පවුලේ සංවාදයට බාධාවක් වූ “තාක්ෂණය” නිවසින් පිටමන් කළ අපූරු ක්‍රමය

dinner_table

කාලයත් සමඟ සිදුවන සියලුම විපර්යාසවලට මුහුණ දෙමින් සමාජයේ මූලිකම සහ වැදගත්ම  සංස්ථාව වන පවුල තම කාර්යයන් අඛණ්ඩව පවත්වාගෙන යනවා. අනිකුත් සියලුම සමාජ සංස්ථාවලට සේම මෙයට ද වෙනස් වන ලෝකයේ වෙනස් විම්වලට අනුගත විමට සිදුවන බව අප අවබෝධ කරගතයුතු වෙනවා. නමුත් එම අනුගත වීම සිදුකළ යුත්තේ පවුල නැමති සංස්ථාව ආරක්ෂා කරගැනීමට විනා බාහිර එහි වටිනාකම් දියකර හැරීමට නොවේ. වර්තමානයේ අන් සියලුම  සාධක අභිබවා තාක්ෂණය නැමති සාධකය පවුලේ සාමාජිකයන් අතර තිබෙන්නාවූ බැඳිමට සිදුකර ඇති  බලපෑම  පවුල් සබඳතා සියුම්ව අධ්‍යනය කර බැලීමේ දී පෙනී යනවා.

ලංකාවේ අතිශයින්ම දුෂ්කර පළාතක ඉපදී සරසවි වරම් ලැබ කොළඹ විශ්ව විද්‍යාලයෙන් උපාධියක් ලබා විදෙස් ගත වුන වියතෙක් මට හමුවුණා. දැන් ඔහු විදේශ රටක සුපතල විශ්ව විද්‍යාලයක මහාචාර්යවරයෙක් සහ එම රටේ ස්ථිර පදිංචිකරුවේක්. ඔහුගේ බිරිඳ එම රටේම කාන්තාවක්. ඇයත් විශ්ව විද්‍යාලයේ  කතිකාචාර්යවරියක්. මේ මහාචාර්යවරයා තුළ මා දුටු එක් ලක්ෂණයක් වන්නේ ඔහු ලංකාවට මහත්සේ ඇළුම් කරන පෙරදිග දර්ශනය විශ්ව විද්‍යාලය තුළට සාර්ථකව ගෙනයාමට සමත් වූ  අයෙක් වීමයි. විදෙස් අධ්‍යාපනය නිම කර ලංකාවට පැමිණ විශ්ව විද්‍යාලයේ සේවයට එක් වන විට ඔහු එම විෂය ක්ෂ්‍රේත්‍රය සඳහා ලංකාවේ සිටි එකම මහාචාර්යවරයා වුණා. නමුත් සාමාන්‍යයන් සිදුවිය යුත්තම මෙහිදීත් සිදුවී තිබුණා. මොහුගේ සේවය ස්ථිර කොට ඔහුව රඳවාගැනීමට කිසිවෙකුත් කටයුතු නොකිරීම මත ඔහු දෙවන වරට ද මව්බිම හැරදමා යනවා. ඒ අවස්ථාවේ ඔහුව මහා ඉහලින් පිළිගත් විදේශීය විශ්ව විද්‍යාලය ඔහුට පර්යේෂණ අංශය බාරදෙනවා. එහි අවසන් වසරේ සිසුවියක් තම උපාධි නිබන්ධනයට තෝරාගන්නේ ආසියාතික රටවල කාන්තාවන් මව්පදවිය කෙරෙහි දක්වන ආකල්ප තාක්ෂණීක දියුණුව සමග වෙනස් වීම යන මාතෘකාව. මේ මහාචාර්යවරයාගෙ මග පෙන්වීම අනුව ඇය ලංකාවට පැමිණ තුන් මාසයක් පර්යේෂණයක් කරලා ආපසු ඇවිත් විශ්ව විද්‍යාලයට නිබන්ධනය බාර දෙනවා. එහි ඇය සඳහන් කරන්නේ කාලයේ වෙනසට සහ තාක්ෂණයේ වෙනසට හසු නොවුන මාතෘත්වය කෙරෙහි ලාංකික කාන්තාවන්ගේ ආකල්ප කෙරෙහි ඇය ආකර්ශනය වුණ බවයි. ලංකාවේ සංස්කෘතිය කෙරෙහි දැක්වූ අසීමිත ඇල්ම තුළ දෙදෙනා අතර ඇතිවූ සුහදතාවය මත මහාචාර්යවරයා තම සිසුවිය විවාහ කරගන්නවා. ඇය ඒ වන විට  සහාය කතිකාචාර්යවරියක්.

“ලංකාවට ගිහින් ආවට පස්සේ ක්‍රිස් බටහිර ලෝකයේ පවුල් සංස්ථාවට වෙලා තියන දේ ගැන දැඩි ලෙස විවේචනය කළා. මම ක්‍රිස් විවාහ කරගත්තේ එයා ලංකාවට සහ මට දක්වපු කැමැත්ත නිසාම නෙවේ. එයා හරි ස්වාධීන අදහස් තියන කෙනෙක්. ඒ වගේම කිසිම වෙලාවක අපි එකතු වෙලා ගත්ත තීරණයක් එයා අතින් කැඩෙන්නේ නෑ. එයා දිගටම එයාගේ ඉගනීම් කටයුතු කරගෙන ගියත් ඇත්තටම අපේ පවුල රැදිලා තියෙන්නේ එයා අතේ. මම විවාහ වෙන්න කලින් එයා මගෙන් අහපු දේ තමා අපේ පවුලේ අය ජීවත් වුණ විදිහ. අපේ පවුලේ තිබුණ බැඳීම. එයාගේ දෙමව්පියෝ තැන් දෙකක හිටියේ. එයාට පොඩි කාළේ ඉඳලාම ලොකු අනාරක්ෂිත බවක් දැනිලා තිබුණා. අපේ පවුලේ අයට තුන් වේල බත් කන්න තරම් වත්කමක් තිබුණේ නෑ. අපේ අය්යලා අක්කලා අපි ඔක්කොම හය දෙනෙක්. අපිට තිබුණේ බොහෝම සුළු ප්‍රමානෙක දේවල්. ඒත් අපේ ගෙදර ආදරේ ඉතිරෙන්න තිබුණා. තාත්තාගේ දෙවන විවාහය අපේ අම්මා. තාත්තගේ ඉස්සරලා විවාහයේ දරුවෝ දෙන්නත් එකතු වුනාම ඔක්කොම අට දෙනෙක්. අපි ඉස්කෝලේ ගියේ දාහක් අඩුපාඩු මැද. ගෙදර ඇවිත් අපි තාත්තගේ හේනට යනවා. ගෑනු ළමයි අම්මට උදව් කරනවා. අම්මගේ තිබුණ නීතිය තමා කොහේ හිටියත් පහ වෙනකොට ගෙදර ඇවිත් පොත් පාඩම් කරන්න ඕන කියන එක. අපි හේනේ ඉඳන් එන ගමන් ඇළට පැනලා නාලා වටේ තියන ගඩාගෙඩි කාලා ගෙදර ඇවිත් පොත් පාඩම් කරනවා. කළුවර වැටුණාම පාඩම් කරන්න ලාම්පු පත්තු කරන්න තරම් වත්කමක් අපට තිබුණේ නෑ. රෑට අහන්න රේඩියෝ එකක් , කියවන්න පත්තරයක් නෑ. රෑ අට වෙනකොට තාත්තා ඇවිත් දවසේ වැඩ ඉවර වෙලා ඇවිත් කාන්සියට ශ්ලෝක කියවනවා. අපි ඔක්කොම ඒවා අහගෙන පිළට වෙලා ඉන්නවා. අම්මා දුම් දාන බත් එක මැටි කොරහට අරං ඇවිත් තියලා ආපහු ගිහින් හොදි ඇතිලිය ගෙනත් සාලේ මැද පැදුරක් දාලා කුප්පි ලාම්පුව එතනට ගේනවා. මුළු ගෙදරම ඒ වෙලාවට එළියයි. අපි දහ දෙනාම කෑම කන්නේ එකම තැන එකම වෙලාවට.කන ගමන් එදා දවසේ වෙච්ච හැම දෙයක්ම අපි ඔක්කොමලා කතා වෙනවා. සමහර වෙලාවට තාත්තා හේනට දවල් පැන්න අලි ගැන කියන්න ගත්තම පොඩි අයට පැදුරේම නින්ද යනකල් කතාව දික්ගැස්සෙනවා. අම්මා ඒ වෙලාවට නින්දට යන සංඥාව දෙනවා කුප්පි ලාම්පුව නිවලා. අපි විසිරෙනවා හරියට ලාම්පුවේ එළිය විසිරිලා ගියා වගේ. මගේ බිරිඳ මේකට හරි කැමතියි. අපේ දරුවෝ තුන්දෙනා පොඩි කාලේ ඉඳන්නම එයා කිවේවේ අපි හැමෝම එකම තැනක එකම වෙලාවකට කෑම කාලා දවසේ කතා බෙදාගන්න ඕනෑ කියන එක. ඒකට අපි දෙන්නා තෝරා ගත්තා රෑ කෑම මේසේ. මොකද අපේ ජිවන රටාව එක්ක තියන විකල්පේ ඒක නිසා. මේක හරියට කෙරුණා ළමයි ටිකක් ලොකු වෙනකල්. ඒත් දැං අවුරුදු පහ හයක ඉඳන් මේ තාක්ෂණය අපේ ගෙදරට රිංගපු දවසේ ඉඳන් අපේ මේ පුරුද්ද අත ඇරුණා. මමත් ඒකට දාකය වුණා. කෑම මේසෙට කෑම තියලා මගේ බිරිඳ එක එක්කනාට දහපාරක් විතර කතා කළාම තමා එන්නේ. එක්කෝ මම වීඩියෝ සංවාදෙක නැත්තම් දුව ෆේස් බුක් එකේ. පුතාලා මොකක් හරි ඉන්ටර්නෙට් සෙල්ලමක. කෑම කන්න ආවත් දුවගේ අතේ සමහර වෙලාවට ටැබ් එක. පුතාලා කතා කරන්නේ අළුත් වීඩියෝ සෙල්ලම්වගේ දේවල් මිස තමන්ගේ ඉස්කෝලේ යාළුවෝ ගැන නෙවේ. මේකට යට නොවුණේ බිරිඳ විතරයි. ඒ වගේම ඒකේ බරපතලකම දැක්කේ එයා විතරයි. එක දවසක් මේ විදිහට රෑ කෑමට අපි එනකල් එයා පැය බාගයක් බලාගෙන හිටියා.අපි පුරුදු විදිහට අපේ වැඩ. එක පාරටම අපේ ගෙදර වයි -ෆයි සම්බන්ධතාවය විසන්ධි වුණා. අපිට වෙන වැඩක් කරගන්න බැරි නිසා හැමෝම එදා එක සැරේ කෑම කෑවා. ආපහු පැයකට පස්සේ සම්බන්ධතාව ලැබුණා නමුත් කාලෙට පස්සේ අපි ගොඩක් දේවල් කතා කළා. එකිනෙකාගේ මුහුණු බලලා කතා කළා. කොටින්ම මගේ ලොකු පුතාගේ මූනේ යන්තම් රැවුල වැවෙන්න පටන් අරං කියලා මගේ දුව විහිළු කළා. මේ වැඩේ හැමදාම කෑම කන වෙලාවට සිද්ධ වෙන්න ගත්තම අපිට සැකයක් ආවා. අපි බිරිඳගෙන් අහනකොට ඇය කිව්වා මමත් කුප්පි ලාම්පුවක් ගත්තා කියලා. අපි හැමෝම එයා දිහා බලන කොට එයා වයි -ෆයි සම්බන්ධතාව තාවකාලිකව වලක්වන නවීන උපකරණයක් අපිට පෙන්නුවා. අපි මොන ජාලයක් හරහා සම්බන්ධ වුණත් අර උපකරණේ ඊට වඩා බලසම්පන්නයි. සතියක් විතර මේකට අපි හැමෝම විරුද්ධත්වය පෑවා. කේන්ති ගත්තා. නමුත් එයා ඒ තීරණයේම හිටියා. දැං අපි හැමෝම එකට රෑ කෑම කාලා පැයක් කතා කර කර ඉන්නවා. ආපහු අපේ ගෙදර ශක්තිමත් බැඳිමක් ඇතිවේගන යනවා කියලා මට දැනෙනවා. මගේ බිරිඳ නවීන පන්නයේ කුප්පි ලාම්පුවක් ගත්තේ ඇගේ ළමා කාළයේ අමිහිරි අත්දැකීම් තමන්ගේ දරුවන්ට නොදෙන්න බව මම අවබෝධ කරගත්තා”

මේ අත්දැකීම මම විස්තර කළේ පවුල තුළට ඇතුළු වෙලා තියන තාක්ෂණයේ බලපෑම කොතෙක්ද කියලා පොඩි හිතුවිල්ලක් ඇති කරවන්න. පවුලේ බැඳීම ඇති වෙන්නේ සංවාදය මත. එකිනෙකාගේ සිතුවිලි , මනෝභාවයන්, රුචි අරුචිකම් සහ අවශ්‍යතාවයන් වල ඇති වන වෙනස්කම් තේරුම් ගැනීමට සංවාදය ඉතා අවශ්‍ය දෙයක්. මෙහිදි කතා කරන්නා සහ අසන්නා යන දෙදෙනාටම ඒ සඳහා යෙදවීමට ප්‍රමාණයත් කාලයක් තිබිය යුතුය. පෙරදී මහාචාර්යවරයා පැවසුවා සේම මේ ජීවන රටාව සමග ඒ සඳහා සුදුසු වන්නේ රාත්‍රී කෑම මේසයයි. නිවසේ වාසය කරන සැවොම රාත්‍රිය වන විටවත් ආපසු නිවසට පැමිණීමේ සංස්කෘතිය මෙතෙක් අප රටේ ආරක්ෂා වී තිබීම සතුටක්. එහෙත් එය නින්ද සඳහා පමණක් පැමිණීමක් විය යුතු නැහැ.

දරුවන්ගෙන් යමක් විමසූ විට ඔවුන් රෑපවාහිනී තිරය මත දෑස් යොමා පිළිතුරු දෙනවා නම්, නැතහොත් ජංගම දුරකථනය වෙත බෙල්ල නමාගෙන පිළිතුරු දෙනවා නම් එසේත් නැතහොත් කනෙහි ගසාගෙන සිටින ශ්‍රවණ උපකරණ  ඉවත් නොකර උත්තර දෙනවා නම් ඔබේ පවුලේ සංවාදයට රතු එළිය දැල්වී ඇති බව වටහා ගන්න. එසේම පවුලේ අම්මා හෝ තාත්තා කෑම බෙදාගෙන ඉඳගන්නේ රූපවාහිනියට නම් තත්ත්වය ඊටත් වඩා භයානකයි.

පවුලේ සැම එක්ව කතා කිරීමේ වැදගත්කම පළමුව වටහා ගතයුත්තේ දෙමව්පියන් විය යුතුයි. එයට ආදර්ශය සහ අවස්ථාව සැපයීමට ඔබට උවමනාවටත් වඩා අවස්ථා තිබෙනවා. එහෙත් මතකයේ තබා ගත යුතු වැදගත්ම දෙය වන්නේ එය පවුලේ සංවාදයක් මිස කිසිදු අවස්ථාවක විවාද පිටියක් නොවිය යුතු බවයි. දරුවන් වයසින් මුහුකුරායත්ම පරම්පරා දෙක අතර පරතරය ස්වභාවිකවම වැඩි වී යනවා. එය තේරුම් ගෙන කටයුතු කරන දෙමව්පියන් සහ දරුවන් අතර ඇතිවන සංවාදය සෑම විටම පවුලේ සාමාජිකයන්ට පහසුවක් ලබා දෙනවා. එය එක්තරා ආකාරයක උත්තේජනයක්. තමන්ගේ මානසික ව්‍යාකූලතා සමනය කරගැනීමට ඉතා හොඳ පරිසරයක් සාමාජිකයන් සමගියෙන් බැඳුන පවුලක තියනවා. බොහෝ අවස්ථාවල තරුණ දරුවන්ගේ ප්‍රශ්ණ හෝ ගැටළු සංවාදයක් තුළින් පමණක් විසඳා දීමට බුද්ධිමත් දෙමව්පියන්ට හැකි වෙනවා. එය ඔබට තනිවම පාලනය කර ගැනීමට නොහැකි බව පෙනී යනවා නම් එයට විසඳුමක් ලෙස කවරාකාරයේ හෝ කුප්පි ලාම්පුවක් භාවිතා කිරීමට ඔබ උපක්‍රමශීලී වන්න. එයින් රැකෙන්නේ ඔබේ පවුලේ සමගියයි.

ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කථිකාචාර්ය රේණුකා තෙන්නකෝන් මහත්මිය විසින් සකසන ලද ලිපියකි

ඔබට මේ ලිපිය උපකාරී  වුනා නේද? ඔබව දැනුවත් කල මේ ලිපිය තවත් පිරිසකගේ දැනුවත් බවට අවැසි නිසාම දැන්ම Share කර ඔබේ යුතුකම ඉටු කරන්න. ස්තුතියි !

SHARE
අප වෙබ් අඩවියට වරින් වර ලිපි සපයන බාහිර ලියුම්කරුවන්ගේ ලිපි සියල්ල මෙම පොදු profile එක හරහා පල කෙරෙනු ඇත.

LEAVE A REPLY