අගුණයි කියනවාට වඩා අගුණ ඇයි කියල දැනගත්තොත් නරකද….?

kid's_with_unhealthy_foods

පාර තොට දිගේ දරුවන් කැටුව යන අම්මාවරුන්ට ඔවුන්ගේ ඇස ගැටෙන ආහාරවලින් බේරා ගැනීම එතරම් පහසු කාර්යක් නොවෙයි.”අනේ ළමයෝ ඕවා අගුණයි” කිව්වත් දරුවන් ඒ ගැන තැකීමක් නැහැ. ඒකත් ඉතින් සාධාරණයි. ඊට හේතුව දරුවන්ට මේවායේ තිබෙන බරපතල බව තේරෙන්නෙත් නැහැ. ඒ වගේම සමහර අවස්ථාවලදී දෙමව්පියන්ට වුනත් මේවා නරකයි කියන්නේ ඇයි කියන බවට හේතුඵල සම්බන්ධතාවයකින් යුක්ත දැණුමක් ඇත්තේත් නැහැ. ඒ නිසා ඇත්තටම ආහාර මුල් කර ගෙන මේ වගේ නුසුදුසුකසම් ගොඩ නැගී තිබෙන්නේ ඇයි…ඒ වෙනුවෙන් කතා බහට සම්බන්ධ වුනේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආහාර හා තාක්ෂණ අංශයේ මහාචාර්ය සහ  ශ්‍රි ලංකා පෝෂණ සංගමයේ සංස්කාරක ටෙරන්ස් මදුජිත් මහතා.

ආහාර වෙනුවෙන් ප්‍රියතාවයක් ඇති කරන වර්ණ

අපිට ආහාරයක් දැක්ක ගමන් කන්න හිතෙන්නේ ඒ වෙනුවෙන් යොදා ගෙන තිබෙන වර්ණ වෙතින් ලැබෙන ආකර්ශනය නිසයි. ලෝකයේ හැම රටකම පාහේ ආහාර වෙනුවෙන් වර්ණ එකතු කළත් ඒවායේ පාලනයක් සිද්ධ වෙනවා. අපේ ලංකාවේත් 1980 ආහාර පනත මගින් ශ්‍රි ලංකාවේ ආහාර වෙනුවෙන් රෙගුලාසි පනවා ගෙන තිබෙනවා. 2011 ජනවාරි මාසයේ නිකුත් කරන ලද ගැසට් නිවේදනයට අනුව  ශ්‍රි ලංකාවේ භාවිතයට සුදුසු වර්ණක දහයක් මිනිස් පරිභෝජනයට සුදුසු බව නිර්දේශ කර තිබෙනවා.

රතු Carmoisine car
Ponceau 4 R
Erythrosine
Allura Red
කහ Sunset yellow FcF
Tatrazine
නිල් Indigotine
Indigo carmine
Brilliant blue fcF
කොළ Fast Green

අනුමත වර්ණවලින් වුනත් ඇති වෙන බලපෑම නිසා ආහාර වෙනුවෙන් වඩාත්ම ගැලපෙන්නේ ස්වභාවික වර්ණක කිව්වාට වරදක් නැහැ.

ස්වභාවික වර්ණක යොදාගන්නේ කොහොමද…?

කහ ප්‍රතිපිලිකා වගේම ප්‍රති දැවිලිවලට ගුණ දායකයි. ඒ වගේම ගෙදර දොර ආහාර පිළියෙල කරන විට පොල් ටොෆි සහ ආස්මී වැනි ආහාර වෙනුවෙන් බීට් යුෂ යොදා ගන්නවා. හකුරු සහ සීනි කැරමල් කර ගෙනත් දුඹුරු පැහැය ලබා ගැනීමට පුලුවනි. ඒ හැරුනාම කොචිනිල් යොදා ගැනීමත් සිදු වුණා.

අද වෙළදපොලේ තිබෙන ආකර්ශණීය වර්ණ ගැන සැලකිල්ලක් දැක්වීමට අම්මලා උනන්දු වීම ඉතාම වැදගත් නේද..?

ඔව්..ඇස් කඩාගෙන යන වර්ණක ඉතාම අහිතකරයි. බුන්දි, දෝසි, පැනිවලලු වල තිබෙන වර්ණක සෞඛ්‍යයට අහිතකරයි. සමහර විට රෙදි පිලි වෙනුවෙන් යොදන ඩයි වර්ග පවා යොදා ගෙන තිබෙනවා.

  • ඔබ තෝරා ගත් වර්ණය අදාල ලේබලයේ සඳහන් වර්ණකයද බලන්න, පැණි බීම, රසකැවිලි, බයිට්ස් වැනි ආහාර සීමා කරන්න.
  • නිතරම ලා වර්ණ තෝරා ගන්න.
  • ස්වභාවික වර්ණ වෙනුවෙන් යොමු වෙන්න.
නිසි විදිහට වියලා නොගත් විටත් ඇති වෙන ගැටළු තිබෙනවා..

ආහාර නිසි විදිහට වියලා නොගත් විට ඇති වෙන පුස් සහ දිලීර මගින් විෂ දූලක ඇති වෙනවා. සමහර විට අපි පුස් ඉවත් කරල එහෙම නැත්නම් නැවත බැදලා හෝ වියලා ආහාරයට ගන්නවා වුනත් එය සුදුසු නැහැ. මිරිස්, පොල්, රටකජු , බඩඉරිගු වැනි ආහාර නිසි විදිහට වියලා නොගත් විට ඇති වෙන විෂධූලක ( Aflatoxin )  අක්මාව, සහ වකුගඩු ආශ්‍රිත පිලිකාවන්ට හේතු වෙනවා.

ශීතකරණයෙන් විදුලිය පිරිමැසුවා වගේ නොවෙයි…

ආහාර ගබඩා කිරීමේදී ප්‍රශස්ත උෂ්ණත්වයේ ගබඩා කිරීම ඉතාම වැදගත්. ශීතකරණයක නම් සෙන්ටිග්‍රේඩ් අංශක 4 සහ අධිශීතකරණයක නම් සෙන්ටිග්‍රේඩ් – 18 ක ගබඩා කළ යුතුයි. බොහෝ දෙනා ශීතකරණයේ පාලකය සීරුමාරුකරනවා. එහෙම නැත්නම් විදුලිය පිරිමැසීම වෙනුවෙන් රාත්‍රියට ක්‍රියාවිරහිත කරනවා. ඒ වුනත් මේ තත්වය එතරම් සුදුසු නැහැ. අපිට ආහාරයේ සෞඛ්‍යාරක්ෂිත බව වෙනුවෙන් පිලිගැනීමක් ඇති කිරීමට අපහසුයි.

එකම තෙල් යොදා ගෙන බැදුම් කිරීමත් අවදානම්..

එකම තෙල් නැවත නැවත නැවත යොදා ගැනීම අහිතකර බව අපි දැන සිටියත් ලාබය වෙනුවෙන් සුලු පරිමාණ ව්‍යාපාරිකයන් මේ කටයුත්ත දිගින් දිගටම සිදු කරනවා. පසුගිය දිනවල විශාල ආන්දෝලනයක් ඇති වුන සිද්ධියක් තිබුණා. කුඩා පරිමාණ නිෂ්පාදකයින් මඤ්ඤොක්කා වැනි ආහාර පිළියෙල කරන විට ප්ලාස්ටික් බෝතල් යොදා ගන්නා බවට. මෙවැනි තත්වයන් නිසා ඇති වෙන ආහාරවලට එකතු වෙන අහිතකර විෂ රසායනයන් නිසා පසුකාලීනව බොහෝ සෞඛ්‍ය ගැටලු ඇති වෙන්න පුලුවන්.

එතකොට අපි ගෙදරදී ඉතිරි වෙන බැදුම් තෙල් වෙනුවෙන් මොකද කරන්නේ…

වාරයක් බැද්දාට පස්සේ එහි තිබෙන ආහාර කැබලි ඉවත් කරල වීදුරු බෝතලයක කට ආසන්නයට පුරවා හොදින් වසා වියලි සිසිල් ස්ථානයක තබන්න. එය නැවත එක්වරක් එම සතිය තුළ ගැනීමට පුලුවන්. ඊට වඩා පාවිච්චි නොකළ යුතුයි.

බෝතල් ජලයත් අහිතකරයි..

ගමන් බිමන් යන විට අපි පුරුදු වලා ඉන්නේ කඩපිලෙන් බෝතල් ජලය මිළට ගන්න. ඒත් මේවායේ ඊකෝලි බැක්ටීරියාවන් තිබුන අවස්ථා බොහෝ විට වාර්තා වී තිබෙනවා.ජල සාම්පලවලින් සත්ව සහ මිනිස් අසූචි තිබුන බවට වාර්තා වුණා. ඒ නිසා බෝතල් ජලය ගැන අපිට තහවරු වීමට බැහැ.

වතුර ටිකක් උණුකරගෙන නවලා බෝතලයක අරගෙන යන්න නම් ඉතින් බැරි කමක් අපිට නැහැ..ඒ වුනත් අපේ අම්මලා බලන්නේ පහසුව විතරයි.

සුළං වැදුන අල වර්ගත් සුදුසු නැහැ

විශේෂයෙන් මඤ්ඤොක්කා ආහාරයට ගැනීමේදී මේ ගැන සැලකිල්ලක් දැක්වීම ඉතාම වැදගත්.

තක්කාලි සහ හාල්මැස්සන් එකට පිසීමත් අගුණබවට චෝදනාවන් තිබෙනවා..

තක්කාලි ගුණදායක පළතුරක්. එහි අඩංගු ස්වභාවික “ලයිකොපින්” රසායනය ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරනවා. පිසිනවාට වඩා අමුවෙන් ඉතාම ගුණයි. ඒත් කෘමිනාශක බහුලව යොදන නිසා අමුවෙන් ආහාරයට ගන්නවා නම් අමුගෙඩි ගෙනත් සෝදා දින කීපයක් විවෘත පරිසරයක තැබීමෙන් විෂ රසායනයන් යම් දුරකට අඩු වෙනවා.ඒ වගේම තක්කාලිවල තිබෙන ඔක්සිලින් හාල්මැස්සන්ගේ අන්තර්ගත කැල්සියම් සමග සංයෝග වුනාම කැල්සියම් ඔක්සිලේට් නිපදවන නිසා වකුගඩුගල් හැදෙන ප්‍රවනතාවයක් තිබෙනවා.

කංකුන් කොහිල අල සහ නෙලුම් අල ගැනත් අවදානමක්

මෙම පලා සහ අලවර්ග වැඩෙන්නේ මඩ වගුරු සහිත තැන්වලයි. ඒවායේ බැරලෝහ වැඩියි.පසේ තිබෙන රසදිය , කැන්ඩියම් මේ වගාවන්ට අවශෝෂණය වෙන නිසා සහතික වීමට බැහැ. ඒ නිසා තමන්ගේ නිවසේ ‍මදුරුවන් බෝ නොවන සේ දියකඩක මේවා වගා කර ගැනීම ආරක්ෂිතයි.

Madhujith-150x150

ආහාර විද්‍යා හා තාක්ෂණ අංශයේ සහ ශ්‍රී ලංකා පෝෂණවේදින්ගේ සංගමයේ සංස්කාරක මහාචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා සමග සකසන ලද ලිපියකි.

 

ඔබට මේ ලිපිය උපකාරී  වුනා නේද? ඔබව දැනුවත් කල මේ ලිපිය තවත් පිරිසකගේ දැනුවත් බවට අවැසි නිසාම දැන්ම Share කර ඔබේ යුතුකම ඉටු කරන්න. ස්තුතියි !

SHARE
හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY