දුව පුතා කියලා වෙනසක් නැතිව දරුවන්ට හැමදේම ඉගැන්විය යුත්තේ ඇයි කියලා ඔබට හිතුනද?

children_help_parents_for_cooking

දුවලා විතරක් බතක් මාඵවක් උයාගන්න දැන ගත්තම ඇති කියන ආකල්පයෙන් අපි හුඟක්ම ඈත් වෙලා. දන්නවනේ අද ලෝකයේ වැඩිපුරම ඉන්නනේ පිරිමි චෙෆ්ලා. නරකද දුව පුතා කියලා බලන්නේ නැතිව ගෙදර දොරේ වැඩ කටයුතු දරුවන්ට පුරුදු කලොත්. ඇත්තටම දරුවන්ව එයාලා පුංචි කාලේ ඉඳලම ගෙදර වැඩ කටයුතු වලට  සම්බන්ධ කරගන්න පුලුවන්. එයාලා අපිට සහයකයෝ වශයෙන් පත් කරගන්න පුලුවන්. හැබැයි ඉතින් ටිකක් කරදරකාරී සහයකයෝ. හැබැයි ඉතින් කරදරයක් වුණත් එයාලවත් අපේ නිවසේ කටයුතු වලට සම්බන්ධ කර ගැනීමෙන් ඒ පුංචි හිත් වල සතුටක් ,මටත් පුඵවන්, මම දැන් ලොකුයි කියන හැඟීමත් ඇති වෙන්නනේ නිරායාසයෙන්මයි.

“පොදයක් යනවා රෙදි ටික ගන්න ඕනී”

අමායා හනි හනිකට රෙදි ටික ගන්න දුවද්දිම වැස්ස කඩා වැටෙන්න ගත්තා. නලින්දත් හනි හනිකට අමායාට උදව් වුන නිසා යන්තම් රෙදි ටික නොතෙමී ගන්න පුඵවන් වුණා.

“අනේ උයන්න පරක්කු වුණා නලින්ද බඩගිනියිද?”

නලින්ද දෙතුන් වතාවක් කුස්සියට එබී බලද්දි අමායා කිව්වා.

“දෙන්න මොනවද ඔයාට කරලා දෙන්න ඕනී?”

“ආ එහෙනම් මේ පොල් ටික ගාන්නකෝ”

නලින්ද අමායාට දහවල් ආහාර වේල පිළියෙල කරන්න උදව් වුණා. ඒ අතර පුංචි දිනෙතුත් කුස්සිය පැත්තට ආවා

“ආ… අද තාත්තා අම්මා කරන්න ඕනී වැඩත් කරන්නේ ”

“ඒ කිව්වේ?”

“ඇයි ඉතින් උයන එක ,රෙදි හෝදන, රෙදි ගන්න එක, නමන එක ඒවා ඉතින් අම්මට අයිති වැඩනේ”

“අම්මට අයිති වැඩ… මොනවද පුතේ තව අම්මට අයිති වැඩ ?”

“උයන එක ,ගෙවල් අස්පස් කරන එක, අපේ පාඩම් වැඩ බලන එක, එතකොට අපිව බලා ගන්න එක”

“හ්ම්… ඇත්ත මේ සේරම වැඩ අම්මා කරනවා තමයි. ඒත් ඒවා අම්මටම අයිති වැඩ නෙමේ අපේ පවුල වෙනුවෙන් අම්මා කරන වැඩ. අම්මා අපේ වැඩ සේරම තනියම කරන්නේ අපිට ආදරේට. ඒත් අපි පුඵවන් අම්මට උදව් වෙන්න.”

“එතකොට තාත්තා උදව් වුණේ අපේ වැඩටද?”

“ඔව්”

අමායා තාත්තාගේත් පුතාගේත් සංවාදය අසා උන්නා මිසක් එයට පිළිතුරු බඳින්නට ගියේ නැත.

“ඇයි ඉතින් තාත්තට උදේ පාන්දරත් නැගිටලා උදව් කරන්න පුළුවන්නේ.”

“ඔව් ඒත්…”

නලින්ද අමාරුවක වැටී ගිය බව හැඟුන නිසා අමායා කටහඬ අවදිකලාය.

“තාත්තා උදේම නැගිටලා අම්මට උදව් කලා අම්මත් ඔෆිස් යන කාලේ. ගෙවල් අතු ගාලා රෙදි සෝදලා වේලෙන්න දාලා උයන්නත් උදව් වුණා.”

“ඉතින් දැන් ඇයි බැරි”

“අම්මා ගෙදරනේ පුතේ දැන් ඉන්නේ. එතකොට අම්මට ඒවා තනියම කරන්න වෙලාව තියෙනවා.කොහොම වුනත් තාත්තා ගෙදර ඉන්න වෙලාවට අම්මට උදව් කරනවනේ.”

යාන්තම් දිනෙත්ගෙ ප්‍රශ්න කිරීම නතර වුණා. ඇත්තටම දරුවො හැඩ ගැහෙන්නේ දෙමාපියන් දිහා බලලා.

“අම්මා බොන්න මොනවත් නැද්ද?”

“නැහැ හදන්න ඕනී”

“මම හදන්නද ? ”

“හා…ඒත් ඔයාට පු`ඵවන්ද?”

“පුඵවන් පුඵවන්”

දිනෙත් බොහොම සතුටින් කිව්වා.නාරං ගෙඩි දෙකක් ගෙන සෝදා කපා මිරිකා එයට වතුර ජෝගුවකුත් දමා සීනිත් දමා කලවම් කර කටපුරවලා ලුනු හැන්දක් හදද්දිම අමායා

“හෝව්… හෝව්… ඔච්චර ලුනු දාන්නෙ නැහැ ලුනු මෙන්න මෙන්න මෙහෙම චූට්ටක් තමයි දාන්න ඕනී ම්..ම්.. රසයිනේ”

“ඇත්තමද අම්මා?”

“ඔව් ”

ඇත්තටම අමායාට දැන් දැන් වැඩ පහසු කරන්න දෙන්නෙක්ම උදව්වට ඉන්නවා. අවුරුදු හතක් වුණ දිනෙතුත් එයාගේ අවුරුදු පහක් වුණ නංගියත්ය.

“අම්මට තාත්තා උදව් වෙනවා තාත්තාට අම්මා උදව් වෙනවා වගේ ඒ නිසා අපිත් ගෙදර වැඩ වලට උදව් වෙන්න ඕනී නේද අම්මා?”

“ඔව්… ඔව්… ඒක ඇත්ත”

පොල් ගාන්න, ලූණු සුද්ද කරන්න, සම්බෝලයක්, සැන්විච් එකක් ,ඔම්ලට් එකක්,  තේ කෝප්පයක් හදාගන්නත් දිනෙත්ට වගේම දිනිතිටත් පුඵවන්. හැබැයි ඉතින් මේ හැම කාර්යකදීම අමායාගේ පූර්ණ අවදානය යොමු කරන්න නම් ඇය අමතක කරන්නේ නැහැ. මොකද තවම මේ පුංචි පැටවුන්ට අනතුරු ගැන ඒ තරම්ම අවබෝධයක් නැති නිසා අනතුරක් වෙන්න ඒ හැටි වෙලාවක් ගත නොවන නිසා.

ඇත්තටම දරුවන්ට කුස්සියේ තියෙන බඩු පවා පාඩම් වශයෙන් උගන්වනවා. සමහර දරුවො නෑඹිලිය ,තාච්චියවත් අඳුනන්නෙ නැහැ.අමායට උදව් දෙන ගමන් දුවටත් පුතාටත් එදිනෙදා ජීවිතයට අවශ්‍ය කරුණු කාරණා වගේ පොතට පතට අවශ්‍ය දැනුම දෙන්නත් හැකියාව ලැබෙනවා වගේම දරුවෝ ප්‍රායෝගිකව අත්දැකීම් ලබමින් ඉගෙන ගන්නා දේවල් තමන්ගේ ජීවිත වලට ආයාසයකින් තොරවම එක් කරගන්නවා.

අද අපේ උකුලෙහි නැලවෙන දුව පුතා මතු දිනයක  වගකීම් සහිත දෙමාපියන් වන දිනයට අද ඔවුන්ගේ දෙමාපියන්ගේ ජීවිත වලින් ලබා ගන්නා දෑ ඔවුන්ගේ ජීවිත වලටද ආදේශ කර ගනු ඇත.

ඔබට මේ ලිපිය උපකාරී  වුනා නේද? ඔබව දැනුවත් කල මේ ලිපිය තවත් පිරිසකගේ දැනුවත් බවට අවැසි නිසාම දැන්ම Share කර ඔබේ යුතුකම ඉටු කරන්න. ස්තුතියි !

SHARE
මා දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ උසස් ජාතික ගණකාධිකරණය ඩිප්ලෝමා පාඨමාලාව (ව්‍යපාර වාණිජවේදී උපාධියට සමානය) සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යපාර පරිපාලන උපාධිය හදාරා වසර නමයක කාලයක් සහකාර ගණකාධිකාරිණියක් වශයෙන් වෘත්තීමය නියැලුනෙමි. උසස් පෙළ හා උසස් අධ්‍යපනයෙන් පසුව වෘත්තිමය වශයෙනුත් මා ගණුදෙනු කලේ ගිණුම් වල හර බැර අතර වුවද සංසාර පුරුද්දට මා ලද ප්‍රාග්ධනයක් ලෙස යමක් සුන්දරව දැකීමටත් ,සිතීමටත් ඒ සිතුවිලි අකුරු වලට පෙරලන්නටත් හැකියාව මා සතුවිය. කාන්තාවකට මෙලොව දිනිය හැකි ඉහළම කිරුළට උරුමකම් කියන මා පුතුන් දෙදෙනෙකුගේම අම්මාය. විශ්වයේම ඇති සොඳුරුතම ස්ථානය නිවහනය. එහි සාමය සතුට සෞභාග්‍යය රැඳවිය යුත්තේ අම්මාය. එනිසාවෙන්ම මගේ පුංචි පැටවුන්ගේ රැකවරණය වෙනුවෙන් මා වෘත්තියෙන් සමුගත්තෙමි. මුළුගැන්වී තිබූ ලිවීමේ හැකියාවට පන්නරය ලැබුණේ ඉන් පසුවය. අම්මා පුවත් පතෙහි විශේෂාංග ලේඛිකාවක වශයෙන් ලේඛණ කලාවට පිවිසි මා ලේඛණ කලාවෙන් ඉදිරියට යන්නට අපේක්ෂා කරමි.

LEAVE A REPLY