කෝම් පිට්ටුවට වඩා ස්මාර්ට් ෆෝන් එකට දරුවෝ ආදරේ මෙන්න මේ නිසයි

children_using_smartphones

අද වෙනකොට ජීවන අරගලය සමග ගැටෙන මව්පියන් බොහොම කාර්යබහුලයි. ඉස්සර නම් අම්මා දරුවන් එක්කම ගෙදර හිටියා. අද වෙන කොට අම්මත් රැකියාවට යනවා. ඉතිං මේ කාර්යබහුල වටපිටාව ඇතුළේ දරුවන්ගේ මොළය උත්තේජනය කිරීම සඳහා අවශ්‍ය වෙනස් වෙනස් දේ කෙරේ දරුවන්ව යොමුකිරීමේ හැකියාව අඩු වෙලා තියෙනවා. ඉතිං දරුවොත් ලෝකය දිහා බලන්නේ එයාලට පුරුදු කෝණයෙන්ම තමයි. උදාහරණ විදියට එදා අපිට කෝම්පිට්ටු හදන එක බොහොම රසවත් වුණාට වටපිටාව එක්ක අපේ දරුවෝ අද හුරුවෙලා තියෙන්නේ ගෙවල්, වාහන, ලොකු ඉස්කෝල වගේ මුදල්මය වටිනාකමක් තියෙන දේවලට. ඒ නිසාම බහුතරයක් දරුවෝ එකතු වුණාම කතා වෙන්නෙත් මේ දේවල් ගැනම තමයි. මොකද ඒ හැමකෙනෙක්ම ඇති දැඩි වෙන්නේ ඉහත සඳහන් කරපු වටපිටාවන් ඇතුළේ. මේ කාණ්ඩයට ඇතුළත් නොවෙන දරුවෙක් වුණත් තමන්ගේ යහලූවන්ගේ අදහස්වලට අනුව හැඩගැහෙන්නටයි වැඩි නැඹුරුතාවයක් පවතින්නේ.

මොකද වයස අවුරුදු 10 පස්සේ දරුවන් වැඩිපුරම අහන්න කැමති එයාලගේ යහලූවන් කියන දේවල් ගැනයි. පාසැලේ සිටින වත්පොහොසත්කම් අවම දරුවා වුවද හිතන්නේ පතන්නේ මේ මානසිකත්වයෙන් තමයි. මොකද එක එක ළමයා තමන්ගේ තත්ත්වය පවත්වා ගන්නේ එක එක විදියට. සමහරවිට පන්තියේ ඉන්න වත්පොහොසත්කම්වලින් අඩුව දරුවා අධ්යාපන කටයුතු හොඳින් කරන නිසා පන්තියේ ඉහළ තත්ත්වයක සිටිනවා විය හැකියි. තවත් දරුවෙක් ක්රීඩාව නිසා එසේ ඉහළ තලයක වැජඹෙනවා විය හැකියි. තවත් දරුවෙකු රැගෙන එන බඩු බාහිරාදිය හේතුවෙන් ඉහළින් සිටිනවා විය හැකියි. උදාහරණයක් විදියට ගත්තොත් ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය වැනි රටවල්වල දරුවන්ට/මව්පියන්ට දරුවාගේ විෂය සඳහා ලැඛෙන ලකුණුවල අවශ්‍යතාවයක් නැහැ. ඔවුන් සැලකිලිමත් වන්නේ ක්‍රීඩා අංශය තුළින් දරුවාගේ සාර්ථකත්වයයි.

මොකද්ද මේකට හේතුව ?

ඉස්සර අපිට ස්මාට් ෆෝන් එකක් ඕනේ වුණේ නෑ, ඒක නෑ කියලා දුකෙන් හිටියෙත් නෑ. ඒත් අද දරුවෝ ස්මාර්ට් ෆෝන් එකක් නැති එක ගැන දුක් වෙනවා. මොකද යහළුවන්ට/අක්කට/අයියට තියෙන නිසා.

එහෙම නම් මොකද්ද මේ තත්ත්වයට හේතුව ?

Reward Pathway තමයි මේකට හේතුව. ඒ කියන්නේ ලෝකය රස විඳින්න අපිට ස්නායු පද්ධතියක් තියෙනවා. Reward Pathway කියන්නේ ඒකට. මෙන්න මේ Reward Pathway එක ක්‍රියාත්මක වෙන්නේ අපි ජීවත් වෙන පරිසරය අනුව. දැන් දරුවෝ ඉස්සර දරුවන්ගෙන් වෙනස් වෙන්නේ මෙන්න මෙතනින්.

මේ පිළිබඳව තවත් පැහැදිලි කළොත්, හිතන්න අනූව දශකයේ වයස අවුරුදු 15ක දරුවෙකුට නොකියා වර්ගයේ ජංගම දුරකතනයක් ලබා දුන්නොත් ඒ දරුවා ඒ පිළිබඳව බොහොම සතුටට පත්වෙනවා. නමුත් අද කාලයේ අවුරුදු 15ක දරුවෙකුට එවැනිම නොකියා දුරකතනයක් ලබාදුන්නොත් කිසිසේත්ම ඒ පිළිබඳව සතුටට පත්වෙන්නේ නැහැ. එකම වයසේ දරුවන් දෙදෙනෙකුහට එකම දේ ලබාදුන්නත් දෙදෙනාම ඒකෙන් සතුටු වූණේ නැහැ. ඒකෙන් ඔබට පැහැදිලි වෙනවා නේද අද පවතින වටපිටාව තුළ දරුවෙකු ලෝකය රස විඳින ආකාරය, එදා දරුවෙකු ලෝකය රසවිඳි ආකාරයට වඩා බොහෝ සෙයින් වෙනස් බව. එනම් අද දරුවන්ගේ වටපිටාව ඛෙහෙවින් වෙනස් අතකට හැරි පවතින නිසා දරුවෙකු වින්දනය ලබන්නේ අද පවතින දේ සමගයි. අනූව දශකයේ වයස අවුරුදු 15 වූ දරුවාට වඩා අද වයස අවුරුදු 15 සම්පූර්ණ වූ දරුවෙකු දියුණු වූ ලෝකයට විවරව ඇති බැවින් ඔවුන්ගේ Reward Pathway එදා පැවති දේ සමග ක්‍රියාත්මක වීමක් සිදුවන්නේ නැහැ. දියුණු වෙමින් පවතින මේ ලෝකය තුළ අද වන විට දරුවෙකුට සාමාන්‍ය සතුටක් ලබන්න විශාල උත්තේජනයක් ලබාදිය යුතුව තිඛෙනවා. ඔන්න ඔතනදි තමයි අපිට හිතෙන්නේ අපේ ළමයින්ට අපිට වගේ සුන්දර ළමා කාලයක් නෑ නේද කියලා. ඒත් ඒ තත්ත්වයේ වරදක් දකින්න අපිට බෑ. මොකද අපේ දරුවෝ ඇති දැඩි වෙන්නේ අපි ඇති දැඩි වූ වටපිටාව තුළ නම් නොවෙයි. මේ තත්ත්වයට වගකිව යුතු කිසිවෙකුත් නොවේ. දියුණු වෙමින් ඉදිරියට යන ලෝකය තුළ ඉබේම මේ තත්ත්වය දිනෙන් දින වර්ධනය වනු ඇත.

හැබැයි.. මව්පියන් වන ඔබටත් යුතුකමක් තියෙනවා

දෙමව්පියන් වශයෙන් ඔබ දරුවන් වෙනස් වෙනස් දේ කෙරේ යොමු කිරීමට උත්සාහ දැරිය යුතුයි. දියුණු වන ලෝකය සමග අපි සැවොම ඉදිරියට යා යුතුව තිබුණද දරුවන් වෙනස් වෙනස් දේ කෙරේ යොමුකිරීම ඉතා වැදගත් වේ. උදාහරණයක් ලෙස ඔබේ දරුවා මුහුදු වෙරළට ගොස් පැමිණ ඔබට පවසන තොරතුරු අතරට එහි සුන්දරත්වය, සිප්පි කටු ගැන, ඔබ කුඩාවියේදී මුහුදු වෙරළේ විනෝද වූ ආකාරය ගැන දරුවන් සමග කතා කරන්න. සත්තු වත්ත, උද්භිද උද්යාන වැනි ස්වභාවික සුන්දර ස්ථාන වෙත දරුවන් රැගෙන යන්න. කෙසේ වුවද වෙනස් වන ලෝකයේ නොවෙනස්ව අපේ ළමා විය අපේ දරුවන්ගෙන් දකින්නට නොහැකි බව අවබෝධ කරගන්න.

කැළණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ළමා හා යොවුන් මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ කථීකාචාර්ය වෛද්‍ය මියුරු චන්ද්‍රදාස මහතා සමග සකසන ලද ලිපියකි.

 

ඔබට මේ ලිපිය උපකාරී  වුනා නේද? ඔබව දැනුවත් කල මේ ලිපිය තවත් පිරිසකගේ දැනුවත් බවට අවැසි නිසාම දැන්ම Share කර ඔබේ යුතුකම ඉටු කරන්න. ස්තුතියි !

SHARE
අධ්‍යාපනික අතින් කොයිතරම් උසස් මට්ටමක හිටියත් අම්මෙක් වුණාම ඇති වන ගැටලූවලට අපි ළඟ පිළිතුරු නෑ. මව්පදවියත් එක්ක දහසකුත් එකක් ප්‍රශ්න මටත් ඇති වුණා. ඔය අතරෙදියි මව්වරුන් වෙනුවෙන්ම වෙන්වුණු පුවත්පතක සංස්කාරකවරිය විදියට සේවය කරන්න මට අවස්ථාව ලැබුණේ. අම්මා කෙනෙක් විදියට මට ඇති වෙන ගැටලූ අධ්‍යාපනය අතින්, මිල මුදල් අතින් ඉහළ, පහළ ඕනෑම තරාතිරමක හැම අම්මා කෙනෙක්ටම පොදුයි කියලා ඔය අතරෙදි මම තේරුම් ගත්තා. මගේ අත්දැකීම්, දරුවන් ගැන මට තියෙන ගැටලූ ගැන වෘත්තීමය සුදුසුකම් සහිත පුද්ගලයන් එක්ක සාකච්ඡ කරලා, සටහන් කරන්න මම හිතුවේ දහස් ගණනක් මව්වරුන්ට නිවැරදිම මගපෙන්වීම අවශ්‍ය බව දැණුනු නිසා.

LEAVE A REPLY