වැඩිවිය පැමිණි දියණිය සම්බන්ධයෙන් මවක් දැනුවත් විය යුතු කරණු

mother_and_daughter

මාසික ඔසප් චක්‍රය ආරම්භ වෙන්නේ දැරියක් වැඩිවියට පත්වීමෙන් පසුවයි. ගර්භාෂය ඇතුලත ස්ථරය බිඳ වැටී රුධිරය ලෙසින් පිටවීම “ඔසප්” වීම විදිහට හැඳින්වෙනවා. අද තරුණ දැරියන්ට පවා වැඩිහිටි කාන්තාවන්ටවත් ඒ කියන්නේ විවාහ වී වසර දෙක තුන ගෙවුන අය පවා තමන්ගේ ඔසප් දිනය ගැන දැනීමක් නැහැ. හැම මාසයකම ඔසප් වීම එකම දිනයට සිද්ධ වෙන්නේ නැහැ. කැලැන්ඩරයේ දින විසිඅටක රටාවක් තුළ ඔසප් වීම ගැලපුනත්  මෙය දින 30 ක් වැනි කාලයක වීමට පුලුවන්. හෝර්මෝන අසමතුලිතතාවය සහ ඩිම්බ මෝචනය ප්‍රමාද වුනාම මේ විදිහට වෙනස්කම් ඇති වෙනවා.

ඔසප්වීම ගැන ඉහත වෛද්‍ය විද්‍යාත්මක අදහස් ඉදිරිපත් කරනු ලැබුවේ මහනුවර ඩී. ඇස් සේනානායක වීදියේ ඩොලායෝ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය අයෝමි ශානිකා දොලපිහිල්ල මහත්මිය විසින්,

හදිසියේවත් ඔසප්වීම මේ දිනයට කලින් සිද්ධ වුනොත්…

පමාව වගේම අපේ අත්දැකීම් අනුව දින විසිඅටට පෙරාතුවත් ඔසප්වීම සිද්ධ වෙන අවස්ථා තිබෙනවා. ඉතින් තරුණ දැරියන් වගේම අම්මාවරුනුත් මේ ගැන අවධානයෙන් සිටීම ඉතාම වැදගත්. පෙරදිග සම්ප්‍රදායන්ට අනුව ඔසප්වීම සලකන්නේ අපිරිසිදු තත්වයක් විදිහටයි. කෙසේ වුනත් ගර්භාෂයේ ඇතුලත ස්ථරය බිඳ වැටී රුධිරය ලෙසින් පිටවෙනවා. මෙම තත්වය ගැන අවධානයෙන් සිටීම ඉතාම වැදගත්. අපි නොහිතන අවස්ථාවක ඔසප්වීම සිද්ධ වුනොත් රුධිරය අපේ ඇඳිවතේ පවා තැවරෙන්න පුලුවන්. පාසල් දැරියන් අතර මේ තත්වය ඉතාම සුලබයි.අපේ රටේ පාසල් නිල ඇඳුම සුදු නිසා රුධිර පැල්ලම් කැපී පෙනෙනවා.

තමන්ගේ ඔසප්වීම තමන් හැර අම්මා ඒකටත් වග කිව යුතුද….?

දියනියගේ ඔසප්වීම ගැන ඇය දැනගත යුතු බව ඇත්ත. ඒත් දරුවන්ගේ හද ගැහෙන රිද්මය පමණක් නොව අම්මා කෙනෙක් විදිහට ඔබ අනිවාර්යෙන්ම දැන් ඔසප් දිනයත් දැන ගැනීම ඉතාම වැදගත්. ඒ වෙනුවෙන් දැනුවත් වීමට පෙරාතුව පසුගිය දිනක බී.බී.සී පුවත්සේවයේ පළ වුන මෙම පුවත කියවා බලන්න….

ඉන්දියාවේ ග්‍රාමීය පලාත්වල ඔසප්වීම ඉතාම අපිරිසිදු කටයුත්තක් වගේම තහංචියක් විදිහට සැලකනවා. ඔවුන් මෙහි තිබෙන ජීව විද්‍යාත්මක සංසිද්ධිය ගැන කිසිම තැකීමක් කරන්නේ නැහැ.ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ මේ පාසල් දැරියට පංතියේදී ඔසප්වීම සිද්ධ වුනා. ඇය එදිනට සූදානමින් ගියේ නැහැ. අනපේක්ෂිත ලෙස ඔසප් වීම සිද්ධ වුන නිසා ඇගේ පාසල් නිල ඇදුමේ රුධිර පැල්ලම් තැවරුනා. මෙය මහ විනාශයක් නොවෙයි…ඒත් කාන්තා ගුරුවරියක වෙලත් ඇය කළේ මේ දැරියට දූවිලි පිස්නාකඩක් පෑඩ් එකක් විදිහට පාවිච්චි කිරිමට ලබා දුන්නා. ඇය එතැනින් නැවතුනේ නැහැ. දැරිය පංතියෙන් පිටත සිටුවා තැබුවා. දැරිය මහත් අපහසුතාවයට පත්ව නිවසට ආවා…

ඇය සිද්ධිය කොළයක සටහන් කළා. “අම්මේ මට සමාවෙන්න…” ලිපියක් ලියා තබා සිය දිවි හානි කර ගත්තා.

අපේ දැරියන්ටත් මෙහෙම වුනොත්…

තවමත් අපේ රටේ නම් තත්වය මේ තරමට දරුණු නැහැ. ඒත් හදිසියේ මේ වගේ සිද්ධියකට ඔබේ දියණිය මුහුණ දුන්නොත් ඇය මොන තරම් මානසික අසහනයකට පත් වෙනවාද…ඒ  වගේම ඔසප් දිනයන්හි හැසිරෙන අන්දමත් ඇයට කියා දීම ඉතා වැදගත්. එංගලන්තයේ එක්තරා දැරියක් තමා වැඩිවියට පත් වීමෙන් පසුව නැවත ඔසප් වූ විට ඒ ගැන බියට පත්ව සිය දිවි හානි කරගත්තා. මේ නිසාම සෑම කෙනෙකුටම තමන්ගේ හිතේ පීඩනය බෙදා ගන්නා අරමුණ ඇතුව ලෝකයේ විවිධ ස්වේච්ඡා සංවිධාන පවා බිහිවෙන්න පටන් ගත්තා. ඒ නිසා ඔසප්වීම දියණියටම දරා ගැනීමට බාර දිය යුතු නැහැ.

ඒ වගකීමත් අම්මාටම දෙන්නේ ඇයි…

දියනියට හෝ දියනිවරුන් කීප දෙනෙක් සිටින පවුලක නම් තමන්ගේ ඔසප් දිනය දිනපොතක හෝ කැලැන්ඩරයේවත් සටහන් කරන සේ කියා දෙන්න. මවක ලෙසින් ඔබටත් ඒ දිනය ගැන මතකයේ තබා ගැනීමත් වැදගත්. ඒ අතරම දින 21 ක් ගෙවුන තැන පටන් සූදානම් සරීරෙන් සිටීමටත් දියණියට උපදෙස් ලබා දෙන්න. පෑඩ් එකක් තමාගේ බෑගයේ හෝ දමා ගෙන සිටින්නනට ඇය දැණුවත් කරන්න. එහෙම නැති වුනොත් දියනිය මහත් සේ අපහසුතාවයට පත් වෙනු ඇති.

තවත් අවස්ථාවක් නම්  දියනිය පාසල් අවසානයේ වෙනත් අතිරේක පංති ආදියට සහභාගී වී නිවසට පැමිණෙන්නේ බොහෝ රෑ බෝ වී විය හැකිය. පැය ගණනාවක් එකම පෑඩයෙන් සිටීම අපහසු නිසා අතිරේක පෑඩ් රැගෙන යෑමට ඇයට උපදෙස් ලබා දෙන්න. ඒ වගේම මේවා බැහැර කරන පිලිවෙලත් ඇයට කියා දෙන්න.

කාන්තා ගුරුතුමියන්ටත් යමක් කිව්වොත්…

ඉස්සර අපේ පාසලේ නම් පංතියේ ගවුම් කීපයක් තිබෙනවා. පෑඩ් නම් අනිවාර්යෙන්ම තිබෙනවා. ගවුම් තියෙන්නේ හදිසියේවත් මේ වගේ ආපදාවක් වුන විටෙක පාවිච්චියටයි.ඒවා අලුත් ඒවා නොවෙයි…තමන්ට අදින් හිර වගේ ගවුම් හතර පහක් පංතියේ අල්මාරියක නිතරම තිබෙනවා. හදිසියේ මේ වගේ අපහසුතාවයක් වුන විට ඒ ගවුමකින් අපහසුතාවය මග හැරෙනවා.

ඔසප් වේදනාවට මොකද කරන්නේ…

ආයුර්වේද වෛද්‍ය අයෝමි ශානිකා දොළපිහිල්ල මහත්මිය සඳහන් කරන අන්දමට කොත්තමල්ලි කබලේ බැද කුඩු කරගන්න. ඒවාට උනු වතුර දමා කෝපි මෙන් පැසවා මන්ඩි පෙරා හැර ඔසප් වීමට දින දෙක තුනකටපෙරාතුව පානය කරන්න.

ඊට අතිරේකව අත්බේත් විදිහට කලු තල කබලේ බැද කුඩු කර එයින් තේ හැන්ද බැගින් උදේ හවස ආහාරයට ගන්න.පොකුරු වදමල් සෝදා එයට උණුවතුර දමා පෙරා ගෙන දෙහි ඇඹුල් සහ සීනි එක් කර ඔසප් වීමට ආසන්න දිනයන්හි පානය කරන්න.

ඔබට මේ ලිපිය උපකාරී  වුනා නේද? ඔබව දැනුවත් කල මේ ලිපිය තවත් පිරිසකගේ දැනුවත් බවට අවැසි නිසාම දැන්ම Share කර ඔබේ යුතුකම ඉටු කරන්න. ස්තුතියි !

SHARE
හිතට එන අදහසක් පත්තරයකින් පළ වුනාම ලැබෙන සතුට දන්නේ ඒ අත්දැකීම ලබන කෙනෙක් පමනයි. මේ නිසාම දන්නා කාලයේ පටන්ම ලියන්න ලැබෙන හැම මොහොතකම යමක් ලිව්වා. ඒවා පළ වුනා.දැනට මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යා පීඨයේ පුස්තකාලයාධිපතිනිය ලෙස සේවය කරන අතර ලේඛනය අමතක කරන්නේ නැහැ.කැළනිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය සහ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කලා උපාධිය වෙනුවෙන් කිසිම අපහසුතාවයක් ඇති නොවුනේද ලිවීමේ කලාවට පිං සිදු වෙන්නයි.නිවස , රැකියාව සහ පවුල සමග වූ ගණුදෙණුව ලිවීමේ කලාවට හරස් නොවන සේ පවත්වා ගෙන යන අතර මගේ ජීවිතයට ලේඛනයත් නොදැනම බද්ධව තිබෙනවා විය හැකියි.

LEAVE A REPLY