මේ ඔබේ දරුවා ගැන විය හැකියි.. පොඩ්ඩක් කියවලා බලන්න

children's-eating

පුංචි දරුවන්ට මොනවා කියලා තේරෙනවද? අම්මලා දෙන එක අඳිනවා, අම්මා දෙන එක කනවා, නැත්නම් ඉතුරු කරගෙන යනවා.  පිරිසිදු අපිරිසිදු කියන දේ ගැන ඒ හැටී දැනීමක් පුංචි දරුවෙකුට නැ. එයාල ප්‍රතික්ෂේප කරන්නේ එයාලා අකමැති දේවල්.

මල් වගේ ලස්සනට සැරසිලා පෙර පාසැලේ විනෝද චාරිකාව යන්න මගේ දියණියගේ පෙර පාසැලේ පුංචි දරුවෝ ටික බොහොම සැප පහසු වාහනයකට ගොඩ උණා. හැම දරුවෙක්ගේම අම්මා හරි තාත්තා හරි අනිවාර්යෙන්ම ඒ ගමනට සහභාගී විය යුතුව තිබුණා. ඉතිං මගේ දුවත් එක්ක මටත් විනෝද චාරිකාවට යන්න සිද්ධ උණා. අනේ පොඩි දුරක් යද්දී මේ පැටවූ එක්කෙනා දෙන්නා දෙමාපියන්ගේ උකුළුවල නින්දට වැටුණා. විනෝද චාරිකාව වැඩි දුරකට නොවුනත් පුංචි දරුවෝ ඉතිං එහෙමනේ. අම්මලා තාත්තලා හිනා වෙන්න ගත්තා “මෙන්න කට්ටිය ට්‍රිප් යන හැටි” කියලා.

ඔහොම ගිහින් උදේ කෑමවලට බොහොම ලස්සන තැනක වාහනය නැවැත්තුවා. ඒ උද්‍යානයේ තිබුණු බැංකු වල වාඩි වෙලා අම්මලා තාත්තලට තුරුළු වෙලා, නිදි ගැට කඩ කදම වගේ දරුවෝ ටික අම්මලාගේ බල කිරීමට කෑම කන්න කටවල් ඇරියා. ඔය අතරේ පුංචි දුවක් අඩන්න පටන් ගත්තා. පොඩ්ඩක් හොයලා බැලුවමයි දැන ගත්තේ, එයා අම්මව ඕනේ කියලා තමයි මේ තාත්තා එක්ක පොරේ. මොකක් හරි හේතුවක් උඩ  අම්මට එන්න බැරිව වෙන්න ඇති දරුවා තාත්ත එක්ක එවල තියෙන්නෙ. කොහොම හරි ඒ තාත්තාගෙන් දරුවාව අරගෙන කෑම පෙට්ටියත් එක්කම මගේ දුව ළගට එක්කගෙන ආවේ අඩන දරුවා යාළුවා ළඟ සතුටින් කෑම එක කාවි කියන සිතුවිල්ල ඇතිව.

ඒ පුංචි දුවගේ කෑම පෙට්ටිය ඇරලා මම පියන පැත්තකට තියද්දීම දැකපු දේ ඇත්තටම මගේ හිතට ගෙනාවේ හරි කලකිරීමක්. මේ පුංචි දරුවාගේ කෑම පෙට්ටි පියන වටේටම කළු පාටට කුණු එකතු උණු තීරුවක් මම දැක්කා. ඉතිං මොනවා කරන්නද? මම ඒක එහෙමම තියලා දරුවාගේ අම්මා හදලා එවපු සැන්විච් එකක් අරගෙන කවන්න ලෑස්ති උණා, මේ පුංචි දරුවා එකපාරටම ආයේ අඩන්න ගත්තා. ඒ ඇයි කිවම එය කිවේ “මට එපා ආන්ටි, අම්මා ඒකට දයියා දාලා. මට කන්න බැ” කියලා.

පාන් පෙති දෙක ඇරලා බැලුවමයි මමත් දැක්කේ, ඒ සැන්විච් එක ඇතුලේ අමුමිරිස් ගොඩක්. ඒ මදිවට ගම්මිරිසුත් දාලා.

අපේ දරුවන්ට පොඩ්ඩ පොඩ්ඩ සැර ජාති කන්න පුරුදු කරන්න ඕනේ. ඒත් හැම අම්මා කෙනෙක්ම දන්නවා තමන්ගේ දරුවට කන්න පුළුවන් කොයි ප්‍රමනෙක සැරක්ද කියන එක. ගෙදරදී මේ වගේ දුන්නත් ගමනක් බිමනක් පිටස්තර පිරිසක් එක්ක යද්දී අම්මටත් සහභාගී වෙන්න බැරි නම් පුංචිම පුංචි අපහසුවක්වත් දරුවට නොවෙන විදියට සැලසුම් කරන එක අම්මලා විදියට අපේ වගකීමක්. ඉතිං මගේ දුවගේ කෑම එකෙන්ම මම ඒ දරුවටත් කැව්වා. එයා බොහොම සතුටෙන් කෑම කෑවා.

ඊළගට ඒ දරුවාගේ වතුර බෝතලේ. බෝතලේ ස්ට්‍රෝ එකේ ඇතුළු පැත්තෙන් බබා බොන තැන කළුම කළු පාටයි. මම දන්නේ නැ එහෙම වෙන්නේ කොහොමද කියන්න නම්. බෝතල් මුඩියෙත් දාරවල කළු පාටට කුණු බැඳිලා. අනේ ඒත් ඒ දරුවා ඒක අරගෙන බිව්වා. ඒ විතරක් නෙවෙයි, කෑම පෙට්ටිය ඔතපු සර්වියට් එකේ, ඇලිළා වේලුනු බත් ඇටත් තිබුණා.

මේ හැමදේම ඉවර වෙලා අපි ආයෙත් ගමන ආරම්භ කළා. ඔන්න ඉතිං මේ දරුවා එයාගේ තාත්ත ළඟ යනවට වඩා එයාගේ යාළුවා උණු මගේ දුව ළඟ යන්න කැමති උණා. ඉතිං දෙන්නම බොහොම සතුටින් හිනා වේවි ගමන පටන් ගත්තා. ඔන්න ටික දුරක් යද්දී ආයෙම දෙන්නට නිදි මතයි. සීට් එකේ මැද්දට ඇවිත් දෙන්නාගේ ඔළු දෙක දෙපැත්තෙන් උකුලට තියාගත්ත මම අත්දෙකෙන් දෙන්නව අල්ලාගෙන ජලෙලෙන් එලිය බලාගෙන මේ අහිංසක දරුවා ගැන කල්පනා කළා. හිතට ආපු දුකත් එක්කම ඒ අම්මා මොන තත්වයේ ඉන්නවද කියලා අපි දන්නේ නැනේ කියන සිතුවිල්ල නැවත මාව ඒ දරුවා ලෙස බලන්නට යොමු කළා. ඒ සුරතලියගේ මුහුණට වැටී තිබුණු කෙස් රොදක් ඇඟිල්ලෙන් කන පිටිපස්සට කල මා දුටුවේ ඇයගේ පුංචි කන් පෙත්තයි. ඇගේ කන්පෙත්තේ කුණු පිරී කළු පහ ගැන්විලා. මාස ගණනකින් ඇගේ කන් පෙති පිරිසිදු කර නැත.

ඇත්තටම අපි අම්මලා විදියට හැමනිතරම හිතේ තියාගන්න ඕනේ එක දෙයක් තියෙනවා. දරුවෝ මේ ලෝකෙට එන්නේ, අපේ බලාපොරොත්තුවක් ඉටු කරන්න. ඒ අපේ කැඳවීමෙන්. මහමෙරක් තරම් දුක් දොම්නස් පිරුණු මේ ලෝකෙට ඔවුන්ව කැඳවන්නේ අපේ ඒ බලාපොරොත්තුව. අන්න ඒ නිසාවත් දරුවන්ට අපෙන් විය යුතු දේ අකුරටම ඉටු කළ යුතුයි. මේ පුංචි නොදරුවන් සමාජයේ අනුකම්පාව  භාජනය වීමට ඉඩ නොදිය යුතුයි. ඒ නැතත් පිරිසිදුකම දරුවෙකුට අත්‍යවශ්‍ය සාධකයක් බව තරයේ සිහිතබා ගත යුතුයි.

ඔබට මේ ලිපිය උපකාරී  වුනා නේද? ඔබව දැනුවත් කල මේ ලිපිය තවත් පිරිසකගේ දැනුවත් බවට අවැසි නිසාම දැන්ම Share කර ඔබේ යුතුකම ඉටු කරන්න. ස්තුතියි !

SHARE
අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY