දරුවාටත් මොහොතක් සවන් දෙන්න

mother_listen_to_child

දහසකුත් එකක් වැඩ රාජකාරී ඔස්සේ දරුවා විසින් තොරතෝංචියක් නැතුව කියන කතා බහ අසා සිටීම දෙමව්පියන් විදිහට ඔබට කරදරයක් විදිහට හිතෙනවා ඇති. ජීවිතයේ බොහෝ වගකීම් යුතුකම් වෙනුවෙන් යොමුව සිටින ඔබට මේ කතාන්දර අසා සිටීමට තරම් මානසික නිදහසක්ද නැතුවා විය හැකියි. එහෙත් දරුවා ඔබ සමග කියන දේ වෙනුවෙන් සවන්දීම ඔබට අපහසු වුනත් ඒ වෙනුවෙන් කිසියම් කාලවේලාවක් ලබා දීම ඉතාම වැදගත් වෙනවා.

දරුවන්ට එදිනෙදා භාවිතා කරන වචන ගැන කියා දෙන්න

දරුවා බොහෝ දේ වෙනුවෙන් ඔවුන්ටම ආවේනික ශබ්ද කෝෂයක් ගොඩ නගා ගෙන ඇත. තමාට ඇහෙන දේ තුලින් ඔහු මේ ශබ්ද කෝෂය ගොඩ නගා ගත්තද  ඇතැම් දේ වෙනුවෙන් නමක් තබන්නනට දරුවාට ඒ ගැන වැටහීමක් නොවන්නනට පුලුවනි. මේ නිසා ආගන්තුක වස්තුන් වෙනුවෙන් දරුවාට හදුන්වාදී ඒවායේ නම් පිලිබඳව යම් වැටහීමක් ලබා දීමට නම් දරුවාගේ සංවාද වෙනුවෙන් සවන්දීම ඉතාම වැදගත් කටයුත්තක්.

දරුවා සමග සාකච්ඡාවේ යෙදෙන්න

නිවසට පැමිණෙන ඔබ දරුවා සමග කතා බහ කිරීම ඉතාම වැදගත් වෙනවා. අතීතයේදී තොටිල්ලේ සිටින දරුවාට වුනත් “උක්කුං” ,යනුවෙන් හෝ නිවසට එන අමුත්තන් පවා ආමන්ත්‍රනය කරනු ලැබුවා. අද කුඩා දරුවන් වෙනුවෙන් ඒ තරම් පිලිගැනීමක් නැහැ. මව්පියන්ගේ පහසුව වෙනුවෙන් තොටිලි වැටේ ආරක්ෂිතව තබා ගැනීම විනා දරුවා සමජයට හදුන්වා දීමට අද දවසේ මව්පියන් එතරම් උනන්දුවක් දක්වන්නේ නැහැ. මේ නිසා නිතරම ඔබ දරුවා සමග සංවාදයන් ගොඩ නගන්නනට උත්සාහ ගන්න. එය දරුවාගේ මානසික සංවර්ධනයට වඩාත් හිතකර තත්වයක් වන්නේ තමා සමග කථා බහට යම් යම් අය එකතු වීම නිසා දරුවා හුදෙකලා වීම නොදැනීම මග හැරෙනු ඇත.

දරුවා කියන දේ වෙනුවෙන් උනන්දු වෙන්න

දරුවා විසින් කරන කතා බහ තුළ ඔබට කිසිම වටිනාකමක් නැති විය හැකිය. ඇතැම් විටෙක මේවාට පිලිතුරු ලබා දිය නොහැකි ප්‍රශ්න විය හැකියි. එදා දරුවන් බොහෝ ප්‍රශ්න පරිසරය ඇසුරෙන් නැගූහ. වළාකුලු යන්නේ කොහැටද……? වැස්ස එන්නේ කොහොමද….? කුරුල්ලෝ රෑට නිදන්නේ කොහේද….? එදවස දරුවන්ට තිබුන ගැටලු මේවාය. ඒත් අද කුරුල්ලෙක් , ගහක් , කොළක් මලක් නොදකින දරුවාට මෙවන් ප්‍රහ්න නැතුවා විය හැකියි. ඒත් අද දවසට ගැලපෙන ප්‍රශ්න තිබිය හැකියි. ඒ වෙනුවෙන් පිලිතුරු දීමට ඔබ සූදානමින් සිටීමත් ඉතා වැදගත්. යම් හෙයකින් දරුවාගේ විමසීම් ඔබ නොතකා හරින්නේ නම් එයින් පෙනී යන්නේ ඔබ දරුවා වෙනුවෙන් හොද සවන් දෙන්නෙක් නොවන බවයි.

දරුවාගෙන්ද ප්‍රශ්න කරන්න

දරුවා වෙනුවෙන් ඔබ හොද සවන් දෙන්නෙක් බැව් තේරුම් යන්නේ  ඔහුගේ සංවාදය වෙනුවෙන් මව්පියන්ද සම්බන්ධ වීමෙන්ය. ඒ නිසා නිතරම ඔබත් දරුවාගෙන් ප්‍රශ්න කරන්න. එවිට තමාගේ සංවාදයට මව්පියන්ගේ දායකත්වය ලැබෙන බැව් පමණක් නොව ඔවුන් ඉතා හොදින් දරුවාට සවන් දුන් බැව් ඔවුන්ට තේරුම් ගනු ඇත. මේ නිසා ඔබත් දරුවාගෙන් යම් යම් ප්‍රශ්න විමසන්න. එවිට තමාගේ සංවාදයේ හොදම හවුල් කරුවා තමාගේම දෙමව්පියන් බැව් දරුවා විසින් තේරුම් ගනු ඇත.

දරුවන් කියන දේ අපහැදිලි වුනොත්…

දරුවන්ගේ සිතුවිලි විටෙක ඔබට තේරුම් ගත හැකි සේ පැවසීම අපහසු අවස්ථාවන් ඇත. තේරෙන භාෂාවෙන් කියන්න…මොකක්ද කියන්නේ කියල මට තේරෙන්නේ නැහැ…මේ විදිහට ඔබේ ප්‍රකාශ සාජු ලෙසින්ම චෝදනා සේ දරුවා වෙත එල්ල වුනොත් එයින් දරුවාට ඇති වෙන්නේ මහත් වූ වෙහෙසකි. තමාගේ අදහස් මව්පියන්ට පැවසීම අවශ්‍ය වුනත් ඒවා තේරුම් ගැනීමට නොහැකිව චෝදනා ලබන විට ඇති වෙන්නේ දැඩි අපහසුතාවයකි. ඒ නිසා නිතරම අපැහැදිලි දෙය සීරුවෙන් පැහැදිලි කර ගනු විනා දරුවන්ට  චෝදනා නොකළ යුතුය.

මටත් ශක්තියක් තිබෙනවා

යම් ලෙසකින් දරුවා තතන තතනා කියන දේ මව්පියන් අසීරුවෙන් වුනත් තේරුම් ගන්නවා නම් දරුවාගේ හිතට කිසියම් ශක්තියක් ලැබෙනු ඇත. මා කියන දේ තේරුම් ගෙන ඒ වෙනුවෙන් කටයුතු කිරීමට මව්පියන් සූදානම් බැව් එහිදී ඒත්තු යන ඇත. මේ නිසා දරුවාගේ හිතේ ගොඩ නැගෙන ශක්තිය ඔවුන්ගේ අනාගතය වෙනුවෙන්ද වඩාත් වැදගත් වෙනු ඇත.

කිසිම විටෙක සමච්චල් නොකරන්න

දරුවන්ගේ වාග් කෝෂය ඉතා සීමිතය. මේ නිසා ඔවුන් හිතට එන දේ ඒ අන්දමින්ම ප්‍රකාශ කරනු ඇති. එවන් අවස්ථාවලදී සමච්චල් කිරීම හෝ දොස් නැගීම එතරම් හො  කටයුත්තක් නොවේ. “මම කී දවසක් කියල තියෙනවාද….?” මේ අන්දමින් නැගෙන දෝසාරෝපනයන් කිසිම දිනක එල්ල කරන්න එපා. වේලාවේ හැටියට ඔහුට සවන් දෙන්න. දරුවා කරදරකාරයෙක් යැයි නොසිතන්න.

තරහ මුහුණත් එපා

එකම දේ පුන පුනා අසන විට දෙමව්පියන්ටත් එක්තරා විදිහකට කෝපයක් ඇති වෙනවා ඒත් ඔබ එසේ කෝප ගැනීමෙන් දරුවා අසරණ වෙන නිසා ඉවසීමෙන් ඔවුන්ට සවන් දෙන්න. ඔබ දරුවාගේ සංවාද නොරිසි බව තේරුම් ගිය විට ඔවුන් සියල්ලම හිතේ දරාගෙන සිටිනු ඇත. ඒ නිසා අනාගතයේචිත් දරුවන් සහ දෙමව්පියන් අතර ඇති වෙන සංවාදය ඉතාම සීමිතව වචන දෙක තුනකට සීමා වීමට තරම් තත්වය නරක අතට හැරෙන්නට පුලුවන්.

ඔබට මේ ලිපිය උපකාරී  වුනා නේද? ඔබව දැනුවත් කල මේ ලිපිය තවත් පිරිසකගේ දැනුවත් බවට අවැසි නිසාම දැන්ම Share කර ඔබේ යුතුකම ඉටු කරන්න. ස්තුතියි !

SHARE

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY