දෙවැනි විවාහය නිසා අසරණ වන අපේ දරුවන්

parent_arguing_infront_of_child

කරුණාව ,මෛත්‍රිය, උපේක්ෂාව කැටි කරගත් ඒ සිතුවිලි  සමුදායට දාරක ස්නේහය යැයි කියයි. දරුවකු මෙළොවට බිහි කළ පමණින් ගැහැණියකට මවක් වන්නටත් පිරිමියෙකුට පියෙකු වන්නටත් නොහැකිය. මන්ද කරුණාව මෛත්‍රිය ,උපේක්ෂාව කැටි කරගත් ඒ සිතුවිලි  සමුදාය කැටි නොවූ සිතෙහි දාරක ස්නේහයක ජනිත නොවන නිසාවෙන්ය.සැබෑ දෙමාපිය යුවලකගේ ලෝකය පිරී පවතින්නේ දරුවන් නමින්ය. සත්තකින්ම ඔවුන් දරුවන් නමින් පේවෙයි. එහෙත් විපරීත වූ සමාජ බැඳීම් තුල විවාහය යන බැඳීම නීතී පොතක අත්සන් තබා ඇති කර ගන්නා හුදු නීත්‍යනුකූල ගිවිසුමක් පමණක්ම වී ඇත. මේ මාතෘකාව ඔස්සේ මා මීට පෙරත් අකුරු කළෙමි. දෙදරා යන විවාහය තුල අසරණ වන්නේ ඔවුන්ගේ අභිමතයටම මෙළොවට බිහි කළ දරුවන්ය. එහෙත් අද මා අකුරු කරන්නේ දෙවන විවාහය හරහා අසරණ වන අපේ දරුවන් ගැනය.

හරේෂ් හා නිරාෂා පුංචි පුතෙකුගේ දෙමාපියන්ය. හරේෂ් පෞද්ගලික බැංකුවක ඉහළ තනතුරක් දැරු පුද්ගලයෙකි. නිරාෂා තම සිඟිත්තා සමග දවස ගත කලාය. හරේෂ්ගේ ඉලක්කය වූයේ ආයතනයෙ ඉහලම තනතුර දක්වා ගමන් කිරීමය. එහිදී ඔහුගේ පවුල ඔහු අතින් ගිලිහී යන බව ඔහුට අමතක විය. මේ අතර නිරාෂාට ඇගේ පාසල් වියේ ප්‍රේමවන්තයා හමු වූයේ නොසිතූ ලෙසය. හරේෂ්ගේ කාර්්‍යය බහුලත්වය නිරාෂාට ආශිර්වාදයක්ම විය. කාලයත් සමගම නිරාෂා පෙම්වතා සමග යන්නට ගියේ තම සිඟිති පුතුවද අත්හැර දමාය. නීත්‍යනුකූලව නිරාෂාගෙන් වෙන්වූ හරේෂ් නැවත විවාහ විය. ෂෙහාරා මුල සිටම සිඟිති පුතු ඔවුන් සමග ජීවත් වනවාට අකමැති විය. අවසානයේ පුතුට මවගෙන් මෙන්ම පියාගෙන්ද වෙන්ව අත්තම්මාගේ නිවසට යන්නට සිදු විය. පුංචි පුතුගේ දවස ගත වුනේ කල්පනාවෙන්මය. අවසානයේ ඔහු මානසිකව  ඇද වැටී විශාද තත්ත්වයට පත්විය.

මේ තවත් කතාවකි. රෂ්මී දෙදරු මවකි. ඇයගේ සැමියා හදිසි අනතුරකින් මිය ගියේ කිසිවෙකුත් අපේක්ෂා නොකල මොහොතකය. ඇය ඒවන විට විසි නම වන වියේ පසු වූ අතර දරුවන්ද කුඩා බැවින් වෙනත් විවාහයක් කර ගන්නා ලෙස සැමියාගේ පාර්ශවයෙන් මෙන්ම ඇයගේ දෙමාපියන්ද ඇවටිලි කරන්නට විය. රෂ්මීගේ කාර්්‍යලයේ සේවය කල අයේෂ් රෂ්මීට හිතවත් වුයේ ද ඔය අතර තුරය. ඔහු දරුවන්ටද ආදරය කලාය.

දුවයි පුතයි ගැන හිතන්න එපා මට පුලුවන් එයාලවත් ආදරෙන් බලා ගන්න. ඕනි නම් අපි තව දරුවෙක් හදන්නෙ නැතිව ඉමු. අයේෂ් පවසද්දි රෂ්මී සැබැවින්ම සතුටු විය. අවසන ආයේෂ් හා රෂ්මී විවාහ විය. අයේෂගේ වැඩි ආදරයට පාත්‍ර වූයේ දියණිය සෙයන්සාය. ඒ වන විට ඇය හය වැනි වියේ පසු විය. එය රෂ්මීට අස්වැසිල්ලක් විය. කාලය කෙමෙන් ගතව යද්දි දියණියගේ වෙනසක් දැනෙන්ට විය. අයේෂ් නිවසට ආ විට ඇය බියට පත් වේ. එහෙත් අයේෂ් ඇයට ආදරය කරන දිහා බලා රෂ්මී එය ගණනකට නොගත්තාය. එහෙත් දිනෙන් දින දියණියගේ වෙනස් වීම වැඩි වන්නට විය.

“මගේ පුතාට මොකක් හරිප්‍රශ්නයක්ද පැටියෝ”

සෙයන්සා නිහඬව නිසොල්මනේ උන්නාය.

“අම්මා මම අත්තම්මා එක්ක ඉන්න යන්නම්”

“ඇයි ඒ?”

“ඇයි ඒ කියලා අහන්න එපා මට බෑ ඉන්න”

මහ හඩින් දියණිය හඬා වැටෙද්දි රෂ්මී දියණියව වැළඳ ගත්තාය.

“කියන්න මගේ රත්තරන් ඔයා ඇයි අම්මායි තාත්තයි එක්ක ඉන්න බැහැ කියන්නේ”

“ඒ මගේ තාත්තා නෙමේ අම්මා. එයා ළඟදිනේ ආවේ”

“ඔව් ඒත් එයා ඔයාලට ආදරෙයිනෙ”

“ආදරෙයි ? මෙයා මට රිදෙන දේවල් කරනවනේ ඒ වගෙ දේවල් තාත්තා ආදරේට මට කවදාවත් කරලා නැහැ”

ඒ වන විටත්  පුංචි සුරංගනාවිය සුලු පියා අතින් අපයෝජනයට ලක් වී හමාරය.

මේ දිග හැරියේ දෙවැනි විවාහය නිසාවෙන් විඳ වූ දරුවන් දෙදෙනෙකුගේ ඉරණම පමණි. අද වන විට සමාජය බෙහෙවින්ම දූෂනය වී හමාරය. තම පියා අතින් දියණිය පුතු අපයෝජනයට ලක් වන සමයක පිටස්තරයකු මත විශ්වාසය රැඳවිය හැකිද යන්න පිළිබඳ සිතිය යුතුය. සුලු පියා අතින් දැඩි ලෙස පහර කෑමට ලක් වූ ආබාදිත පුංචි දියණියකගේ පොලීසියට ගොස් පැමිණිලි කල විඩියෝවක් සමාජ ජාලයක තිබී මා නෙත ගැටුනි. ඇය වචන අහුලමින් කීයා සිටියේ නැවත ඔහුව නිවසට නොඑවන ලෙසය. මව පියා අහිමි කල දරුවන්ට කාගේ පිළිසරණක්ද? දෙවැනි විවාහයක් ගැන සිතන ඔබ ඔබේ දරුවන් පිළිබඳවත් සිතා තීරණ ගන්නට  සිතට ගන්න.

 

ඔබට මේ ලිපිය උපකාරී  වුනා නේද? ඔබව දැනුවත් කල මේ ලිපිය තවත් පිරිසකගේ දැනුවත් බවට අවැසි නිසාම දැන්ම Share කර ඔබේ යුතුකම ඉටු කරන්න. ස්තුතියි !

SHARE

මා දෙහිවල උසස් තාක්ෂණ ආයතනයේ උසස් ජාතික ගණකාධිකරණය ඩිප්ලෝමා පාඨමාලාව (ව්‍යපාර වාණිජවේදී උපාධියට සමානය) සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යපාර පරිපාලන උපාධිය හදාරා වසර නමයක කාලයක් සහකාර ගණකාධිකාරිණියක් වශයෙන් වෘත්තීමය නියැලුනෙමි. උසස් පෙළ හා උසස් අධ්‍යපනයෙන් පසුව වෘත්තිමය වශයෙනුත් මා ගණුදෙනු කලේ ගිණුම් වල හර බැර අතර වුවද සංසාර පුරුද්දට මා ලද ප්‍රාග්ධනයක් ලෙස යමක් සුන්දරව දැකීමටත් ,සිතීමටත් ඒ සිතුවිලි අකුරු වලට පෙරලන්නටත් හැකියාව මා සතුවිය.

කාන්තාවකට මෙලොව දිනිය හැකි ඉහළම කිරුළට උරුමකම් කියන මා පුතුන් දෙදෙනෙකුගේම අම්මාය. විශ්වයේම ඇති සොඳුරුතම ස්ථානය නිවහනය. එහි සාමය සතුට සෞභාග්‍යය රැඳවිය යුත්තේ අම්මාය. එනිසාවෙන්ම මගේ පුංචි පැටවුන්ගේ රැකවරණය වෙනුවෙන් මා වෘත්තියෙන් සමුගත්තෙමි. මුළුගැන්වී තිබූ ලිවීමේ හැකියාවට පන්නරය ලැබුණේ ඉන් පසුවය. අම්මා පුවත් පතෙහි විශේෂාංග ලේඛිකාවක වශයෙන් ලේඛණ කලාවට පිවිසි මා ලේඛණ කලාවෙන් ඉදිරියට යන්නට අපේක්ෂා කරමි.

LEAVE A REPLY