරන්නේ කුමක්ද? සියළුම කාර්යයන් පසෙක ලා දරුවාට සවන් දිමට උත්සාහ දරනවාද? එසේ නම් ඔබ සවන්දීමට සූදානම් මවක්. එය දරුවාට මහත් රැකුලක් ලබා දෙනවා කතා කිරීමට. වෙනත් කාර්යයක් කරමින් සවන් දීමට උත්සාහ කිරීම තුළින් දරුවා ලබා ගන්නා පණිවිඩය වන්නේ මවට වඩා වැදගත් වන්නේ ඒ කරමින් සිටින කාර්යය මිස තමා පැවසීමට යන දේ නොවේ යන්නයි. මෙය දිගින් දිගටම සිදුවන විට දරුවා කිසිත් නොකියා සිටීමට හුරුවේවි.
  • තම අත්දැකීමක් හෝ හැඟීමක් ඉදිරිපත් කරන දරුවා මව තරම් පරිණත කෙනෙකු නොවේ. එබැවින් ඒ කතාවට පිටුපසින් ඇති චිත්තවේග ඔබට තේරුම් ගැනීමට පුළුවන්. එතනදී අවශ්‍යවන්නේ තාර්කික , සර්ව සාධාරණ මවකගේ භූමිකාව නොවේ. දරුවාගේ හැඟීම් තේරුම්ගත හැකි මවක් වන්නට ඔබට පුළුවන්. “ඔයාගේ හිතේ ඇතිවුනු දුක මට තේරෙනවා…” වැනි වචන ටිකකින් දරුවාට විවෘතව කතා බහ කිරිමට දිරි දෙන්න.
  • කිසිම විටක දරුවාගේ අත්දැකීම ලඝු කොට තකන්න එපා. “අපි ඔයිට වඩා දේවලට අපේ කාලේ මුහුණ දීලා තියනවා…” වැනි දෙයක් දරුවා පසුගාමී අයෙක් කිරිමට තරම් ප්‍රබල බව වටහා ගන්න. එකම අත්දැකීම ලබන ඔබ සහ ඔබේ දරුවා යනු පෞර්ෂ දෙකකට හිමිකම් කියන දෙදෙනෙක් වන බැවින් එහි අත්දැකීම ද ලැබෙන්නේ දෙයාකාරයකට බව ඔබ දැන සිටිය යුතුයි. සැබැවින්ම දරුවාට ඇහුම්කන් දුනහොත් එම සිද්ධීයේ ගැබ්වී ඇති සතුට , දුක නැතහොත් කෝපය ඔබට ද එලෙසම අත්විඳීමට පුළුවන.

මවක් ලෙස ඔබ සවන්දෙන්නාගේ කාර්යය හරියාකාරව ඉටුකිරීමට සමත් වේ නම් ඔබ හා දරුවා අතර ගොඩනැගෙන්‍නේ මිත්‍රශීලී සම්බන්ධතාවකි. ‍ දෙදෙනා අතර නිහඬතාවය තුළින් පවා කතාකිරීමට හැකි බවත් ඊට සවන් දීමට හැකි බවත් ඔබ නිසැකයෙන්ම වටහා ගන්නවා. එවිට කිසිදාක ඔබට දරුවාගේ ජංගම දුරකතන පිරීක්සීමටවත්, දරුවාගේ මුහුණු පොතේ ගිණුම් පිරික්සිමටවත් අවශ්‍යවන්නේ නෑ. හොඳ සවන්දෙන මවක් සිටින දරුවෙක් තාක්ෂණය සමඟ හුවමාරු කරගත නොහැකි, තමා පමණක් දැනගත යුතු අතිශ්‍ය පෞද්ගලික දේ පිළිබඳ සටහන්   සිය මවගේ සිත  තුළ ගබඩා කිරීමට මැළි වන්නේ නැහැ.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කථිකාචාර්ය රේණුක තෙන්නකෝන් මහත්මිය වීසින් සකසන ලද ලිපියකි.

 

ඔබට මේ ලිපිය උපකාරී  වුනා නේද? ඔබව දැනුවත් කල මේ ලිපිය තවත් පිරිසකගේ දැනුවත් බවට අවැසි නිසාම දැන්ම Share කර ඔබේ යුතුකම ඉටු කරන්න. ස්තුතියි !

SHARE
අප වෙබ් අඩවියට වරින් වර ලිපි සපයන බාහිර ලියුම්කරුවන්ගේ ලිපි සියල්ල මෙම පොදු profile එක හරහා පල කෙරෙනු ඇත.

LEAVE A REPLY