- Advertisement -

දරුවන්ට හැමදේටම “එපා එපා” කියද්දී මෙහෙම වෙන්නත් බැරි නැ

-

උණහපුලුවාට උගේ දරුවා මැණිකක් සේම ඔබට ඔබේ දරුවා තරම් වටිනා වස්තුවක් තවත් නැත. ඒවගේම අනේ හරිම යහපත් දරුවෙක් විදිහට යන හැඳින්වීමෙන් ඔබේ දරුවා ගැන සමාජයේ පිලිගැනීමක් ඇත්තේ නම් එය සැබෑම වාසනාවකි. ඒ වුනත් ඇතැම් දරුවන්ගේ ගති පැවැතුම් අනුව ඒ හැදින්වීම ලබා දීමත් එතරම් පහසු නැත.දෙමව්පියන් විදිහට දරුවන්ගේ විවිධ හැසිරීම් ඔබට පුරුදු වුනත් පිටස්තර තැනකදී මේ ස්වභාවික හැසිරීම පාරාවලලලක් සේ ඔබ වෙතටම එල්ල වීමට පුලුවන්. ඒ නිසා පිටස්තර තැනකදී දරුවාගේ හැසිරීම ගැන දෙමව්පියන් විදිහට ඔබ වඩාත් සිතන්න දේ බොහෝ ඇත.

සමහර දරුවන් පිටස්තර තැනකදී නිවසට වඩා වෙනස් ගති පැවැතුම් ප්‍රදර්ශනය කරනු ඇත. නිවසේ ඉතාම කීකරු දරුවන් තමන්ගේ සියලු දඩබ්බරකම් ප්‍රදර්ශනය කරන්නේ පිටස්තර ස්ථානයන්හිදීය. අද විවිධ ආයතනයන්හිදී මේ තත්වය බෙහෙවින් දක්නට ඇත. පාසල් ඇරී තම දෙමව්පියන් සමගම හවස නිවසට යන අදහසින් ආයතනයන්හි කාලය ගෙවන ඇතැම් දරුවන් නිසා බොහෝ අයට තමන්ගේ දෛනික කටයුතු පවා කර ගැනීමට අපහසුතාවයන් පැන නැගී ඇත.

- Advertisement -

 ඇතැම් දරුවන් කෙලින්ම පැමිනේනේ පරිගණකය වෙතටයි. ඔවුන්ගේ පරිගණක ක්‍රිඩාවන් නිසා සමහර අවස්ථාවන්හිදී සෙවයේ යෙදී සිටින නිළධාරි මහත්ම මහත්මින්ට ලිපියක් සකස් කර ගැනීමටවත් අවසර නැති තරම් හිරිහැරකාරීය. ඒත් ඔවුන් මුවින් නොබැන සිටියත් දරුවන්ගේ මේ ගති පැවැතුම් නිසා දෙමව්පියන් චෝදනා ලබනු ඇත. හැම දෙනාගේම අදහස වන්නේ නිසි පරිදි දරුවන් හැඩ ගසා නොමැති වීමෙන් කාර්යාලයටත් හිරිහැරයක්  බවයි.

මේ දරුවන් විටෙක නිවසේදී ඉතාම කීකරු දරුවන් විය හැකියි. ඒ කීකරුබවටත් හේතු තිබෙන්නට පුලුවන. සමහර දෙමව්පියන් දරුවන්ට නිවසේ භාණ්ඩ පරිහරනයට අවසර නොදෙන්නේ  ඒවායේ ආරක්ෂාවට ඇති වෙන හානි නිසාය. ඒත් කාර්යාලයේදී එම භාන්ඩම පරිහරනය කරන විට දරුවන්ට ඒ වෙනුවෙන් අවවාද ලබා නොදෙන විට ඔවුන්ගේ බිය සැක දුරුව අනවශ්‍ය විදිහට ඒවායේ පරිහරනයට යොමු වීම නිසා දෙමව්පියන්ටත් පසුතැවිල්ලක් ඇති වෙන තරමටම ගැටළුව උග්‍ර වෙනු ඇත.

 මේ නිසා ඔබ දරුවාට යම් ඇල්මක් සහ උනන්දුවක් ඇති දෙයකදී තහංචි නොපනවා ඔබගේ අධීක්ෂනය යටතේ ඒ වෙනුවෙන් දරුවාට අවසර ලබා දෙන්න. ඒ සමගම නිවසේ භාණ්ඩයක් කැඩී බි‍ඳෙනවාට වඩා කාර්යාලයේ යමකට අලාබයක් වුනොත් ඇති වෙන අන්තරායකාරි බවත් ගැන දරුවාට කරුණු කාරණාවන් පහදා දෙන්න.

ඇතැම් දරුවන් නිවසේ පුද්ගලික තොරතුරු ප්‍රසිද්ධියේම කියන අවස්ථාවන් ඇත. පවුලක කිව යුතු සහ නොකිව යුතු දේ ඇති බැවින් ඒ ගැන පාලනය දරුවන් නොදනිති.ඒ නිසා දෙමව්පියන් විදිහට ඔබ ඉතාම ප්‍රවේසම් වීම අවශ්‍ය වන්නේ නොකිව යුතු යමක් දරුවාගෙන් පිට වීම යනු එතරම් සුබ දෙයක් නොවන නිසාය. දරුවන් විවෘතව කියන දෙය නිසා පවුල් අරගල පවා ඇති විය හැකි තරම් තත්වය දරුනු වීමටත් ඉඩ ඇත.

නිවසේ අවශ්‍යතාවයන් පිරිමසා ගැනීමට තරම් මුදලක් සමග යන ඔබට දරුවා අනවශ්‍ය යමක් ඉල්ලමින් කරදර කිරීම නිසා මහත් සේ අපහසුතාවයක් මෙන්ම පීඩනයක් ඇති විය හැකියි. දරුවාගේ හැසිරීම ඔබ දන්නා නිසා මෙවැනි අවස්ථාවන් ඇති වනවා නම් අදාල ප්‍රදේශ වෙතට දරුවා සමග යන ගමන් සීමා කරන්න. මුදලේ වටිනාකම ඔහු දන්නේ නැත. ඔහුට අවශ්‍ය වන්නේ ඒ අවස්ථාවට ඇස ගැටෙන දේ පමණි. ඒ නිසා ඔබ දරුවා ගැන ඉතා හොදින් දන්නා නිසා අත මිට නොමැති නම් හැකිතාක් දරුවන් සමග නොගොස් අවශ්‍යතාවය වෙනුවෙන් ඔබ පමණක් යෑම ප්‍රමාණවත් වේ.

 හෝටලයකට තේපැන් පානයට යන අවස්ථාවන්හිදීත් ඇතැම් දරුවන් කැවිලි හෝ මේසයට ගෙනෙන සියලුම දේ අවශ්‍ය බැව් කියා සිටිනු ඇත. එයින් ඔබට අනවශ්‍ය වැය බරක් දැරීමට සිදු වේ. මෙම කරුණු දරුවාට පැහැදිලි කිරීමට යම් වයස මට්ටටමකට පැමිණීම අවශ්‍ය නිසා එතෙක් මේ වෙනුවෙන් ඔබ දරුවාගේ රටාවට හැඩ ගැසෙන්න. අවන්හලකින් දරුවා සමග ‍ගොස් ආහාරපාන මිළයට ගැනීම ඒ වෙනුවෙන් එක් විකල්පයකි. එතැනදී ඔහුගේ අවශ්‍යතාවයට පමණක් ඉඩ ලබා දීම අපහසු නැත.පිටස්තර නිවසකට ගිය විටත් සංග්‍රහ කරන දෙයින් එකකට වඩා නොගන්නා බවට දරුවා දැනුවත් කරන්න.

දරුවන්ට ආහාර පිලිබදව අවශ්‍යතාවයන් ඇති බව ඇත්ත වුනත් ඉතාම කෑදර අන්දමින් දරුවා කටයුතු කිරීම නිසා ඔබ අපහසුතාවයට පත් වෙන අතරම දරුවා ගැනත් ඇති වන්නේ අප්‍රසන්නතාවයකි.

පිටස්තර තැනකදී ඒ නිවසේ භාණ්ඩ වලට හානියක් නොවන සේ මෙන්ම දකින දකින දෙය ඉල්ලා සිටීමත් එක්තරා ආකාරයක හිරිහැරයක් බව අත්දැකීම් ඇති දෙමව්පියන් දන්නවා ඇති. කුඩා දරුවෙක් ඉල්ලා සිටින සේ පිටස්තරයන් ලබා දුන් විට බි‍ඳෙන හෝ අක්‍රිය වෙන තත්වයට පත් වීමට පුලුවන. ඔබ සමග ඇති සුහදතාවය සහ දරුවා මුල් කර ගෙන ඇති  ආදරය නිසා ඔවුන් අලාබය ඉවසනු ඇත. එහෙත් ඔබේ දරුවා නිසා ඇති වුන ආර්ථික හානිය ඔවුන් ඉවසා සිටියද ඒ ගැන ඔබ තුල ඇතිවෙන පසුතැවිල්ල සුලුපටු නැත.

මගේ දියණිය කුඩා කාලයේදී යම් පිටස්තර තැනකට ගිය විට ඒ නිවසේ තිබෙන යම් දේ ඉල්ලා සිටීමට පුරුදුව සිටියාය. මේ තත්වය හොදින් දන්නා නිසාම පිටස්තර තැනකට යෑමට පෙරාතුව එසේ ඉල්ලීම හොඳ නැති බව ඇයට කියා දී ඇයව පොරොන්දු කරවාගෙන යෑම පුරුද්දක් විය. මගේ මිතුරියකලග් අලුත උපන් දරුවා බලන්නට යන ගමනට මා ඇය සම්බනධ කර ගත්තේ ඔවුන්ගේ වැඩිමහල් දියනිය මගේ දියණියගේ මිතුරියක් නිසාය. ටික වේලාවක්ම කිසිවක් නොඉල්ලා සිටි ඇය මද වේලාවකින් එතැනින් නැගිට ගියත් ඒ ගැන මා විමසිලිමත් නොවුනේ මෙතෙක් කිසිම දෙයක් වෙනුවෙන් ඉල්ලුමක් නොවුන නිසාය.

මට ඇගේ කටහඬ ඇසුනේ කාමරයක් ඇතුලින්ය. අත්තම්මා වෙතට ගිය ඇය අල්මාරිය උඩ තිබෙන සෙල්ලම් අහ්වයා ඇගෙන් ඉල්ලා සිටින හඩ ඇසෙත්ම මා කියා සිටියේ “ගෙදරදී මොකද වුන පොරොන්දුව අමතකද…?” ඇගේ පිළිතුර වුනේ “ඉතින් මට උඩින් තියෙන දේවල් ඉල්ලන්න එපා කිව්වේ නැහැනේ…” යන්නයි.

දරුවන් තමන්ගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ඉතාම සියුම් විදිහට හැසිරෙන නිසා වැඩිහිටියන් වශයෙන් අපේ සැලකිල්ලත් ඒ වෙනුවෙන් යොමු කිරීම ඉතාම වැදගත් බවයි. ඔවුන්ගේ සියුම් හැසිරීම් වැඩිහිටියන් විදිහට අපට පසුතැවිල්ලට හේතු වෙන බැවින් ඒ ගැන විශේෂ අවධානයෙන් කටයුතු කිරීම ඉතාමත් වැදගත් වේ.

LEAVE A REPLY

SUBSCRIBE කරන්න ⇢

165,796FansLike
12,900SubscribersSubscribe
- Advertisement -
- Advertisement -

More article