ස්මාර්ට් දුරකථනය ඔබේ දරුවාටත් මෙවැනි ඉරණමක් අත් කළොත්….?

child-using-smartphone

ස්මාර්ට් ෆෝන් එකයි ඉන්ටර්නෙට් එකයි මේ වෙද්දී අම්මලා තාත්තලට වගේම පොඩි දරුවන්ටත් නැතිවම බැරි දෙයක් වෙලා. බොහොමයක් නිවෙස්වල ඉන්ටර්නෙට් භාවිතය සිමා කළත් ඇතැම් ගෙවල්වල නම් ඒ ගැන වැඩි තැකීමක් නැ. ඒ නොතැකීම අපේ දරුවන්ට කොයි කොයි විදියට බලපායිද කියලා දැන් නම් හිතන්නම වෙනවා. මොකද අවුරුදු නවය දහය වෙද්දී ටිකෙන් ටික සමාජයට විවර වන අපේ දරුවන්ට කුතුහලය දනවන කරුණු කාරනා වැහිවහලා. මේ විදියට ලියන්න හේතු වුනේ පාසලක සිදු වුණා කියපු කතාවක් අහන්න ලැබුණු නිසයි.

මේ පුංචි දරුවා එයාගේ යාළුවා එක්ක කියපු කතාව මේ ලිපියෙ සටහන් කරන්න අපහසුයි. ඒත් ඒ දරුවා ගැහැනියක හා පිරිමියෙකු අතර ඇති වුණු ලිංගික සිදුවීමක් අම්මගේ දුරකථනයෙන් අන්තර්ජාලයට සම්බන්ධ වෙලා නරඹලා තිබුණා. ඒ විතරක් නෙවෙයි බොහොම අසාවෙන් පැහැදිලිව යහළුවන් සමග ඒ ගැන පවසා තිබුණා.

ඔවුන් සමුගෙන තිබුනේ  “තව ගොඩක් දේවල් තියෙනවා ඉන්ටර්නෙට් එකේ, ඔයා අපේ ගෙදර ආවම අම්මගේ ෆෝන් එකෙන් කාමරේට වෙලා අපි ඒවා බලමු” යන ආරාධනයත් එක්කමයි. මේ කතා බහ එළියට ආවේ එතන හිටිය එක දරුවෙක් ඒ ගැන  තමන්ගේ අම්මට කියපු නිසයි.

දරුවෙක් මේ වගේ තත්වයකට නිකන්ම යොමු වෙන්නේ නැ. ඒ එක්කෝ කාගේ හරි මග පෙන්වීමක්වත් තිබිය යුතුයි. අන්තර්ජාලයට පිවිසුණු පමණින් මෙවැනි දේ නැරඹිය නොහැකි බව ඔබත් මමත් දන්නා කරුණක්. එක්කෝ කාගේ හෝ උපදෙසක් මත මේ දරුවා අදාළ වීඩියෝ සහිත ලින්ක් එකක් දැනගෙන තිබිය යුතුයි. මෙන්න මේ කරුණු මත දරුවෙක් කතා බහ කරන්නේ කා සමගද? මොනවාද ? ඔවුන් සම වයස් යහළුවන්  පමණක් නොව වයසින් වැඩි යහළුවනුත් ඇසුරු කරනවාද? ඔබේ ස්මාර්ට් දුරකතනයේ ඔවුන් කුමක් කරනවාද යන්න සිතා බැලිය යුතුය.

ඉතිං කතාව තවම ඉවර නැ… මේ ආරංචිය ලැබුණු අම්මා එයාලගේ අනෙත් යාලුවන්ගේ අම්මලටත් මේ කතාව කිව්වා. කොහොම හරි මෙන්න මේ විදියට පාසලටත් මේ කතාව ආරංචි උණා. ප්‍රශ්න කෙරුණා, අර දරුවට දඬුවම් ලැබුනා. තමන්ගේ වටපිටාවේ ලැජ්ජාවටත් අසරණ බවටත් පත් උණු මේ දරුවා අද වෙනකොට ඉන්නේ කාමරේක මුල්ලට වෙලා. එයා කිසිකෙනෙක් හමුවට එන්න කැමති නැ. මුල් දින කීපයේ පාසැල් ගියත් කිසිම යාලුවෙක් එයාව පිළිගන්න සුදානම් උනේ නැ. මේ හේතු නිසා ඒ දරුවා ලොකු මානසික පීඩනයකට ලක් වෙලා ඉන්නවා. ඒ සඳහා ප්‍රතිකාරවලටත් යොමු වෙනවා.

ඉතිං හිතන්න, මේ දරුවාගේ ජීවිතය කොයි තරම් නම් දුක්ඛිත තත්වයකට ඇද වැටිලද කියල. ඒ දරුවා කොයි තරම් නම් අසරණද කියලා. ඔබේ දරුවා මේ තත්වයට පත් වෙන්න කලින් මේ ගැන හිතන්න ඕනේ නේද?

සමහර දෙමව්පියන්ගේ වැඩවලට දරුවාගෙන් වෙන බාධාවන් මග හැරගන්න මේ ස්මාර්ට් ෆෝන් එකෙන් ලොකු සහයෝගයක් ලැබෙනවා මිසක් කාමරේට වෙලා දොරත් වහගෙන දරුවා ෆෝන් එකෙන් බැලුවේ මොනවද කියලා දෙමව්පියන් දන්නෙත් නැ. පුංචි දරුවෙක්ට එයාල නොදන්නා අමුතු දෙයක් දැක්කම විටින් විට ඒවා බලන්න උත්සහ කරන එක අරුමයක් නෙවෙයි.

කැළණිය විශ්වවිද්‍යාලයේ ළමා හා යොවුන් මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ කථීකාචාර්ය ඒ වගේම රාගම උතුරු කොළඹ ශික‍ෂණ රෝහලේ ළමා සහ යොවුන් මනෝ වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතාගේ මේ වයස් සිමාවන්ගේ සිටින දරුවන් ගැන මව්වරුන් දැනුවත් කිරීම උදෙසා සකස් කෙරුණු ලිපියක මේ විදියට සටහන් වෙලා තිබුණා.

“ඇත්තටම කිව්වොත් අවුරුදු 9 – 12 වගේ වයසක දරුවෙක් හරි වැරැද්ද සම්පූර්ණයෙන්ම වටහා ගන්න සමත් නැහැ. මිනිසෙකුගේ තීරණ ගැනීම හා තර්කානුකූලව සිතීම සඳහා අවශ්‍ය වන මොළයේ ඉදිරිපස පිහිටි පූර්ව මස්තිෂ්කය සහ limbic පද්ධතිය සම්පූර්ණයෙන්ම වර්ධනය වීමට අවුරුදු  20 කට වඩා වැඩි කාලයක් ගත වෙනවා. limbic පද්ධතිය හරහා හැඟීම් මුල්කරගනිමින් ක‍ෂණික තීරණ ගැනීම සිදු වෙනවා. අන්න ඒ නිසාමයි වයස අවුරුදු 20ක් පමණ වෙනතුරු සිරුරෙන් යම් පුද්ගයයෙකු වර්ධනය වුවත් මානසින් වර්ධනය වී නැහැ කියන්නේ. අන්න ඒ නිසාම මෙම වයස් සිමාවන්ගේ දරුවෙකුගේ මොළයට ලැඛෙන අයහපත් උත්තේජන නිසා අයහපත් ස්නායු සම්බන්ධතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ඔවුන් තීරණ ගැනීමේදී වැරදි නිවැරදි බව හිතන්නේ නැහැ. ඔවුන් වැඩ කරන්නේ හැඟීම්වලට මුල් තැන දීලා. පරිණත නොවූ මොළයක් මගින් ප්‍රමුඛත්වය ලබාදෙන්නේ හැඟීම්වලට. නිසි මග පෙන්වීම වගේම ආරක්ෂාව නොලැබෙන මේ වයස් සිමාවන්හි සිටින දරුවන් බොහොමයක් වැරදි වෙත යොමු විය හැකියි. පෙම් සබඳතා/මත්ද්‍රව්‍ය භාවිතය/සොරකම් කිරීම ඇතුළු පෙර සඳහන් කළ තත්වයන් වෙතද දරුවන් යොමු වීමට ඉඩකඩ වැඩිය. මෙසේ යම් දෙයක් වෙත ඇබ්බැහි වීමෙන් පසුව උත්තේජනයට පත්වන දරුවා එයින් මුදවා ගැනීම අසීරුයි..”

හැම අම්මෙක් තත්තෙක්ටම තමන්ගේ ජීවිතයටත් වඩා වටින්නේ තමන්ගේ දරුවා. මෙතැනදී වැඩිහිටියන් විදියට අපි ගොඩක් දැනුවත් විය යුතුයි වගේම ඉවසිලිවන්ත විය යුතුයි. ඔබේ දරුවා පිළිබඳව සැක ඉපදෙන යමක් ආරංචි වුවහොත් කලබලයට පත්ව ඒ පිළිබඳව දරුවාට කෑ කෝ ගසන්නේ නම් හෝ එය පැවසු දරුවාගේ මිතුරන් සොයා ගොස් ඒ ගැන ප්‍රශ්න කරන්නේ නම් හෝ ඔබ මතක තබා ගත යුතුම වැදගත් කරුණ වන්නේ එතැනින් එහා කිසිවෙකුත් ඔබට මෙවැනි ආරංචියක් ලබා නොදෙන බවයි. අන්න ඒ නිසාම අදාළ කරුණු කාරණා මනසේ රඳවා ගනිමින් ඒ බව දරුවාට නොඅඟවා නුවනැතිව සැලකිල්ලෙන් සොයා බැලීම බොහොම වැදගත් වෙනවා.

ඔබ ඔබේ දරුවාගේ සමීපතමයන් වන්න. දරුවන්ගේ වැරදි හමුවේ අවවාද හෝ වරප්‍රසාදයක් අහිමි කරවීම වැනි සුදුසු දඬුවමක් ලබා දෙන්න. දරුවන්ගේ අදහස් හෝ ඉල්ලීම් පිළිබඳව අවධානය යොමු කරන්න. ඔවුන්ට ආදරය දක්වන්න. දරුවන් සමග සමබරව කටයුතු කරන්න. දරුවන් හා ඔබ අතර සවිමත් බැඳීමක් වර්ධනය කර ගැනීමට උත්සාහ කරන්න. ඔබ කොයිතරම් කාර්ය බහුල වුවත් දරුවා පිළිබඳව සැලකිලිමත්ව සිටින්න. දරුවාට නොදැනෙන්නට ඔවුන් කරන්නේ කුමන දේවලද යන්න සොයා බලන්න.

ඔබට මේ ලිපිය උපකාරී  වුනා නේද? ඔබව දැනුවත් කල මේ ලිපිය තවත් පිරිසකගේ දැනුවත් බවට අවැසි නිසාම දැන්ම Share කර ඔබේ යුතුකම ඉටු කරන්න. ස්තුතියි !

SHARE
අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY