දරුවාටත් සැලසුමක් ඇතුව වැඩ කටයුතු කිරීමට පුරුදු කරන්න

children_are_playing

ඔබ දුටුගැමුණු කුමාරයාගේ කථාන්දර බොහෝ අසා ඇති. එයින් එක් කතාවක කියැවෙන්නේ දුටුගැමුණු කුමාරයා කොත්මලේ ප්‍රදේශයේ සිටින විට දිනක් මහලු අත්තම්මා කෙනෙකුගේ නිවසට ගියේ අධික මහන්සිය සහ කුසගිනි දැනුන මොහොතකය. ඒ බව දැන ගත් මහලු අත්තම්මා මේ දුටුගැමුණු කුමාරයා බව නොදැන උණු බත් පිගානක් බෙදා දී ඇත. කුසගින්න නිසා තැනක් නොතැනක් නැතුව බත් පිගානෙන් බත් කන කුමාරයා දැක අත්තම්මා මෙසේ කීවාය..පුතා හරියට ගැමුණු කුමාරයා යුද්ධ කරනවා වගේ කිසිම සැලසුමක් පිලිවෙලක් නැහැ…කී විට ගැමුණු කුමාරාටත් තේරුම් ගියේ තමාගේ සැලසුම දුර්වල බවයි. එතැනින් නික්ම ගිය කුමාරයා පූර්ව සැලසුම් සහිතව කටයුතු කර යුද්ධය ජයගත් අතර ඒ අත්තම්මා වෙනුවෙන් කොත්මලේ ප්‍රදේශයෙන් “අපරැක්ක” යනුවෙන් ගම්වරයක්ද ප්‍රධානය කරන ලදී. මේ සිදුවීම අපටත් අපගේ දරුවන්ටත් සාධාරනය. ඒ නිසා සැලසුමක් ඇතුව කටයුතු කිරීමට දරුවන් බාල කාලයේ පටන්ම පුරුදු කිරීම ඉතාම වැදගත් වෙනවා.

සැලසුම කියන්නේ බර වචනයක්…

වචනය එහෙම වුනත් බාල කාලයේ පටන්ම පිලිවෙලකට වැඩ කටයුතු කලොත් සැලසුම එතරම් අපූරු දෙයක් නොවෙයි…ඒ නිසා කුඩා කාලයේ පටන් ම දරුවන්ට සංවිධානාත්මකව කටයුතු කිරීමට පුරුදු කරන්න. මෙය ඔහුගේ එදිනෙදා වැඩ කටයුතු තුලින් ආරම්භ කරන්න.

සංවිධානය

දරුවන් සෙල්ලම් කරන විට ඔහුගේ ක්‍රිඩා උපකරණ සමීප කර ගැනීමට කියා දෙන්න. ක්‍රිඩාවට පෙරාතුවම අවශ්‍ය දේ එක් රැස් කර ගත් විට එතැනින් ඔබ්බට සෙල්ලම සම්බන්ධ කර ගැනීමට ඔවුන්ට අපහසුතාවයක් නැත. යම් කටයුත්තක් කිරීමට පෙරාතුව අනිවාර්යෙන්ම විය යුත්තේ එයයි. එම පුරුද්ද දරුවාට බාල කාලයේ පටන්ම ගොඩ නැගීමට මව්පියන් උත්සාහ ගත යුතුයි.

එම කාර්යයයේ නිතර වීම

බොහෝ දරුවන්ට තිබෙන ගැටළු අතරින් එකම කාර්යක් වෙනුවෙන් අවධානය දැක්වීමට තිබෙන අපහසුතාවය නිසා ඔවුන්ගේ කටයුතු අවුල් සහගත වෙනු ඇත. එය දරුවන්ගේ සාමාන්‍ය හැසිරීම් රටාව වුනත් මේ පුරුදු ඔවුන් සමග ඉදිරි අනාගතයටත් බලපාන බැවින් නිතරම දරුවන්ට එක් අවස්තාවක එක් දෙයක් වෙනුවෙන් අවධානය දැක්වීමට කියා දෙන්න. හිත අනවශ්‍ය ලෙසින් විසිරී ගිය විට එකදු කාර්යක්වත් සාර්ථක නොවන බව කියා දෙන්න. මේ සංවිධානාත්මක බව ගොඩ නැගීම දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන්ද වඩාත් ප්‍රායෝගික ලෙසින් සම්බන්ධ කර ගැනීමට හැකියාව ඇත. ඇතැම් දරුවන් පංති කාමරයේදී වඩාත් දෝෂාරෝපනයට ලක් වෙන්නේ පාඩම වෙනුවෙන් අවධානය නොදැක්වීම සම්බන්ධවයි. ඒ වෙනුවෙන් වූ හුරුව නිවසේදීම දෙමව්පියන්ට ගොඩ නැගීමට හැකියාව ඇත.

වැඩ අවසාන වූ පසුව ක්‍රිඩාව හෝ පාසලේ වැඩ කටයුතු අවසාන වූ පසුව සියල්ල අස් කර තැබීමට උපදෙස් දෙන්න. සෙල්ලම සමග උපකරණ සියල්ල සී සීකඩ දමා නොයන සේ ඔහු හුරු කරන්න. එසේ අස් නොකරන පුරුද්ද නිසා තමාගේ උපකරණ නාස්ති වීමට , නැති වීමට තිබෙන අවස්තාවන් ගැන කියා දෙන්න. ඒ නිසා කටයුතු අවසානයේදී නිසි තැන තබන්නනට පුරුදු කිරීම දරුවාගේ සංවිධානය සහ සැලසුම් සහගතබව ගොඩ නැගීමට වඩාත් හේතු වේ.

පුරුදු ගොඩ නැගීම පහසු නැහැ

ඇත්තටම දරුවන්ට සංවිධානය සහ සැලසුම වැනි පුරුදු ‍ඇති කිරීම වඩාත් හොද වුනත් මේවා ගොඩ නැගීම පහසු නැහැ. ඒ වගේම එක් රැයකින් කරන්න පුලුවන් දෙයකුත් නොවෙයි. ඒ නිසා ඔබ මුලින්ම දරුවා කරන කටයුතු වෙනුවෙන් ආශාවක් ඇති කරන්න.

සමහර විට අමාරු කාර්යක් නම්

දරුවන්ගේ වයසට අනුව ඔවුන්ට කළ හැකි මට්ටමක් තිබෙනවා. ඒ නිසා ඇතැම් දේ ඔවුන්ට ආරම්භ කරන ලද ශක්තියෙන්ම ඉදිරියට යා නොහැකි නිසා ඔවුන් අතරමගදී අත්හැර දැමීමට පෙළඹෙනු ඇත. එවන් අවස්ථාවලදී ඔබේ සහයෝගය ලබා දෙන්න. අසීරු තැන් ඔබ තේරුම් ගෙන ඒ වෙනුවෙන් අවශ්‍ය ධෛර්ය ලබා දීමට උනන්දු වෙන්න.

සූදානම පටිය, බැජ් , වැනි දේ රාත්‍රියේ සොයා තැබීමෙන් උදේ කාලය ඉතිරි වෙන බව පැහැදිලිව පහදා දෙන්න. බොහෝ නිවෙස්වලින් උදේට ඇසෙන මේ ගෝරනාඩුව ඔබටත් හුරු ඇති…”මගේ මේස් එකක් නැහැ…” “මගේ රිබන් එක කෝ…” මෙවැනි සුලු දෙයින් බොහෝ කාලයක් වැය වෙන නිසා පසුදින උදය වෙනුවෙන් පෙර සූදානම ඉතා වටිනා බැව් කියා දෙන්න.වචනයට වුවත් කියන අවදානමට වඩා සූදානම වැදගත් බැව් දරුවාටත් කියා දෙන්න.

සැලසුමක් වැරදුන විට උදව්වට සිටින බව කියන්න

දරුවා විසින් ගොඩ නගන සැලසුම යම් හෙයකින් වැරදෙන්නට පුලුවන් වුනත් වැරදුන පසුව දොස් නැගීමට නොයන්න. වැරදුන තැනින් ඔබ ඔහුට යා යුතු මග කියන්න. දරුවාගේ සැලසුම තුල ඇති දෝෂ අඩුපාඩු වෙතොත් එය නිවරැදි කරන්න. නොවැටී ඉදිරියට ගිය කෙනෙක් නැත හැම ජයග්‍රහනයක්ම සිදුව ඇත්තේ වැටි වැටී නැගී සිටීම සහ සැලසුමක් සහිතව තම කටයුතු කිරීම නිසා බැව් දරුවන්ටත් කියා දෙන්න. එවිට දරුවා තුලින්ද සාර්ථක සැලසුමක් නැවත නිර්මානය වෙනු ඇත.

ඔබට මේ ලිපිය උපකාරී  වුනා නේද? ඔබව දැනුවත් කල මේ ලිපිය තවත් පිරිසකගේ දැනුවත් බවට අවැසි නිසාම දැන්ම Share කර ඔබේ යුතුකම ඉටු කරන්න. ස්තුතියි !

SHARE

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY