වරද කාගේද? අලුත් අවුරුද්දේ දෙපැත්තෙන්ම හිතමු…

pregnant-woman-traveling-by-bus

එදා 2017 අන්තිම දවස. ඒ කියන්නේ දෙසැම්බර් 31 වෙනිදා. මොන විදියට අලුත් අවුරුදු ආවත් අපේ දරුවන්ට ලෙඩ දුක් ඇති වෙන එක ඉතින් නතර වෙන්න හාස්කමක් වෙන්නම ඕනේ. මොකද නහය බුරුල් නොවුණු දවස් ගාන අතේ ඇඟිලිවලින් ගණන් කරන්න පුළුවන්. එහෙම තමයි, පුංචි ළමයි දුවලා පැනලා සෙල්ලම් කරනවා. මඩ දූවිලි අත පත ගානවා. ඉතින් ඔයාලටත් මගේ මේ අත්දැකීමට අනන්තවත් මුහුණ දෙන්න සිද්ධ වෙලා ඇති. ඒත් මේ මම කියන්න යන්නේ පුංචි දරුවෝ ගැන නම් නෙවෙයි. පුංචි දරුවෝ අපිට ඕනේ තැනට අරගෙන එන්න අපේ හැසිරීම ගති පැවතුම් වෙනස් වෙන්න ඕනේ විදිය ගැනයි.

ඔන්න ඉතිං මම අර මුලින්ම සඳහන් කරපු දවසේ, මම සුපිරි වෙළඳ සැලකට ගොඩ වැදුණා, මොකද දුවට ලැබුණු වෛද්‍ය උපදේශය අනුව ඔහු සඳහන් කළ වෙළඳ නාමය යටතේම අවශ්‍ය ඖෂධ ලබාගත යුතුව තිබුණ වගේම තවත් දේවල් කිහිපයක් මට මිලදී ගැනීමට අවශ්‍ය වුනු නිසා. වෙළඳ සැලට ඇතුළු වෙන තැන ඉඳලම සෙනඟ පිරිලා හිටියේ හරියට එදායින් පස්සේ ලෝකේ හැම වෙළඳ සැලක්ම වහලා දානවා කියලා ප්‍රචාරයක් ගිය ගානට. කොහොමින් කොහොම හරි මගේ බඩු ටිකත් අරගෙන මමත් බිල ගෙවන්න පෝලිමට එකතු වුණා.

මෙතන තිබුණු කැෂියර් කූඩුවේ පහෙන් එකක් වහලා. මෙච්චර සෙනඟ ඉන්න වෙලාවක ඒ වගේ වීම ගැන හිතෙන් බැන බැන ඔහේ බලාගෙන හිටිය මම එක පාරටම දැක්කේ, ඒ කැෂියර් කුඩුවටත් තරුණයෙක් පැමිණ මගේ ඉදිරියේ සිටි මැදි වයසේ පිරිමි පුද්ගලයෙකුට එතනට එන ලෙස හිසෙන් ඉඟි කිරීමයි. ඒත් එක්කම කඩි ගුලක් මෙන් ඇවිස්සුනු මගේ පෝලිමේ හිටි අය ඒ කැෂියර් කූඩුවට මාරු වුණා. මා සමග මගේ පිටු පසින් හිටි එක් පිරිමියෙක් අලුත් කැෂියර් කුඩුවේ ඉදිරියෙන් තැනක් ලැබුණු නිසාදෝ මම දිහා බැලුවේ “ඔයා පිටිපස්සේ, ඔයාගේ පිටිපස්සේ හිටිය මම මෙන්න ඊළගට බිල ගෙවනවා” වැනි ජයග්‍රාහී බවක් මුහුණට මවාගෙනද කියලත් මට හිතුණා.

වෙන්න පුළුවන්, පෝලිමේ ඉස්සරහ හම්බවෙන එක, බස් එකේ කෝච්චියේ සීට් එකක් අල්ල ගන්න එක ජිවිතේ ලබන්න පුළුවන් ලොකු ජයග්‍රහණ කියලා හිතලා සතුටු වෙන මිනිස්සු ඕනේ තරම් මට මුණගැහිල තියෙනවා. ඉතිං මේකත් ඒ වගේ නේද කියලා හිත යටින් හිනා වේවි මම පිටි පස්සට හැරුනේ කිසිම හේතුවකට නම් නෙවෙයි. ඒත් දරුවෙකුත් කුසේ දරාගෙන බඩු කිහිපයක් අර අතේ එල්ල ගන්න තියෙන බෑග් එකේ දාගෙන ඔසවාගෙන බිල ගෙවන පෝලිමේ කෙලවරේම හිටිය කාන්තාව ළඟ මගේ ඇසුත් හිතත් නැවතුණා. මම ඇයට මා සිටි ස්ථානය ප්‍රදානය කොට අගේ ස්ථානයට මාරු වෙන්නට තත්පර දහයක්වත් ගත වෙන්න නැතිව ඇති. ඒත් සිද්ධිය දැක දැකත් මගේ ඉදිරියේ සිටි කාන්තාවන් හෝ පිරිමින් කිසිවෙකුත් ඇයට ඉන් එහා ඉදිරියට යන්නට අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. හිටි තැනින් තවත් පස්සට වැටුණු මම අර ජයග්‍රාහී පුද්ගලයා තම බිල ගෙවා පිටව යන ආකාරය බලාගෙන හිටියා. එකකට එකක් නොගැලපෙන සිතිවිලි ගොඩක් අස්සේ මට හිතුණා අර දරුවා ලැබෙන්න ඉන්න අම්මා, “බඩු නොදැම්මත් අතට බරක් දැනෙන ඒ යකඩ මල්ල” තෝර ගත්තේ ඇයි කියලා. ට්‍රොලියක් ගත්තා නම් ඇයට එය පහසුවක් වන බවත් ගැබිනි මවක් නිසා බඩු දෙක තුනක් දාන්න ට්‍රොලිය ගැනීම සම්බන්ධයෙන් කිසිවෙකුත් කිසිවක් නොසිතයි නේද කියලත් මට හිතුණේ අපේ බොහෝ දෙනෙක් “මිනිස්සු අරෙහෙම හිතයි මෙහෙම හිතයි” කියලා තමන්ගේ අවශ්‍යතාවලට දෙවෙනි තැන දෙන නිසයි. ඒ වගේම දරුවා ලැබෙන්න ආසන්නයේ සිටින බව පෙන්වන ඇගේ කුස දැක්කම “මේ බඩු ටික ගෙනියන්න එන්න ගෙදර වෙන කෙනෙක් හිටියෙම නැද්ද ?” කියලත් මට හිතුණා. ඒත් අයගේ සැමියා නිවසින් දුර බැහැර රැකියාවක නිරත වෙනවාද කියලා අපි දන්නෙත් නැනේ. මම මගේ හිතින් ඇය සිටින තත්ත්වයට අගේ වටපිටාවෙන් නොලැබුණු සහයෝගය සාධාරණීකරණය කළා.

මේ අපේ සමාජය, ඒ අම්මගේ කුසේ උපදින්න ඉන්න අපේ අනාගතය… ඉතිං අපට යුතුකමක් නැද්ද?

ඔව්…. අනිවාර්යෙන්ම අපේ අනාගතය වෙනුවෙන් අපිට යුතුකම් කොටසක් තියෙනවා. හිතන්න, ඒ ඔබේ බිරිඳ, දුව, නැගණිය කියලා. කවමදාකවත් ඇයට මේ ආකාරයෙන් පෝලිමේ ඉන්න ඔබ ඉඩ තියනවද? නැහැ. කිසිම විටෙක ඔබ ඇය දෙස නොබලා ඉන්නේ නැහැ. මිනිස්සු විදියටත් ආයතන විදියටත් අපේ සමාජ මෙන්න මේ තැනවලදී පොඩ්ඩක් වෙනස් වෙන්න ඕනේ නේද? වෙළඳ සැලෙන් ඒ මවට ඉක්මනින් බිල ගෙවන්න අවස්ථාව ලබා දුන්නා නම් ඒක අපේ මේ සමාජයටත් හොඳ පාඩමක් වෙනවා. ගැබිනි කාන්තාවක් විතරක් නෙවෙයි, අබාධ ඇති අය, වැඩිහිටි අය අපට සමාජයේ අනන්තවත් මුණ ගැහෙනවා. ඉතිං ඒ වගේ අය වෙනුවෙන් සමාජය යමක් කළ යුතුයි කියලයි මගේ අදහස.

ඒත් මේ සම්බන්ධයෙන් හිතන්න තවත් පැත්තක් තියෙනවා. බලන්න ඔබ මොනවද මේ ගැන හිතන්නේ.

පොඩ්ඩක් හිතන්න, මාතර කොළඹ බස් රථයකට දෙහිවල, රත්මලාන හරියෙන් මාතරට යන ගැබිනි කාත්නාවක්, දරුවෙක් වඩා ගත්ත අම්ම කෙනෙක්, අබාධිත හෝ වයසක පුද්ගලයෙක්  ගොඩ වුනොත් මොකද කරන්නේ, සීට් එක දෙන කෙනා මාතරටම හිටගෙන යන්න ඕනෙද? මෙන්න මෙතැනදී සාධාරණ ගැටළුවක් මතු වෙනවා. කොටුවේ බස් නැවතුම්පොලටම ගිහින් කෙනෙක් සීට් එකක වාඩි වෙන්නේ එයාගේ ගමන පහසු කරගන්න ඕනේ නිසා. ඒත් මගදී මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න වෙනවා කියන්නේ ඒ තරම් සාධාරණ කාරණයක් විදියට දකින්නත් අමාරුයි.

අන්න එතැනදී නම් අපි කොයි තත්ත්වයේ හිටියත් කල්පනා කරන්න ඕනේ, සමාජයට යුතුකම් අනිවාර්ය කරන්න අපිට බැහැ. සමහර විට ගැබිනි මවක් බස් රථයට නැග්ගම සීට් එක නොදෙන්න නොයෙක් හේතු කෙනෙක්ට තියෙන්න පුළුවන්. මම මේ කියන්න යන්නේ, මම අත්දැකපු දෙයක්.

ඉස්සර දවසක අම්බලන්ගොඩ දක්වා යන බස් රථයකට ගැබිනි කාන්තාවක් එක්ක තවත් කාන්තාවක් ගොඩ උණා. ඉතිං ඉස්සරහම හිටි මැදි වයසේ කාන්තවක් ලහි ලහියේ නැගිටලා සීට් එක දුන්නා. මේ ගැබිනි කාන්තාව ස්තුති කරලා අසුන් ගත්තා. ඇය රත්මලානෙන් බහිද්දී සීට් එක පරිත්‍යාග කළ කාන්තාවට නැවත සීට් එක ලැබුනේ නැ. සීට් එක ලැබුනේ ගැබිනි කාන්තාව එක්ක නැගපු අනිත් කාන්තාවට. ගැබිනි කාන්තාව පොඩි දුරකට බස් එකට ගොඩ උනාට ඇය සමග පැමිණි කාන්තාව ගමනාන්තය දක්වාම ගමන් කළා. හැබැයි ඇයට අර කාන්තාවගේ අසුනේ වැඩි දුර යන්න උනේ නැ. කොන්දොස්තර මහත්තයා ගෝරනාඩු කරන්න පටන් ගත්තා. “බලන්න මේ ඇන්ටි මනුස්සකමට අරයට සීට් එක දුන්නා, දැක්කනේ එයා කර කැත වැඩේ. ඔයත් නිකන් ලැජ්ජ නැතිව වාඩි වෙලා යනවා. පවුනෙ මේ  ඇන්ටි” කියලා කියවන්න පටන් ගත්තා.

මෙන්න මේ වගේ අත්දැකීම් එක්ක මිනිස්සු වෙනස් වෙලා ඇති කියල හිතන්නත් බැරි නැ. ඒත් අපි කවුරුත් මිනිස්සු, කරදරයකදී අපහසුතවයකදී අනෙකාට පිහිට වෙන එක අපේ පුරුද්දක්. ඒත් අනිවාර්ය යුතුකම් විදියට ඒ දේවල් ගන්න එක අනුමත කරන්න බැහැ. “බඩ නිසා මෙයාට සීට් එකක් අනිවාර්යෙන්ම ලැබෙනවා” කියන ඒ සිතුවිල්ල අද වෙනකොට දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙක්ට සමාජයෙන් ලැබිය යුතු ගරු බුහුමන් වලට මග අවුරලාද කියලත් මට හිතෙනවා.

ඔබට මේ ලිපිය උපකාරී  වුනා නේද? ඔබව දැනුවත් කල මේ ලිපිය තවත් පිරිසකගේ දැනුවත් බවට අවැසි නිසාම දැන්ම Share කර ඔබේ යුතුකම ඉටු කරන්න. ස්තුතියි !

SHARE
අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY