අතීතයේදී කිරි මවට වූ තහංචි අද කාලේ කිරි මවටත් හරියටම ගැලපෙන්නේ මේ නිසයි

mother_giving_milk_to_baby

අද අම්මලාට දරුවන්ට කිරි පොවන විට තැනක් නොතැනක් නොතිබුනත් එදා අම්මලා තමන්ගේ දරු පැටියාට කිරි පොවන විට අනුගමනය කරන ලද පිළිපැදීම් බොහොමයක් තිබුණා. එදා නිවසක වැඩිහිටි කාන්තාවන්  දරු උපත ලද කාන්තාව සමග සමීපව සම්බන්ධතාවයන් දක්වන ලද නිසාම ඔවුන්ගේ අවධානය නවදරු උපත ලද කාන්තාව වෙත යොමු වුනා. ඒ නිසා දරුවාට කිරි පොවන විට පැනවුන තහංචි කීපයක්ම තිබුණා.

  • දොරකඩ හෝ පිලමත සිට කිරි දීම
  • ඉදිකඩුල්ල පෙනෙන තැනක කිරි දීම
  • අම්මා දිය නාගත් විගස කිරි දීම

ඒ වගේම දරු ප්‍රසුතිවයෙන් මාස හතරක්  ගෙවෙන තෙක් දියනෑමට අවසර ලැබුනේ ඉර මද්දහනට පැමිණීමට පෙරාතුවයි. හවස් යාමයේදී දියනෑම අගුණ ලෙසින් සැලකුනා. දිවා කාලයේ වුනත් දිය නා ගෙන තෙත කෙස් පිටින් දරුවාට කිරි පොවන්න අවසර දුන්නේ නැහැ. කිරි පොවන විට හිසකෙස් හොදින් බැඳ ගන්න උපදෙස් දුන්නා. ඒ විදිහට උපදෙස් ලබා දුන්නේ යම් විදිහකින් ගිලිහෙන කෙස් දරුවාගේ මුඛයේ වැටෙන්නනට ඉඩ තිබෙන නිසයි.

කිරි පොවන විට පිරිමින්ට පෙනන්න කිරි දුන්නේ නැහැ. අද කාන්තාවන්ට මාස හතරක් ගෙවෙන තෙක් ප්‍රසුත නිවාඩු ලබා දෙන්නා සේම එදා කාන්තාවන් දරුවා ලැබී මාස හතරක් ගෙවෙන තෙක්  කුඹුරේ වැඩට ගියේ නැහැ.

තනිපංගලමේ කිරි පොවනවානම් කිරි ස්වල්පයක් ඇඟිල්ලට ගෙන කෙළ ගා ඉවත දැමියි යුතුයි. දරුවා ලැබී මාස හතරක් ගෙවෙන තෙක් දරුවාට අවශ්‍ය විදිහට පෝෂණය ලබා දිය යුතු නිසාම මේ විදිහට තහංචි ඔවුන් නොදැනම වුනත් සමාජයෙන්ම බිහි වී තිබුණා.  ඇයට අයත් කුඹුරු  කොටස්වල වැඩ කටයුතු සිද්ධ කරන ලද්දේ වෙනත් කාන්තාවන් විසිනුයි. ඒ වෙනුවෙනුත් හේතුවක් තිබුණා.

සිංහල අලුත් අවුරුදු කාලයේදී කිරි දෙන අම්මෙක් සිටින විට ඇගේ නිවසේ ගොමමැටිගෑම, වහල සෙවිලි කිරීම, වැනි කටයුතු සඳහා ගමේ උදවිය සහභාගි වුනා.දරුවාට කිරි දෙන අම්මා තෙල් වළං අද්දර සිටීමත් අනුමත දෙයක් නොවේ. ඒ නිසා අවුරුදු කැවිලි සකස් කර දුන්නෙත් ගමේ කාන්තාවන් විසින්. මාස හතරක් ගෙවෙන තෙක් දානමාන සහ පිරිත් පිංකම් වැනි දයට කිරි දෙන අම්මා කෙනෙක් සම්බන්ධ වුනේ නැහැ.

දරුවන්ට කිරි ලබා දෙන විට අලුත උපන් අම්මාට ලබා දුන් ආහාර අතර කොස් ඉතාම වැදගත්. කොස් සහ ‍පොළොස් ගැට හොදින් කිරි එරෙන ආහාරයක් බවට පිලිගැනීම ඉතාම තදින් ගැමි ජීවිතයට බද්ධව තිබුනා

ඒ වගේම ඔවුන් එදා සූදුරු, කොත්තමල්ලි වගේම උලුහාල් තම්බා ගත් ජලය පානයට ලබා දුන්න.එයින් අම්මාට කිරි එරෙන හැකියාව වැඩි වෙන බවට පිලිගැනුනා පමණක් නොවෙයි ඇත්තටම අඩුවක් නැතුවම කිරි එරෙන හැකියාව ඇති වුණා. කුරුදු සහ උළුහාල් වතුරේ දමා තබා එය පෙරාගෙන පානය කිරීමත් කිරි දෙන අම්මාවරුන්ට ඉතා හොඳ පානයක් විදිහට පිලිගෙන තිබුනා.

ඔවුන් කිරි දෙන අම්මාට සුදුළූණු දුන්නේ ඉතාම අපුරු විදිහකටයි. ලොකු සුදුළූණු ගෙඩියක් හෝ දෙකක් කඩදාසියක ඔතා ගිනිඅගුරු අස්සේ වලලා තබනවා. එය පිලිස්සී ඇතැයි සිතුනාම පොතු හැර හකුරු සමග ආහාරයට ගත්තා.දරුවා ලැබී මුල් දිනයන්හි ලබා දෙන මෙය අම්මාගේ කිරි උත්තේජනය කරනවා වගේම විෂබීජ ආදියෙන් ආරක්ෂා කරන බවත් එදා සමාජයේ තිබුන පිලිගැනීමයි.ව්‍යංජනවලටත් ඔවුන් වැඩියෙන් සුදුළුෑනු එකතු කරගත්තා. සුසුදුළුෑණු ආහාරයට ගත් විට එක්වතාවකදීම කිරිකළ හතක් පොවන්න පුලුවන් හැකියාවක් තිබුන බව ඔවුන් අතර තිබුන පොදු පිලිගැනීමයි.

ප්‍රසවය සමග ඇති වෙන තුවාල නිසා කිරි දෙන අම්මාට මලබද්ධය ඇති වුනොත් ඉතාම අසීරුයි. ඒ නිසා තන්තු බහුල ආහාර වැඩියෙන් ආහාරයට එක් කර ගත්තා. ඒ ආහාර මගින් කිරි එරෙන ශක්තියත් ඇති වුනා. කොහිල, කෙහෙල්මුව, අමු පැපොල් ,වට්ටක්කා වැනි ආහාර නිසා මල බුරුල් වුනා පමණක් නොව කිරි එරෙන හැකියාවත් ඇති වුණා.කුරක්කන් වලින් පිලියෙල කරන ලද පිට්ටු, කැඳ , රොටී සහ තලප පවා අම්මාගේ ආහාරයට ලබා දුන්නේ කිරිකැටියාට හොදින් කිරිටික ලබා දෙන්නයි.

ජපන්බටු කොළ මුල් කර ගෙන විවිධ මතවාද දැන් ඇති වුනත් එදා කිරි දෙන කාලයේදී අම්මාගේ බත් වේලට ජපන්බටු කොළ වගේම කිරි හැන්ද, අගුන කොළ පිලියෙල කර දුන්නා. ඇතැම් පලාත්වල සිංගප්පුරු කොළ යනුවෙනුත් හැදිනවුනේ ජපන්බටු කොළයි.

දරුවා ලැබීමෙන් පසුව අම්මාට දෙන ලද තැම්බුම් හොද්දේ බොහෝ ගුණ තිබුනා.  ප්‍රසවයෙන් පසු ගර්භාෂයේ ඉතිරි රුධිර කැටිති ඉවත් කර ගර්භාෂය සංකෝචනය කිරීම, ප්‍රසවයේ තුවාල ඉක්මනින් වියලීමට වගේම කිරි උත්තේජනයට තැම්බුම් හොද්දෙන් ලැබුන ගුණ බොහොමයි.

තද දම් පැහැයක් ඇති රාජල වගේම රතු බතල කිරි වඩවන ගුණය ඇති ආහාර ලෙසින් ඔවුන් පිලිගත්තා. මේ අල වර්ග වගේම කඩල, කොල්ලු වැනි දේ අම්මාගේ ආහාරයට ලබා දුන්නේ පොල් සමගයි. ඒ පොල් වුනත් අලුතම පොල් බෑයකින් ලබා ගත්තා.

ප්‍රසවයෙන් පසුව ඇති වෙහෙස වගේම සිරුර උණුහුම් කිරීමට ඉඟුරු බහුලව එකත් කළා. ඒ වගේම මව් කිරිවල විෂ ඉවත් කිරීම හෙවත් ස්තන්‍ය ශෝධනය වෙනුවෙන් නිතරම රතුලුනු ආහාරයට ගබා දුන්නා. මුරුංගා වලත් විෂ හරනය කිරීමේ ගුණය තිබුනා.

මව්කිරි දෙන අම්මාගේ කිරි විෂ වුනොත් දරුවාට රත ගෙඩි ඇති වීමට බලපාන බව සමාජයේ පිළිගැනීම වුන නිසාම මව්කිරි පිරිසිදුව ලබා දීමට එදා තිබුනේ විශේෂ අවධානයක්. මාස හයත් ගෙවෙන තෙක් දරුවාට ඖෂධ දීමට බැහැ. මේ නිසා මව්කිරි ඉතා පිරිසිදුව ලබා දිය යුතුයි. දරුවාගේ පෝෂණය මව්කිරෙන් සිද්ධ වෙන නිසා මව ආහාරයට ගන්නා දෙය දරුවාගේ සෞඛ්‍යය වෙනුවෙන් බලපාන නිසා මේ කාලේයදී අම්මාගේ ආහාර ගැන වඩාත් අනන්දු වුණා. සතියකට දෙවතාවක් පමන අම්මාට පොල්පලා, නෙල්ලි, රසකිඳ , නීරමුල්ලිය, ඉරමුසු තම්බා දුන්නා. මුත්‍රාකාරක ගුණයක් ඇති මෙම ඖෂධ මගින් කිරිවල තිබෙන විෂ මුත්‍රාමගින් පිට වුණා.  ( ආයුර්වේද වෛද්‍ය, අයෝමි ශානිකා දොලපිහිල්ල , ඩොලායෝ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානය, මහනුවර )

අද දරුවාට කිරි මදිවගේ දැනුනාම පිටිකිරි දියකරගෙන බ්වවාට එදා අම්මාවරුන් ඒ වගේ ගැටලුවලට මුහුණ නොදී ආරක්ෂාව ලැබුවේ ඔවුන්ගේ ආහාර රටාව නිසයි. අපි අද ගෝලීයකරණයට පත්ව පුංචි ගම්මානයක් වුනත් දරුවන් ලද අම්මාට මේ විදිහට සංග්‍රහ කිරීමට නම් කිසිම අපහසුවක් නැහැ.

ඔබට මේ ලිපිය උපකාරී  වුනා නේද? ඔබව දැනුවත් කල මේ ලිපිය තවත් පිරිසකගේ දැනුවත් බවට අවැසි නිසාම දැන්ම Share කර ඔබේ යුතුකම ඉටු කරන්න. ස්තුතියි !

SHARE

හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY