මම වෙනස් වෙලා දරුවො වෙනස් කරගන්නම්

mother_and_daughter

“අම්මේ කෝ මගේ කොන්ඩ පටිය”

“ඕක මගේ මේස් එක”

“කොන්ඩෙ පීරන්නකො අම්මේ”

“අනේ මට කවලා ඉන්න අම්මේ”

“වෑන් එක ඇවිත් අම්මේ අපි යනවෝ…” දියණියන් දෙදෙනාම එක විට පවසා ගේට්ටුවේන නොපෙනී ගියාය.

නිමල්කා සාලයේ පිටුව මතට බර විය. හිත පුරාම මහා බරකින් පිරී මහා හිස්බවක්  ඇගේ සිතට දැනේනට විය. නිමල්කාගේ සැමියා එතෙර රැකියාවක නියුතුය. අවුරුදු දහසයක හා දහතුනක දියණියන් දෙදෙනෙකුගේම කටයුතු නිමල්කා අතින් සිදු විය. ඔවුන්ගේ තනි නොතනියට සිටියේ සැමියාගේ මවය.

“මොකද දුව කල්පනාව අසනීපයක්වත්ද?”

“නැහැ අම්මා අසනීපයක් නැහැ”

“එහෙනම් කල්පනාව හිතේ අසනීපයක් වගේ”

“හ්ම්…” නිමල්කා දිගු සුසුමක්  හෙලා ලය සැහැල්ලු කරගන්නට උත්සහා කලාය.

“ඔය ළමයි කියන දේවල් වලට හිතරිද්ද ගන්න එපා දුව. දැන් හැදෙන ළමයි කිසි කමකට නැහැ. ”

“ඒත් අපි ඔය වයසට ඔය විදිහට හැදුනේ නැහැනෙ අම්මා ”

නිමල්කා පැවසුවේ දෙනෙතේ පිරි කඳුළු සඟවමින්ය. පෙර දිනයේ සිදුවීම් පෙල ඇයගේ මතකයට ගලා ආවේ නිරායාසයෙන්ය. එදින පොහොය දිනයක් වූ නිසාවෙන් ඇය නිවසේ වැඩ කටයුතු හනිකට අහවර කල නිමල්කා ඇගේ නැගණිය බලන්නට යන්නට සූදානම් වූයේ ඇය අසනීපෙන් සිටි නිසාවෙන්ය. අසිතගේ මවද සිල් ගැනීමට ගිය නිසා තනියට දියණියන් දෙදෙනාත් සමගම යන්නට ඇය සිතා උන්නාය. නින්දේ හුන් දියණියන් දෙදෙනා අවදි කල ඇය පුංචි බලන්නට යන්නට සූදානම් වන්නට කීවාය.

“අනේ අම්මා මට නම් බැහැ ”

“ඔන්න මටත් බැහැ”

“අනේ මට තනියම යන්න බැහැ දරුවනේ අනික ඔයාලව තනියම දාලා යන්නත් බැහැනේ.”

“අනේ අම්මා අපි දෙන්නම ඉන්නවනේ අපට තනියක් නැහැ අම්මා යන්න”

අවසානයේ නිමල්කා තනිවම නැගණිය බලන්නට ගියාය. නැගණියගේ සුව දුක් බලා නිවසට අවශ්‍ය කලමනාත් ගෙන නිවසට එනවිට අඳුර වැටී තිබුණි. අසිතගේ මවද සිල් පවාරණය කොට නිවස පැමිණ සිටියාය.

“මහන්සියි අම්මා, දෝණි වතුර එකක් ගේන්නකො ”

“මං වැඩක් අයියෝ”

“චූටී දුව ඔයා එහෙනම් ගේන්නකෝ”

“අනේ…”

“ඇයි වතුර එකක්වත් ගෙනත් දෙන්න බැරිද දරුවනේ තමන්ගේ අම්මට.”

අසිතගේ මව පවසනු නිමල්කාට ඇසුනි. අවසන නැන්දනිය ඇයට වතුර වීදුරුවක් ගෙන ආවාය. කාමරයට පිවිසි නිමල්කා කේන්තියෙන් කෑ ගසන්නට විය.දියණියන් නිදාගත් ඇඳ ඇතිලි තවමත් එකලාසයක් කර නැත. කාමරය පුරාම රෙදිත් පොතුත් අපිළවෙලට දමා ඇත.

“ලොකු කෙල්ලො දෙන්නෙක් නේද ඔයාලා, තාම නිදාගත්ත ඇඳවත් අස්කරලා නැහැ. ඇඳපු ඇඳුම් එතනමයි. අස් කරනවා මේවා”

“ඇයි ඔහොම කෑ ගහන්නේ ” දෙවන දියණිය තදින් ඇසීය.

“ශෂී !” නිමල්කා දියණියට රවා බැලුවාය

“මොකද අම්මා රවන්නේ ඔවා අස් කරන්නේ අම්මනෙ ” ඇය කිසිත් ගණනකට නොගෙන පැවසුවාය.

දියණියන්ගේ වාග් ප්‍රහාරයෙන් නිරුත්තර වූ නිමල්කා ඇඟපත සෝදා ගැනීමට සැරසුනාය.

“බඩගිනයි කන්න මොනවත් හදන්නකො ” ඒ අතර ලොකු දුව නිෂී පැවසුවාය.

“හ්ම් පොල් ටිකක්වත් ගාන්නකො එහෙනම්”

“අනේ…චූටිට කියන්න”

“මට බෑ ඔය මහ ලොකු ලොකු දුවටම කියන්න.”

“ඇයි දෙයියනේ මට පොඩි හරි උදව්වක් දෙන්න බැරි. ”

“අනේ ඉතින් අපිට තියෙන්නෙ ඉගෙන ගන්නනේ. උයන්න පිහන්න භාර අම්මටනේ”

මේ අකාරුණික දියණියන් නිසා ඇගේ සිත රිදුනාය. ඇය ඉකිගසමින් හඬන්නට විය.

“දන්නවද පුංචිව බලාගන්නේ නංගියි මල්ලියි. ගෙදර හැමදේම කරලා දෙනවා. මම ඔයාලට හැමදේම කරලා දෙනවා. කන්න උයලා දිලා, රෙදි සෝදලා මැදලා හැමදේම කරලා දෙනාවා ඒත් ඇයි ඔයාලා මට මෙහෙම කරන්නේ. ඇයි තමන්ගේ අම්මට මෙහෙම කරන්නේ. අඩුම තරමේ ඔයාලගේ වැඩක්වත් පිළිවෙලට කරගන්නෙ නැහැ.”

අනපේක්ෂිත ලෙස මවගේ හඬා වැටීම නිසාවෙන් දියණියන් දෙදෙනා වික්ෂිප්තව මව වෙත පැමිණියාය.නිමල්කා තමන් පිළිබඳව ඇති වූ දැඩි ආත්මානුකාම්පාව නිසා දිගටම හඬා වැටෙන්නට විය.

දියණියන්ට මව කිසි ලෙසකින්වත් අස්වසන්නට නොහැකි වූ නිසා අත්තම්මා හා එක්ව රාත්‍රී ආහාරයට යමක් පිළියෙල කරන්නට විය. නිමල්කා නිරාහාරවම නින්දට ගියාය.

ඇත්තටම තමන්ට වැරදුනේ කොතැනදැයි නිමල්කා සිතන්නට වූවාය. ඇය දියණියන් දෙදෙනාට පණ මෙන් ආදරය කරමින් රැක බලා ගත්තද දියණිය මෙතරම් ආත්මාර්ථකාමී වූයේ කෙසේද යන්න ඇයටම ප්‍රශ්නාර්ථයක් විය.

සිතෙහි පවතින නොසන්සුන්කාරී  කලකිරීම් සහගත බව දුරු කරගන්නට ඇය තම නැගණියට දුරකථන ඇමතුමක් ගෙන පෙර දිනයේ සිදු වූ සිදුවීම් සියල්ලම පැවසුවාය. එයින් ඇගේ සිතට යම් නිදහසක් දැනෙන්නට විය.

“අක්කා ඔයා තමයි දරුවන්ව නරක් කරගත්තේ. කෙල්ලෝ වුනාම ගෙදරින් ගියාට පස්සෙත් වැඩ කරන්න වෙනවා කියලා බෝනික්කො වගේනේ හැදුවෙ. දරුවන්ට ස්වාධීනව හැදෙන්න දෙන්න ඕනී. දරුවන්ට ආදරෙයි කියලා එයාලගේ හැම රාජකාරියක්ම අපි කරලා හරියන්නෙ නැහැ. ඔයා තනියම ගෙදර වැඩ, දරුවොත් එක්ක කතා බහ කරන්න ,එයාලට ආදරේ එලිපිට දක්වන්න ඔයා කාලයක් හදාගත්තෙ නැහැනේ. ඔයාට මතකද අපි ඉස්සර ඉස්කොලෙ ඇරිලා ඇවිත් එදා දවසෙ සිද්ධ වුන හැමදේම අම්මට කියනවා. අපි දන්නෙම නැතිව උයන්න පිහන්නත් ඉගෙන ගත්තෙ කුස්සියෙදි අම්මත් එක්ක කියවද්දි.අමුතුවෙන් අම්මාටත් අපට උදව් වෙන්න කියන්න අවශ්‍ය වුනේ නැහැ.”

“හ්ම් එක නම් ඇත්ත. අම්මා ඉස්සර අපිට වැඩ බෙදලා දුන්නත් එක්ක නේද? ගෙවල් අතු ගාන්න, මිදුල අතු ගාන්න පිඟන් කෝප්ප හෝදන්න, පොල් ගාන්න  අපිට දවස් තිබුණා. අපි දෙන්නට විතරක් නෙමේ අයියටත්”

“ඒකනේ අම්මට උදව් කරන්න ඕනි බව අපිටම හිතුනා. ඒ අම්මා අපිව හුඟක් සමීප කරගෙන සාමාන්‍ය පුරුද්දක් විදිහට වදයක් නොවෙන්න අපිව ගෙදර වැඩ වලට එකතු කරගත්ත නිසා. දැන්වත් ඔයා දරුවන්ට දොස් කියන්නෙ නැතිව හිමීට එයාලව ලං කරගෙන එයාලට සමීප වෙන්න බලන්න. අපේ දෙන්න නම් ඉතින් මට නොකියන දෙයක් නැහැ. අපි ළමයින්ට හිතින් ආදරේ කරලා මදි එයාලට ආදරෙයි කියලා දවසට දෙතුන් පාරක්වත් කියන්න. එයාලගෙ ආදරෙත් එතකෙට විවෘතව කියනවා.”

“අනේ මන්දා නංගී”

“අනේ මන්දා නෙමේ අක්කා. ළමයි වයස යන්න යන්න එයාලට සමීප වෙන්න ඕනී. අනික ඉතින් හිතුමනාපෙට වැඩ කරන්න ආස වයස නිසා බොහොම කල්පනාවෙන් තමයි එයාලත් එක්ක වැඩ කරන්න ඕනී. වැඩි කතා මොකටද අපි ආපස්සට ගිහින් අපේ පුංචි වයසට ගිහින් හිතුවොත් දරුවො දෙන්නත් එක්ක වැඩ කරන්න ඔයාට පහසුවක් වෙයි. මම නම් එහෙමයි.”

“දැන් නම් හිත සැහැල්ලුයි. බලමු මම වෙනස් වෙලා දරුවො වෙනස් කරගන්නම්. එහෙනම් තියනවා නංගී”

ඔබට මේ ලිපිය උපකාරී  වුනා නේද? ඔබව දැනුවත් කල මේ ලිපිය තවත් පිරිසකගේ දැනුවත් බවට අවැසි නිසාම දැන්ම Share කර ඔබේ යුතුකම ඉටු කරන්න. ස්තුතියි !

SHARE
මා දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ උසස් ජාතික ගණකාධිකරණය ඩිප්ලෝමා පාඨමාලාව (ව්‍යපාර වාණිජවේදී උපාධියට සමානය) සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යපාර පරිපාලන උපාධිය හදාරා වසර නමයක කාලයක් සහකාර ගණකාධිකාරිණියක් වශයෙන් වෘත්තීමය නියැලුනෙමි. උසස් පෙළ හා උසස් අධ්‍යපනයෙන් පසුව වෘත්තිමය වශයෙනුත් මා ගණුදෙනු කලේ ගිණුම් වල හර බැර අතර වුවද සංසාර පුරුද්දට මා ලද ප්‍රාග්ධනයක් ලෙස යමක් සුන්දරව දැකීමටත් ,සිතීමටත් ඒ සිතුවිලි අකුරු වලට පෙරලන්නටත් හැකියාව මා සතුවිය. කාන්තාවකට මෙලොව දිනිය හැකි ඉහළම කිරුළට උරුමකම් කියන මා පුතුන් දෙදෙනෙකුගේම අම්මාය. විශ්වයේම ඇති සොඳුරුතම ස්ථානය නිවහනය. එහි සාමය සතුට සෞභාග්‍යය රැඳවිය යුත්තේ අම්මාය. එනිසාවෙන්ම මගේ පුංචි පැටවුන්ගේ රැකවරණය වෙනුවෙන් මා වෘත්තියෙන් සමුගත්තෙමි. මුළුගැන්වී තිබූ ලිවීමේ හැකියාවට පන්නරය ලැබුණේ ඉන් පසුවය. අම්මා පුවත් පතෙහි විශේෂාංග ලේඛිකාවක වශයෙන් ලේඛණ කලාවට පිවිසි මා ලේඛණ කලාවෙන් ඉදිරියට යන්නට අපේක්ෂා කරමි.

LEAVE A REPLY