- Advertisement -

අම්මාගේ අනවබෝධය දුවගේ ජිවිතයට අසරණ බව එක්කරන්නේ මෙන්න මේ විදියට

-

අපේ දරුවෝ දවසින් දවස වැඩිවියට පැමිණෙනවා. ඒත්  බහුතරයක් දෙමාපියන් යොවුන් වියට එන දරුවන්ට ඔවුන්ගේ ඒ වයස් සීමාව ගැන අවබෝධයක් ලබා දෙන්නේ නැ. දරුවෙක්ගේ ඇඟ පතේ වෙනසක් දැක්කම ඒක නොදැක්ක වගේ ඉන්න එක යොවුන් වියේ දරුවෙක්ට කොයි තරම් නම් පීඩනයක්ද කියලා මේ ලිපිය අවසානයේදී ඔබට තේරුම් යාවි. නව යොවුන් වියේ දියණියකගේ අත්දැකීම් එක්ක ලියැවෙන මේ ලිපිය හැම මවකටම පියෙකුටම බොහොම වැදගත් වේවි. ඔබේ දියණියට මේ තත්වයට මුහුණ දීමට ඉඩ තියන්න එපා.

වයසින් වැඩෙත්ම හෝමෝන විපර්යාසයන් සමගම සිරුරේ සිදුවෙන වෙනස්කම් නිසා දරුවෙක් නොසන්සුන් වීම අසාමාන්‍ය තත්ත්වයක් නෙවෙයි. මෙතැනදී දරුවෝ අසරණ වෙනවා. සිරුරේ පුංචි පුංචි වෙනස්කම් වෙනවා කියලා තේරුනාම සමහර දරුවන්ට වටපිටාවට මුහුණ දෙන්න  ලැජ්ජාවක් හිතෙනවා.

- Advertisement -

මේ අපේම දියණියකගේ ඇත්තම අත්දැකීම්… බලන්න ඔබේ දරුවත් මේ තත්වයන්ට මුහුණ දෙනවා ඇති ඔබ නොදන්නවා උනාට. සාමාන්‍ය තත්වයන් හේතුවෙන් ඔබේ දරුවන් අසරණ විය යුතුද කියල ලිපිය අවසානයේදී ඔබටම හිතේවි.

මේ ඇගේ කතාව,

මම ජිවිතේ හුගක්ම අසරණ උනා මේ මම කියන්න යන සිද්ධිය නිසා. ඒ වෙලේ මට හිතුණේ අනේ මට අක්කා කෙනෙක්වත් හිටිය නම් කියලයි. මට මතකයි මගේ බ්‍රෙස්ට් එකේ පොඩි වෙනසක් වෙනවා කියලා තේරුම් ගිය මුල්ම දවස.. මට කාමරෙන් එලියටවත් එන්න ලජ්ජා හිතුණා. ගෙදර තාත්තත් ඉන්නවා. අයියාත් සීයත් ඉන්නවා. මම බැලුවා ඒක  පිටට නොපෙනෙන විදියට ඉන්න විදි ගැන. අන්තිමට මට තේරුණා අත් උඩට උස්සගෙන ඉද්දි ප්‍රමාණය පොඩ්ඩක් වෙනස් වෙනවා කියලා. මම තාත්තා අය්යා ඉන්න හැම තැනකදීම ඔලුව උඩට අත්දෙකම තියාගෙන ඉන්න එහෙමත් නැත්නම් ඉන්න තැන බිත්තියට අත් ගහගෙන ඉන්න පුරුදු උණා. ඒ හැම අවස්ථාවේම අම්මගෙන් හරි තාත්තාගෙන් හරි මම බැනුම් ඇහුවා. “මොකද ළමයෝ ඔය දෑතෙන්ම ඔලුව බදාගෙන. ඔහොම ඉන්න හොඳ නැ ගෙවල්වලටත්”. ඒත් මම බැනුම් අහ අහා කාමරෙන් එළියේදී නම් හිටියෙ ඒ විදියට. කෑම කන්න ගියාම මම පුළුවන් තරම් පුටුවේ යටට ගිහින් මගේ පපුව නොපෙනන ගානට ඉන්නවා. ඒකටත් අම්මගේ සද්දේ, “කෑම පිගානේ නිකට වදිනකම්ම පුටුවේ දිගා වෙනවා” කියලා. මගේ අය්යා “මෙයාට නම් මේ ළගකදී ඉඳලා පොඩි පිස්සුවක් හැදීගෙන එනවා වගේ” කියලා හිනා වෙන්න පටන් ගත්තා. මම TV බලන්න ගියේ කොට්ටයක් තුරුළු කරගෙන. ඒත් ඉස්කොලේදී පන්තියේදී නම් ගැටලුවක් උනේ නැ. මොකද අපි යාලුවෝ හැමෝගෙම ඒ වෙනස තිබුණා. අපි ඒ ගැන කතා කළා.

මුලින් මුලින් එහෙම පොඩ්ඩක් හරි වහගන්න පුළුවන් උනාට පස්සේ පස්සේ නම් හංගගෙන ඉන්න විදියක් නැති උණා.

මේ විදියට මේ වෙනස්කම් මගේ සාමාන්‍ය ජිවිතයට ගොඩක් කරදර කළා. වෙනදා ස්පෝර්ට් මිට් එකේ මම ගොඩක් දේවල් කලත් මේ දේවල් නිසා ක්‍රීඩා කටයුතුවල යෙදෙන එකත් මට මග හැරුණා. මම දුවන කොට අපේ ක්‍රීඩා බාර ගුරුතුමිය පැත්තකට කතා කරලා කියනවා “මේක මිශ්‍ර පසලක්නේ දරුවෝ. ඉතිං ඔය විදියට ඉද්දි කැතයි. අම්මට කියලා ඊලග දවසේ එද්දී බ්‍රෙෂියර් එකක් ඇඳන් එන්න”.

අපේ අම්මා හැම යුතුකමම ඉටු කළත් මේ දේවල් ගැන කතා කළේම  නැ. ඉතිං මට පුළුවන්ද බ්‍රා එකක් ඉල්ලන්න. මම කලේ ක්‍රීඩා නතර කළ එක. මම බොරු කකුලේ අමාරුවක් කියලා ක්‍රීඩා තරගවලින් අයින් උණා. ඇත්තටම අපේ අම්මා ලැජ්ජාවටද කියන්න මම දන්නේ නැ. ඒත් මම මගේ වටපිටාවේ හරිම අසරණ උණා. අන්තිමට මම වෙස්ට් දෙකක් ඇඳලා බැලුවා. ඒ විසදුමත් ටික දවසකට විතරයි උදව්වක් උනේ. මම පාසැලට පන්තියට යද්දී කරේ එල්ලගෙන යන බෑග් එකට අමතරව CR පොතක් පපුවට තුරුළු කරන්  යන එක. මොකද මට ඒ වෙද්දී හිතිලා තිබුණා ඉස්කෝලේ පිරිමි ළමයි මට හිනා වෙනවා ඇති කියලා. ඒත් හැමදාම උදේට කාර් එකට නගිද්දීත් ඉස්කෝලේ ළඟ බහිද්දීත් අම්මයි තාත්තයි මගේ මේ අලුත් පුරුද්ද ගැන කම්පා උණා.”ඔච්චර ඉඩ තියෙන බෑග් එක ඇතුලේ ඔය පොත දාගන්න බැරිද දුව. අන්තිමට අඩන්න එපා පොත නැති උණා කියලා.” ඒත් එයාලාට තේරුනේ නැ ඒක මගේ කවර් එක කියලා.

කාලයක් ඔහොම යද්දී හැම ගුරුවරියකටම වගේ මේ දේ පෙනෙන්න පටන් ගත්තා. ඒත් ගෙදර ඉන්න මගේ අම්මා නම් අවබෝධ කරගත්තේ නැ. මේ වෙද්දී මගේ යාලුවෝ නම් හැමෝම බ්‍රා එකක් අඳින්න පටන් අරගෙන. මගේ යාලුවෝ මට අම්මට කියන්න කියලා කිව්වත් මේවගේ කිසිම දෙයක් මා එක්ක කතා නොකරන අම්මට මේවා කියන්න මටත් පොඩි බයක් ලැජ්ජාවක් තිබුණා. බනීද දන්නෙත් නෑනේ… “ඒවා අපි වෙලාවට කරන්නම් ඔයා කලබල නොවී ඉන්න” කියලා. වටපිටාවට පෙනෙන දේ ගෙදර ඉන්න අම්මට නොපෙනෙන්නේ කොහොමද කියලා මට හිතුණා. ඒ පැත්තෙන් අම්මත් මමත් අතර සම්බන්දයක් නොතිබුණු ගානයි. ගැහැනියක් වෙලත් අම්මට මගේ අපහසුතාවය වටහ ගන්න බැරි උණා.

ඔන්න එක දවසක් පන්ති බාර ගුරුතුමිය මාව මැඩම් ළගට එක්කන් ගියා. දෙන්නම මට අවවාද කළා. ඒ වෙලේ ඇත්තටම මට ඇඩුනා. මම අඩ අඩම මේ ගැන කිවා. එතකොට මැඩම් අම්මට දෙන්න කියලා ලියුමක් දුන්නා. පහුවදා අම්මා ඉස්කෝලෙට අවේ “මෙයා මොනවා කරලද දන්නේ නෑ” කියා කියා. මමත් බයෙන් හිටියේ. අන්තිමට මැඩම්ගේ ඒ අදහස අනුව මම මේ ලජ්ජාවෙන් බේරුණා. මොකද මගේ අම්මා ලොකු මුදලක් වැය කරලා හොඳම වර්ගයේ බ්‍රෙෂියර් පහක්ම දවස් පහට අඳින්න කියලා මට ගෙනත් දුන්නා. ඒ වෙලේ මට ඇති උනේ ඇය ගැනත් කණගාටුවක්. මට හිතුණා ඇගේ අම්මත් එහෙම වෙන්න ඇති කියලා. අපි වෙනුවෙන් උපයන අන්තිම සතය දක්වාම වියදම් කරන මගේ අම්මාට මේ ගැන මට අවබෝධ කළ යුතු බව හිතෙන්නට නැතිව ඇති. මට හරි අම්මා එක්ක මේ ගැන කතාකරන්න තිබුණා කියලා හිතුනත් අම්මගෙත් මගෙත් අතරේ ඒ පැත්තෙන් තිබුණු දුරස්ථ බව නිසා ඒක කවදාවත් කළ නොහැකි දෙයක් බව නැවත නැවතත් තහවුරු උණා.

හාහාපුරා කියලා බ්‍රේශියරයක් ඇඳගෙන ඊලග දවසේ පාසැලට යද්දී අපහසුතාවයක් ඇති නොවුනත් මේ අලුත් අත්දැකීම පුංචි ලැජ්ජාවක් මගේ හිතට එකතු කළා. එදත් මම ගියේ මගේ සුපුරුදු CR පොත පපුවට තුරුළු කරගෙනම තමයි.

ඒත් මට හිතුණා මුලින්ම මේ ඇඳුම අඳින්න ඕනේ ඉස්කෝලේ නිවාඩු කාලේ කියලා. මොකද නිවාඩුව ඉවර වෙද්දී දන්නෙම නැතිව ඒකට හුරු වෙලා. මේ දේවල් හිත හිත කොරිඩෝව දිගේ මම පන්තියට ගියා. මගේම යාළුවන් ඉස්සරහට මුණ ගැහෙද්දීත් මට පුංචි ලැජ්ජාවක් ඇති වුණා. දවසක් දෙකක් යද්දී හැමදේම වෙනස් උනා. සුපුරුදු විදියටම මම මගේ ක්‍රීඩා වැඩත් පටන් ගත්තා. දැන් නම් හිතට නිදහස්.

මගේ මේ අත්දැකීම පාසැලේ හිටිය හැම ගැනු ළමයෙකුටම වැදගත් උණා. මොකද අපේ මැඩම් දරුවන්ගේ මේ වගේ වෙනස්වීම් ගැන වගේම ඒ අවස්ථාවන්හිදී අම්මලා කළ යුතු දේවල් ගැන සාකච්ජා කරන්න මාස තුනකට වතාවක් වෙලාවක් වෙන් කරගත්තා. ගැහැණු ළමයින්ගේ වගේම පිරිමි ළමයින්ගේ ගැනත් දෙමවුපියෝ දැනුවත් කරා.

ඉතිං තරුණ දරුවෝ ඉන්න අම්මලා තාත්තලට හිතන්න කොයි තරම් දේවල් තියෙනවද නේද?

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article