දෙවෙනි දරු පැටියා ලැබුනම වැඩිමල් දරුවාට සැලකිය යුත්තේ මෙහෙමයි

parents_ignoring_elder_child

පවුලකට අලුත් සාමාජිකයෙක් එක්වීම නිසා වැඩිමහල් දරුවා බෙහෙවින් මානසික පසුබෑමකට පත් වෙන අවස්ථාවන් තිබෙනවා. දරුවන්ගේ පැත්තෙන් එය ඉතාම සාධාරන සහ සාමාන්‍ය සිදුවීමක්…ඇත්තටම කියනවා නම් කවුද අකමැති ආදරය ලබන්න. ඒ වුනත් අලුත් දරුවෙක් පවුලට එකතු වුනාම වැඩිහිටියන් වුනත් කියන්නේ පුංචි කමට නොවෙයි ඉරිසියාව…තමන්ගේ සහෝදරයා හෝ සහෝදරියටවත් ආදරයක් නැති හැටි ….ඔබ දරුවාට මේ විදිහට චෝදනා නගනවා නම් එය ඇත්තටම වැරදියි.

අලුත් දරුවෙක් එකතු වුනාම වැඩිමහල් දරුවා අවතැන් වෙනවාද…?

මේ ගැන හොදින්ම දන්නේ වැඩිහිටියන්. එක්තරා අතකින් ඔවුන්ද සාධාරනයි. දරු ප්‍රසුතියෙන් පසුව අම්මාගේ ලෝකය අලුත්. ඇය කායික මෙන්ම මානසික ලෙසින්ද යම් වෙනස්වීමකට පත්ව සිටිනවා. ඒ නිසා නිතරම පවුලේ සෙසු උදවිය හෝ වැඩිමහල් දරුවා සමග කාලය ගෙවන්නට උත්සාහ ගත යුතුයි. එහෙම නැති වුනොත්

“ඉස්සර මට තිබුන ආදරය දැන් නැතැයි” යන ආත්මානුකම්පාවෙන් ඔහුගේ හිත වේදනාවට පත් වීම අරුමයක් නොවේ. මේ තත්වය එතැනින් නවතින්නේ නැහැ. දැන් මට කාත් කවුරුවත්ම නැහැ යන ආත්මීය හෝකයෙන් ඔහුගේ හිත පිරෙනවා. ඒ සියල්ලටම හේතුව අලුතින් පවුලට එක් වුන නංගී හෝ මල්ලී බව තේරුම් යන නිසාම එතැන් පටන්ම බාල දරුවාට වෛර කිරීමට පටන් ගන්නවා. ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ ඉතාම කල්පනාකාරීව කටයුතු කිරීම ඉතාම වැදගත්.

ඉතින් පොඩි එකාට නොසලකා ඉන්නයැ…

ඒක ඇත්ත… ඒ වුනත් ඔබ වැඩිමහල් දරුවාගේ හිත කියවීමටත් පුරුදු වෙන්න. ඔහු හෝ ඇය වැඩිහිටියෙක් මෙන් හිතන්නේ පතන්නේ නැහැ. ඒ නිසා අලුත් සාමාජිකයෙක් එක් වෙන බව කල් තබාම දැනුම් දෙන්න. එයින් ඇති වෙන වාසි කියා දෙන්න.

  • දැන් ඔයාටම නංගියෙක් හෝ මල්ලියෙක් ඉන්නවා.
  • පුතාට තනියක් නැහැ.
  • ලොකු වුනාම උදව් කරාවි.
  • නංගිට හෝ මල්ලිට ආදරයෙන් ඉන්න ඕන..එතකොට අපි ඔයාටත් ගොඩාක් ආදරෙයි.

මේ අන්දමින් අලුත් සාමාජිකයා පැමිනෙන පනිවිඩය සමග එයින් ලැබෙන වාසි ගැන කියා දෙන්න. එවිට වැඩිමහල් දරුවාගේ හිතේ කිසියම් වගකීම් සහගත බවක් ඇති වෙනු ඇත.

අම්මයි තාත්තයි ගොඩක් ආදරෙයි

දෙමව්පියන්ගේ ආදරයට සීමාවක් නැහැ. ඒක ඇත්ත වුනත් ඒ බව වැඩිමහල් දරුවාගේ හිතට දැනෙන සේ පෙන්වන්න. ඉස්සරට වඩා ඔහු ගැන අවධානය දෙන්න. ඊට හේතුව දැන් ඔහු අවධානය ගැනීම වෙනුවෙන් විවිධ විදිහට කටයුතු කරනු ඇති. ඒවාට උරන නොවන්න. අපි ඔයාට ගොඩාක් ආදරෙයි…යන්න ඒත්තු ගන්වන්න.

මල්ලිට නංගිට අපි උදව් වෙන්න එපායැ..

දැන් ඔයා ලොකුයි අපිට පොඩි එකා ගැන බලන්න ඕන..අලි බබාලා හුරතල් කරන්න බැහැයි කියමින් කිසිදු දිනක වැඩිමහල් දරුවා ප්‍රතික්ෂෙප නොකරන්න. ඔයත් පුංචි කාලයේ මේ වගේ හිටියේ. අම්මයි තාත්තයි හුගක් මහන්සි වෙලා තමායි පුතා හෝ දුව ලොකු කර ගත්තේ …දැන් ඉතින් අපි නංගිට/ මල්ලිටත් එහෙම උදව් වෙන්න එපැයැ නේද…? යනුවෙන් ඔහුට මේ කටයුතු සාධාරන කර දෙන්න.

වැඩිමහල් දරුවාගෙන්ද උදව් ගන්න

බොහෝ මව්පියන් බාල දරුවාගේ බිහිවීම සමග වැඩිමහල් දරුවා බෙහෙවින් පසුපසට දමන්නේ ඔහු කරදකාරයෙක් ලෙසින් සිතමින්ය. ඒත් ඔබ යම් යම් දෙයට ඔවුන් සහභාගී කරගන්න. ඇතැම් අවස්ථාවන්හිදී බාලදරුවාගේ රෙදි වෙනුවෙන් විෂබීජනාශක දියර ඉසින විට වැඩිමහල් දරුවාද තමාගේ ඇදුම් වෙනුවෙන්ද ඒ ලෙසින් කරන ලෙස ඉල්ලා සිටිනු ඇති. එවිට ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂෙප කොනොට එහෙම නම් පුතා ගිහින් මේ රෙදි ටික ගෙට දාන්නකෝ…ලෙසින් උදව් ඉල්ලා සිටින්න. එවිට තමාටත් නිවසේ තැනැක් ඇති බැව් ඔහු තේරුම් ගනු ඇත.

වැඩිමහල් දරුවාගේ දිනචරියාව වෙනස් නොකරන්න

වැඩිමහල් දරුවාගේ දිනචරියාව බාල දරුවා නිසා වෙනස් වෙන බව දැනුනොත් එයින් ඔහු වඩාත් අප්‍රසාදය ගොඩ නගා ගන්නේ බාල දරුවා සමගය. “මට මේ නිවසේ තිබුන නිදහස, අයිතිය මල්ලි/ නංගි නිසා නැති වුනා..” යැයි සිතීම පෙරලා වෛරයක් බවට පත් වනු ඇත ඒ නිසා නිතරම වැඩිමහල් දරුවාගේ දිනචරියාව වෙනස් කිරීමට උත්සාහ නොකරන්න. බොහෝ දෙමව්පියන් “කෑ ගහන්න එපා… මල්ලි ඇහැරෙයි…ඉක්මනට කන්න…මල්ලි නැගිටියි….දැන් සෙල්ලම් කරන්න එපා මල්ලි නිදාගන්න ලෑස්තියි..” මේ අන්දමින් වාරන පැනවීමට නොයන්න.දරුවන් එය රුස්සන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ පෙරදා පැවැති නිදහසයි..ස්වාධීනත්වයයි. ඒ නිසා ඔබ නිතරම සීමාවන් පනවන්න එපා.

පවුලක් ලස්සන වෙන්න නංගියෙක් මල්ලියෙක් එපායැ…

දරුවන්ට නිතරම තවත් කුඩා දරුවන් ගැන පෙන්වා දෙන්න. දරුවන්ගේ එකතුව වඩාත් අලංකාර බැව් කියන්න. බෝනික්කන් සමග පවා සෙල්ලම් කරන විට තවත් බෝනික්කන් පවුලේ සාමාජිකයන් විදිහට පෙන්වා දෙන්න. එවිට තමා පමණක් නොව මෙම පවුලට තවත් සාමාජිකයන්ගේ පැමිනීම අවශ්‍ය බවත්, ඒ වෙනුවෙන් ඉඩ දීම අවශ්‍ය බවත් තේරුම් ගනු ඇත. එවිට නංගියෙක් /මල්ලියෙක් ලද විටක වැඩිමහල් දරුවාද පෙරසේම සතුටින් ජීවිතය ගත කරනු ඇත.

ඔබට මේ ලිපිය උපකාරී  වුනා නේද? ඔබව දැනුවත් කල මේ ලිපිය තවත් පිරිසකගේ දැනුවත් බවට අවැසි නිසාම දැන්ම Share කර ඔබේ යුතුකම ඉටු කරන්න. ස්තුතියි !

SHARE

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY