බදාගෙන කන එකෙයි බෙදාගෙන කන එකෙයි වෙනස දරුවන්ට කියාදෙන්නේ මෙහෙමයි

sharing_with_others
” මේ ගසේ බොහෝ
පැණි දොඩම් තිබේ
නංගිටයි මටයිගෙඩි දෙකක් ඇති
වැඩිය කඩන නරක ළමයි
එහෙම නොවේ අපී…”

1930 ගණන්වල සිට අපේ සමාජයේ දරුවන් අතර පැවැති මෙම කෙටි පැදිය දරුවන්ගේ ගුණධර්ම පෝෂණයට ලබා දුන්නේ මහත් රුකුලක්. තවමත් මල්පල බරින් යුත් ගහක් වෙත ගිය විට අපේ හිතට දැනෙන්නේ ප්‍රවේසමෙන් පල නෙලා ගත යුතු අන්දම වගේම බෙදා හදා ගෙන ජීවත්වීමේ වටිනාකමයි. ඒත් අද දරුවන් තුළ තිබෙන්නේ බෙදා ගැනීම නොව බදා ගැනීමයි. මේ ගැන ඔබටත් සමාජයෙන් ඕනෑ තරම් උදාහරණ සපයා ගත හැකියි. මෑතකදී මා ඇසූ කවි පද කිහිපයකින් අද සමාජය දරුවන්ට ලබා දෙන ආදර්ශය ගැන මටම පුදුම හිතුනා.

“පැලයක් සිටවන්න
ඵලයක් ලැබ ගන්න
මුදලට විකුනන්න
සතුටක් ලැබ ගන්න…”

ව්‍යාපාරික ලෝකයට මෙය සැබෑවක් වුනත් අපේ අම්මලා , අත්තම්මලා ගසක් හිටුවා සතුටක් ලැබුවේ වෙනත් විදිහකටයි. කුරුල්ලෙක් ඇවිත් ඉදුන ගෙඩි ආහාරයට ගන්නා විට ඔවුන් මහත් සේ සතුටු වුණා. ගමේ සෙල්ලම් කරන දරුවන් ඇවිත් “ජම්බු ටිකක් කඩා ගන්නද නැන්දේ….” ඇහුවාම කිසිම සීමාවක් තිබුනේ නැහැ. ඇති තරම් කඩා ගත්තා. පාර තොටේ වුනත් මල් පැලයක් හිටුවලා කිව්වේ පන්සලට යන එන කෙනෙක් හරි මලක් කඩා ගන්නේ නැතෑ…කියලයි. ඒ වගේ හිතේ තිබුන බෙදා හදා ගැනීම ඉතාම අපූරු විදිහට ඔවුන්ගෙන් ප්‍රදර්ශනය වුනේ එහෙමයි.ඒ නිසාම ඔවුන්ගේ සෙවෙන‍ෙ හැදුන වැඩුන අයටත් බදා හදා ගැනීමේ ගුණ නොඅඩුව ජීවිතයට සම්බන්ධව තිබුණා.

අද දරුවන්ට මේ වගේ පුංචි කවි පද ගැන දැණුමක් ඇත්තේම නැහැ. අම්මලාට වුනත් එවන් ආදර්ශමත් සාහිත්‍යයෙන් දරුවන් පෝෂණය කිරීමට අවශ්‍යතාවයක් ඇත්තෙත් නැහැ.

ඒ වගේම කවි , කථන්දර කියන්න අම්මලා දරුවන් එකට එකතු වෙන්නෙත් නැහැ

අද මව්පිය දූ දරුවන් අතර එකට හමුවක් වෙතොත් ඒ රූපවාහිනිය බලන විට පමණයි. ඒත් කතා බහක් නොමැතිව මේ දෙපැය ගෙවෙන්නේ කතාවට දැහැන්ගත වෙන නිසයා. එදා පවුලක අත්තම්මා, නැන්දා, පුංචිඅම්මා වැනි චරිත ජීවත්වුන නිසා ඔවුන් කුඩා දරුවන්ට මේ වගේ හොඳ ගුණධර්ම දැනෙන කවි පද කියා දුන්නා.

මව්පියන් කියාදෙන්නෙත් තනිවම ජීවත්වෙන්න..

අද මව්පියන් දරුවන්ට කියා දෙන්නෙත් බෙදා ගැනීම නොව බදා ගැනීමයි. වෙනතක් තබා පාසලට නොපැමිණෙණ පංතියේ මිතුරෙකුට වුනත් පාඩම් සටහනක් ලබා නොදෙන ලෙස ඔවුන් දරුවන්ට තරයේ අවවාද කරනවා.

පොත් නැති වුනොත්…

ඔව් ඒකත් ඇතත් සමහර දරුවන් පොත් පත් අරගෙන ගිහින් නැති නාස්ති කරන අවස්ථාවන්ද නැතුවාම නොවෙයි. ඊට හේතු වෙන්නෙත් තව කෙනෙක් ගැන හිතන සංවේදි සිතුවිලි නැති එකයි. ඔබ දරුවාට තවත් කෙනෙක් ගැන හිතන්න උපදෙස් නොදෙනාව වගේම සෙසු දරුවන්ගෙත් තිබෙන්නේ ඒ විදිහේ සිතුවිලියි.මේ නිසා සමහර දෙමව්පියන් දරුවා පාසලට නොගිය විට ඔවුන් පංතියට පැමිණ සටහන් සහ ගෙදරවැඩ ඉල්ලා ගෙන යෑමට  සිදුවෙලා. ඒත් අද වගේසන්නිවේදනයන් නොතිබුන කාලයක පාසල් නොගිය දිනට අසල්වැසි මිතුරු සමාගම ඒ නොගිය අයගේ  නිවසටම ගොස් දවසේ කරන ලද වැඩ කටයුතු ගැන බෙදා හදා ගත්තා.

ඇයි එහෙම කියන්නේ අදටත් සමහර දෙමව්පියන් ඡායා පිටපත් අ‍රගෙනත් දෙනවා

ඇගිලි පහම එක සමාන නාහැ කියන්නා වගේ ඇතැම් දෙමව්පියන් පාසල් නොගිය තම දරුවාගේ මිතුරන් වෙනුවෙන් අවශ්‍ය සටහන් ආදිය එවුන්ගේ වියදමෙන්ම ඡායාපිටපත් අගෙන දෙනන් තරමටත් උනන්දුයි. එහෙම අයත් නැතුවාම නොවෙයි.

සහජීවනය නැති දරුවන් නිර්මානය කලොත් ඔබත් අසීරුවට

බාල කාලයේ පටන්ම බෙදා හදා ගෙන එකට එක්ව ජීවත්වීමට අද ඉගැන්වුවේ නැත්නම් හෙට දවසේ ඔබේ දරුවාගෙන් ඔබත් පීඩා විදිනු ඇත. ඊට හේතුව වන්නේ ඔවුන් සමග මේ ගතිගුණ වැඩෙන නිසා එයින් අනාගතයේදී ඔබටත් බැට කෑමට සිදු වෙනු ඇත.සහයෝගයක් නොමැතිව ජීවත්වෙන දරුවා තුළ ගොඩ නැගෙන ආත්මාර්ථකාමී ගති පැවතුම් නිසා ඔවුන් තම පවුලේ උදවිය අතර පවා සහයෝගයක් නොමැතිව ජීවත්වෙන පිරිසක් බවට පත් වෙනු ඇත. මේ නිසා ඔබේ දරුවා අනාගතයේදී “ආත්මාර්ථකාමී” චරිතයක් ලෙසින් සමාජගත වෙනවාට වඩා බෙදාහදාගන්නා ඉතාම යහපත් අයෙක් ලෙසින් සමාජයට දායාද කිරීමට නම් බාලේ පටන්ම බෙදා හදා ගැනීම ඔවුන්ට පුරුදු කරන්න.

ඔබට මේ ලිපිය උපකාරී  වුනා නේද? ඔබව දැනුවත් කල මේ ලිපිය තවත් පිරිසකගේ දැනුවත් බවට අවැසි නිසාම දැන්ම Share කර ඔබේ යුතුකම ඉටු කරන්න. ස්තුතියි !

SHARE

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY